පුංචි කාලේ ඉඳන් අපේ හිතේ තිබුණේ උසස් පෙළ හොඳින් ගොඩ දාගෙන කවදා හරි දවසක කැම්පස් එන එක. ඒක අපේ හිතේ විතරක් නෙවෙයි අපේ ආදරණීය අම්මලගේ තාත්තලගේ හිතෙත් තිබුණු හරිම ලොකු හීනයක්. ඉතින් අපි ඒ හීනය කොහොම හරි සැබෑ කර ගත්තා. ඔව් අපි දැන් ජ‘පුර අහස යටට ඇවිත් ඔන්න අවුරුද්දකට කිට්ටු වෙන්නත් ළඟයි. එහෙම ආපු අපේ ඊළඟ හීනය වෙලා තිබුණේ නුවර අහස යට හන්තාන ගමන. ඉතින් ඒ හීනයත් හරි ඉක්මනට ඔන්න පහුගිය සතියේ දවසක සැබෑවක් වුණා. ඇත්තටම ඒක තවත් හීනයක් නොවී සැබෑවක් කළේ අපේ ජ‘පුරේ කැම්පස් එකේ ආදරණීය අයියලා අක්කලා. අපි එදා හන්තානේ ගිහින් ආපහු ජ‘පුරට එනකල්ම එයාලා අපිව අම්මලා තාත්තලා වගේ පරිස්සම් කළා. ඉතින් ඒ හින්දම අපේ හන්තාන ගමනේ හැම කතාවක්ම “මව්රට” පත්තරේ “හොලිඬේ” පිටු අස්සට අද මෙහෙම ආදරණීය විදිහට එකතු කරන්න හිතුවා.
හන්තානෙට පායන සඳ
ලස්සනයිද කියන්න….
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න….
අපේ අමරසිරි පීරිස් මහත්තයා ආදරණීය විදිහට ගායනා කරන ඔය ලස්සන ගීතය හින්දමද මන්දා අපිට හන්තානේ යන්න තිබුණේ ලොකු උනන්දුවක්. ඉතින් ඒ ආදරණීය දවස ඔන්න හරි ඉක්මනට ආවා. අපිට අපේ කැම්පස් එකට එන්න කියලා තිබුණේ රෑ දහයට. ඒක හින්දම අපි හරියට ඒ වෙලාවට කැම්පස් එකට ගියා. එතැනදිත් ජ’පුරේ අයියලා අක්කලා අපිට හන්තානේ ගමන ගැන හුඟාක් දේවල් කිව්වා. කොහොමින් හරි පාන්දර එකට විතර ඔන්න ජ’පුරේ අහස යටින් අපේ ගමන පිටත් වුණා. හන්තානේ යන්න දිග ලස්සන බස් දොළහක් ඇවිත් තිබුණා. ළමයි විතරක්ම හත්සීයකට කිට්ටු වෙන්න හිටියා. අනේ දෙයක් කියන්න අමතක වුණා. පිටත් වෙන්න කලින් අපි ගියේ බස් එකේ ඉඳන්ම සීනි සම්බෝල එක්ක පාන් කාලා. තව රසම රස උණු බෙලිමල් එකකුත් බිව්වා. ඒ විතරක් නෙවෙයි ගමන නොයන ජ’පුරේ අයියලා අක්කලා ඒ බස්වලට ඇවිත් අපට පරිස්සමින් ගමන යන්න කියලත් කිව්වා. ඉතින් සින්දුත් කිය කියා අපි කෙළින්ම ගිහින් එදා නතරවුණේ අපේ සහෝදර පේරාදෙණිය කැම්පස් එකේ. ඇත්තටම ඒ අයත් අපිට මේ ගමනට හුඟාක් උදව් කළා.

