ගැහැනිය යනු, මිහිරිම වස්තුවකි. කවියන්, ලේඛකයන් සහ නවකතාකරුවන් ගැහැනියව ‘නාරිලතා’ පුෂ්පයකට සමකර තැබුවේ ඒ නිසාය. එලෙසම ඇතැම්හු, ගැහැනිය අහසට සහ මුහුදට සම කළෝය.
අහසට සමකිරීමේ හේතු පාඨය වූයේ දේශගුණික වශයෙන් අහස් තලය හිටි අඩියේ වෙනස් වන්නා සේ ගැහැනියකගේ සිතුවිලි සහ ස්වභාවයන්ද නොසිතූ ලෙස හිටිඅඩියේ වෙනස් වන නිසාය. මුහුදට ඈ සමකිරීම ඇතැමුන් පෙලඹුණේ.., සියුමැලි ගති පැවැතුම්වලින් හෙබි බොහෝ ගැහැනුන් යම් විටෙක ප්‍රචණ්ඩව හැසිරෙන්නට ගන්නා නිසාය. මුහුද පෙනුමට සුන්දරය… සෙමෙන් රළ නඟන එය විඩාබර සිත් සුවපත් කරන ඔසුවකට සමානය. එහෙත්.., වාරකං විදියට පැමිණි ධීවරයන් බිලිගන්නේද ඒ මුහුදු රළමය. සුනාමියක්ව සියල්ල විනාශ කරන්නේද ඒ මුහුදු රළමය. එයට සාපේක්‍ෂව ගැහැනියද සිය මුදුගති පරයා රළුවන අවස්ථාවන් බොහෝ විට ඇතැයි ඔවුහු සාක්‍ෂි දරති.
යම් හේතූන් සහ කරුණු කාරණයන් පසුබිම් කොට ගැහැනිය රළු වන විට හෝ කෝපාවිෂ්ට වන විටම හැඩිදැඩි පිරිමි ඔවුන්ගේ එකී කෝපාග්නි ස්වභාවය හමුවේ පරාද වෙති.
තවත් විදියකට විග්‍රහ කරනවා නම් පිරිමින් තවත් පිරිමියකු හා උරණව ගැටෙනවාට වැඩිය තියුණු බවක් සහ වියරු ගතියක් ගැහැනියක තවත් ගැහැනියක සමග ගැටෙන විට දකින්නට පුළුවන. එයට එක් හේතුවක් වන්නේ ඔවුන් පාවිච්චි කරන වචනය. ඒ වචන මුවහත් පිහිතුඩු මෙන් තියුණුය. ඒ වගේම ගැහැනුන් දෙදෙනකු අතර ඇතිවන ගෝරි හෝ සණ්ඩුසරුවල් ලෙහෙසියෙන් අවසන් වන්නේ නැත. නිකමට කියැවෙන වචන හෝ යම් දුර්වල අවස්ථාවන් අල්ලාගෙන ඔවුනොවුන් එක පොරයෙට කාලයක්, මිම්මක් හෝ ප්‍රමාණයක් නැතුව ගහමරා ගනිති. ගමේගොඩේ මෙන්ම සිදාදියේ සුපිරි ගැහැනුන්ද එහෙමය.
එයට ආසන්නම තියුණු වන්නේ… රෝසි සේනානායක සහ පුෂ්පිකා ද සිල්වාගේ පලහිලව්වය.
‘පලහිලව්වය’ කිව්වාට එය නම් එසේ මෙසේ පලහිලව්වක් නොවේය. සරල සිංහලෙන් කියනවා නම් එය රූප සම්පත්තියෙන් අනූන රූප සුන්දරියන් දෙදෙනෙකු අතර පලහිලව්වකි. තවත් ‘බර’ දාලා කියනවා නම් මිලියන පන්සියයක පලහිලව්වක්… මිලියන පන්සියයක ලන්සුවක් සිතාසියක් විසින් මේ සුපිරි ගෝරිය මැදින් ගෙනැවිත් තැබුවාට පුෂ්පිකා කියන්නේ නම්..,
‘මිලියන පන්සියයක් තබා සත පහක්වත් තමා දෙන්නේ නැහැ කියාය..’
