නම අහලා තිබුණට ජීවිතේට කූඩැල්ලො දැකලා නැහැ…
කකුලෙන් ලේ එද්දි මම ගොඩාක් බයවුණා…
පසුගිය දවස්වල අපි ඔබට ළමා තාරකාවියන් කිහිපදෙනෙකු හඳුන්වලා දුන්නා ‘මව්රට’ පුවත්පත තුළින්. මේපාරත් ‘හාට්’ පිටු හැඩකිරීමට පුංචි සමනලියක් අපට හමුවුණා. ඇය 2019 වසරේ ‘හිරු’ සිඟිති අවුරුදු කුමරිය තුන්වැනි ස්ථානය හිමිකර ගැනීමට වාසනාව උදාවුණා. ඉතින් කාගෙත් නෙතඟට නොගැටුණු මොහොතක මේ පුංචි සිඟිත්තිය දක්‍ෂතාව ගැන ලොවටම කියන්නට අපි හිතුවා. මේ ළමා තාරකාවිය තමයි ප්‍රප්ති රිඇන් රත්නසිරි. ඒ පුංචි හඬ අවදි කළේ අලුත් බලාපොරොත්තු ගොන්නක්ද අපට පවසමින්.
ප්‍රප්ති දුව ඉතින් කොහොමද?
හොඳින් ඉන්නවා මාමේ.
මේ දවස්වල කොහොමද දුවගේ රඟපෑම් කටයුතු?
මේ දවස්වල තරුෂි පෙරේරා ආන්ටිගේ ‘සත් වර්ෂා’ ටෙලිනාට්‍යයේ ‘රශ්මි’ගේ චරිතය රඟපානවා. තව වෙළෙඳ දැන්වීම් කිහිපයකට පසුගිය දවස්වල සම්බන්ධ වුණා.
පුංචි දුවට ළමා තාරකාවියක් වීමට වාසනාව ලැබුණේ කොහොමද?
මම ඉතින් ගොඩාක් ලස්සනයිනේ. අපේ අම්මාට දකින හැමෝම කියනවා මාව රඟපාන්න යවන්න කියලා. අපේ අම්මගෙයි, තාත්තගෙයි ලොකු ආශාවක් තිබුණා මාව රංගනය පැත්තට යොමු කරන්න. අංජලි බුදවත්ත ආන්ටි හරහා කොහොම හරි මට රඟපාන්න යන්න අවස්ථාව ලැබුණා. මම මුලින්ම වෙළෙඳ දැන්වීම්වල තමයි රඟපෑවේ.
දුව මේ වන විට ටෙලිනාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවද?
මම රඟපාපු පළමු ටෙලිනාට්‍ය තමයි ‘අකුරු මැකී නෑ’ ටෙලිනාට්‍යයේ ‘නේත්‍ර’ චරිතය. ගොඩාක් දුප්පත්, අහිංසක චරිතයක්. මගේ අම්මා ලෙසට රඟපෑවේ තරුෂි ආන්ටි. දැන් රඟපාන්නේ ‘සත් වර්ෂා’ ටෙලිනාට්‍යයේ. ඒ ටෙලිනාට්‍යයත් තරුෂි ආන්ටිගේම ටෙලිනාට්‍යයක්.
දුව හිතුවද දුවගේ අම්මාට රඟපාපු තරුෂි ආන්ටිගේ ටෙලිනාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ලැබෙයි කියලා?
හැබැයි මම රඟපානකොට මම හොඳට රඟපානවා කියලා නිතරම තරුෂි ආන්ටි කියනවා. දවසක් මට මතකයි ආන්ටි කියනවා එයා ටෙලිනාට්‍යයක් කරන්න යන්නේ ඒ නාට්‍යයේ මට රඟපාන්න චරිතයක් ලියනවා කියලා. ඉතින් ඔය විදියට තමයි මම ‘සත්වර්ෂා’ ටෙලියේ ‘රශ්මි’ ලෙසට රඟපාන්න සම්බන්ධ වුණේ.
ඔයා වැඩිපුරම කැමැති ටෙලිනාට්‍යවලටද? එහෙමත් නැතිනම් චිත්‍රපටවල රඟපෑමටද?
මම ඒ දෙකටම කැමැතියි. හැබැයි තවම මට චිත්‍රපටයක රඟපෑමට අවස්ථාවක් ලැබුණේ නැහැ. චිත්‍රපටවලත්, ළමා නළියක් ලෙසට රඟපාන්න ආශාවෙන් ඉන්නවා.
කූඩැල්ලොත් එක්ක රඟපාන්න පහසු වුණාද?
අම්මෝ නැහැ… අකුරු මැකී නෑ ටෙලිනාට්‍යයේ රූපගත කිරීමක් තිබුණා රබර් කැලයක. මම දන්නැහැ කූඩැල්ලෝ කියන්නේ මොන සතුන්ද කියලා. නම අහලා තිබුණාට මම ජීවිතේටවත් කූඩැල්ලෙක් දැකලා නැහැ. උන් මගේ කකුලේ එල්ලිලා ඉද්දි මම බයේ කෑගැහුවා. කකුලෙන් ලේ එද්දි මම තවත් බය වුණා.
දුව පාසල් යන්නේ කොහෙටද?
නුගේගොඩ සුජාතා විද්‍යාලයට.
දුව රඟපානවට පාසලෙන් විරුද්ධත්වයක් නැද්ද?
අනේ නැහැ… මැඩම් පවා මට උදවු කරනවා. මගේ දක්‍ෂතාවය දැකලා ඉදිරියටම යන්න කියනවා.
රඟපෑමට වගේම ක්‍රීඩාවටත් දක්‍ෂයි කියලා ආරංචියි?
2020 බැඩ්මින්ටන් තරගාවලියෙන් ලංකාවෙන්ම චැම්පියන් ලෙසට මම ජයග්‍රහණය කළා.
දුව හොඳට ඉගෙනගෙන රටේ මොනවගේ තනතුරක් කරන්නටද බලාපොරොත්තුව?
ගුවන් සේවිකාවක් වෙන්න තමයි මම කැමැති. ඒ වගේම හොඳම රංගන ශිල්පිනියක් ලෙසට සම්මානයක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා.
–වසන්ත විතාරණගේ











