හොඳ චරිත රඟපෑමේ පිපාසයෙන් පෙළෙනවා…
සුමනාගේ නිරුවතෙත් යම් කලාවක් තිබුණා. ඒක වෙනම රැල්ලක්…
අපට ජනතා සම්මාන තියෙනවා. ඒ හොඳටම ඇති…
හැන්ද ඔවුන් හරියට අතට ගත්තොත් බෙදිල්ල හරියට වෙයි…
මේ පාර ‘හාට්’ එකේ මැද පිටුව පුරවන සුහද කතාබහට ආවේ, ‘ගයනා සුදර්ශනී’ය. කතාබහට අසුන් ගන්නට කලින් ගයනා සුදර්ශනී ගැන කරන හැඳින්වීමට පැරා හතරක, පහක සටහනක් දිගට ලියාගෙන යනවාට වඩා ප්‍රවීණ ටෙලි නිර්මාණකරු ශිවගුරුනාදන්ගේ ‘පැණි කුරුල්ලා’ ටෙලිය ගැන කතා කරනවා නම් පහසු යැයි සිතිණි. ගයනා එහි රැඟුවේ ඩබල් ගේම් ක්‍රමයට සල්ලි හොයන පාතාල නායිකාවකගේ නැහැදුණු චරිතයකි.., කාලයක් යනතුරාවටම ආලින්දයේ සිනමාව තුළ අසුන් ගන්නා ප්‍රේක්‍ෂකයනට ඒ කදිම පාතාල නායිකාව ගැන කතා කරන්නට ඕනෑ තරම් කරුණු කාරණා තිබිණි. ‘ගයනා සුදර්ශනී’ එහෙමය.., බොහෝ විට රැඟුවේ කතා කරන්නට යමක් තියෙන චරිත පමණය. රංගන ජීවිතය තුළ ඈ කැටයම් දමා හැඩ කළ තව එවන් චරිත බොහෝමයක් විය.., ‘ඔරු බැඳි සියඹලාව’ සහ ‘මඟුල් සක්වල’ ඉන් කිහිපයකි. නිතර ටෙලි තිරය හමුවට නොඑන.., හෙමින් ගමනක යෙදෙන අති දක්‍ෂ චරිතාංග නිළියක වූ ගයනා හදවතින්ම සිය අදහස් දක්වමින් දොඩවන්නට ගත් ආකාරය ඉතාම විවෘත විය.
ඉතින් ගයනා… කාලෙකට පසුවයි ඔබ මේ මුද්‍රිත මාධ්‍යයක් සමග කතාබහකට එන්නෙ..?
කතාබහකට ආරාධනා කළොත් මම එය සුහදව පිළිගන්නවා.., හැබැයි මම අඩුවෙන් කතාබහ කරන කෙනෙක්.., එහෙම කියන්නෙ මම හරි ආඩම්බරයි කියලා කියන එක නෙවෙයි. පැහැදිලිවම කියනවා නම් කතාකරනවාට, කියනවට වැඩිය… රංගන ශිල්පිනියක හැටියට යමක නිරත වීම සහ යමක් කරලා පෙන්වන්නටයි මම වැඩිපුර මනාප.
මේ දවස්වල ඔබ යමක් කරමින් ඉන්නවද..?
ඔව්… වැඩ කිහිපයකම නිරතවෙලයි ඉන්නේ.., ‘චලෝ’ හී රූගත කිරීම් සිදුවෙනවා… ප්‍රියන්ත සමරකෝන්ගේ අලුත්ම ටෙලියෙ රූගත කිරීම් කුරුණෑගල පැත්තේ සිදුවෙමින් තියෙනවා. ඒ අතර චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දුගේ අලුත්ම නිර්මාණයෙහි මුහුරත් උළෙල සමග ලබන මාසේ පැවැත්වෙන්නට නියමිත රූගත කිරීම්වලට සහභාගි වීමට බලා ඉන්නවා.
කලාකරුවනට දිගින් දිගට වැඩ කරන්නට ලැබීම සතුටක්..?
ඔව්… ඇත්තෙන්ම පසුගිය දවස්වල ‘කොවිඩ්’ උවදුර නිසා කලාකරුවන් වූ අප හැමෝම නිවෙස්වලට කොටු වී හිටියා… දැන් ඒ කොටුවීම අවසන්ව තිබෙන නිසා නැවැතත් වැඩ පටන් ගත්තා. ඔබ කීවා වාගෙම එය සතුටට කාරණයක්.
