කාලෙන් කාලෙට විවිධ තේමාවන් පුංචි තිරයට ගෙන එන සොඳුරු අධ්‍යක්ෂවරයකු ලෙස අලුත්වීදියගේ රනිල් කුලසිංහ හඳුන්වන්නට පුළුවන්. මේ දිනවල විකාශය වන ‘හිද්දලයෝ’ සහ ‘ලවර්ස් ලිප්’ ටෙලිනාට්‍ය දෙකේම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඔහු සමග කෙටි කතාබහක නියැළෙන්න ‘හාට්’ අපි අදහස් කළා.Sri Lanka Latest News
මේ දවස්වල ඔබ පුංචි තිරයට ගෙනආ කැරැල්ල ගැන කතාකළොත්?
සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි මම ‘හිද්දලයෝ’ නිර්මාණය කරන්නේ. 1948 කැරැල්ල මූලික කරගත් සත්‍ය සිදුවීමක් මෙය. ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළොත් ඉතා හොඳ ප්‍රතිචාර ‘හිද්දලයෝ’ නිර්මාණයට ලැබෙනවා. වෙනස්ම කතා තේමාවක් නිසා මෙය ඉතා ආදරයෙන් ප්‍රේක්ෂක ජනතාව වැලඳගෙන තිබීම ගැන සතුටුයි.
ප්‍රවීණ ශිල්පීන් රැසක් ‘හිද්දලයෝ’ සඳහා දායක වී ඇති බව අපි දකිනවා?
අලුත් පරම්පරාවේ අධ්‍යක්ෂවරයකු විදියට මගේ නිර්මාණය තුළ මට ප්‍රවීණ ශිල්පීන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා. මම හිතනවා එය මට ලැබුණු වාසනාවක් කියලා. බුද්ධදාස විතානච්චි, ප්‍රියංකර රත්නායක, විශ්වජිත් ගුණසේකර, අවන්ති අපෝන්සු, ක්ලීටස් මෙන්ඩිස්, මොරීන් චාරුණී ඇතුළු ප්‍රවීණ ශිල්පීන් රැසක් චරිත නිරූපණය කරනවා. ඔවුන් චරිතය වෙනුවෙන් කරන කැපකිරීම, ඒ වෙනුවෙන් වෙන සූදානම ‘හිද්දලයෝ’ සාර්ථක කරගන්න විශාල ශක්තියක් වුණා.

‘හිද්දලයෝ’ වගේම ‘ලවර්ස් ලිප්’ ටෙලිනාට්‍යයත් ඔබේ නිර්මාණයක්?
‘ලවර්ස් ලිප්’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා. මෙය සිනමා පටයක මූඩ් එකට කරන වෙනම වයිබ් එකක වැඩක්. නුවරඑළියේ තමයි මෙහි රූගත කිරීම් සිදුවෙන්නේ. මෙය නරඹන ප්‍රේක්ෂකයන් මෙය සිනමාත්මක අත්දැකීම් නිර්මාණයක් කියලා කතා වෙනවා. මගේ නිර්මාණ දෙකේම නිෂ්පාදන කණ්ඩායම ලොකු කැපකිරීමක් කරනවා මේ නිර්මාණ දෙක වෙනුවෙන්.
ඔබ දක්ෂ රංගන ශිල්පියෙක්. අධ්‍යක්ෂණ කටයුතු නිසා ඔබේ රංගන දායකත්වය පසුබෑමකට ලක්වෙලාද?
මට ඒ ගැන කිසිම දුකක් නැහැ. මගේ තිබුණු ලොකුම හීනය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීමයි. මේ අධ්‍යක්ෂණ කටයුතු මම කරන්නේ ගොඩක් ආසාවෙන්. ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වෙන්න මට ආරාධනා ලැබුණා. ඒ දේවල් මගහැරී යෑම ගැන මගේ හිතේ කිසි දුකක් නැහැ. මගේ එකම හීනය දැන් සිනමා අධ්‍යක්ෂවරයකු වීමයි. ඒ වෙනුවෙන්ම තමයි මම මේ අත්දැකීම් ලබන්නේ. ලබන වසරේ මම ඒ වෙනුවෙන් මුල්ගල තියනවා.
මේ වනවිට ඒ වෙනුවෙන් සූදානම්ද?
ඔව්. දැනටමත් සිනමා නිර්මාණය වෙනුවෙන් මම කටයුතු සාකච්ඡා කරමින් ඉන්නේ. අපේ සිනමාව ලෝකයේ හොඳම තැනක තිබුණු කර්මාන්තයක්. වර්තමානයෙත් අපේ සිනමාව සුබවාදී ගමනක් යන බව මම දකිනවා. මේ ටෙලිනාට්‍ය වැඩකටයුතු අවසන් වුණාට පස්සේ මම ලබපු අත්දැකීම් එකතු කරගෙන හොඳ හුස්මක් අරගෙන හොඳම කාලයේදී මගේ කුලුඳුල් සිනමා නිර්මාණය වෙනුවෙන් උපරිම කැපවෙලා වැඩකටයුතු ආරම්භ කරනවා.
වසන්ත විතාරණගේ











