ඉන්දියන් සයුරේ, ප්‍රමාණාත්මකව භූගෝලීය වශයෙන් කුඩා, කඳුළු බිඳුවක හැඩයෙන් ශ්‍රී ලංකාව දූපතක් ලෙස ලෝක සිතියමේ දිස්වේ. එහෙත් අප රටේ දිවිගෙවන මිනිසුන්ගේ හදවත් ගැහෙනා රිද්මය, එකිනෙකට නොවෙනස් එකම ස්වරයකින් බව ලොවට රැගෙන එන්නේ විශිෂ්ට පණිවුඩයකි. එවගට සාක්ෂි මෙරට සංචාරය කළ හෝ මෙහි වෙසෙන ඕනෑම කෙනකුට, ස්වභාවික හෝ සමාජ ආපදාවකට ජාතියක් ලෙස දැක්වූ ප්‍රතිචාර නිරීක්ෂණය කළ විට පෙනීයයි. මේ කුඩා දිවයිනේ මිනිසුන්ගේ මනුෂ්‍යත්වයේ පියසටහන් එහි භෞතික පරිමාණයට වඩා බෙහෙවින් විශාලය.Sri Lanka Latest News
ලොව වෙනත් බොහෝ ජාතීන්ට වඩා, ශ්‍රී ලංකාවේ වඩාත්ම සුවිසල් වත්කම වන්නේ අප රටේ ස්වභාවික සුන්දරත්වය හෝ එහි පෞරාණික ශිෂ්ටාචාරය පමණක් නොවේ. සියල්ලටම වඩා ප්‍රබල ශක්තිය වන්නේ අප රටේ ජනතාවගේ හදවත් තුළ ගැඹුරින් තැන්පත්ව ඇති එකිනෙකාට පිහිටවීමේ මහා මනුෂ්‍යත්වයයි. සියවස් ගණනාවක බෞද්ධ සංස්කෘතික වටිනාකම් තුළ ශික්ෂණය ලැබූ ශ්‍රී ලාංකිකයන්ට දානය, ශීලය, කරුණාව සහ මෙත්තාව, ජීවන විලාසිතාවක් ලෙස උරුම වී ඇත.
ඕනෑම ව්‍යසන අවස්ථාවකදී මෙම විශිෂ්ට ගුණය සමාජ බලයක් ලෙස සංවිධානාත්මකව මතුපිටට පැමිණේ. 2004 දී ඇතිවූ සුනාමිය ඛේදවාචකයේදී මෙන්ම දිට්වා සුළි කුණාටු අවස්ථාවේදීද මහා ජලකඳ දරාගත නොහැකිව විවරවූ වාරි දොරටුවලට වඩා වේගයෙන් මානව අනුකම්පාවේ දොරටුද කොන්දේසි විරහිතව විවර විය. එම සියලු අවස්ථාවන්හිදී, ශ්‍රී ලාංකිකයන් යළි යළිත් ස්වකීය සාමූහික සදාචාරාත්මක බැඳීමේ ශක්තිය පෙන්නුම් කරමින් මනුෂ්‍යත්වයට නව නිර්වචන රැගෙන ආවේය. තමන් පෞද්ගලිකව මුහුණ දුන් දුෂ්කර තත්ත්වයන් පවා පසෙකලමින් අනෙකාට උපකාර කිරීමට බොහෝ දෙනා පෙලඹිණි. හුදෙක්ම මෙය සංස්කෘතික පුරුද්දක් පමණක් නොවේ. එය ජාතියක දිගු කලක් තිස්සේ ගොඩනැගුණ චාරිත්‍රයක් මෙනි.
ඓතිහාසික ආචාරධර්ම
බෞද්ධ ආගමික අභාෂය තුළ පෝෂණය වූ සමාජයක් ලෙස ශ්‍රී ලංකාව දීර්ඝ ඉතිහාසයක් පුරාවට මානව සහකම්පනය ප්‍රගුණකර ඇත. එතුළින් කරුණාව, සමාජ ජීවිතයේ ප්‍රමුඛ විලාසිතාවක් බවට පත්වූවා පමණක් නොව, අනෙකා කෙරෙහි උපන් සදාචාරාත්මක උපකාර කිරීම ජීවන භාවිතයක් ලෙසද හැඩගස්වා ඇත. සියවස් ගණනාවක් පුරා විවිධ සමාජ සංස්ථා, එනම් පාලක රජවරු, සිටුවරු, ප්‍රභූන්, භික්ෂු සමාජය, පොදු පුරවැසියන් වන ගොවීන්, කම්කරුවන් සහ වෙළෙඳුන් පරාර්ථ සේවය හෙවත් අනෙකාගේ සුබසිද්ධිය වෙනුවෙන් පෙනීසිටීමේ ආදර්ශය ප්‍රගුණ කළා පමණක් නොව දේශනා කළහ.