මිලියන පන්සියයක වන්දිය ඉල්ලා නඩු දැමුවේ ලෝක විවාහක රූ රැජිනක වූ රෝසි සේනානායකය. පුෂ්පිකාගේ මුවින් තමාව මූලික කොටගෙන කියන හැමදේම වාගේ අමූලික බොරු යැයි රෝසි සේනානායක පවසයි.
‘රෝසි සේනානායකට ඕනෑ… මැහැල්ලක වන තුරුම ලෝක විවාහක රූ රැජින කිරුළ ඇගේ නාමය සමග තබා ගන්නටයි. ඒ මානසිකත්වය මත රෝසි තම විවාහක රූ රැජින කිරුළ 2022දී තමාට හිමි වන්නට තිබුණු සෑම මාර්ගයක්ම වසා දැම්මාය කියා පුෂ්පිකා නිර්භයව කියා සිටින්නීය.
ඇත්තටම මෙහි සත්‍යතාවය කුමක්ද..?
සෙස්සෝ එය නොදනිති… පොරයට මැදිව සිටින රූප සුන්දරිය එකිනෙකාට චෝදනා කරන අතර රසවත් ඕපාදූප අහුලා රස බලන්නට කැමැති අසන්නන් සහ නරඹන්නන් එදෙස නෙත් අයා, මුව අයා බලාසිටියද මෙහි ඇත්ත, නැත්ත නොදනිති. ඇත්ත කුමක්දැයි දන්නේ පුෂ්පිකා සහ රෝසිය…
පුෂ්පිකා තමාට වූ අසාධාරණයට කෙළින්ම ගේම ඉල්ලා මාධ්‍ය ඔස්සේ කෑගැහුවාට රෝසි ගේම් එක සඳහා මාධ්‍ය සමග වහසිබස් දොඩවන්නට තවම නම් දොරට වැඩියේ නැත.
එයින් පෙනෙන්නේ පුෂ්පිකාට වඩා රෝසි වැදගත්ය කියලද..?
මම වැදගත් ගැහැනියක නිසා පුෂ්පිකා සමග වාද කරන්නට මාධ්‍ය භාවිතයට නොගන්නෙමි…යැයි කියන රෝසි සේනානායක තවමත් කොතැනක හෝ කියලා නැත.
නමුත්..,
පුෂ්පිකා කීයේ, රෝසි සේනානායක’ බළලුන් ලවා කොස් ඇට බාවන’ තියරියට අනුව තිරෙන් පිටුපස හිඳගෙන මාධ්‍ය වෙත චන්දිමාල් ජයසිංහව තමා වෙනුවෙන් එවූ බවකි.
චන්දිමාල් ජයසිංහ කිව්වේ ලෝක විවාහක රූ රැජිනගේ කිරුළෙහි ගෞරවය රැකගෙන පාඩුවේ සිටින රෝසි මැඩම්ට පුෂ්පිකා කරන අපහාස දරාගන්නට බැරිව තමා ඈ වෙනුවෙන් පැමිණ සිටියෙක් බවකි…
කාරණා දෙකෙන් කොයික ඇත්ත දැයි අප නොදනිමු…
ඒ අතර තව පටලැවිලිසහගත බොහෝ කතාබහ ඇසෙන්නට පටන්ගෙන ඇත.
තමා විවාහක ලෝක රූ රැජින තරගයේ සතරවැනි තැනට පැමිණි ශුභාරංචිය පුෂ්පිකා නිර්මාණය කළ ‘ෆේස්බුක්’ පෝස්ටුවෙහි සඳහන්ව තිබිණි. එයට එරෙහිව පැමිණි චෝදනාද සුළුපටු නැත.
