සබීතාගෙයි මගෙයි ගොසිප් හොයන්න හැදුවට වැඩක් වෙන්නෙ නෑ…
සබීතායි මමයි රඟපාපු චිත්‍රපටයක් තියෙනවා හැබැයි ඒක එන්නෙ නැහැ…
දැන් ඉතින් සබීතා ගැන කතා කළා ඇති…
හාට් එකේ කතාබහට මැදිවන සුවහසක් කලාකරුවන්ගේ තොරතුරු සමග පුංචි පුංචි ඕපාදූප සටහන් වන මැද පිටුවට පසුගිය සතියේ ගොඩවුනේ සම්මානනීය ජනප්‍රිය නළු සනත් ගුණතිලකය. සත්තකින්ම කියනවා නම් සනත් ගුණතිලක නම් ඒ සොඳුරු කලාකරුවා ‘හාට්’ එකට හදවතින්ම කතා කළ ආකාරය අපූරුය. ඒ අපූර්වත්වය තුළ වෙනත් කිසිදු පුවත්පතකට ඔහු නොකී කතා සේම කිසිවකු මෙතෙක් නොඇසූ, අසන්නට ආසා හිතෙන ඕපාදූපයන්ද එකතු වූයේ රසවත් කතන්දරයකට අවැසි අඩුවැඩිය සපුරාලමින්ය. එකී කතන්දරය කොයිතරම් රසවත් වූයේද කියනවා නම් අතරමඟදී දන්නෙම නැතුව මැද පිටුව අතුරු සිදුරු නැතිව පිරී ගියේය. හැබැයි, සනත්ට කියන්නට තව බොහෝ දේ ඉතිරිව තිබිණි. එය නොකියා සමුගන්නට ඔහු තුළ කැමැත්තක් නොවුණා සේම සියලු රස සපිරි ඒ කතා අකුරු නොකර සිටින්නට ‘මව්රට’ අපටද ලෝබ සිතිණි. ඉතින්, තවත් සතියක ‘හාට්’ එකේ මැද පිටුව සනත් ගුණතිලක වෙනුවෙන් මෙලෙස තිළිණ වූයේ ඒ නිසාමය. අනුෂ්කා සමග වූ පෙමට තිත තැබුවාට පසුව සනත් සබීතා සමග පෙමක පැටළුණු බව එකල සිනමා තරු තොරතුරු අතර නිතර සටහන් වූවා මතකය. සනත් සමග කතාබහේ දෙවැනි පියවර සමග සුහද ගනුදෙනුව ආරම්භ වූයේ සබීතා සමග ඔහු ඇතිකර ගත් ඒ ප්‍රේම කතන්දරය ගැන සිත නලවන දෙබසකින්ය.
ජනප්‍රිය සිනමා නිළි සබීතා, ඔබ සමග පෙමට තිත තැබූ හේතුව කුමක්ද?
සබීතා සහ මා අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණු වග ඔබ කියනතුරු මමවත් දන්නේ නැහැ. එවැන්නක් ඇය හෝ මම කිසි විටෙක ප්‍රකාශ කළේවත් නැහැ.
හරිම උපායශීලී ලෙස ඔබ ප්‍රශ්නය මඟහැරියා?
ප්‍රශ්නවලට උත්තර දෙන එක එකක්. ගොසිප් මවන එක වෙනත් දෙයක්. සබීතා සහ මම නිතර එකට රඟපෑවා. අපේ සුසංයෝගයට ප්‍රේක්ෂකයන් වාගෙම චිත්‍රපට නිර්මාණකරුවන්ද ප්‍රිය කළා. ජෝඩු විලාසිතාවට එලෙස රඟන විට මාධ්‍යවලින් අපව පෙම්වතුන් ලෙස හඳුන්වන්නට පෙලඹුණා. ගාමිණී – මාලිනී වාගෙම විජය – මාලිනී සුසංයෝගයත් එවැන්නක්. ඒක එච්චරයි.
නැහැ, එය එතැනින් ඉවර නැහැ. තව අහන්න ප්‍රශ්න තියෙනවා ඒ ගැන?
අහන්න. මම ප්‍රශ්නවලට බයවෙලා දුවන කෙනෙක් නෙවෙයි.
