කොරෝනා වෛරසය මෙරට පැතිරීම ආරම්භ වීමත් සමඟ නිරෝධායනය පිළිබඳ සමාජය තුළ අවධානය යොමුවූවද නිරෝධායනය මෙරටට මෙන්ම ලෝකයටද ආගන්තුක වූවක් නොවේ. නිරෝධායනය, වෛරස රෝග වැනි බෝවන රෝග පාලනය සඳහා පවතින සාර්ථකම ක්‍රමවේදයක් ලෙස බොහෝ කාලයක් තිස්සේ ලොවපුරා භාවිත වන්නකි. “Quarantine” ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන නිරෝධායනයේදී සිදුවන්නේ රෝගකාරකයකට නිරාවරණය වූ හෝ නිරාවරණය වී තිබීමට ඉඩ ඇති පුද්ගලයන් සමාජයේ අනෙක් පුද්ගලයන් අතර ගැවසීම හැකිතාක් දුරට අවම කිරීමේ ක්‍රියාවලියකි. නිරෝධායන කාලය තුළ නිරෝධායනට ලක්වන්නන් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතුවල නිරත වන අතර බාහිර සමාජය හා නොගැටෙන පරිදි භෞතික බාධකයන් හා ජීවාණුහරිත ආරක්ෂක සීමා පවත්වා ගෙන යනු ලැබේ. අමතරව එම පරිශ්‍රයන් රසායනික ජීවාණුහරණයට ලක් කරනු ලබන අතර වෛද්‍යවරුන් විසින් පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්ෂාකාරීවේ. යම් රෝගයකට නිරාවරණය වූ නමුත් කාලයක් ගතවනතුරු රෝග ලක්ෂණ පිටතට නොපෙනී රෝග කාරකය ශරීරයේ තිබෙන්නට හැකිය. මෙම කාල සීමාව‘බීජෞෂණ කාලය’ ලෙස හැඳින්වෙන අතර රෝග කාරක ශරීරගතවී රෝගය සැදීමෙන් රෝගය සෑදුණු පුද්ගලයා ඇසුරු කරන අනෙක් පුද්ගලයන් හටද බෝවීම සිදුවේ. නිරෝධායනයේදී රෝගකාරක ශරීර ගතවූවන් සමාජයෙන් ඈත්කර තබන නිසා රෝගය තවත් අයට බෝවී ව්‍යාප්ත වීම වැළකේ.
වර්තමානයේ Quarantine හෙවත් නිරෝධායනය ලෙස හඳුන්වන ක්‍රියාවලිය බටහිර ජාතීන් ලොවට හඳුන්වා දුන් රෝග නිවාරණ ක්‍රමවේදයක් ලෙස හැඳින්වෙන අතර මෙය ඉතාලියේ වැනිසිය නගරය ආශ්‍රිතව සිදුකළ රෝග නිවාරණ ක්‍රමවේදයක් ලෙසින් ලොවට හඳුන්වා දී ඇත. වර්තමානයේ කොරෝනා රෝගය පාලනය අපහසු අන්දමින් ඉතාලියේ පැතිර ගියද, නිරෝධායනය මගින් වැනීසිය අවට ප්‍රදේශවල පැතිර ගිය “Black Death” නමින් හැඳින්වූ මහාමාරිය වසංගතයෙන් සිය රට බේරා ගැනීමට ඉතාලි වැසියන්ට හැකිවී තිබේ. යුරෝපයේ ජනතාවගෙන් 30% වැඩි පිරිසකට මරණය අත්කර දෙමින් 13 වන සියවසේදී යුරෝපයේ පැතිර ගිය “ඊක්ජන ෘැ්එය” නම් මාරාන්තික මහාමාරිය වසංගතය යළි ලොව ප්‍රකට නාවික වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ ඉතාලියේ වැනීසිය තුළ පැතිරෙන්නට වූ අතර එවකට සිටි වෛද්‍යවරුන්ගේ මතය වූයේ දින 40ක් ආසාදිත පුද්ගලයන් හුදකලා කර තැබීමෙන් රෝගය පැතිරීම පාලනය කළ හැකි බවයි. මේ නිසා රෝගය වැළඳුණු පුද්ගලයන් නිවාස තුළ හුදකලා කෙරුණු අතර වැනීසියට පැමිණි නැව් වෙරළින් පිටත සීමාවේ දින හතළිහක් පමණ නැංගුරම් ලා තැබීමෙන් රෝගය පාලනය කර ගැනීමට හැකිවී තිබේ. ඒ අනුව ඉතාලි භාෂාවෙන් දින හතළිහ යන අරුත දැක්වෙන “Quaranta giorni˜” යන්නෙන් “Quaranta ” හෙවත් නිරෝධායනය යන සංකල්පය ලොවට හඳුන්වා දී තිබේ.
