මීට සතියකට විතර කලින් ඉදල්ගස්හින්නෙ ගයිඞ් කෙනෙක් කන්දෙන් පල්ලෙහාට වැටුණු කතාව හැමෝම දන්නවා ඇති. මේ සිද්ධියත් එක්කම ඉදල්ගස්හින්න කෑම්පින් කරන්න තහනම් කියලා ලොකු කතාවක් ගියා. ඉතිං ගිය 07 වැනිදා අපි ඉදල්ගස්හින්නෙන් හල්දුම්මුල්ලට යන ගමන අතරමඟදි අපි බැලුවා මේ කතාවේ ඇත්ත නැත්ත හොයාගන්න. අපි ගමනෙදි එකතු කරගත්ත විස්තර එයාලගෙ වචන එක්ක මේ ලිපියෙන් කියන්නම්.
ක්ෂනිකව වෙනස් වන කාලගුණය හින්දයි, වටපිටාවෙ තියෙන අලංකාරය හින්දයි, ලොකු අමාරුවක් නැති හයික් එකක් තියෙන ලස්සන විව් එකත් හින්දයි, ලංකාවෙ ලස්සනම දුම්රිය නැවතුම්පල විදියට කවුරුත් අඳුරන ඉදල්ගස්හින්න ලංකාවේ දේශීය සංචාරකයින් අතර ගොඩාක් ප්‍රසිද්ධ තැනක් වෙලා තියෙනවා.
ඉදල්ගස්හින්න පැත්තෙ ගොඩක් අය මේ අනතුර හින්දා ටිකක් කලබල වෙලා සහ කේන්තියෙන් ඉන්නේ. අපි නයිට්මේල් ගිහින් ඉදල්ගස්හින්න ස්ටේෂන් එකෙන් බැස්සම අපිට ස්ටේෂන් එකෙන් වුණත් හම්බ වුණේ එච්චර හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි. සංචාරකයෝ එනවට අකමැතිදෝ වගේ කතාවක් ඒ වචන වල තිබුණා.
ඊටපස්සෙ අපි පොඞ්ඩක් එළිය වැටෙනකන් ඉඳලා ගියා ඉදල්ගස්හින්න කන්ද නඟින්න. වෙනදා කොළ පාටට ලස්සනට තියෙන තණකොල ටිකයි රතු පාට මල් පිපුනු අසෝක මල් ගස් ටිකයි වෙනුවට අපිට දකින්න හම්බුනේ හරිම සංවේදී දර්ශනයක්. මුළු ඉදල්ගස්හින්න කන්දම (true peak එක නෙවෙයි. කෑම්පින් කරන තැන) ගිනි අරං. හැමෝම ඉදල්ගස්හින්න කෑම්ප් කළොත් ෆොටෝ එකක් ගහන අර කන්ද උඩ අසෝක මල් ගහත් ඒ ගින්නට අහුවෙලා පිච්චිලා. ගිනි තියලද, ගිනි අරන්ද කියලා හිතාගන්න බැරුව ඉඳිද්දී අපි වෙලාව ඉතුරු කරගන්න ඕනි නිසා ටක් ගාලා බහින්න පටන් ගත්තා.