පුෂ්පිකා කියන්නේ තමාට එහෙම කියන්න යැයි ඉගැන්වූයේ රෝසි සේනානායකම යැයි කියාය. රෝසි ඒ ගැන කිසිවක් පවසන්නට මැළි වූ තැනදී චන්දිමාල් ජයසිංහ ඒ ගැන ‘ඔහුට කියන්න’ කතාබහෙහි මෙසේ සඳහන් කර සිටියේය.
‘පුෂ්පිකා අවසාන හයදෙනා අතරට පැමිණීමේ සතුට මැද තරගය නිමාවට පත්වෙද්දී මමත්, රෝසි මහත්මියත් තව කිහිපදෙනෙකු සමග අසුන්වලින් නැඟිට රෝසි මහත්මියව මුණගැසෙන්නට පැමිණ සිටි අමුත්තන් කිහිපදෙනෙකු වෙත පැමිණියා..,
එතැනදී පුෂ්පිකයි එයාගේ මැනේජරුයි අපි ළඟට ඇවිදින් කිව්වා… මම හතරවැනි තැනට ආවා කියලා… අපි හැමෝටම ලොකු සතුටක් දැනිලා මම රෝසි මහත්මිය සමග එතැනට ඇවිත් සිටිය අනෙක් ශ්‍රී ලාංකික අයද එකතුවෙලා ‘ක්ලැප් කරලා’ පුෂ්පිකාට සුබපැතුවා.., ඒ අතර පුෂ්පිකා කිව්වා.., ෆේස්බුක් එකට මේ ගැන කියලා ෆෝස්ට් එකක් දාන්න ඕනෑ ඒකට හොඳ වචන ටිකක් දෙන්න කියලා.
එතකොට තමයි රෝසි මහත්මිය පුෂ්පිකාට එතැනදීම අර ‘වොයිස් කට්’ එක දුන්නෙ. ඒක ගත්තේ පුෂ්පිකාගෙම ෆෝන් එකට… ඒ ක්ලිප් එක තියෙන්නෙත් එයා ළඟ…
චන්දිමාල් ජයසිංහගේ පිළිතුරු කතාව එලෙස විය. ඔහු ඒ පිළිතුරු කතාව දුන්නෙ.
‘ඇත්තටම පුෂ්පිකා ද සිල්වා මේ ලෝක විවාහක රූ රැජින තරගයේ හතරවැනි ප්ලේස් එකට ආවද..,
යි කියා ඔහු ඇසූ ප්‍රශ්නයටය..,
චන්දිමාල් ජයසිංහ එතැනදී දුන් පිළිතුරෙහි කිසිම කෙළින් ගතියක් තිබුණේ නැති බව එය ඇසූ බැලූ කිහිප දෙනකුගේම අදහස විය.
‘නැහැ… හතරවැනි ස්ථානයක් ගැන එදා ඒ වේදිකාවේ කියැවුණේ නැහැ..,’
චන්දිමාල් එහෙම නොකිව්වේ ඇයි… ඔහුට දෙන්නට තිබූ පහසුම එක් පිළිතුරත් එය විය.
‘ඔව්… පුෂ්පිකා හතරවැනි ස්ථානයට පැමිණි බව සඳහන් වුණා..,’
නැත්නම් චන්දිමාල්ට එහෙම කියන්නට තිබිණි… පොතේ හැටියට නම්..,
‘ඔව්… පුෂ්පිකා හතරවැනියට ආවා…’
‘නැහැ එහෙම ස්ථානයක් ගැන සඳහන් වූයේ නැහැ…’යන ඩිරෙක්ට් උත්තර චන්දිමාල්ට දිය හැකිව තිබිණි. ඔහුගේ පිළිතුරු කතාව තුළ වන්නේ උගුරට හොරා බෙහෙත් කෑමක්ද..? එහෙම නැත්නම් හැංගිමුත්තන් සෙල්ලම හොරාට කළ ගේමක්ද..?’