ග්‍රාමීය ජීවන රටාව සපුරාම ගොඩනැගී තිබුණේ සාමූහික රැකවරණය වටාය. කෘෂිකාර්මික ප්‍රජාව සිය ගොවිතැනේදී ශ්‍රමය පවා දානයක් ලෙස සලකමින් ශ්‍රමදාන පවත්වා එකිනෙකා අතර එය බෙදාගත්හ. ස්වේච්ඡා ශ්‍රමය වගුරවමින් මිනිස්සු එක්ව පන්සල්, පල්ලි, වැව් අමුණු ආදිය ඉදිකළහ. එකිනෙකාගේ කුටුම්භවලට අදාළ පවුලේ උත්සව, අවමංගල්‍යාදී කටයුතු මෙන්ම ගොවිබිම අස්වැද්දීම, අස්වැන්න නෙළීම, නිවසේ වහල සෙවිලි කිරීමේදී පවා එකිනෙකාට සහයෝගය දක්වමින් තම තමන්ගේ ශ්‍රමය බෙදාගත්හ.
මෙම සුවිශේෂ වටිනාකම් ග්‍රාමීය සමාජයේ කොඳු නාරටිය බවට පත්විය. කිසියම් පවුලක් කුමන හෝ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දුන්නේ නම්, බව බෝග හානියක්, අසනීප වීමක් හෝ වෙනයම් අපහසු තත්ත්වයකට මුහුණ දුන් විට, මුළු ගමක් ප්‍රතිචාර දැක්වූයේ එම පාඩුව තමන්ගේම දෙයක් ලෙස සලකමින්ය.
නූතන චර්යාත්මක විද්‍යාඥයන් මෙය ‘වාර්ගික පරාර්ථකාමිත්වය’ (ක්‍දපපමබ්ක ්කඑරමසිප) ලෙස හඳුන්වනු ලැබේ. එහෙත් අපේ රටේ මිනිසුන් එය සරලව හැඳින්වූයේ ‘උදව් කිරීම’ ලෙසයි.
ජාතියක් හැටියට අප කිසියම් විපතකට හෝ ආපදාවකට මුහුණ දෙන සෑම විටකම නැවත මතුපිටට පැමිණෙන්නේ මෙම ඓතිහාසික ආචාර ධර්මයි.
පරෝපකාරයේ තීරණාත්මක ලක්ෂණයක් වූ 2004 සුනාමි අවස්ථාව
2004දී ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ඛේදවාචකය, බොහෝ විට ඉතිහාසයේ අප රටට ඇති වූ විශාලතම මානුෂීය අර්බුදය යැයි කිව හැකිය. එයින් දසදහස් ගණනක් මියගියහ. ඇතැම් ප්‍රදේශවල නගර සහ ගම්මාන මුළුමනින්ම නැතිවිය. ඒ වගේම යටිතල පහසුකම් සිතාගත නොහැකි තරම් ප්‍රමාණයක් විනාශ විය. එහෙත්, කිසිදු දේශීය හෝ ජාත්‍යන්තර සහන කණ්ඩායමක් වින්දිතයින් ගලවා ගැනීමට මැදිහත් වීමට පෙර පවා දිවයිනේ දකුණු කලාපයේ හම්බන්තොට සිට උතුරු කලාපයේ යාපනය දක්වා සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් රොද බැඳගෙන ඉදිරිපත් විය.
දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ආහාර, ඖෂධ, පිරිසිදු ජලය, වියළි සලාක, බ්ලැන්කට් සහ ඇඳුම්වලින් පිරුණු ට්‍රක් රථ, බස් රථ සහ ලොරි සමග වෙරළ කලාප වෙතට ගලා ආහ. එලෙස පැමිණි කිසිවෙක් නිලධාරීන්ගේ උපදෙස් එනතෙක් බලා සිටියේ නැත. ඔවුන් ක්‍රියා කළේ ස්වකීය බුද්ධිය මෙහෙයවමිනි.
බොහෝ කණ්ඩායම් යුහුසුලුව තම අසල්වැසි ප්‍රදේශවලින් සහනාධාර එකතු කළහ. පන්සල්, මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි පල්ලි, සහ හින්දු කෝවිල්, හදිසි නවාතැන් බවට පත්විය. ආරක්ෂිතව රට අභ්‍යන්තරයේ ජීවත් වන මිනිස්සු, සියල්ල අහිමිවී ගිය ආගන්තුකයන්ට තම නිවාස විවෘත කළහ. කඩ සාප්පු හිමි වෙළෙඳ ප්‍රජාව තමන් සතු විවිධ ද්‍රව්‍ය නොමිලේ බෙදාදුන්හ. කඩාවැටුණු ගොඩනැගිලිවල සිරවී සිටින පුද්ගලයන් බේරාගැනීම සඳහා ධීවරයෝ තම ජීවිත පරදුවට තැබූහ.
ඇතැම් විදේශීය නිරීක්ෂකයන් මෙම ක්‍රියාවන්හි වේගය වික්‍රමය දෙස බලා මවිතයට පත්විය. මෙයට මැදිහත් වූ සෑම ශ්‍රී ලාංකිකයෙක්ම බාහිර උත්තේජනයකින් හෝ දේශපාලන උපදේශයකින් පෙලඹවූයේ නැත. ඒ හැමටම වඩා ඔවුන් එසේ පෙලඹවූ වඩාත් ගැඹුරු සාධකය වූයේ දුකේදී අනෙකාට උදව් කිරීමේ සාර්ව මානුෂීය ගුණයයි.
මෙම ප්‍රතිචාරය ස්වේච්ඡාවෙන් මිනිස් ප්‍රජාවක් විසින් මෙහෙයවන ලද ක්‍රියාන්විතයක් පිළිබඳ ජාත්‍යන්තර උදාහරණයක් බවටද පත්විය.
දිට්වා සුළි කුණාටුව විසින් නැවත ඔපදැමූ මානුෂීය ගුණධර්ම
2004 සුනාමි ඛේදවාචකයෙන් දශක දෙකකට පසු, දරුණු දිට්වා සුළි කුණාටුව විසින් නැවතත් ශ්‍රී ලාංකික හදවත් තුළ මනුස්සකමේ පවතින බලය හෙළිකළේය. කඳු නායගොස් මිනිසුන් පණ පිටින් පොළොවේ වැළලී ගියේය. ගංගා පිටාර ගලා දෙගොඩ තලා ගිය ගංවතුරින් මිනිස් ජීවිත මෙන්ම දේපළද සේදී ගියේය. එයින් දසදහස් ගණනක් අවතැන් වූහ. මෙය සහකම්පනයට පත් දසදෙස විසූ මිනිසුන් ස්වේච්ඡාවෙන් ක්ෂණිකව බලමුළු ගැන්විණි.
දිවයින පුරා විවිධ ප්‍රදේශවල ජනතාව පිසූ ආහාර, වියළි සලාක, බෝතල් කළ පානීය ජලය, ඖෂධ, පාසල් උපකරණ, ළදරු භාණ්ඩ, පැදුරු, මදුරු දඟර, ඇඳුම් සහ සනීපාරක්ෂක ඇසුරුම්වලින් සන්නද්ධව පෙරහැරක් සේ වින්දිතයන් සොයා ආපදා ප්‍රදේශවලට වැල නොකැඩී ඇදෙන්නට විය.
සමාජ මාධ්‍ය වේදිකා සහ ඒවා හසුරුවන්නන් නව තත්ත්වය හමුවේ දෙවොල් මඩුවක් බවට පත් විය. ආපදාවට පත් නන්නාඳුනන තම හිතවතුන්ගේ හදිසි අවශ්‍යතා වහවහා හෙළිකරමින් ඔවුනට පිහිට අපේක්ෂාවෙන් විවිධ තොරතුරු හුවමාරුවන මධ්‍යස්ථාන බවට ඒවා පත්විය.