පේරාදෙණියේ ඒ කැම්පස් එකේ ඉඳන් උදේ හයට විතර අපි හන්තාන පාමුලට අපේ බස්වලම ගියා. ඒ ගිහින් බස් එකෙන් බැහැලා අපි හන්තානේ නඟින්න පටන් ගත්තේ උදේ හතට විතර. ඒත් ඊට කලින් ජ’පුරේ අයියලා අක්කලා අපිට එක නිල් සබන් කැටය ගානේ දුන්නා කකුල්වල ගා ගන්න. මොකද අර මිනින්දෝරු මහත්තුරු නැත්නම් කූඩැල්ලෝ හන්තාන ගමනේදී අනිවාර්යයෙන්ම අපිට බාධාවක් වෙයි කියලා එයාලා ඒ නිල් සබන් දීලා කිව්වා. ඉතින් නිල් සබන් ගාගෙන අපි ඔන්න කන්ද නඟින්න පටන් ගත්තා. ඔන්න ඒ ගමනේ විශේෂ කමිටු පහක් තිබුණා. ඒ පහ විස්තර කළොත් එකක් වෙන්නේ “දොස්තර හිත හොඳ” කමිටුව. එයාලා කළේ ඔය ප්‍රථමාධාර වැඩ. ඊළඟ කමිටුව “සතපයිසේ” කමිටුව. එයාලා හැප්පුණේ මුදල් එක්ක. ඊළඟට “පයින් යමු” කමිටුව තිබුණා. ඒකේ තමයි හන්තාන ගමනෙදි නඬේ ගුරාලා ටික හිටියේ. තව “ග්‍රැහැම් බෙල්” කමිටුව කියලත් එකක් තිබුණා. එයාලා ෆෝන් අතේ තියාගෙන විනාඩියෙන් විනාඩියට සන්නිවේදන වැඩයි කළේ. ඊට පස්සේ අන්තිම එක තමයි “කුස පුරවන්නෝ” කමිටුව. එයාලා තමයි අපේ බඩ පිරෙව්වේ. ඉතින් ඔය විදිහට සංවිධානය වෙලයි අපි හන්තාන ගමන ගියේ. ඔන්න ඒකත් මෙහෙම කිව්වා.
අපි හන්තානේ නැග්ග විදිහ ගැන කිව්වොත් නම් ඔන්න කියන්න හුඟාරියක් දේවල් තියෙනවා. මුලින්ම යන්න පාරක් තිබුණට පස්සේ පස්සේ අපිට යන්න කිසි පාරක් තිබුණේ නෑ. ඇත්තටම කිව්වොත් අපි එදා ගියේ අපට පාරකුත් හදාගෙන. එහෙම ගිය ගමනේ අපි ගස් ගල් උඩින් පැන පැන රිංග රිංග ඔන්න ගියා. සමහර තැන්වල තිබුණේ ඉළුක් වගේම මාන පඳුරු. අම්මෝ ඒවට අත් එහෙමත් සීරුණා. ඒ අස්සේ කියපු විදිහටම ඔන්න කූඩැලි ප්‍රහාරත් ආවා. ඇත්තම කිව්වොත් අපේ යාළුවෝ කීපදෙනෙක්ට උඩදි අමාරුත් වුණා. පස්සේ ඒ අය පහළට එක්ක ඇවිත් හොස්පිටල් එක්කන් ගියා. ඒ හැමදේම කළේ අපේ සහෝදර අයියලා අක්කලා. ඔය අස්සේ බඹරුන්ගේ ප්‍රශ්නත් අපිට ආවා. ඒ වෙලාවේ සද්ද නැතුව එතැනින් මාරුවෙලා යන්න කියලයි අපිට උපදෙස් ලැබුණේ. සමහර තැන්වල අපි පොඩියට විවේකයක් දෙකක් ගත්තා. ඔය අතරේ පොඩි බඩගිනි නිවාගන්න අපි බිස්කටුත් කෑවා. හැබැයි බිස්කට් කාලා හිස් පැකට් නම් අපි තැන තැන දැම්මේ නෑ. අපි කළේ ඒ සේරම අපේ බෑග් අස්සටම දාගත්තු එක. ඉතින් එහෙම අත්දැකීම් ගොඩාක් එක්ක ඔන්න අපේ අය හන්තානේ මුදුනට ආවා.

එදා අපි හන්තානේ මුදුනටම යද්දි වෙලාව හවස තුන විතර වෙලා. එහෙම බැලුවම පැය අටක් විතරම අපි පයින් ඇවිදන් ඇවිදන් ඇවිත්. දැන් අපිට හොඳටම මහන්සියි. ඉතින් අපි හන්තාන මුදුනේ පැයක් විතරම වාඩිවෙලා හිටියා. එහෙම ඉන්න ගමන් අපි දවල් කෑම එකත් උඩදි ගත්තා. දවල් කෑම විදිහට අපි එදා කෑවේ බත්. පස්සේ අපි අපේ ජාතික පිස්සුවක් වෙන සෙල්ෆි එහෙමත් ගහන ගමන් ඔන්න “ඇවිද්ද පය දහස් වටී” කියාගෙන පල්ලම් බහින්න පටන් ගත්තා. ඒ බැහැපු බැහිල්ලට අපි බැහැලා ඉවරවුණේ හරියටම රෑ අටට විතර. හැබැයි අපිට එදා බහින්න නම් නඟින්න තරම් වෙලාවක් ගියේ නෑ. මොකද ඉතින් දිගටම තියෙන්නේ පල්ලමනේ. උදේම තිබුණු මීදුම හවස් වෙද්දි තිබුණේ නෑ. ඒ වගේමයි මහා ලොකුවට ඉර පායලා තිබුණෙත් නෑ. ඔය අතරේ අපේ යාළුවෙක් මගේ කනට මුමුනලා අර අමරදේව මාස්ටර් එක්ක උමාරියා අක්කියා කියන “හන්තාන සිහිනේ” සින්දුව මතක් කළා. ඊට පස්සේ එදා මමයි යාළුවයි දෙන්නම ඒ සින්දුව හෙමින් මුමුනන්න වුණා. ඒ සින්දුවත් ඉතින් ආදරණීයයි.