සැබැවින්ම නිරෝධායනය මිනිසුන් පමණක් ඉලක්ක කරගෙන සිදු කරන්නක් නොවන අතර රෝග පාලනය සඳහා ශාක හා සතුන් සඳහාද සිදු කරයි. ඒ අනුව ලොව බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද ශාක හා සතුන් රටවල් අතර හුවමාරුවට පෙර නිරෝධායනය සිදුකරන අතර ජාතික ශාක නිරෝධායන සේවය වැනි ආයතන පවා ඒ වෙනුවෙන් බිහිකොට තිබේ. ශාක හා සතුන් නිරෝධායනය පිළිබඳ අවධානය තිබුණද මිනිසුන් නිරෝධායනය පිළිබඳ අවධානය යොමුවූයේ කොරෝනා රෝගය පැතිරීම පාලනය වෙනුවෙනි. නමුත් මෙරට මානව නිරෝධායනයද බි්‍රතාන්‍ය පාලන සමය දක්වා දිවයයි. රෝගයන් පැතිරෙන අවස්ථාවේදී එය වළක්වා ගැනීමට මිනිසුන් නිරෝධායනය කළ හැකි නීතියක් මෙරට ඇති වන්නේ මෙරට බි්‍රතාන්‍ය පාලන සමයේදීය. ඒ 1897 අංක 3 දරන “නිරෝධායන හා රෝග නිවාරණ ආඥා පනත” මගිනි. බි්‍රතාන්‍ය පාලන සමයේදී සම්මත කළ මෙම නිරෝධායන පනත ඉතාම බලසම්පන්න වන අතර එයට අනුව, නිරෝධායනයට යොමු කරන ලද පුද්ගලයෙක් එයට පරිබාහිරව කටයුතු කළහොත්, දඬුවම් පැමිණවීමට බලතල ලැබී තිබේ. පසුව මේ පනතට විවිධ සංශෝධනයන් එක් වී ඇති අතර දණ්ඩනීතී සංග්‍රහයට නිරෝධානයට අදාළ වගන්ති ඇතුළත් කර තිබේ.
