“වංශ” යන වචනයෙන්, උසස් කුල පරපුරක් අදහස් වන බව සිතීම, අපේ පොදු චින්තනයේ ස්වභාවයයි. ඒත් වංශ යන්නෙහි සාහිත්‍යමය අර්ථය උණ ගසයි. සෘතුසංහාර කාව්‍යයේ “වෘක්ෂ වංශස්ථලි” හෙවත්, උණගස් වැවුණු තැනිතලාව යන යෙදුම හමුවෙයි. උණ ගසෙහි, එක්පුරුකකින් පසු තව පුරුකක් හමුවෙයි. අපේ ඉතිහාසයේත්, එක් එක් පාලකයන් හා යුග හමුවන බැවින් ඊටද වංශ යනුවෙන් ව්‍යවහාර කරමු. එමෙන්ම යම් මිනිසෙකු, ඉතා ප්‍රාථමික අවස්ථාවක සිට, ද්විතියික, තෘතීයික අවස්ථා පසුකරමින් සිදුකළ ජීවිත චාරිකාවක්ද ඒ අනුව වංශ කථාවක් වෙයි. මාහට හමුවණු එවන් මිනිසෙකුගේ ධෛර්ය සම්පන්න ජීවිත චාරිකාවක්, පොදු පාඨකයාගේ දැනුවත් වීම සඳහා මෙසේ ඉදිරිපත් කිරීම මැනවැයි සිතුවෙමි.
ඔහු නමින් මිල්ටන් රාජරත්න වෙයි. මේ මෑතක කර්තෘ ප්‍රකාශනයක් ලෙස ඔහු ලියූ “Making of peadeniya Management Faculty” නම් ඉංග්‍රිසී කෘතියේ, මා ඉහත කී වංශ කථාව හමුවෙයි. තම වංශ කථාව ඔහු නම් කරන්නේ My name is Milton යනුවෙනි. මේ කෘතියේ සමස්ත අන්තර්ගතය පිළිබඳ, ග්‍රන්ථ විචාරයක් ලිවීම මගේ අරමුණ නොවේ. ඇරත් කළමනාකරණ විෂය පිළිබඳ ලියවුණු ලේඛනයක් විචාරය කිරීම, සාහිත්‍යය හැදෑරූ මගේ කාර්යය භාරයද නොවේ. මගේ සිත මෙයින් උද්දාමයට පත්වන්නේ, පුද්ගලයෙකු, අතිශය දරිද්‍ර පසුබිමක සිට, අසීමිත දුක් ගැහැටවිඳ, කුසගින්න, පීඩනය, සමාජ බාධා ආදිය මැඩගෙන, මහාචාර්යවරයකු දක්වා පැමිණි, අප්‍රතිහත ධෛර්යයෙන් යුතු චාරිකාවක සමරු සටහන් රැසක් “My name is Milton” යන පරිච්ඡේදයේ අඩංගු බැවිනි. 1950 සහ 60, 65 යන කාලවකවානුව තුළ සාමාන්‍ය, දරිද්‍ර සමාජතලවල දිවිගෙවූ, නූගත් අහිංසක මිනිසුන් තුළ කිර්තීධර, ජනප්‍රිය නම් පිළිබඳ අවබෝධයක් තිබුණේම නැත. ඒ අනුව යමින්දෝ මිල්ටන් මහතාගේ පියා ඔහු ඇතුළු දරුවන් පස් දෙනෙකුට, කිතුනු ඉංග්‍රීසි නම් යෙදූ බව කතුවරයා කියන්නේ අව්‍යාජවය. “My father though a Buddhist as a modernist gave chistian names to all his five songs”
මෙතැන් සිට මිල්ටන් රාජරත්න, කිසිදු විකෘති කිරීමක් සැඟවීමක් හෝ හීනමානයක් නැතිව තම බාල කාලය පිළිබඳ නිර්ව්‍යාජ වාග් චිත්‍රයක්, අඳියි. ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන්, දෙවරක් අසමත් වූවෙකි. විභාගයෙන් පළමුවර අසමත් වූ විට ඔහු, පෙදරේරුවරයකුගේ අත් උදව්කරුවකු ලෙස රැකියාවක් සොයමින් සිටියදී, මවගේ දිරිදීම මත යළිත් විභාගයට මුහුණදී ඉන්ද අසමත් වෙයි. කෙසේ හෝ සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ මිල්ටන්, උසස් පෙළ සාර්ථකව හදාරා විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලැබෙන තෙක් අනුරාධපුර වෙළෙඳහලක, වෙළෙඳ සහායකයකු ලෙස සුළු රැකියාවක් කළේය. ඒ අතරේ ඔහුගේ මව, ඔහු ඇතුළු දරුවන් පස්දෙනා ජීවත් කරවීම සඳහා අසල රබර් වතුයායක කිරි කපා, සුළු මුදලක් උපයා ගත්තාය.