චන්දිමාල්ගේ පිළිතුරෙහි වන්නේ..,
‘අපි නම් දන්නේ නැහැ. අපි ඒ හරියෙදි හිටියෙ නැහැ. සමහර විට වෙන්න ඇති..,
කියන අදහසය..,
ඔහු කියන හැටියට පුෂ්පිකා ඇවිත් තමා හතරවැනිය වූ බව කියද්දී ඔවුන් අත්පොළොසන්දී ඇත… පසුව රෝසි වොයිස්කට් එක සකස් කොට දී ඇත.
විශේෂ අමුත්තන් සඳහා වන අසුන් පෙළෙහි සිටි චන්දිමාල් පුෂ්පිකා හතරවැනියා වූ සංසිද්ධියට පළමුව නැඟිට ගොස් ඇති බව ඔහුගේ කතාවෙන් අනාවරණ වේ. එතකොට ලෝක විවාහක රූ රැජින වූ රෝසි සේනානායක මහත්මිය ඉහත කියන අමුත්තන් හමුව තුළදීම ආප්ප බාන කලාවට ඇයට ‘ෆේස්බුක්’ පෝස්ටුව තැනීම සඳහා වොයිස් කට්’ අවැසි උපදෙස් දී ඇත.., සියල්ල එලෙස සිදුවූ පසුව පුෂ්පිකාගේ ෆේස්බුක් පිටුවෙහි ඈ මුදාහැර තිබූ පණිවුඩයට පාමුලින්, ලෝක විවාහක රූ රැජින සංගමයේ සංවිධායක කමිටු සාමාජිකාවක වන ‘ලිෆීඩ් කෝප්‍රඩ්’ මහත්මිය,‘හතරවැනි ස්ථානයක් ලෝක විවාහක රූ රැජින තරගයක නැහැ. ඔබේ උප කල්පිත සටහන නිවැරැදි කොට ජයග්‍රාහිකාවට සුබ පතා කරුණාකර පෝස්ටුවක් දමන්නැයි…’
යනුවෙන් උපහාසමය සටහනක් නිකුත් කොට තිබිණි.
මඳකට නැවැතිල්ලේ සිතා බලන්න..,
එතකොට චන්දිමාල් ජයසිංහ කියන විදියට රෝසි සේනානායක වැනි ඉහළ තලයේ සමාජමය ඇසුරක් ඇති බුද්ධිමත් කාන්තාවක් පුෂ්පිකා වෙනුවෙන් ක්‍ෂණික වොයිස්කට් එකක් දුන්නේ හතරවැනි ස්ථානය ගැන අවබෝධයක් නැතිවද…’
මෙවැනි දේ මෙලෙස සිදුවීමට තරම් ලෝක විවාහක රූ රැජින තරගය හද්දා පිටිසර ගමක රූප සුන්දරී තරගයක තත්ත්වයට පත්වුණාද..?
ගමේ බසට අනුව නම් මේවාට කියන්නේ ‘නෙයියාඩගම්’ කියලාය.
ඒක එහෙම වන අතර, ‘ගවුමේ කතාව’ද අතරින්පතර හොඳ කිවුන් මාධ්‍ය පැපරාසින් වෙත අලුත් තාලේ කතා සඳහා මසුරං අඩුවැඩිය සපයා දෙයි. පුෂ්පිකා කීවේ ඇගේ ගවුම මිලියන 7.5ය කියලාය. චන්දිමාල් ජයසිංහ ඔහු සමග කතාවෙදි එහි තාර බර අයින් කර ගවුමේ නියම වටිනාකම මිලියන 3.05ක් යැයි කියා සිටියේය. බොරුව කියන්නේ චන්දිමාල්ද, පුෂ්පිකාද දන්නේ නැත.