එහෙනම් කියන්න, ‘සිසිල ගිනිගනී’ චිත්‍රපටයට සබීතාවම ගන්න කියල ඔබ ප්‍රසන්න විතානගේට යම් බලපෑමක් කළේ නැද්ද? ඒ ඔබ ඇයට ආදරය කළ හින්දා නෙවෙයිද?
අන්න ඔබ වලිගය පාගගත්තා. ඒක අපූරු විහිළුවක්. ‘සිසිල ගිනිගනී’ චිත්‍රපටයට සබීතාව ගන්න කියා මම ප්‍රසන්න විතානගේට කිසිම බලපෑමක් කළේ නැහැ. සබීතා, ඇනට්ගෙ චරිතයට ඉතා සුදුසුයි කියා ඔහුට ඒත්තු ගැන්වීම සඳහා සුහද පෙරැත්ත කිරීමක් නම් මා වෙතින් එතැනදි සිදුවුණා. එයට හේතු වුණේ ආදරය හෝ ප්‍රේමාන්විත හැඟීමක් නෙවෙයි. පොඩි රළහාමි, දෙවැනි ගමන, විරාගය වැනි චිත්‍රපටවලදි සබීතා පෙරේරා තුළ වූ දක්ෂතාව ඒ ඒ චරිත වෙනුවෙන් ඈ කළ කැපවීම මා හොඳින්ම නිරීක්ෂණය කළා. ඇත්තෙන්ම සිසිල ගිනිගනීහි ඇනට්ගේ චරිතයට සබීතාව ගන්න කියා ප්‍රසන්න විතානගේගෙන් ඉල්ලීමක් කිරීමට මා පෙලඹවූයේ ඇගේ ඒ හැකියාවයි.
ප්‍රසන්න විතානගේ ඔබේ තෝරාදීම ගැන සෑහීමකට පත්වුණාද?
ඒ ප්‍රශ්නය ඔබ ප්‍රසන්න විතානගේගෙන් ඇහුවා නම් වඩාත්ම සුදුසු බවයි මගේ හැඟීම වන්නේ.
ප්‍රසන්න විතානගේ ඊටපසු නිර්මාණය කළ කිසිදු චිත්‍රපටයක් සඳහා සබීතාව තෝරානොගත්තේ ඇයි කියලා ඇහුවොත්?
සබීතා විතරක් නෙවෙයි. ප්‍රසන්න ඔහුගේ කිසිම නිර්මාණයකට ඊට පසුව මාව තෝරාගත්තෙත් නැහැ. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිය දමයන්තිටවත් ඔහු නිර්මාණය කළ චිත්‍රපටවල කවදාවත් ප්‍රධාන චරිතයක් ලැබුණේ නැහැ. ඒ තමයි ප්‍රසන්නගේ විදිය. හැබැයි ප්‍රසන්නත් මමත් හැමදාමත්, අදටත් හොඳ යාළුවෝ.
ඔබ නිෂ්පාදනය කළ ‘පද්මාවතී’ සහ ‘අපේ කාලයේ කුමාරිකාවක්’ චිත්‍රපටවල ප්‍රධාන චරිත සඳහාද සබීතා පෙරේරාගේ දායකත්වය ලබාගන්නට ඔබ අප්‍රමාණ වෙහෙසුණා?
ඔව්, ඔබ හරි. ඔබ මා සමග කතාබහ සඳහා අසුන්ගෙන තිබෙන්නේ හොඳට ‘හෝම් වර්ක්’ කළාට පසුව බවයි මට හැඟෙන්නේ. හැබැයි ඔබ සබීතා සහ මා ගැන ඕපාදූප සෙවීමේ කාර්යයට කෙතරම් උපායශීලී වුවත් ඔබට දැනගැනීමට යමක් එතැන නැහැ. මෙතැනදීද මම දියයුත්තේ ඉහත උත්තරයම තමයි. අපේ ‘කාලයේ කුමාරිකාවක්’ වෙනුවෙන් සබීතාව ගන්න කියා සුදත් මහදිවුල්වැවට වාගෙම ‘පද්මාවතී’ චිත්‍රපටයටත් සබීතාව ගමුය කියා සුදත් රෝහණටත් මම යෝජනා කළේ සබීතාගේ දක්ෂකම කැපවීම සහ උනන්දුව නිසයි. මෙහිදී තවත් කාරණාවක් කියන්නම්. පුවත්පතකට පළමු වරටයි මේ ගැන මං කියන්නේ. ප්‍රසන්න පරණවිතාන නම් ගුණාත්මක නිර්මාණකරු සමග එක්ව ‘සහන් එළිය’ නමින් මා තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. එහිද ප්‍රධාන චරිතය සබීතාටම පැවරුණා. එහි වැඩකටයුතු සියල්ල නිම වුවද ‘සහන් එළිය’ අධ්‍යක්ෂණය කළ සුප්‍රසිද්ධ විචාරක චන්දන සිල්වාගේ අභාවයත් සමගම එහි ප්‍රදර්ශන කටයුතු ඇනහිටියා. තවමත් එය ප්‍රදර්ශනය නොවීම ඇත්තෙන්ම කනගාටුවක්. මොකද කියනවා නම් ඉතා ගුණාත්මක නිර්මාණයක් නිසයි.