තරුණ කණ්ඩායම් ක්ෂණික ගලවාගැනීමේ බලඇණි සේ, ඇතැමුන් ගංවතුරේ ගමන්කළ හැකි බෝට්ටුද සමග වින්දිතයින් මුදාගැනීමේ මෙහෙයුම් සංවිධාන කළහ. රෝහල්වල වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල යුහුසුලු විය. ඇතැම්හු නොමිලේ වෛද්‍ය කඳවුරු ස්වේච්ඡාවෙන් සංවිධාන කළහ. හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමට පාසල්වල ආදිසිසුන් ඇතුළු පිරිස් සහ ගුරුවරුන් ආධාර එකතු කළහ. විදේශගත ශ්‍රී ලාංකිකයෝ ඔවුන් කිසිදා නොගිය සහ නොදන්නා ගම්මානවල මිනිසුන්ගේ සුබසාධනය සඳහා පැය කිහිපයක් ඇතුළත අරමුදල් එවීමට කටයුතු කළහ.
ඇතැම් තැන්වල ඉතාමත් සංවේදී අත්දැකීම්ද දක්නට ලැබිණි. කුඩා දරුවන් ඉතිරිකළ සිල්ලර කාසි කැට පරිත්‍යාග කළේය. සිරගෙදර සිරකරුවන් ඔවුන්ගේ දිනක කෑම වේල පරිත්‍යාග කළේය. විවිධ උත්සව සංවිධාන කර තිබූ ඇතැමුන් ඒවා අවලංගු කරමින් එකී මුදල් ආපදාවට පත්වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් ලබාදී තිබිණි.
සමහරුන් දින ගණනක් නිදිවර්ජිතව ආහාර පිළියෙල කරන ලදී. මේ සියල්ලෝම ස්වේච්ඡාවෙන් මැදිහත් වූවෝ වෙති. ඒ සඳහා කිසිවකුගේ බලපෑමක් හෝ කිසිම නීතියක් මෙම ත්‍යාගශීලීභාවය වෙනුවෙන් අදාළ නොවුණි. එමෙන්ම කිසිදු ආයතනයක් එය කළමනාකරණය නොකළ අතර එය හුදෙක් ශ්‍රී ලාංකික සම්ප්‍රදායක් සේ බලගැන්විණි.
ලෝකයේ බොහෝ රටවල් කිසියම් ආපදා තත්ත්වයන්වලදී, ඔවුනොවුන් රටවැසියන් අතර කිසියම් සහයෝගිතාවක් දක්වයි. එහෙත් ශ්‍රී ලංකාවේදී එම අත්දැකීම බොහෝ පැතිවලින් කිසියම් අද්විතීය බවක් පෙන්වයි.
එනම් පුරවැසි මැදිහත්වීම සහ එම ක්‍රියාකාරීත්වයේ වේගය, අප රට තුළදී ඉතා ඉහළ ස්ථානයක පවතී. බොහෝ විට රාජ්‍ය යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වීමට පෙර සාමාන්‍ය ජනතාව ඍජුව මැදිහත්ව සිදුකරන සහන සේවා කටයුතු ඉතාමත් යුහුසුලු සහ ක්‍රියාකාරී බවක් පෙන්වයි.
බොහෝ ආර්ථික වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන අය පවා සිය අපහසුතා තිබියදී මිනිසුන්ට උදව් කරති.
විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවද ඔවුන්ගේ කැපීපෙනෙන දායකත්වය ලබාදීමට කටයුතු කළේය. එම දායකත්වයන් බොහෝ විට වෙනත් ජාත්‍යන්තර සංවිධානවලට වඩා වැඩි අගයක් වාර්තා කරයි. මේ හේතු නිසා බොහෝ විදේශීය මාධ්‍යවේදීන් ශ්‍රී ලංකාව ‘නූතන සමාජවල අසාමාන්‍ය සමාජ අනුකම්පාවක්’ පෙන්වන බවට මාධ්‍ය වාර්තා ඔස්සේ අදහස් දක්වා ඇත.
අප රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් මෙම ජීවගුණය අවශෝෂණය කරගත යුතුය
අප ජීවත්වන ලෝකයේ විවිධ අවස්ථාවන්වල කිසියම් අවිනිශ්චිත තත්ත්වයන් නිර්මාණය වේ. දේශගුණික විපත්, විවිධ වසංගත, ආර්ථික අර්බුද සහ භූදේශපාලනික ආතතීන් ඒවා අතර ප්‍රධාන වේ. එවැනි යථාර්ථයක් සහිත ලෝකයක, රටක් ලෙස අපගේ සැබෑ ශක්තිය පවතින්නේ දළ දේශීය නිෂ්පාදිතය, ආර්ථික හැකියාව, මිලිටරි හැකියාව හෝ තාක්‍ෂණය මත පමණක් නොව, අප රටේ ජනතාවගේ දරාගැනීමේ හැකියාව සහ එකමුතුකම තුළ ගොඩනගා ගත් වටිනාකම් තුළය.