මිල්ටන් රාජරත්න තවදුරටත් විස්තර කරන පරිදි ඔහු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් උසස්ම ලකුණු ලබාගෙන විශ්වවිද්‍යාලය සඳහා තේරුණේය. විශ්වවිද්‍යාලයේ සිසුවකු ලෙස උගනිද්දී, තම මව ඇතුළු සොයුරන් දුකසේ දිවිගෙවන බැවින් ඔවුනට උපකාර පිණිස තුන්වතාවක් විශ්වවිද්‍යාලය හැර ගියේය. එසේ ගිය අවසන් වතාවේ, රාජරත්නගේ දෛවය ඔහු කෙරේ වඩාත් කාරුණික වූයේ, ඇමෙරිකාවේ පෙනිසැල්වේනියාවේ “Swarhmore” විශ්වවිද්‍යාලයෙන් ඔහුට ශිෂ්‍යත්වයක් හිමිව ඇතිබවට ලැබුණු ආරංචියත් සමඟය. එතැන් සිට රාජරත්නගේ උසස් අධ්‍යාපනයේත් වෘත්තීය ජීවිතයේත්, අභිවෘද්ධිය උදා වූයේ ඔහුත්, ඔහුගේ මවගේත්, අතිශය කටුක දිරිය ජීවිත විසින් වපුරන ලද කැපවීමේ හැඟුම්බර සරු බීජවල, යහපත් අස්වැන්න වශයෙනි. ටී.ටී. මංගර් (T.T. Manger) අවධාරණය කළාක් මෙන් අනභිභවනීය කැපවීම විසින් සියලු සාර්ථකත්වය තමා වෙත ඇදගත හැකි අත් දහසක් මවනු ලබයි. ඒ අනුව මිල්ටන් රාජරත්න මහතාට ජපානයේ Msc සහ PhD පශ්චාත් උපාධි සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යයත්වයක් ලැබෙයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ ඇදුරන් අතරින් පළමු PhD උපාධිධාරියා වූයේද රාජරත්නය. ඔහු වර්ෂ 2017දී එම අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වූයේ ඔහුගේ දුෂ්කර ගමන කෙළවර ජයග්‍රාහී සංධිස්ථානයක් සටහන් කරමිනි.
මහාචාර්ය මිල්ටන් රාජරත්නගේ ඊළඟ ජීවිත ප්‍රාර්ථනාව වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාල සඳහා කළමනාකරණ පීඨයක් ස්ථාපනයට දායක වීමය. ඒ කටයුත්තේ සියලු පියවර සටහන් විස්තර කිරීමට නොගොස්, මෙහි සැකෙවින් සටහන් කළ යුත්තේ, මහාචාර්ය රාජරත්න කෙසේ හෝ තම සිහිනය වෙත පියමං කළ බවය. සිහිනය සැබෑ වූයේ, තම සිවුවන දරුවා වන කළමනාකරණ පීඨය, ඔහුගේ දෑස් අබිමුව විද්‍යමාන වෙද්දීය. එහි අභිනව පීඨාධිපතිවරයා වූයේද මහාචාර්ය රාජරත්නය. එහෙත් කිවයුත්තකි. මෙලොව ඕනෑම කාර්යයක් ඉෂ්ට සිද්ධ වීම යනු යළිත් වරක් අදාළ තැනැත්තා ඒ කාර්යය සිද්ධියෙන් ඉවතට වීසි කරන බලවේග ඇතිවීමය.
“ජයංවේරං පසවති” යන පාලි පාඨයේ අරුත, ජයග්‍රහණය යනු තවත් කොටසකගේ වෛරය වැඩිවීමක් බවය. මේ කාරණය උග්‍ර භෞතිකවාදී, හේතුවාදියෙකුට, නව මතවාදී කඳවුරක් සැදීමට මනා කෙම්බිමක් වනු ඇත. ඒත් වාසනාවකට හෝ අහේතුවකට මම වනාහි සහනශීලය හා උපේක්ෂාව පෙරටු කරගත් දෛවවාදියෙක්මි. එනිසා රාජරත්න අතිශය වැර වෑයමෙන් හා දුක්ඛිත කැපවීම් ඔස්සේ දිරීමත් ගමනක් පැමිණ පේරාදෙණිය සරසවියට අභිනව කළමනාකරණ පීඨයක් සැදීමේ කාර්යයටද දායක වී ඉන් ඉවත්වීමට සිදුවීම මා දකින්නේ සුජාත යන ආරුඪ නමින් “Begining to see ” නමින් භාවගී පොතක් ලියූ පුද්ගලයා සටහන් කළ එක් භාව සංකල්නාවක් අනුසාරයෙනි.
“There is nothing in this life
that we can have for long
things and people come
then leave us”
ඒ කුමක් වුවත්, මා හට මෙහිදී අවශ්‍ය වූයේ පුද්ගලයෙකු, අතිශය දුෂ්කර හා දුක්ඛිත පසුබිම් ඉවසා දරාගෙන තම ජීවිතයේ තමා පතන උන්නතාංශය වෙත, ජයග්‍රාහීව ළඟාවීම පිළිබඳ ජීවමාන නිදසුනක් ලෙස මහාචාර්ය මිල්ටන් රාජරත්නගේ ගමන හඳුන්වා දීමය. ප්‍රකට රෝම කථිකයකු වූ සිසරෝ (Cicero) මෙසේ කීවේය.
“The short period of life is long enough for living well and honourably”
“ අප ජීවත් වන කෙටි කාලපරිච්ඡේදය මැනවින් හා ගෞරවාන්විතව ජීවත් වීමට ප්‍රමාණවත් තරම් දීර්ඝය.”
මෙය කියවන කවරෙකු හෝ මින් උකහා ගත යුතු මාහැඟිම ආදර්ශය එයයි. ඔබේ මුල් පසුබිම මොනතරම් අවාසනාවන්ත හෝ දුක්ඛිත වුවද ඔබ කරන අසීමිත කෑප කිරීම් මඟින් ඔබ වෙත වාසනාව ළඟාවනු ඇත. මහාචාර්ය රාජරත්න එවන් වාසනාවන්තයෙකි.
මහාචාර්ය සාලිය කුලරත්න
සිංහල අංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාල











