මේ කාලේ ගොඩක් අය සංචාරය කරන්නේ කඳු බලන්න, දිය ඇලි බලන්න. එහෙම නැත්නම් කෑම්පින් කරන්න, රේල් හයික් යන්න වගේ එකම රැල්ලකට. ඉතින් සම්ප්‍රදායෙන් චුට්ටක් මිදිලා වෙනස් ආකාරයක සංචාරයක් කරන්නයි මෙවර අපේ අදහස වුණේ. පළාත් තුනක් හරහා දින දෙකක් පුරාවට ප්‍රධාන වැව් මෙන්ම ලංකාවේ වාරි කර්මාන්තය තුළ සැඟවුණු වැව් කීපයක් සොයා යෑම තමයි අපේ මූලික අදහස වුණේ.
අපේ සංචාරය ආරම්භ කරමින් මුලින්ම පිවිසුණේ වයඹ පළාතට. වයඹ පළාත තුළ පිහිටා ඇති වැව්වලින් ප්‍රධාන තැනක් ගන්න වැවක් තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුවේ පිහිටි බතලගොඩ වැව. කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඉඳන් කිලෝමීටර් පහකටත් අඩු දුරක් ප්‍රධාන මාර්ගයේ සිට ඇතුළට ගියාම මේ වැව වෙත ළඟා වෙන්න පුළුවන්.
මෙම වැව මුලින්ම ඉදිකරන ලද්දේ පළමුවැනි පැරකුම් රජුගේ අමාත්‍යවරයකු වූ බදලත්ථලි විසින් බවට මතයක් ඇත. එම අමාත්‍යවරයා විසින් දැදුරු ඔය හරස් කර අමුණක් බැඳ වේල්ලක් ඔස්සේ ලබාගත් ජලයෙන් වැව පිරවූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව පසුකාලයේදී මෙම වැව “බදලත්ථලවාපි” වශයෙන්ද මෙම ප්‍රදේශය “බදලත්ථලි” වශයෙන්ද හැඳින්වූ බවට මතයක් ඇත. උදෑසන කාලයේ පතිත වන හිරු රැස් සමඟ බතලගොඩ වැව ආශ්‍රිත කලාපය මනරම් දර්ශන තලයක් මවාපායි. ඒ සුන්දරත්වය සැබවින්ම විඳ ගැනීමට නම් උදෑසන හෝ සවස් කාලයක එහි යා යුතුයි.

බතලගොඩ වැවෙන් පසු ඊළඟ සන්ධිස්ථානය වූයේ කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඇති ගලේවෙල නගරයෙන් හැරී කලාවැව මාර්ගයේ ගොස් හමුවන දේවහුව වැවයි. මාතලේ දිස්ත්‍රික්කයටත් අනුරාධපුර දිස්ත්‍රික්කයටත් මායිම්ව මාතලේ දිස්ත්‍රික් පරිපාලන කලාපයට යටත්ව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් දේවහුව වැව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ. නමුත් පසුගිය දිනවල ඇතිවූ දැඩි නියං තත්ත්වය නිසාත් දේවහුව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසාත් එහි ජල මට්ටම ඉතාම පහළ මට්ටමක පැවතුණි.
මීළඟට අපේ සංචාරයේ සන්ධිස්ථානය වූයේ දඹුල්ල නගරයයි. දඹුල්ල නගරයට පිවිසෙනවාත් සමඟම හමුවන ප්‍රධාන ජලාශය තමයි දඹුල්ල කුරුණෑගල මාර්ගයේ සිට මඳ දුරක් ගිය තැන හමුවන ඉබ්බන්කටුව ජලාශය. ඉබ්බන්කටුව ජලාශය යනු මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ගොවියන්ට ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාදෙන වටිනාම සම්පතක් ලෙස සැලකිය හැක. ඉතා මනරම් පරිසරයක පිහිටා ඇති මෙය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයටද පෙනෙන මානයේ පිහිටා තිබීම හේතුවෙන් ඒ සුන්දරත්වය තවත් වැඩි කරයි. මීළඟට අපේ සංචාරයේ තවත් ස්ථානයක් ලෙස අප ළඟාවූයේ දඹුල්ල රජමහා විහාරය ආසන්නයේ ඇති පන්සලේ වැව නමින් හඳුන්වන කුඩා වැවටයි. එය එතරම් ප්‍රසිද්ධ වැවක් නොවූවත් දඹුල්ල විහාරයට මායිම්ව පිහිටා තිබීම නිසා එහි සුන්දරත්වයෙහි නම් අඩුවක් දක්නට නොලැබිණි.
මධ්‍යම පළාතේ ඇති වැව් අතරින් ප්‍රධාන තැනක් ගන්නා සුප්‍රසිද්ධ වැවක් තමයි කණ්ඩලම වැව. අපේ සංචාරයේ මීළඟ සංධිස්ථානය වුණේ කණ්ඩලම වැව. උස මීටර 21ක්, (අඩි 69) හා පළල මීටර 1600 (අඩි 5200)ක් පමණ වන වේල්ලකින් සමන්විත කණ්ඩලම වැව එක්රැස් කර ගන්නා ජලය, කලාපයෙහි ජල සම්පාදන කටයුතු වෙනුවෙන් භාවිත කරනු ලැබෙයි. ජලාශයෙහි උපරිම දිග කිලෝ මීටර 4.8ක් සහ උපරිම පළල කිලෝ මීටර 2.3ක් පමණ වන අතර, වර්ග කිලෝමීටර 102ක පමණ ප්‍රදේශයක එය පැතිර පවතියි. ජලාශයෙහි සමස්ත ජල ධාරිතාවය ඝන මීටර් 33,300,000ක් පමණ වෙයි. ජලාශය අවට වූ සුන්දර වටපිටාව හා වසර පුරාම ජලය රැඳී තිබීම හේතුවෙන්, කණ්ඩලම ජලාශය වත්මන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංචාරක කලාපයක් ලෙස නම්දරා ඇත.

සීගිරිය සහ පිදුරංගලට මඳ දුරක් එපිටින් සීගිරිය සහ පිදුරංගල පෙනෙන මානයේ පිහිටා ඇති කුඩා වැවක් වන සුන්දර තල්කොටේ වැව තමයි මීළඟට අපේ සංචාරයේ නැවතුම වුණේ. එක් පසෙකින් සීගිරියත් පිදුරංගලත් පෙනෙන සේ සුන්දර හුදෙකලා නිස්කලංක ගැමි පරිසරයක පිහිටා ඇති තල්කොටේ වැව පරිසරයේ සුන්දරත්වය සියැසින් විඳ ගැනීමට යා යුතු සුන්දරම ස්ථානයකි. අප සංචාරයේ මීළඟ නවාතැන වුණේ වැව් බැඳි රාජ්‍ය ලෙස සැලකෙන උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පිහිටි වැව් කිහිපයක්. ඒ යන අතරමඟදී හමුවන ශ්‍රී ලංකාවේ වාරිකර්මාන්තය තුළ ප්‍රධානතම වැවක් ලෙස සැලකෙන කලා වැව සඳහන් කළ හැක. කලා වැව සහ බළලු වැව එකට බැඳී පවතින අතර කලා-බළලු වැව් යුග්මයේ ප්‍රධාන වැව කලා වැව වන අතර තිසා වැවට ජලය ගෙනයනු ලබන සැතපුම් 54 (86.9 කි.මී.) පමණ දිගු පුරාණ ඇළ මාර්ගයක් වූ ජය ගඟ නැතහොත් යෝධ ඇළ මාර්ගය ආරම්භවන්නේද මෙම කලා වැවෙන්ය. ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමාවක් වූ අවුකන බුදු පිළිමයද කලා වැවට ආසන්නයේ පිහිටා තිබීම විශේෂත්වයකි.
පළාත් තුනක් ඔස්සේ පැමිණි අපේ සංචාරයේ අවසන් අදියර වූයේ අනුරාධපුර නගරයයි. අනුරාධපුර නගර සීමාවේ ඇති නුවර වැව, බසවක්කුලම වැව, කූඹිච්චන්කුලම වැව, තිසා වැව සහ තඹුත්තේගම සහ තලාව ප්‍රදේශවල ඇති තම්මැන්නා වැව සහ නාවක්කුලම වැව යන කුඩා වැව් ආශ්‍රිතව සංචාරය කිරීමෙන් පළාත් තුනක් ඔස්සේ දින දෙකක් පුරාවට වැව් 15කට ආසන්න ප්‍රමාණයක් සොයා ගිය ගමනේ අවසානය සනිටුහන් වන්නේ වෙනස්ම ආකාරයක සංචාරක අත්දැකීම්ක් ලබාගැනීමට අවස්ථාව උදා කරමිනුයි.
ශශින් විජේතුංග