එතරම් කනගාටු වන්නේ ඇයි? ඔබට බැරියැ ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න?
ඔව්. එය මට කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. නමුත් සිනමාව අද ඇදවැටී තිබෙන ඛේදනීය තත්ත්වය දෙස බලන විට එවැන්නකට අතගැසීම පහසු කාර්යයක් නෙවෙයි. මෙතැනදි මෙහෙම යෝජනාවක් ඉතා සුහදව ඉදිරිපත් කරන්නම්. සබීතාට පුළුවන් නම් ‘සහන් එළිය’ චිත්‍රපටය රූපවාහිනි නාලිකාවකවත් ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය විධිවිධාන සලසන්න. ඒක ඇයට වාගේම අපේ ආධුනික රංගන ශිල්පීන්ටත් ගොඩක්ම වැදගත් වේවි.
ඉතින් ඔබට පුළුවන්නෙ එය සබීතාට යෝජනා කරන්න?
මම ඒක ඔබලාට භාර දෙන්නම්. ‘මව්රට’ වැනි ජාතික පුවත්පතක් හරහා එවැන්නකට අතගැසීම කිසි විටෙක අපතේ යන එකක් නෑ.
හිතෙන හැටියට නම් සබීතා සමග ඔබේ යම් අමනාපයක් තියෙන හැඩයි?
අපි සබීතා පෙරේරා ගැන කතාබහට තිත තැබුවොත් හොඳයි දැන් මං හිතන්නේ.
තව එක ප්‍රශ්නයකට අවසර ඉල්ලනවා. ඔබට සරිලන ආකාරයට රඟපාන්න පහසුම සහාය නිළිය වූයේ සබීතා පෙරේරා නේද?
මගේ සහාය සඳහා අදාළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන නිර්මාණකරු මට දෙන ඕනෑම නිළියක් සමග මම පහසුවෙන් රඟපානවා. හැබැයි යම් සුවිශේෂ උත්තරයක් ඔබට අවැසි නම් ඒ සඳහා දෙන නම ගීතා සමන්මලී කුමාරසිංහයි.
එයට සුවිශේෂ වූ හේතුවක් තියෙනවද?
පැහැදිලිවම. එය මේ යැයි කියන්න අපහසුයි. හැබැයි ගීතා සහ මා අතර හොඳ රංගන ගනුදෙනුවක් සඳහා අවැසි රසායනයක් තියෙනවා කියලයි මට දැනෙන්නේ. සරාගී චරිත, වෛරය සහ පළිගැනීම් ස්වභාවයෙහි චරිතයන් වාගෙම ප්‍රේමනීය චරිතයන්ද ඉතා සාර්ථකව මට ඇය සමගත්, ඇයට මා සමගත් පහසුවෙන් රඟපාන්නට පුළුවන් වන්නේ ඒ නිසයි. ‘පාලම යට’, ‘රාජ්‍ය සේවය පිණිසයි’ වැනි ගුණාත්මක චිත්‍රපට වාගේම ‘මල්සර දෝණි’ වැනි වාණිජමය චිත්‍රපට ගත්තත් ඒවා නරඹන ඕනෑම අයකුට මම කී දේ ඇත්තක් බව සනාථ වේවි. ඒ වාගෙම ගීතා සහ මා අතර තිබෙන මිත්‍රත්වය මෙන්ම එකිනෙකා තේරුම්ගැනීමේ අවබෝධයද හරිම සුහදශීලී මට්ටමක තිබීමද ඒ රසායනයට අවැසි හොඳ පසුබිමක් වෙන්න ඇති.
ඒ තරමට සුහදශීලී ගීතා කුමාරසිංහ ‘සලඹක් හඬයි’ චිත්‍රපටය වෙනුවෙන් කළ ආරාධනය ඔබ රිජෙක්ට් කළේ ඇයි?
එය වෙනත් චිත්‍රපටයක කොපියක්. මම එහි තරඟපෑමට අකැමැති බව ඉතා සුහදව ඈ හමුවේ කියා සිටියා.
ඇගේ ‘ලොකු දුව’ චිත්‍රපටයත් ඔබ ප්‍රතික්ෂේප කළා?
ඔව්. එය කනගාටුවට කරුණක් වුණා. දින ගණන් වෙන්කර ගැනීමට බැරි තරමට මම එතැනදී කාර්යබහුලව සිටියා. හැබැයි ගීතා මා හා අමනාප වුණේ නැහැ. අපේ මිත්‍රත්වයේ විශේෂත්වය එයයි.
ඔබ රංගනයෙන් සහාය වූ ගීතා කුමාරසිංහගේ ‘වාසුළි’ චිත්‍රපටය තිරගත නොවූ හේතුව කුමක්ද?
‘වාසුළි’ කියන්නේ හොඳ චිත්‍රපටයක්. එය පස්වැනි මණ්ඩලයෙහි ප්‍රදර්ශනය කිරීමේ වුවමනාව ගීතා තුළ තදින් තිබුණා. නමුත් ඒ සඳහා ඇයට අවැසි අවසරය ලැබුණේ නැහැ. පසු කලෙක ගීතා තීරණය කළා පස්වැනි මණ්ඩලයේ මිස වෙනත් ප්‍රදර්ශන මණ්ඩලයක එය තිරගත කරන්නේ නැහැ කියා.
මාලිනි, අනෝජා, ස්වර්ණා සහ ගීතා අතරින් අතිදක්ෂ යැයි ඔබ තෝරන නිළිය කවුදැයි කියනවා නම්?
ඔවුන් සියල්ලන්ම එකිනෙකා පරයා යන දක්ෂකම් සපිරි රංගවේදිනියන් බව මා පළමුව සඳහන් කරනවා. දෙවැනුව පවසන්නේ ශ්‍රී ලාංකේය සිනමාවේ දක්ෂතම නිළිය ලෙස මා තෝරාගෙන සිටින අද්විතීය කාන්තාවගේ නම ඔබ ඉදිරිපත් කළ නම් ලිස්ට් එකේ තිබුණේ නැති බවයි. ඒ, ප්‍රවීණ සිනමා නිළි අයිරාංගනී සේරසිංහයි. රේඛාවෙන් ආරම්භ කළ ගමන තුළ ඇය පෑ රංගන පෙළහරෙහි වර්ණ කියන්නට සාගරයක් මැද, බක්මහ දීගේ සහ දඩයම යන චිත්‍රපට අතලොස්සද හොඳටම ඇති. ඉතාම තදින් මම අයිරාංගනී සේරසිංහ මහත්මියගේ රංගන ශෛලිය අගය කරනවා. එලෙසම මගේ ප්‍රියතම කලාකාරියද ඇයයි. ඇගේ රංග ප්‍රතිභාවට සරිලන විකල්ප සෙවීම පහසු කටයුත්තක් නොවන බව විශ්වාසයි.
‘තමුන්නාන්සෙගෙ රඟපෑම් ගැන සෑහීමකට පත්වෙන්න අමාරුයි’ යනුවෙන් නිහාල්සිංහයන් වරක් ඔබට පවසා සිටි හේතුව කුමක්ද?
