හාත්පස විසිරී ගිය උදෑසන හිරු කිරණින් පරිසරය පුරා අමුතුම ප්රබෝධයක් ඇතිකරමින් තිබිණි. ඈතින් ඈතට විහිදී ගිය තණ බිම් සහ කෙත්වතු යායේ විසිරී ගිය පිනි කැට හිරු කිරණින් දිලිසෙමින් ඒ ප්රබෝධය තව තවත් වර්ධනය කරන්නට ගත් උත්සාය අතිවිශිෂ්ටය. සුවඳ මලින් බරවූ මල් පඳුරු සහිත වන ලැහැබ අතර කිචිබිචි හඬ පතුරන කුරුලු කිරිලි නාදය සවනට ගෙන දුන්නේ අසීමිත මිහිරකි.
වැව් බැම්ම මතින් ඉදිරියටම වැටී පිබිදෙන නෙලුම් පොහොට්ටුවල සුවඳ වැව් දිය පිස එන මඳ සුළඟේ දැවටී පරිසරය සුවඳවත් කරයි. නෙලුම් පත් මත විසිරුණු පිනි කැට හිරු කිරණින් පැහැය වැටුණු මිණි කැට මෙන් පෙනුණේය.
හැමදාමත් මේ සොඳුරු සිරිය නරඹන්නට අසු පිටින් යන අපූරු තරුණයා වෙනදා වගේම ගුරු පාර දිගේ විත් වැව් බැම්ම සමීපයටම ආවේය. රාජකීය තරුණයාගේ දෑස් පරිසරය පුරා ඇදී ගියේ ආසාවෙනි. හෙතෙම හෙමි හෙමින් අසු පන්නාගෙන වැවෙහි නාන මංකඩ පසුකරමින් සිටියේය.
හැමදාම උදෑසන වැව් දියේ ඉණ වටක් ගිලී නෙලුම් නෙළාගෙන යන්නට පුරුදුව සිටි සුන්දර සැඩොල් යුවතිය අශෝකමාලා මේ මොහොතේ මල් තුරුල්ලකුත් දෝතින් ගෙන නාන මංකඩින් ගොඩට එමින් උන්නාය. ඇයට දුර තියාම අසුගේ හඬ ඇසී දෑස් හරවා එදෙස බැලුවාය.
‘දෙයියනේ සාලිය කුමරු’
යළිත් දියේ බසින්නට වේලාවක් නොවූයෙන් ඇය තෙත බරිත වූ රෙදිකඩ දෙසත්, එයින් කැපීපෙනෙන සිරුරත් මල් තුරුල්ලට මුවාකරගන්නට අසාර්ථක උත්සාහයක් ගත්තාය.
‘හරිම අපූරුයි. ඔබ සුරඟනක් වගෙයි. හිතක් නැද්ද මටත් මල් කිහිපයක් දෙන්න…?’
අශෝකමාලා තමා අත වූ නෙලුම් මල් තුරුල්ලෙන් අඩක් සාලිය කුමරුට පෑවාය. ඇගේ අතින් මල් ගනිද්දී කුමරුට ඇගේ මෘදු ඇඟිලි තුඩු යන්තමින් හසුවූයේය.
තරුණිය ගැස්සුණාය. ඇයට සාලිය කුමරු ගැන අමුතු හැඟීමක් පහළ වූවාය. එහෙත් එසේ සිතීමටත් බියවූ ඕ, තම සිතට තරවටුවක් කරගත්තේ එවැන්නක් සිතීමත් අනතුරුදායක බව දන්නා නිසාය.
එහෙත් මේ හැඟීමම උපන් සාලිය කුමරු සිතුවේ ඊට හාත්පසින් වෙනස් විදියටය. ඔහු අශෝකමාලාව තමන්ගේ කරගන්නට සිතුවේය. ඇය කුමන කුලයක වුවද ආදරයට එය බාධාවක් නොවේයැයි තීන්දු කළේය.
එතැන් පටන් සෑම දිනෙකම උදෑසන මේ දෙදෙනා වැව්තාවුල්ලේදීම හමුවූයේය. අශෝකමාලා තමාගේ නොගැළපීම් පැවැසුවද සාලිය ඒ කිසිවක් නොගැළපීම් ලෙස දුටුවේ නැත. ඔහු ඇය කෙරෙහි අසීමිතව පෙම් බැන්දේය. කල් යත්ම අශෝකමාලාටද සාලිය කුමරුගෙන් තොර ජීවිතයක් නොවීය. දෙදෙනාගේ ආදරය දින දින මෝරා වැඩුණේ ගැමුණු මහ රජුටත් රටවැසියන්ටත් රහසේමය. එහෙත් වැඩි දවසක් මේ රහස රහසක් සේ තබාගන්නට ඔවුන්ට හැකි වූයේ නැත. රජමාලිගාවට ආරංචිය ලැබුණේය. සිය පුතු සැඩොල් තරුණියක හා පෙමින් වෙළීම ගැමුණු මහ රජුගේ සිතේ නොසතුටක් ඇතිකරන්නට ඇත. හෙතෙම ඊට කළ හැක්කක් ගැන සොයා බැලුවේ මේ අතරේය.