‘පැණි කුරුල්ලන්’ගෙන් පසුව ඔබත් සැමියා සහන් විජේසිංහත් තවම අලුත් යමකට අතගහන්න හිතුවේ නැතිද..?
නැත්තෙ නැහැ… ‘පැණි කුරුල්ලො’ තත්ත්වයේම එයිට වඩා වෙනස් හොඳ නිර්මාණයකට මමත්, සහනුත් සූදානම්ව හිටියා. නමුත් ‘කොරෝනා’ උවදුර මැද ඒ සියල්ල අඩාළව ගියා. විශේෂයෙන්ම එම තිරපිටපතට අනුව නිර්මාණයට තිබූ ටෙලි කතාවේ… බන්ධනාගාරයක් ඇතුළත පසුබිම් කරගත් දර්ශන බොහොමයක් තිබුණු නිසා… ‘කොරෝනා’ සමයෙහි එවැනි තැනක රූගත කිරීම්වලට අවසර ලබාගන්න බැරි වුණා.
ටෙලි, නිර්මාණය නොකෙරෙන තැනකද දැන් තියෙන්නේ..?
අපොයි නැහැ… එය නුදුරු දිනෙක ආරම්භ වීමට නියමිතයි.
ටෙලිය ගැන… එහි පසුබිම ගැන පොඩි කතන්දරයක්..?
පවුල් දෙකක් අතර කතාවක්… තිර පිටපත සුනන් ද සිල්වා… අධ්‍යක්‍ෂණය ශිව ගුරුනාදන්… නිෂ්පාදනය සහන් විජේසිංහ.
ඔබටද එහි චරිතයක් හිමිව තියෙනවද ගයනා..?
ඔව්… මම එක් පවුලක ප්‍රධාන කාන්තා චරිතයට ජීවය දෙනවා.
සහන් විජේසිංහගේ ටෙලි කතාවල ඔබට චරිතයක් වෙන්වන්නේ ඔබ ඔහුගේ බිරිය නිසාද..?
සම්පූර්ණ වැරැදි නිගමනයක්… සහන්ගේ නිර්මාණ හැම එකකම මට චරිත වෙන් වුණේ නැහැ… මම නැති ටෙලි සහ චිත්‍රපට නිර්මාණ කිහිපයක්ම තියෙනවා. හැබැයි මම හොඳ චරිත රඟපෑමේ පිපාසයෙන් පෙළෙනවා… ඔහු ඒ පිපාසය තේරුම් අරගෙන ඔහු නිෂ්පාදනය කරන ටෙලි කතාවල මං වෙනුවෙන් චරිතයක් ඇත්නම් මට ආරාධනා කරනවා. එම ආරාධනය ලැබෙන්නේ ‘ගයනා සුදර්ශනී’ට එහි සුදුසු චරිතයක් තියෙනවා නම් පමණයි. ඒ මොකද.., සහන් චරිතයට සුදුසු කෙනාව නිවැරැදිව තෝරන නිසා ඔහුගේ බිරිය වශයෙන් මට කිසිම චාන්ස් එකක් දෙන්නේ නැහැ.
චරිත තෝරන අයිතිය හිමිවිය යුත්තේ ටෙලි නිර්මාණය අධ්‍යක්‍ෂණය කරන නිර්මාණකරුට නෙවෙයිද..?
මෙහෙමයි… සහන් යම් නිර්මාණයකට සූදානම් වන විට අධ්‍යක්‍ෂවරයා සමග සුහද කතාබහකට මැදි වෙනවා. එතැනදී නිර්මාණකරු සමග චරිත ගැන සහ එයට තෝරා ගතයුතු රංගන ශිල්පීන් ගැනද කතා කරනවා… දෙදෙනාගේම අදහස් අනුව තමයි එය හැමදාමත් සිදුවන්නේ. එතැනදී සහන්ගේ හෝ නිර්මාණයට අදාළ නිර්මාණකරුගෙ හිතවත්කම් හෝ නෑකම්වලට චරිත පුදන්නේ නැහැ. ඒ වාගේම සහන්ගේ තෝරාගැනීම් අසාර්ථක වී නැහැ… ‘කප් සුවහස්කල්’ ටෙලි කතාවට උද්දික ප්‍රේමරත්නව තෝරා ගත්තේ සහන්… උද්දික අසීමිත ජනප්‍රියත්වයට බඳුන් වුණේ එම නාට්‍යය හරහායි.
ශිව ගුරුනාදන්ට සහන්ගේ නිෂ්පාදන මෙහෙවර තුළ සුවිශේෂී තැනක් හිමිවෙනවා..?
ඔව්… ශිවා සමග අපි ටෙලි නිර්මාණ හතරක්ම කළා… ඒ හතරම අති සාර්ථක වුණා. අනෙක ශිවා සමග නිර්මාණ මෙහෙවර හරිම පහසුයි… අපේ සහ ඔහුගේ අදහස් ගැළපීමද සාර්ථක මට්ටමක තියෙනවා. වැදගත්ම කාරණය වන්නේ… ශිවා ප්‍රේක්‍ෂක සිතට රුචි වන ආකාරයට සිය නිර්මාණ මෙහෙවර සිත්කලු ආකාරයට නිම කරන සොඳුරු කලාකරුවෙක් බව කිව යුතුමයි.
‘පැණි කුරුල්ලෝ’ නාට්‍ය අසීමිත ජනප්‍රියත්වයට බඳුන් වුණේ ඒ සොඳුරු නිර්මාණකරණය නිසාද..?
ඔව්… ශිවා එය හරි අපූරුවට නිර්මාණය කළා.., ඒ විතරක් නෙවෙයි.., ‘පැණි කුරුල්ලෝ’හී රංගන ශිල්පීන් එකිනෙකා පරයා කළ අති දක්‍ෂ චරිත නිරූපණයන්ද එම සාර්ථකත්වයට සහ ජනප්‍රියත්වයට සුවිශේෂීව හේතු වුණා.
ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය ‘පැණි කුරුල්ලන්’ට සම්මාදම් වූ ආකාරය..?
ඩයනා ගමගේ අපේ සමීප හිතවතියක්… ඒ දවස්වල ඩයනා, ශ්‍රියාණි අමරසේනගේ ටෙලියකද රඟපෑවා. ඉන්පස්සේ ඇය රංගනයට උනන්දු වුණේ නැහැ… දේශපාලන කටයුතු නිසාද ඇයට රංගනය අමතක වෙන්න ඇති සමහර විට. කොහොමින් හරි සහනුයි, මමයි ඩයනාට ආරාධනා කළා… ලොකු ඇවිටිල්ලකින් පස්සේ තමයි ඇය කැමැත්ත දුන්නේ.., සෙට් එකට ඇය එනකොට අපට තිගැස්මකුත් දැනුණා ඩයනා මේක හරියට කරාවිදැයි කියලා. කියන්න සතුටුයි, මම, ශිවා, සහන් ඇතුළු පිරිස හිතුවාටත් වඩා ලස්සනට ඇය ඒ චරිත නිරූපණයට මැදිව සිටියා. මේ තරම් අපූරුවට රඟපාන්නේ කවුද කියා ප්‍රේක්‍ෂකයන් ඈ ගැන විමසිලිමත් වූ බවද ආරංචි වුණා අපට.
‘පැණි කුරුල්ලෝ’ වැනි සාර්ථක නිර්මාණයකට කිසිම සම්මානයක් නොලැබුණේ..?
අප එය සම්මාන උළෙලවලට ඉදිරිපත් කළේ නැහැ. සම්මාන ප්‍රදානයන් ගැන අප සිටින්නේ එතරම් පැහැදීමකින් නෙවෙයි.
කලකිරීමක් ගැනද ගයනා ඔබ ඔය කියන්නෙ..?
කලකිරීමක්ම නෙවෙයි, නමුත් සම්මාන උළෙලවල් බොහොමයක්ම වාගේ අවසන් වූයේ, බොහෝ විට දියයුතු අයට සම්මාන අහිමි කරවමින්… ඒක සම්මානයට සුදුසු අයට වාගේම ඒ අයට සම්මාන ලැබේය කියලා හිතලා අත්පුඩි ගහන්න බලාහිටින අයටත් ලොකු වේදනාවක් ගෙනදෙන්නක්.
ඔබටද ඒ අසාධාරණය සිදුව තිබෙනවාය කියා කිව්වොත් ඒක හරිද..?