කෙසේ වුවද..,
පුෂ්පිකා ඇණවුම් කළ ගවුම කුමක් හෝ බාධාවක් නිසා අතරමග හිරවෙද්දී පුෂ්පිකා වැලහින්නක සේ රෝසි සේනානායක හමුවේ හඬන විට විශේෂ අමුත්තකුගේ හිතවත්කම් හරහා පුෂ්පිකාට අලුත් ගවුමක් අරගෙන දෙන්නට රෝසි සිය පිරිස සමග කටයුතු කොට ඇත.., පුෂ්පිකා එදා එතැනදී ගවුම ත්‍සඑ-දබ කරමින් අලංකාර ආලිංගනයක යෙදෙන වීඩියෝව ‘ඔහුට කියන්න’ විශේෂාංගයේදී මුදාහැරිණි.
පුෂ්පිකාට වළ කපන්න රෝසි සේනානායකට අවැසි වූවා නම් ඒ තරම් අලංකාර ගවුමක් ඈ වෙනුවෙන් ගෙන දෙන්නට උනන්දු වෙයිද..?
‘ගවුම ඇරෙන්ජ් කළේ රෝසි වුණාට මුදල් ගෙව්වේ මමයි..,’කියා පුෂ්පිකා කිව්වාට ඒ අලංකාර ගවුමේ තේරීම සහ එය හදිසියේ ලබා ගැනීමේ මෙහෙවර දියත්කර ඇත්තේ රෝසි සේනානායකය. චන්දිමාල් ජයසිංහ ‘ඔහුට කියන්න’ කතාබහේදී ඉදිරිපත් කළ වීඩියෝවෙහි එය මොනවට පැහැදිලි වෙයි. මුදලට කරන්නට බැරි බොහෝ දෑ සමාජම මෙහෙවර හරහා ඉටුකරන්නට හැකි බව නොකියා බැරිය. වීඩියෝව ඇස් බැන්දුමක් නෙවෙයි නම් ඒ ලකුණු රෝසිටය..,
ඒ තරමට හිතවත්ව සිටි මේ රූප සුන්දරියන් දෙපළ පසුව මෙලෙස ඇනකොටා ගැනීමට පෙලඹුණේ ඇයි..?
අපට නොපෙනෙන.., ඔවුන් අතර සිදුවූ හුටපටය කුමක්ද..?
ඉහතක කීවාසේ එය තුට්ටු දෙකේ හුටපටයක් නොව මිලියන 500ක හුටපටයකි.
සියල්ල කණපිට පෙරළුණේ පුෂ්පිකාගේ බ්‍රේක් නැති කට නිසාද..?
එයට නම් ගමේ පිරුළක් වේ..,
ඒ..,
‘කටේ නරිවාද රෙද්ද පල්ලෙන් පෙනෙනවා’
කියලාය…
ගවුමේ කතන්දරය ගැන චන්දිමාල් කතා කරන විට තවත් අමුතු කතාවක් හෙළිවිය. ඔහු කීයේ.., කැරොලයින් ජුරිගේ ගවුමට එදා වැය වුණේ රුපියල් පන්දහසක මුදලක් පමණය කියාය.
ඒ කියමනෙහි අරුත එක්තරා ආකාරයක විලම්භීතයකි..,
එහෙම කියන්නේ රූප සුන්දරියන් දෙපළකට බෙදා ඇති හැඳි දෙක වෙනස් නිසාය..,
කැරොලයින් ජූරිට රුපියල් පන්දහසක් වැනි සාමාන්‍ය මුදලකට එදා චන්දිමාල් අරන් දුන් ගවුමට මෙදා රෝසි විසින් ඔහු කියන තාලෙට මිලියන 3.05ක් වැයකොට ඇත.
ඒ වෙනස කුමක්ද..?
එලෙස සිදුවුණේ මොන හේතුවකටද..?
බලන විට සියල්ල මහා අමුතු විකාර ගොඩකි..,
කිවයුතු යමක් වේ..,
ඒ මේ රූප රැජිනියන්ගෙ පටලැවිල්ලද තව කලක් යන විට කාටත් අමතකව යන..,
‘දෙයියො දනී අපි නොදනී’ ගොඩට වැටෙනු නිසැකය.
දමයන්ති ප්‍රනාන්දු