නූතනයේ භාවිත වන නිරෝධායන ක්‍රමය එලෙස විකාශය වූවද සිංහලයා අතීතයේ සිටම බෝවන රෝගවලින් සමාජය බේරා ගැනීම සඳහා මේ ආකාරයේම රෝග නිරෝධායන ක්‍රම භාවිත කොට තිබේ. අප අතරින් වියැකී යන පැරණි සිරිත් විරිත් දෙස විමර්ශනාත්මකව බැලීමෙන් මේ බව මනාව පැහැදිලි වේ. වෛරස රෝග වැනි බෝවන රෝග “දෙවියන්ගේ ලෙඩ” ලෙසින් අතීතයේ හැඳින්වුණු අතර පැරණි සමාජයේ මිනිසුන් ඉතා සාර්ථක ක්‍රමවේදයන් අනුගමනය කරමින් එම රෝග පැතිරීම වැළැක්වීම සඳහා පියවර ගෙන තිබේ. අතීතයේ යම් නිවෙසක දෙවියන්ගේ ලෙඩ හෙවත් තවත් අයකුට බෝවී වසංගතයක් ලෙස පැතිර යා හැකි රෝගයක් ඇතිවූ අයකු හඳුනාගත් විට සිදු කළේ වර්තමාන නිරෝධායනයේදී සිදුකරන අයුරින්ම හොඳින් හිරු එළිය හා වාතාශ්‍රය ලැබෙන කාමරයක ආසාදිතයා වෙන් කොට තැබීමය. මෙලෙස වෙන් කර තැබීමෙන් පසු ඔහු බාහිර ලෝකය හා සබඳතා පැවැත්වීම වැලකෙන අතර ඒ මගින් තවත් අයකුට රෝගය බෝවීම වැළකේ. දින කිහිපයක් තුළ රෝග ලක්ෂණ පහව ගියද ඒ ඒ රෝගය අනුව නිශ්චිත කාල සීමාවක් මෙලෙස ගත කිරීම අනිවාර්ය විය. මේ නිසා ආසාදිතයා යළි සමාජයට මුසුවන්නේ සම්පූර්ණයෙන්ම රෝගයෙන් තොර තවත් අයකුට බෝ නොවන බව සහතික කරගත් පුද්ගලයකු වශයෙනි.
රෝගියා වෙනම කුටියක හුදකලා කළ විට පවතින ඇඳ ඇතිරිලි ඉවත් කර සුදු පැහැති ඇතිරිලි යෙදීම සිදුවන අතර සයනය මත කොහොඹ පත්‍ර අතුරා රෝගියාට එහි නිදාගැනීමට සලස්වයි. කොහොඹ පත්‍රයන්හි විෂබීජ නාශක ගුණයක් පවතින නිසා විෂබීජ පැතිරීම අවම වන අතර කොහොඹ පත්‍ර මගින් රෝගියාට සිසිලසක් ලැබීමද සිදුවේ. රෝගියා සිටින කුටියේ දොර සහ වහලයේ කොහොඹ අතු එල්ලා තැබීමෙන්ද විෂබීජ පැතිරීම සහ රෝගය නිසා ඇතිවන උෂ්ණත්වයෙන් රෝගියා පීඩාවිඳීම වැළැක්වීමද සිදුකරයි. මෙම රෝගීන් සිටින කුටි කහ දියර ඉස පිරිසිදු කිරීම සිදුකරන තවත් කාර්යකි. මෙවැනි රෝගියකු හඳුනාගත් විට ඔහුට හෝ ඇයට අවශ්‍ය සාත්තු කිරීමද එක් අයකුට පමණක් සීමාවන අතර ඒ හරහාද රෝගය පැතිර යෑම වැළැක්වේ. මෙලෙස රෝගියාට සාත්තුවට තෝරා ගන්නේද කලින් රෝගය වැලඳුණු අයෙකි. බොහෝ වෛරස රෝග එක් වරක් වැලඳුණු පසු එම වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තියක් ඇති වන අතර යළි එම රෝගය ඇතිවීමේ හැකියාව අවම වෙයි. මේ නිසා පෙර රෝගය වැළඳුණු අයකු රෝගියාට සාත්තුව පිණිස යොදා ගැනීමෙන් රෝගය පැතිරීම