බහිද්දි කවුරුත් දන්න ඉදල්ගස්හින්න ටෙන්ට් රෙන්ට් කරන ගෙදර ගාවදි ඒ ආච්චි හම්බ වුණා. එයයි එයාගෙ පුතයි එක්ක ටික වෙලාවක් කතා කරද්දි තමා අපිට මේ අනතුර ගැනයි ඉදල්ගස්හින්නෙ කෑම්පින් තහනම ගැනයි ලොකු විස්තරයක් දැනගන්න ලැබුණේ. එයාලා කියන්නෙ නම් මෙහෙම විස්තරයක්. “මේ කියන නුවර නඬේ එක්ක වැටුනායි කියන ගමේ දෙමළ මනුස්සයා ටිකක් රෑ වෙලා තමයි කට්ටියට පාර පෙන්නන්න කන්ද නැඟලා තියෙන්නේ. නැඟලා ඒ ආපු අයත් එක්කම බීලා එදා රෑ කන්දෙන් වැටිලා තියෙනවා. උදේ කට්ටිය නැගිටලා හොයද්දි මේ මනුස්සයා නැති නිසා කට්ටිය පල්ලෙහාට ඇවිත් ගමේ අයට කියලා බලද්දි කන්දෙන් පහල ගහක හිරවෙලා වැටිලා. අතක් ඇටෙන් වෙන් වෙලා. ඊටපස්සේ මේ සිද්ධිය නිසා ගමේ හුඟක්ම ඉන්න දෙමළ මිනිස්සු කලබල වෙලා. කෑම්පින් කරන්න දෙන්නෙ නැහැ කියලා තියෙනවා. මේ කෝපය හින්දම ගිය ඉරිදා (ජූනි 05) කන්ද නැග්ග පිරිසකට බහින්න බැරිවෙන්න කන්ද යටින් ගිනිතියලා තියෙනවා. මේකෙන් මුලු කන්දෙම ලස්සන විනාශ වෙලා. එහෙම්පිටින්ම. අපි යද්දිත් බදාදා ගින්දර තාම ඇවිලෙනවා”
නමුත් මේ අනතුර වුණාට පස්සෙ වනසංරක්ෂණ අධිකාරියෙන් මෙතැන බලන්න ඇවිත් තියෙනවා. ඒ අනුව ඉදල්ගස්හින්න කෑම්පින් වලට තහනම් නැති බවත් ඉදිරියේදි යම් වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් කියලා තියෙනවා. ඔයාලට ඉස්සරහට ඉදල්ගස්හින්න නඟිද්දි ටිකට් එහෙම අරං නගින්න වෙයි.
ඉතිං එයාලා කියපු කතාව අහගෙන අපි බැස්සා පල්ලෙහාට. ඇක්සිඩන්ට් එක නිසා එයාලගෙ රැකියාවට බඬේ පාර වැදිලා ඉන්නෙ කියලත් අපිට ඒ කතාවෙන් තේරුණා. ගමේ සාමාන්‍ය මිනිස්සු ඉදල්ගස්හින්න කෑම්පින් කරනවට යම් අකමැත්තක් තියෙන බවත් සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ යන අයත් එක්ක පොඩි අමනාපයක් තියෙන බවත් අපිට තේරුණා.
පල්ලෙහාට බැහැලා රාජා මාමගෙ කඩෙන් උදේට කද්දිත් අපි ඇහුවා ඔය අනතුර ගැන විස්තර. එයාලා කියන්නෙත් මිනිස්සු පොඩි අකමැත්තක් දක්වනවා මිසක් කෑම්පින් කිරීමට තහනමක් නැහැ කියලා. තව එකක්. ආයෙ අර වතුර ටැංකියට නම් නගින්නෙපා. පහුගිය ටිකේ සෙට් එකක් ඒක උඩත් නැගලා බීලා. ඒකෙනුත් ගමේ අය කේන්ති අරං ඉන්නේ. ගමටම වතුර බෙදන ටැංකිය උඩ බීලා බෝතල් ටිකත් පැත්තකින් තියලම ගිහිල්ලා.
ඉතිං අවසානයේ කියන්න තියෙන්නෙ ඉදල්ගස්හින්න කෑම්පින් සඳහා කිසිම තහනමක් නැහැ කියලා. ඉදිරියට විධිමත් වැඩපිළිවෙලක් එක්ක ඉදල්ගස්හින්න මාකට් වෙන්න ගනියි. හැබැයි සංචාරකයෝ යැයි කියාගන්නා උදවිය කරන වැඩ අනුව ඉදිරියේදී ඒක තහනම් වෙන්නත් බැරි නැහැ.
සචින්ත බණ්ඩාර