වහ වහා සාලිය කුමරුන් කැඳවා සිය අකැමැත්ත ප්රකාශ කළ රජු මෙම කටයුත්ත කෙරෙන්නේ නම් රජකම පිළිබඳවත් සිය රාජකීය උරුමය පිළිබඳවත් අමතක කර දැමිය යුතු බවත් හොඳින් සිතා බලා තීන්දුවක් ගන්නා ලෙසත් සාලිය කුමරුට දැනුම් දුන්නේය.
තෙවරක් දෙවරක් නොව එක්වරක්වත් සිතිය යුතු නොවේ යැයි සිතූ සාලිය කුමරු රජකම අතහැර අශෝකමාලාව තම බිරිය කරගත්තේ සසරින් සසර බැඳි ආදර කතාවේ තවත් පියවරක් මල්ඵල ගන්වමිනි. කුමරුගේ විවාහය ගැන දැනගත් මොහොතේ ඒ පිළිබඳ යම් උරණවීමක් සිත තුළ උපදවාගත් ගැමුණු මහ රජු සාලිය කුමරුට නගරයෙන් පිටව යන්නැයි නියෝග කළේය.
පෙර සියල්ල සේම එම නියෝගයද සිත් තුටින් පිළිගත් කුමරු අශෝකමාලාවත් රැගෙන අනුරාධපුරයෙන් පිටව ගමන් කළේ තන්තිරිමලේ දෙසටය. ඒ ගමනේදී කුමරුගේ සිත් ගත් ඉසව්වක් හමුවුණේය. ඒ වර්තමාන විල්පත්තු අභයභූමියට අයත් ප්රදේශයකි.
‘පිය රජුට එහිම රජවන්නට හැර මා අශෝකමාලාවත් සමග මෙහි මාලිගාවක් තනා ජීවත් වෙමි’යි සිතූ කුමරු එම ඉසව්වේ මනරම් මාලිගයක් ඉදිකරවන්නට කටයුතු කළේය.
මාලිගාව ඉතා ඉහළ ආරක්ෂක උපක්රම භාවිතව ඉදිකිරීමටත්, සිය පිය රජුගෙන් හෝ රාජකීය ඥාතීන්ගෙන් අශෝකමාලාවට යම් අනතුරක් නොවන අයුරින් ආරක්ෂිතව සිටීමට හැකි ආකාරයට එම මාලිගාව ඉදිකිරීමට සාලිය කුමරු කටයුතු කළ බව ජනප්රවාදවල සඳහන් වෙයි.
එලෙසින් සාලිය අශෝකමාලා පුවත ඉතිහාසයට එක්වෙද්දී අමරණීය පෙම් පුවතක් ලෙස යුගයෙන් යුගයට පැවැත එද්දී කාලයේ වැලිතලාවෙන් සියල්ල වැසී ගියේ අනාගතයට ඉඩදිය යුතු නිසාමය. වසර ගණනාවක් ගෙවී ගියේය. වර්තමානයේදීද විවිධ ජනප්රවාද ඇසුරේ සාලිය අශෝකමාලා මාලිගය ගැන මතවාද කතාබහට ගැනුණේය. එහෙත් ඒ කොහේදැයි හරි හැටි සොයමින් සිටියදී දැනට වසර ගණනාවකට පෙර විල්පත්තු මහ කැලය මැද මාලිගයක නටබුන් සොයා ගැනුණේ සාලිය අශෝකමාලා අමරණීය පෙම් පුවතට සෙවණ සැපයූ ඒ ආදර කතාවේ මිහිරි වදන් අසා සිටි සුන්දර මාලිගය මෙයදැයි සැක මතුකරමිනි.
‘එදා සාලිය කුමාරුගේ මාලිගය හැදුවාය කියන්නේ ආරක්ෂිත විදියට. මේ ඉතිරි කොටස්වල බිත්තියක් අඩි දෙකක් පමණ පළලයි. එයින්ම පැහැදිලි වෙනවා මෙය සාලිය අශෝකමාලා මාලිගයම තමයි.’
එදවස බොහෝ දෙනකු එසේ පැවැසුවේ එය සාලිය අශෝකමාලා මාලිගය බවට අනුමාන කරමිනි.
අද නිහඬ විල්පත්තු වන මැද තනිව මහ රූස්ස ගහකොළට මැදිව නටබුන් වූ ඒ මහා ගඩොල් බිත්ති එදා සාලිය කුමරුත්, අශෝකමාලාවත් දකින්නට ඇත. ඔවුන්ගේ ආදර වදන් අසා සිටින්නට ඇත. ඔවුන්ට රාජකීයයන්ගෙන් කරදර හිරිහැර වූවා නම් ඒවා බලාසිටින්නට ඇත. ඒ සොඳුරු ආදර කතාවේ අතිශය රහසිගත දේද දකින්නට ඇත. ඒ සියල්ල රහසක් ලෙසම තබාගෙන නිහඬව නිසොල්මන්ව ඒ මාලිගය මහ අරණ මැද තනිවන්නට ඇත.
කුමාර රත්නායක