වළකී. මෙලෙස සාත්තුවට ඉදිරිපත්වන පුද්ගලයන් විෂබීජ නාශක ගුණයක් ඇතැයි සැලකෙන පෙරුම්කායන් හෝ වදකහ අතෙහි හෝ ඉණෙහි ගැටගසා ගැනීමද සිදුකරයි. මෙවැනි රෝගයක් හට ගත් අයකු නිවෙසේ සිටින විට නිවෙසේ පවතින සියලු මස්වර්ග, මාළුවර්ග, කිලි ආහාර ලෙස සමාජයේ සම්මත ආහාර සියල්ල නිවෙසෙන් ඉවත්කිරීමද සිදුකරයි. රෝගය වැලඳුණු දින සිට රෝගියා නිර්මාංශ ආහාර පමණක් අනුභව කිරීම සිරිත වන අතර උෂ්ණාධික නොවන එළවළු වර්ග, පලතුරු ආහාරයට ගැනීමට ලබා දීමෙන් ශරීරය රෝගී අවස්ථාවේදී දුර්වල වීම වළක්වා ගැනීම සිදුකරයි. කොත්තමල්ලි, ඉඟුරු, සුදු ලූනු වෙනිවැල්, රසකිඳ වැනි ඖෂධ තම්බා බීමට ලබා දීම සිදුකරයි. තැම්බුම් හොදි වැනි මෙවැනි රෝගීන් වෙනුවෙන් සකස් කළ ආහාර වට්ටෝරු ගණනාවක්ම පවතින අතර මේවා තරමක් නීරස ආහාර වන නමුත් රෝගී වූ විට පහසුවෙන් ආහාරයට ගත හැකි හා ඉහළ පෝෂ්‍ය ගුණයෙන් යුතු ඒවාය.
මෙවැනි රෝගියකු නිවෙසේ සිටින විට නිවෙසට ඇතුළු වන ස්ථානයේ ගොක් රැහැන්, කොහොඹ අතු හෝ අඹ අතු එල්ලා තැබීමද සිදුකරයි. ඒ මගින් බෝවන රෝගියකු නිවෙසේ සිටින බවට සංඥාවක් අවට වාසීන්ට ලබා දෙන අතර එම නිවෙසට යෑම් ඊම් සීමා කිරීම සිදුවෙයි. ඒ නිසා අවට නිවාසයන් වෙත රෝගය පැතිරීම වැළකෙයි. නමුත් සමීප ඥාතීන්ට හෝ අත්‍යාවශ්‍ය කාර්යන් සඳහා යම් අයට එම නිවෙසට පැමිණීමට සිදුවන බැවින් රෝගියාගේ කුටියට ඇතුළු වන තැන හා නිවෙසට ඇතුළුවන ස්ථානයේ ගැට දෙහි කපා දැමූ කහ මිශ්‍ර ජල භාජනයක් තැබීම සිදුකරයි. නිවෙසට පැමිණෙන අය සහ සාත්තු කරන පුද්ගලයා කාමරයට පැමිණෙන සහ පිටවන විටත් ඉන් මුහුණ අතපය සෝදා ගැනීම සිදු කරන අතර ඒ මගින් රෝගය පැතිරීම හා විෂබීජ විනාශ කිරීම සිදුවේ. මදුරුතලා කොළ, හල්දුම්මල දුම්, පැඟිරි කොළ දුම් නිවස වටා ඇල්ලීම සිදු කරයි. සාමාන්‍යයෙන් දින හතක් හෝ දාහතරක් යන විට මෙවැනි රෝගය සුව වන බව ජන විශ්වාසයේ පවතින අතර මෙලෙස හුදකලාවේ සිටිය යුතු කාලය තීරණය වන්නේ වැලඳුණු රෝගය අනුවය. ඒ ඒ රෝග වෙනුවෙන් ගත කල යුතු කාල සීමාවන් හා එම කාලය තුල සිදුකළ යුතු වෙදකම් හා හෙදකම් පිළිබඳ ගමෙහි වෙද මහතා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුකරයි. රෝගියා සඳහා විවිධ පුද පූජා සහ ශාන්තිකර්ම සිදුකිරීමද දක්නට ලැබෙන රෝගය නිසා ඇතිවූ මානසික පීඩාව දුරු කිරීම ඒ මගින් සිදුකරයි.