මම අහවල් සම්මානයට සුදුසුව හිටියා… මට එය අහිමි වුණා කියා මට කියන්න බැහැ. නමුත් මගතොට යනඑන තැනදී ඔබ ඔය කී කතාව ඇතැමුන් මටද කියා තිබෙනවා. නිර්මාණ කිහිපයක් සඳහාම ලැබිය යුතුව තිබුණු සම්මාන මට අහිමි වීම ගැන ඔවුන් දැඩි කනස්සල්ලෙන් කතාකොට තිබෙනවා.
ඔබ හොඳම සහ සහාය නිළි සම්මාන සඳහා නිර්දේශ වී තිබෙනවා..?
ඔව්… ‘ඔරු බැඳි සියඹලාවේ’ හොඳම සහාය නිළියට සහ ‘සුදු හාමිනේ’හී හොඳම නිළියට මා නිර්දේශව සිටියා.
ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘මඟුල් සක්වල’ ටෙලියේද ඔබ අති දක්‍ෂ රංගනයක යෙදුණා..?
හැමෝම ඒ ගැන වර්ණනා කළා… ඒ වෙනුවෙන් මට කුසලතා සහතිකයක් ලැබුණා.
ප්‍රේක්‍ෂකයාට දැනුණු ඔබේ අති දක්‍ෂ චරිතාංග රංගනයන් ජූරිය නොදකින්නේ ඇයි ගයනා..?
ජූරිය විවේචනය කරන්න බැහැ… සම්මාන හිමිවන්නේ ජූරියේ තීරණයට නම් අප එයට හිස නැමිය යුතුයි. නමුත් දක්‍ෂකමට හෝ හැකියාවට එහා ගිය සම්මාන විනිශ්චය සහ වෙන වෙන හේතූන් මත සිදුවන සම්මාන පිදීම හොඳ නිර්මාණශීලී කලාකරුවන්ගේ සිත පාරන කාරණයක්.
වෙන වෙන හේතූන් කියා ඔබ අදහස් කළේ..?
හැමදාම තෝරාගත් පිරිසකට සම්මාන දීම එතැනදී විශේෂයි. හැමදාම සම්මාන ගන්න අය යන්තමට යමක් කළත් සම්මාන දෙනවා. කවදාවත් සම්මාන නොගත් අලුත් රංගවේදිනියක් කරට කර ඉහත අය සමග හිටියොත්… කවදාවත් ඒ අලුත් අයට සම්මානය ලැබෙන්නේ නැහැ.
කොහොමත් ඔබ සම්මානනීය නොවීම ගැන ඔබට කනගාටුයි වාගේ..?
කනගාටු නැත්තේ නැහැ. හැබැයි එයට විරුද්ධව පෙරළිකරන්නේ නැහැ… අපට ජනතා සම්මාන තියෙනවා. ඒ හොඳටම ඇති. මට මගතොටදී හමුවෙන ඇතැමුන් ‘පැණි කුරුල්ලෝ’ වාගේ ඩ්‍රාමා එකක් ආයෙම හදන්නෙ කවදද අහන කොට.., ‘පැණි කුරුල්ලෝ’ නැවැත විකාශනය කරන්නැත්තේ ඇයි කියා අපෙන් අහන කොට හිතට මහා සතුටක් දැනෙනවා. ඒ වාගෙම අතට නොලැබුණත් සම්මානයකට නොමිනේට් වීම තුළද මම සම්මානයක් හිමි වූ සතුට අත්විඳිනවා.
ඔබ කියා තිබුණා ගයනා, යම් පුවත්පතකට.., චරිතයකට සාධාරණ නම් නිරුවත පෙන්නුවාට කමක් නැහැ කියලා..?
ඔව්… ඒක මම ‘මව්රට’ පත්තරයටත් කියනවා. අලෙවි කරන නියායෙන්… මස්කඩ ක්‍රමයට හෝ අසික්කිත ලෙස නිරුවත නොපෙන්වා… කලාත්මකව එය ඉදිරිපත් කරනවා නම් නිරුවත නරක නැහැ. අපේ ප්‍රවීණ නිළියන් කොතෙක් නම් කලාත්මකව නිරුවතට සාධාරණව පෙනී ඉඳලා තියෙනවද.., මාලනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි, ගීතා කුමාරසිංහ යන සෑම ප්‍රවීණ රංගන වේදිනියක්ම චරිතයට තියෙන සාධාරණත්වය සහ අවැසිතාව මත එයට මුහුණ දුන්නා.
සුමනා ගෝමස් ඉදිරිපත් කළ නිරුවත ඔබ දකින්නේ කොහොමද..?
