කාලෙකින් වැස්ස නැති හින්දා මුළු පරිසරයම හරිම වියළියි- අව්වෙන් ගිනියම් වුණු වටපිටාවට තරමක් හරි සිසිල දෙන නිකවැවේ වතුරත් හොඳටම අඩුවෙලා- පාරට වම් පැත්තෙන් තියෙන වෙල් යායත් පුරන් වෙලා තියෙන්නෙ වතුර නැති හින්දා- මේ වෙල් යාය කෙළවරේ පෙනෙන්නෙ මුදුන් පහක් සහිතව දිගින් දිගට විහිදෙන කඳු වැටියක්- හරියටම පර්වත බිත්තියේ එල්ලපු ගිනිපෙට්ටි වගේ කුඩාවට කන්ද මැද ගොඩනැඟිලි දෙකක් පෙනෙනවා- නිකවැව ශ්‍රී නාගල රජමහා විහාරයට අයිති ලෙන් විහාර දෙක තමයි ඒ විදියට දකින්න ලැබෙන්නෙ- හරිම අපූරු පිහිටීමක්-
කුරුණෑගලින් දඹුල්ල පාරෙ ඇවිත් ඉබ්බාගමුවෙන් හැරිලා ගල්ටැංවැව හන්දිය, පොල්පිතිගම, මඩගල්ල හරහා අපි දැන් ඇවිත් ඉන්නෙ නිකවැවට- නිකවැව කන්ද පාමුල තමයි ශ්‍රී නාගල රජමහා විහාරය පිහිටා තියෙන්නෙ- මඩගල්ල පහුකරගෙන මොරගොල්ලාගමට යන පාරෙ ඉඳලා විහාරයට තියෙන්නෙ මීටර් 200ක විතර දුරක්- මහව පැත්තෙන් එන කෙනකුට මඩගල්ලට ඇවිල්ලත් නිකවැවට එන්න පුළුවන්-
විහාර භූමියට ඇතුළුවෙද්දිම අපට දකින්න ලැබුණෙ ගඩොලින් බැඳපු දාගැබ- ඒ පසුබිමෙන්
පෙනෙන්නෙ ලෙන් විහාර පිහිටා තියෙන නිකවැව කඳුවැටිය- හරිම දැකුම්කලු දර්ශනයක්- ඕනෑම කෙනකුගේ නෙත් සිත් වශී කරන්නට සමත් වෙනවා- කන්ද පාමුල තමයි විහාරාංග බොහොමයක්ම පිහිටා තියෙන්නෙ- දාගැබට අමතරව සංඝාවාසය, බෝධීන් වහන්සේ, මහනුවර යුගයේ ලක්ෂණ සහිත විහාර මන්දිරය ඒ අතරින් ප්‍රධානයි- ඒ වගේම නටබුන් වුණු ගල් කණු, ශෛලමය මල් ආසන, සිරිපතුල් ගල්, පුරාණ අක්ෂර සහිත ගල් කණු වගේ නටබුන් බොහොමයක් විහාර භූමිය පුරාම දැකගන්න පුළුවන්-
අපි නාගල පන්සලට ආවෙ පෝය දවසක- විහාරාධිපති හාමුදුරුවො බණකට වැඩම කරල හින්දා පන්සල ගැන තොරතුරු දැනගන්න කෙනෙක් මුණගැහුණේ නෑ- තරමක් හරි තොරතුරු පොතපතින් තමයි අපි හොයාගත්තෙ- නාගල විහාර භූමියේ සම්පූර්ණ පුරාවිද්‍යා කැණීමක් කරලා නැති හින්දා තවත් ගොඩක් නටබුන් පසට යටවෙලා තියෙන බව තමයි විශ්වාස කරන්නෙ- කාලයක් වල් බිහිවෙලා තිබුණු දාගැබ මෑතදී ප්‍රතිසංස්කරණය කරල තියෙනවා- මේ දාගැබ කැණීම්වලදී පුරාවස්තු බොහොමයක් හමුවුණු බවත් දැනගන්න ලැබුණා- ඒ වගේම හමුවෙලා තියෙන සෙල්ලිපිවලින් අනාවරණ කරගෙන තියෙනවා නොයෙක් කාලවලදී නාගල විහාරයට කරපු පූජාවන් ඇතුළු තවත් තොරතුරු-