බලා වැලපෙමි නෙළාගනු බැරි
හන්තාන සිහිනේ….
දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ළඳුනේ….
සංසාර සිහිනේ….
ආදරණීය හන්තාන ගමන ඉවර කරලා අපි ආයේ කෙළින්ම ආවේ අපේ සහෝදර පේරාදෙණිය කැම්පස් එකට. එහෙම ඇවිත් එයාලගේ ඉසව්වේ අපි ආයෙත් ආගන්තුකයෝ විදිහට විවේක ගත්තා. එයාලත් අපිට ආගන්තුක සත්කාර හොඳින්ම කළා. ඔන්න තේ පැන් සංග්‍රහයකුත් දුන්නා. ඒ වගේම අතේ පයේ කැක්කුම් යවාගන්න කියලා සිද්ධාලේප එහෙමත් ගෑවා. අනේ ඉතින් පේරේ කැම්පස් අයියලාට අක්කලාට හුඟාක් ස්තූතියි. පස්සේ අපි රෑ දොළහට විතර පේරාදෙණියේ කැම්පස් එකට සමුදුන්නා. හැබැයි ඒ වෙලාවේ නම් ඇහැට කඳුළකුත් ඉනුවා. එහෙම නෑ කීවොත් ඒකත් බොරුවක්. ඊළඟට අපි ලංකාවේ ආදරණීය දිගම නගරය වෙන කෑගල්ලේ පැයක් විතර නැවතුණා. පස්සේ ආයෙත් ගමන පටන් ගත්තා. ඒ එන ගමන් අපි ඔන්න සෑහෙන්න විනෝද වුණා. සමහරු සින්දු කිව්වා. තව අය නැටුවා. තවත් අය හූ කිව්වා. අම්මෝ එදා බස් දොළහම එකයි. ඉතින් ඔය හැමදෙයක්ම අස්සෙන් අපි පාන්දර තුනට විතර ආපහු ජපුර අහස යටට ආවා.
පාන්දර තුනට විතර ජපුර කැම්පස් එකට ආයෙත් ආපු අපි බස් එකෙන් බහිද්දී ජපුරේ අයියලා අක්කලා හුඟාක් ආදරෙන් අපිව පිළිගත්තා. සත්තකින්ම එදා ඒ පිළිගැනීමට අපිට ඇඬුණා. ඇත්තටම ජපුරේ අයියලා අක්කලා අත්පුඩි ගහලයි අපිව එදා පිළිගත්තේ. පස්සේ අපෙන් ගිය ගමන ගැන අහලා “සරසවි බත” කියලා රසම රස කෑම වේලක් දුන්නා. ඒ එක්කම කිරි කෝපි එකකුත් උණු උණුවෙම බොන්න දුන්නා. ඊළඟට එයාලා ලොකූ ගිනි මැලයක් ගහලා ජපුරේ අහස යට ඒ වෙලාවේ තිබුණු සීතල පන්නලා දැම්මා. එදා එහෙම කළේ අපිට තිබුණු ආදරේට වෙන්න ඇති. එහෙම කරපු එයාලා ගිනි ගොඩ වටේ සින්දු කිය කියා නැටුවා. ඉතින් හන්තාන කන්ද නැඟලා කොච්චර නම් මහන්සියෙන් හිටියත් අපිත් එදා එයාලා එක්ක සින්දු කිය කියා නටලා විනෝද වුණා. පැයකට විතර පස්සේ අපි ආයෙත් අපේ නවාතැන්වලට නිදාගන්න ගියා. ඔන්න අපිට තියෙන ආදරේ වෙනුවෙන් ඒ හැමදේම කරපු ජපුරේ අයියලා අක්කලාට හුඟාක් ස්තූතියි වගේම ගොඩාක් ආදරෙයි කියලත් කියනවා. ඉතින් ජපුරේ කෝඩුකාරයන් වෙන අපේ හන්තානේ ගමන ඔහොමයි. ඇත්තටම කීවොත් හන්තානේ ගමන අදටත් හරිම ආදරණීයයි.
කවීෂා විහාරි සෙනවිරත්න











