වෙල්ලස්සට හජ්ජි මරික්කාර්

උඩරටට ලුණු, කරවල ආදී වෙළෙඳ ද්‍රව්‍ය සැපයූ මුස්ලිම් ජාතිකයන් ඉංග්‍රීසි හමුදාවට ආහාර ද්‍රව්‍ය සපයාගැනීමට සහාය වූ අතර වෙල්ලස්සේ දිසාපති ඇතුළු රදළයෝ ඔවුන්ගෙන් අයුතු බදු අය කරනවා යැයි කියා මුස්ලිම් ජාතිකයන් එම ප්‍රදේශයට තම මුලාදෑනි කෙනකු පත්කරන්නැයි බ්‍රවුන්රිග්ගෙන් ඉල්ලා සිටි අතර ඊට ප්‍රතිචාර ලෙස වෙල්ලස්සට හජ්ජි මරික්කාර් කෙනකු පත්කරන්නට බ්‍රවුන්රිග් ක්‍රියා කළේය.
මෙය ජාතීන් අතර ගැටුමකට මුලපිරීමේ ආරම්භයක්ද විය.
වෙල්ලස්සට ආපු අමුත්තා

කලක පටන් ශ්‍රමණයන් අටදෙනකු සමග වෙල්ලස්ස ප්‍රදේශයේ අමුත්තකු සැරිසරන බව ආරංචි වූ සිල්වෙස්ටර් විල්සන් නමැති බදුල්ලේ උප රෙසිඩන්ට් එම අමුත්තා ඇල්ලීමට හජ්ජි මුහන්දිරම් සමග මුස්ලිම් පිරිසක් පිටත් කළේය. එයින් කෝප වූ සිංහලයෝ ඔවුන්ව අල්ලා සැඟවී සිටි අමුත්තා හමුවට ගෙන ගොස් සිර කළහ. මෙය ආරංචි වී එහි ගිය විල්සන්වද මරණයට පත් කළ අතර සුදු පාලකයන්ගේ මෙවැනි ක්‍රියාද කැරැල්ලට හේතු සැපයීය.
කැප්පිටිපොලගේ වෙනස්වීම

වෙල්ලස්සේ ඇතිවූ කැරැල්ල ඌව වලපනේ ආදී ප්‍රදේශවලටද ලැව්ගින්නක් සේ පැතිර ගිය අතර එය මර්දනයට ඇහැලේපොල නිලමේගේ මස්සිනා වූ කැප්පිටිපොල නිලමේව පිටත් කර හැරියද ඔහු එහිදී කැරැලිකරුවන්ට එකතුවූ හෙයින් ඔහු සමග ගිය පිරිස ආපසු හැරී ආහ.
එතෙක් කලක් වෙල්ලස්සේ සැඟව සිටි අමුත්තා වූ රාජාධිරාජසිංහගේ මස්සිනා වූ දොරේසාමි, කැප්පිටිපොල නිලමේට මහාධිකාරම් තනතුර ලබාදුන්නේය.