නාගල විහාරයේ ආරම්භය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලෙදි සිදුවුණා කියලයි කියන්නෙ- ඒ වගේම දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පුත්‍රයා වුණු සාලිය කුමාරයා පස්සෙ කාලෙ විහාරයේ ඉදිකිරීම් බොහොමයකටම මුල්වෙලා තියෙන බව සඳහන් වෙනවා- ජනප්‍රවාදගත තොරතුරු වගේම සෙල්ලිපි තොරතුරු, ඉදිකිරීම්වලට යොදාගෙන තියෙන ගඩොල්වල ස්වභාවයන්, අවට ප්‍රදේශවල පුරාණ විහාරවලින් සොයාගත්තු තොරතුරු මත තමයි මේ ඉතිහාස තොරතුරු අනාවරණ කරගෙන තියෙන්නෙ- දාගැබට කිට්ටුවෙන්ම තියෙන විහාර මන්දිරයේ දකින්න ලැබෙන චිත්‍ර වගේම ප්‍රතිමා මහනුවර යුගයේ කලා සම්ප්‍රදායයි පෙන්නුම් කරන්නෙ-
පහළ විහාරය දැකගෙන අපි පිටත් වුණේ කඳු බෑවුමේ තියෙන ලෙන් විහාර බලන්න- පියගැටපෙළ වැටිල තියෙන්නෙ වීර, ඇහැටු, කෝන්, පලු, දඹ වගේ ගස්වලින් පිරුණු වන තීරයක් මැදින්- කඳු බෑවුමේ ගස්වැල් අතරෙ ලොකු කුඩා ගල් කුලු රාශියක් දැකගන්න ලැබෙනවා- කන්ද පහළදී දැනුණු අව් රශ්මිය නැති හින්දා ගහකොළ මැදින් ගමන් කරද්දී දැනෙන්නෙ හරිම සිසිල් බවක්- කන්දක් නඟින බවක්වත් දැනෙන්නෙ නැහැ- රැහැයියන්ගේ කෑගැහිල්ල කැලෑව පුරාම දෝංකාර දෙනවා- මහා වනාන්තරයකට ඇතුළු වුණා වගෙයි දැනෙන්නෙ- මෙහෙම කන්ද නැඟගෙන යද්දී මුණගැහෙනවා පාර දෙපැත්තට බෙදෙන තැනක්- දකුණු පැත්තටයි ප්‍රධාන ලෙන් විහාරයට යන්න තියෙන්නෙ- ඉදිරියට යද්දී දැකගන්න ලැබෙනවා පර්වත බෑවුමේ පිහිටලා තියෙන තවත් කුඩා ලෙන් දෙකක්- කාලෙකට ඉස්සර මේ තැන්වලත් ඉදිකිරීම් තිබුණු බවට සලකුණු තියෙනවා- කන්දේ බෑවුම හරහා ටික දුරක් ගිහිල්ලා පර්වතයේම කොටලා තියෙන පියගැට පෙළ නැඟගෙන තනි කෙළින් ඉහළට යන්න වෙන්නෙ- එක පැත්තකින් තියෙන්නෙ මහා ප්‍රපාතය- ආධාරක වැටක් හදලා තිබුණත් ප්‍රවේශමෙන් යායුතු ගමනක්-
ඉදිරි පැත්තෙන් ලෙන් විහාරයට ඇතුළු වෙන්න බැහැ- ගොඩනැඟිල්ලේ දකුණු පැත්තෙන් තමයි ඇතුළුවෙන දොරටුව තියෙන්නෙ- ඉදිරිපස බිත්තිය ළඟ ඉඳන්ම තියෙන්නෙ එක එල්ලේ බෑවුම- මේ හින්දම විහාර මන්දිරය පර්වත බිත්තියේ එල්ලිලා තියෙනවා වාගෙ තමයි පහළ ඉඳන් බලන කෙනෙකුට පෙනෙන්නෙ-
දොරටුව ඉස්සරහින්ම තියෙනවා නෙලුම් කැටයම කොටපු පරණ ගල් කණුවක්- විහාර මන්දිරය කොටස් තුනකින් යුක්තයි- ප්‍රධාන විහාර මන්දිරයට ඇතුළුවෙන තැනම කොරවක් ගල් දෙකකුත් සඳකඩපහණකුත් දැකගන්න පුළුවන්- සාමාන්‍යයෙන් මේවා දකින්න තියෙන්නෙ පිටත ප්‍රධාන දොරටුවක් ළඟනෙ- ඇතුළෙ දොරටුවක් ළඟ ඒවා දකින්න ලැබීමෙන් පෙනෙන්නෙ විහාර මන්දිරයට පිටතින් කොටසක් එකතු කරලා පස්සෙ කාලෙ විශාල කරලා තියෙන බවක්- මෙතැනම තියෙනවා කැඩී ගිය සෙල් පිළිමයක්. විහාරයේ කොටස් තුනෙන් එකක් දේවාලයක්- අනෙක්වා බිතු සිතුවම් වගේම ප්‍රතිමාවන්ගෙන් පිරුණු විහාර මන්දිර-