මෙවැනි රෝගයක් වැලඳී නිශ්චිත කාල සීමාව පසුවන තෙක් රෝගියාට ස්නානය තහංචි වේ. අතීතයේ ළිං, වැව් පොකුණු වැනි පොදු ස්ථානයන්හි ස්නානය කරන නිසා අන් අයට රෝගය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට මෙවැනි පියවරක් අනුගමනය කරන්නට ඇත. රෝගය වැලඳී සුව වීමෙන් පසු ස්නානය කරන පළමු දින හත ගලේ අඹරා ගත් කොහොඹ හා කහ ආලේප කර අලුයම් කාලයේ ස්නානය කිරීම සිදුකරයි. ඉන්පසු රෝගියාට ප්‍රබෝධමත්ව යළි සාමාන්‍ය ජීවිතයට හුරු වීමට අවස්ථාව හිමිවන අතර රෝගය නිසා තුවාල හෝ කැළැල් ඇතිවූයේ නම් කොහොඹ හා කහ ආලේපය මගින් ශරීරයේ කැළැල් ඉවත් වී සම පැහැත් වීමද සිදුවේ. රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ පසු කිරිඅම්මාවරුන්ගේ දානය දීම වැනි සිරිත් විරිත් අනුගමනය කරන අතර ඒ හරහා සන්සුන් මනසකින් යළි සුපුරුදු ජීවිතයට පිවිසීම අපේක්ෂා කරයි.
බෝවන රෝග පාලනය වෙනුවෙන් අතීත මිනිසුන් සමාජයට දායාද කළ දැනුම මේ වන විට නටබුන් බවට පත්වී තිබේ. එම නටබුන් දෙස බැලීමේදී පෙනී යන්නේ එම ක්‍රමවේදයන්හි පැවති සාර්ථකත්වයයි. වර්තමානය වන විට මෙම පැරණි මිනිසා දායද කළ දැනුම බොහෝ මිනිසුන් අවඥා සහගත ලෙස බැහැර කරන ආකාරය දක්නට ලැබේ. මෙම ක්‍රමවේදයන්, රෝග පාලනය කිරීමට සිදුකළ සිරිත් විරිත් අතීත සමාජ රටාව අනුව සිදුකළ ඒවා මිස මිනිසුන් නොදැනුවත්කමින් සිදුකළ ඒවා විය නොහැකිය. ඒ පිළිබඳව අර්ථ විවරණ සැපයිය යුත්තේ වර්තමානයේ සිට නොව එම අතීත සමාජයට පිවිසීමෙනි. මෙම අතීත ක්‍රමයන්ගේ මෙන්ම වර්තමානයේ මෙම රෝග පාලන ක්‍රමයන්ගේ මූලධර්ම හා න්‍යායන්හි වෙනසක් නැත. මේ නිසා අපෙන් ගිලිහී යන අතීත දැනුම දෙස විමර්ශනාත්මකව බැලිය හැකිනම් අතීත මානවයා දායාද කළ දැනුම නවීන ක්‍රම හා එක් කර ගනිමින් සමාජය පීඩාවට පත් කරන බොහෝ රෝග පාලනයට වඩා සාර්ථකව භාවිත කළ හැකිවේ. මෙවැනි පැරණි සම්ප්‍රදායන්ට නිගරු කිරීම විනා ඒවා වර්තමානය වෙනුවෙන් යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳ විධිමත් අධ්‍යයනයන් සිදු නොවූ තරම්ය. එබැවින් සිදුකළ යුත්තේ අතීතයට අපහාස කිරීම වෙනුවට අතීත දැනුම අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් යොදාගත හැකි ආකාරය පිළිබඳ සොයා බැලීමය. එවිට කොරෝනා පමණක් නොව ඕනෑම දරුණු රෝගයකට සාර්ථකව මුහුණ දීමට හැකිවනු ඇත.
අසිරු වේදිත කරුණාරත්න