පළමුව කිව යුතුයි ‘තමුන්නාන්සේ’ කියන්නේ නිහාල්සිංහයන්ගේ කතා ශෛලියෙහි අඩංගු ළෙන්ගතු වචනයක්. දෙවැනුව කිව යුතුයි ඔහුගෙන් ඊට හේතු අසන්නට තරම් හයියක් එදා මට තිබුණෙ නැහැ. හැබැයි එය අපූරු සිදුවීමක්. රිදී නිම්නයෙහි මේක්අප් ටෙස්ට් එකට පැමිණි මොහොතේ තමයි නිහාල්සිංහයන් මගේ ළඟට ඇවිත් එහෙම කිව්වේ. ඉන් පස්සේ ඔහු කිව්වා ‘රිදී නිම්නය වෙනුවෙන් ඔයාව මට වුවමනා විදියට හදාගන්න නම් පොඩි හෝ පුහුණුවක් කරන්නට ඕනෑ සනත් ඒකට කැමැතිද?’ කියලා.
එක පයින්ම මම ඊට කැමැති වුණා. පස්සේ ඉතින් එළිබෑන්ක් පාරේ තියෙන ඔහුගේ කාර්යාලයේදී ඔහු කී ආකාරයටම දවස් දෙක තුනක්ම නිහාල්සිංහයන්ගේ ආභාසය යටතේ මම ඔහුට සරිලන ආකාරයට පෙර පුහුණුවට සහභාගි වුණා. ‘අනිවාර්යයෙන්ම තමුන්නාන්සේ ලොකු ගමනක් යන එක ස්ථිරයි. මට තමුන්නාන්සේ ගැන බොහොම සතුටුයි. අවසානයේ නිහාල්සිංහයන් මගෙ උරහිස් මත සිය දෑත තබා එලෙස පැවසුවේ ඉතා ළෙන්ගතුවයි. ඔහුගේ ආභාසය හමුවේ දින දෙක තුනක් තුළ මා ලද දැනුම් සම්භාරය මට සාර්ථක දිගු ගමනකට අවැසි පන්නරය එදා ලබාදුන්නා. චිත්‍රපට හත අටක රඟපා සිටි, තවත් චිත්‍රපට කිහිපයක ගිවිසුම් අස්සන් කර සිටි මම, මගේ දක්ෂකම හොඳ මදි යැයි කී ප්‍රවීණයකුට අවනතව ඒ ගමන එදා නොගියා නම් ඒ දැනුම් සම්භාරය මට අහිමි වන්නට තිබුණා. නවක තරුණයකු ලෙස එදා මා ලැබුවේ වෙනත් අයකුට බොහෝ විට ලබන්නට නොහැකි වරමක්.
හොඳයි අපි දැන් දේශපාලන ඉසව්වට යොමු වෙමු?
දේශපාලනය ගැන මෙතැනදී කතා කරන එක සුදුසු මදි නේද? මොකද ඔබ මෙතෙක් කතා කළේ සනත් ගුණතිලක කියන කලාකරුවා සමගයි.
ප්‍රශ්නය කලාවට සම්බන්ධයි. චන්ද්‍රිකා ආණ්ඩුව යටතේ කලාකරුවන් වෙනුවෙන් ඔබ යම් මෙහෙවරක් කළාද?
මම එයට දිය යුතු උත්තරය බොහොම දිග කතන්දරයක්. ඒ ගැන ලියන්න ගියොත් ‘මව්රට’ පත්තරේ ‘හාට්’ ටැබ්ලොයිඞ් එක සම්පූර්ණයෙන්ම මගේ කතාවටම දෙන්න වෙයි මං හිතන්නේ.
එහෙම නම් කියන්න චන්ද්‍රිකා ආණ්ඩුව යටතේ සමහර කලාකරුවන්ට සිදුවූ අසාධාරණකම් ඉදිරියේ ඔබ නිහඬව සිටියේ ඇයි?
ඔබට මම ආයෙම කියනවා, කෙටි උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි ඔය අහන්නේ. ඔබ මා සමග නැවත කතාබහකට ‘මව්රට’ හරහා එන්න. ‘සනත් සිනමාව සහ දේශපාලනය’ යන මාතෘකාව යටතේ. ඔබ ඉහත කී ප්‍රශ්න මගෙන් අහන්න. එදාට මම උත්තර බඳින්නම්.
එහෙනම් අඩුම ගානේ කියන්න වික්ටර් අයිවන් ලියූ ‘චෞර රැජින’ පොතේ තිබුණු සිදුවීම් ඇත්ත නෙවෙයිද?
මේ අහන්න. ඕනෑම චෝදනාවකදි වැරැද්ද නිවැරැද්ද ඔප්පු වෙන්නේ සාක්ෂි සහ කරුණු අනුවයි. සාක්ෂි නැතිවීම නිසා හෝ යම් තාක්ෂණික දෝෂයක් නිසා හෝ වැරැදිකරුවන් නිවැරැදිකරුවන් වූ අවස්ථා එමටයි. ඒ සමහර විටෙක ඔවුන්ගේ දෛවය විය හැකියි. එලෙසම සියල්ල පෙනි පෙනී නොකරපු වරදකට නිදොස් අයකු වරදකරු වීම විශාල පාපයක්. ඒ අවස්ථාවේ එකී නිදොස් පුද්ගලයා විඳවන වේදනාව කොතරම්ද? බොහෝ විට තමාව පණ පිටින් පුලුස්සා දමනවා වගේ වේදනාවකින් ඒ අය දැවෙන්නට පුළුවන්. ඔබ ඉහත කී ‘චෞර රැජින’ පොතේ කරුණු කාරණා ගැන මට දෙන්නට තියෙන්නෙත් එවැනි උත්තරයක්. අනෙක බෞද්ධයන් වශයෙන් අප කරන කියන දේ ඉදිරි ආත්මවල පලදෙන බවද අප දැනගත යුතුයි.
ඔබ කතා කරන්නේ ලොකු වේදනාවකින් වගේ?
නැහැ. ඔවැනි පාපතරයන් ගැන දැන් කිසිම තැකීමක් මගේ හිතේ නැහැ. නමුත් කලක් මම එයින් විඳි වේදනාව අපමණයි. රිටර්න් එක දෙන්නට බැරිකමක් නොතිබුණත් ඒක හරියට ‘ඌ මැරියන් කියලා හිතාගෙන මම වහ බොනවා’ වගේ වැඩක් වේවි. ඒ හින්දා නිහඬව දරාගැනීම ඊට වඩා වටිනවා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ ‘ගති නිමිති’ ගැන අහලා තියෙනවද?
නැහැ. පෙරනිමිති ගැන නම් අහල තියෙනවා…
එහෙනම් අහගන්න. ‘ගතිනිමිති’ කියන්නේ මිනිසකුට තම මරණ මංචකයේදි ඔවුනොවුන් කළ කී දෑ සිහියට එන අවස්ථාවයි. ලොකු කුඩා කාට වුණත් එයින් ගැළවීමක් නැහැ. ඔබට මට වාගෙම ඉහත කී පාපතරයන්ටද ඒ අවස්ථාව ඒවි.
හොඳයි අපි අවසානය කරා යමු. කොරෝනා විරාමය තුළ ඔබ චිත්‍රපට තිරපිටපත් කිහිපයක්ම නිර්මාණය කළා?
ඔව්. ඒ එකක් 2021 අවුරුද්දේ ඔක්තෝබරයේ රූගත කිරීම් ඇරැඹීමට පවා නියමිතව තිබුණා. ඒ චාලක ජයසිංහ නම් අපූරු නිර්මාණකරු වෙනුවෙන් මා ලියූ පිටපතයි. කොරෝනාව නිසා ඒ වැඩකටයුතු මඳකට අඩාළ වුණත් නුදුරු දිනෙක නැවත එහි වැඩකටයුතු ආරම්භ කිරීමට මම සහ චාලක බලාපොරොත්තුව සිටිනවා.
ඔබේ රංගන රසායනයට කදිමට ගැළපෙන ගීතා කුමාරසිංහට එහි චරිතයක් නැද්ද?
නැහැ. ඒ චිත්‍රපටයෙහි ඇයට හරියන චරිතයක් තිබුණේ නැහැ. හැබැයි ගීතා කුමාරසිංහ දේශපාලනයෙන් සමුගත් විගසම වාගේ මම නිෂ්පාදනය කරන්නට බලාපොරොත්තුව සිටින චිත්‍රපටයෙහි ප්‍රධානම චරිතය දෙන්නට බලා සිටින්නේ ඇයටයි.
කුමක්ද එහි විශේෂත්වය කියලා ඇහුවොත්?
ඒ සුවිශේෂ චරිතය ගීතා කුමාරසිංහට ඇරෙන්න වෙනත් කිසිම නිළියකට කරන්නට බැරි බව මා විශ්වාසයි.
-දමයන්ති රේණුකා ප්‍රනාන්දු