විහාරෙන් පහළට බැහැලා අපි ආයෙත් පිටත් වුණේ පර්වත බෑවුමේ තියෙන අනෙක් ලෙන බලන්න- බහිද්දිම කන්ද මුදුනේ ඒ ලෙන අපට දැකගන්න ලැබුණා- මුලින් කිව්වනේ කන්ද නැඟගෙන එද්දි පාර දෙපැත්තට බෙදෙන තැනක් මුණගැහුණා කියලා- එතැනින් වම් පැත්තට පඩිපෙළ නැඟගෙන තමයි ඒ ලෙනට යන්නෙ- ගස් ගොම්මනක් මැදින් එක එල්ලේම කන්ද නඟින්න ඕනෙ-
මේ ලෙනට ඇතුළු වෙනවත් එක්කම දකින්න ලැබෙන්නෙ විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්- දැනගත්තු විදියට නම් මේ ප්‍රතිමාව අඩි 42ක් විතර දිගයි- ඒ වගේම මුල් කාලෙදි ගඩොලින් බැඳලා හුණු බදාමයෙනුයි වැඩ අවසන් කරල තියෙන්නෙ- පස්සෙ කාලෙක කරපු අලුත්වැඩියා කටයුතුවලදී වර්ණ ආලේප කරලා- හැබැයි අර මුල් කාලෙ තිබුණු විදිය බලාගන්න එක කුඩා කොටසක් විතරක් වර්ණ ගන්වන්නෙ නැතුව ඉතිරි කරල තියෙනවා- ඒ කාලෙ මේ පිළිමයත් පිදුරංගල විහාරෙ පිළිමය වගේම තියෙන්න ඇති කියල හිතන්න පුළුවන්-
ලෙන් බිත්තියෙ මුල් කාලෙදි චිත්‍ර ඇඳලා තිබුණු බව ඉතිරි වෙලා තියෙන බදාම තට්ටුවලින් පෙනෙනවා- අපැහැදිලි තත්ත්වයෙන් තියෙන හින්දා ඇඳලා තිබුණේ මොනවද කියල නම් හොයාගන්න අමාරුයි- මේ චිත්‍ර මහනුවර සම්ප්‍රදායටත් වඩා ඈතට දිවෙන බව තමයි විශ්වාස කෙරෙන්නෙ- පරණ ගඩොල් බැමිවල කොටස් තවමත් ලෙනේ ඉතිරිවෙලා තියෙනවා-
ලෙනේ අපූරු පිහිටීම වගේම ලෙන් බිත්තියේත් මුදුනේත් මතුවෙලා තියෙන නොයෙක් රටාවන් ගැනත් කියන්නම ඕනෑ- ඇත්තටම අවුරුදු දහස් ගණනක් තිස්සේ අව්වෙන් වැස්සෙන්, සුළංවල බලපෑමෙන් සිද්ධ වුණු ඛාදනයේ ප්‍රතිඵල තමයි මේ- ලෙන මුදුනේ සිදුරු තියෙන තැන්වල දෙබර වද බැඳලා තියෙනවා- වද කිහිපයකම දෙබරුන් පිරිලා- නිතරම ලෙනේ දෙබර වද තියෙන හින්දා යන හැම කෙනෙක්ම ප්‍රවේශම් වෙන එක හොඳයි- ඒ වගේම ලෙනේ ඉඳන් බලද්දී ගල් පර්වත බෑවුමේ ඇති විවර සහිත තැන් ගහකොළවලින් වැහිලා තියෙන විදියත් දැකගන්න පුළුවන්- ඉදිරියෙන් එක එල්ලේ බෑවුම නිසා ආරක්ෂාවට කුඩා තාප්පයකුත් බැඳලයි තියෙන්නෙ-
ගල් ලෙනේ ඉඳන් ඈතින් ඈතට පෙනෙන දර්ශනයේ සුන්දරත්වයත් නොකියාම බැහැ- කඳු, වන තීරයන්, වැව් හා කෙත් යායන් තමයි වටේටම පෙනෙන්නෙ- නිස්කලංක වටපිටාව, කඳු බෑවුමේ වනාන්තරය පුරා ඉන්න සතුන්ගේ නාදයන් එක්ක ඒකාත්මිකව කාලය ගතකරන්න පුළුවන් සුන්දර තැනක්- ඒ වගේම අපව ඈත ඉතිහාසයට ගෙනයන අපූරු පුදබිමක් තමයි නිකවැව ශ්‍රී නාගල රජමහා විහාරය- ආපසු එන අපට දැනුණෙ ඒ වගේ හැඟීමක්-
මහේෂ් ඉන්දික විජේතිලක