එයද එක්තරා කලාවක්. ඇගේ නිරුවතෙහිද යම් කලාවක් තිබුණා. ඒක වෙනම රැල්ලක්… ඒ රැල්ලටද ප්‍රේක්‍ෂකයා කැමැති වුණා. සිනමා ශාලා පිරුණා… එය ඉදිරිපත් කරන ආකාරය තුළද තිබුණේ දක්‍ෂ රංගන ශිල්පිනියගේ හැකියාවයි. එනිසා අශෝභන යැයි නිරුවත බැහැර කරන්න බැහැ. අනෙක ලේබල් කිහිපයක් යටතේ ප්‍රදර්ශනය කරන නිසා නිරුවත බලන්න බාල වයස්කාර දරුවන්ට එන්න බැහැ. සුදුස්සන් මනාප නම් පැමිණ එය නරඹාවි එච්චරයි. අනේ අපොයි කියන නරකක් හෝ අපරාධයක් වැඩිහිටියන්ට පමණයි’ කියන සීමාවෙහි ප්‍රදර්ශනය වන නිරුවතක මම දකින්නේ නැහැ.
හොඳ නිර්මාණ හිඟවී ‘මෙගා කලාව’ ඉදිරියෙන් සිටීම ගැන ඔබ දරන මතය..?
කන ගාටුයි… හරිම කනගාටුයි… හොඳ නිර්මා ණකරුවන් නිහඬව සිටින්නේ ඔවුනට හිතට හරියන වෙලාවක් නැති නිසයි. හොඳයි කියන නිර්මාණ කරන අපට තියෙන්නේ රූපවාහිනිය හෝ අයි.ටී.එන්. එක පමණයි. රූපවාහිනිය නම් දැන් ‘අයටම ගිහිල්ලා…’ බින්දුවටම වැටිලා… අයි.ටී.එන්. එකෙත් එක එක ජාතියේ ගැටලු… ප්‍රයිවට් චැනල් සමග වැඩ කරන්න අපහසුයි. ඔවුන් තම තමන්ට ඕනෑ විදියට නිර්මාණකරුවන් සහ නිෂ්පාදකයන්ව මෙහෙයවනවා. ගුණාත්මක බවක් නැති නාට්‍ය කොටස් තුන්, හාරසීයට වඩා දුවනවා. හොඳ නිර්මාණ කරන අයට වෙන්නේ ඒවා අකුළාගෙන බලා ඉන්න.
හොඳ නිර්මාණයක් ඔබ යම් සේවාවන් හරහා ඉල්ලීම් කරලා තියෙනවද..?
ඔව්… එතකොට ඔවුන් කියනවා… ඒ වෙලාව ලබන අවුරුද්ද වෙනකල් ඉඩ වෙන්වෙලා ඉවරයි කියලා. ඉතින් කොහොමද ඒ වාගේ තත්ත්වයක් උඩ හොඳ නිර්මාණකරුවන් යම් නිර්මාණයක් කරන්න හිතන්නෙ.
වගකිවයුත්තේ ඒ ඒ සේවාවන්වල මහ පුටුවද..?
ඒ අයටත් වගකීමක් තියෙනවා… නමුත් මම නම් ඇඟිල්ල දිගු කරන්නේ රජයටයි. ඔවුනට පුළුවන් ඉන්දියානු, කොරියන් ටෙලි කලාව සහ දින නියමයක් නැතුව ඇදී යන මෙගා කලාවට යම් සීමා සහිත කාල සීමාවක් දෙන්න. හැන්ද ඔවුන් හරියට අතට ගත්තොත් බෙදිල්ල විනයක් ඇතුව සිදුවේවි. හැබැයි කිසිම රජයක් එය කළේ නැහැ. ඉදිරියට කරන එකකුත් නැහැ. එවැන්නක් සිදුවුවහොත් එය හොඳ නිර්මාණකරුවන්ගේ වාගෙම හොඳ නිර්මාණ ඉල්ලන ප්‍රේක්‍ෂකයන්ගේද වාසනාවක් වේවි.
එදාට ඔබත් නිර්මාණයට අතගසාවිද..?
බොහෝ විට… ජීවත්ව හිටියොත් එය සිදුවේවි. හැබැයි ඒ එදාටයි… අදට මම තවමත් හොඳ නිර්මාණකරණයකට සූදානම් නැහැ මම හිතන්නේ.
-දමයන්ති රේණුකා ප්‍රනාන්දු