ශ්‍රී ලංකාවේ මානව සහකම්පන සංස්කෘතිය, සංවර්ධනය සඳහා බලගතු පදනමක් බවට පරිවර්තනය කළ හැකි ක්‍රම ඕනෑ තරම් තිබේ. එහෙත් අවාසනාවකට අප මෙතෙක් මුහුණ දුන් විවිධ අර්බුද හමුවේ මතුව ආ එකී ගුණය නොසලකා හැරීම කනගාටුවට කරුණකි.
ජාතියේ නාමයෙන් සිදුකරන ආයාචනයකි
ශ්‍රී ලංකාව සතු සැබෑ වත්කම වන්නේ එහි ඇති ස්වභාව සෞන්දර්ය, මුතු මැණික් ආදී ඛනිජ ද්‍රව්‍ය හෝ වෙනත් භෞතික පිහිටීම් තුළ පමණක් සොයාගත හැකි දේ පමණක් නොවේ. අප රටේ සුවහසක් ජනතාව සතු විශිෂ්ට මානුෂිකත්වය ඒ සැමටම වඩා ඉහළින් පවතී.
ඔවුන්ගේ කරුණාව, ඔවුන්ගේ සංවේදනය, එකිනෙකා වෙනුවෙන් කැපවීමට ඇති කැමැත්ත ලොව අන් කවර ජාතියකවත් දක්නට නොලැබෙන විරල ගණයේ වටිනාකමකි. ඕනෑම ව්‍යසනයක් හෝ අනෙකාට විපතක් ඇතිවූ විට, එම ජාතිය නැගීසිටින්නේ බලකිරීමක් නිසා නොව, ඔවුන් සතු ත්‍යාගශීලිත්වයෙන් බරවෙන හදවත් නිසාය.
අපට ඇති අභියෝගය වන්නේ, මෙම මනුෂ්‍යත්වය කිසියම් අර්බුදයකදී පමණක් නොව, දෛනික ජීවිතයේදීද බැබළීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කිරීමයි. එනම් විනාශ වූ දේ නැවත ගොඩනැගීමට පමණක් නොව, කිසිදා විනාශ නොවන දේ ගොඩනැගීමට මෙම සාමූහික ශක්තිය භාවිත කිරීමයි. ශ්‍රී ලාංකිකයන්ට සහකම්පනයෙන් එක්සත් විය හැකි නම්, ඔවුන්ට රටේ සංවර්ධනයේදී එක්සත් විය හැකිය. ගංවතුරෙන් සහ නායයාමෙන් එකිනෙකා ගලවාගත හැකිනම්, ඔවුන්ට මුළු රටම සමෘද්ධිය කරා ඔසවා තැබීමේ ජාතික කර්තව්‍ය වෙනුවෙන්ද නැගී සිටිය හැකිය.
සෑම කරුණාවන්ත ක්‍රියාවක්ම මූලබීජයකි. රටක් හැටියට මෙම බීජ සෑම තැනකම වපුරන්නේ නම්, එනම් පාසල්වල, රැකියා ස්ථානවල, ආගමික මධ්‍යස්ථානවල, දේශපාලන කඳවුරු තුළ සහ සමස්ත ආයතන ව්‍යුහයන් තුළ, එය කිසිදු අර්බුදයකදී මුදුන් මුල් විනාශ නොවන එකම උයනක් දක්වා වර්ධනය කළ හැකිය.
අපගේ අනුකම්පාව ප්‍රගතියක් බවටත්, අපගේ එකමුතුකම ශක්තිය බවටත්, අපගේ මනුෂ්‍යත්වය ශ්‍රී ලංකාව දීප්තිමත් අනාගතයකට මග පෙන්වන ජාතික බලවේගයක් බවටත් පරිවර්තනය කරමු.
ශ්‍රී ලංකාව මීට පෙර බොහෝ වාරයක් නැගීසිට ඇත. එය නැවත නැගටිනු ඇත, මන්ද අප රටේ ජනතාවට සැමවිටම එකට නැගී සිටීමේ ශක්තිය ඇති බැවිනි.

විජේපාල දිසානායක
[email protected]










