70 දශකය කියන්නේ, ‘සූරයා’ යන නම ශ්‍රී ලාංකේය සිනමාව තුළ කදිම ‘්‍යසඑ’ එකක් ඇති කළ යුගයකි.
‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයත් සමඟ එම උන්මාදය වඩාත් තීව්‍ර විය.
සුන්දර නිළි තාරකාවන් කිහිප දෙනකුටම වසන්තයේ දොර විවර කර දීමට තරම්ම, එකී උන්මාදය ප්‍රේක්‍ෂක සිත් තුළ සොඳුරු පීඩනයක් ඇතිකර තිබිණි.
මාලිනි ෆොන්සේකා, ශ්‍රියානි අමරසේන, සෝනියා දිසානායක යනුවෙන් නම් ලද ඒ තරු පිරිස අතර අග්‍රා සජීවනී ද සමසමව අසුන්ගෙන සිටියාය.
උසට සරිලන හැඩකාර සිරුරකින්ද, සොඳුරු මුහුණකින්ද සිනමාව සැරැසූ අග්‍රා සජීවනීට තරුණයෝ එකල උමතුව සිටියහ.
වත්මන් පරපුරට ආගන්තුක වුවද හැත්තෑව දශකයේ තරුණ පරපුරක්ව සිටි රසිකයනට තවමත් අමතක නැති ‘අග්‍රා සජීවනී’ සොයා ‘හදවත’ නතර වූ සොඳුරු කතාබහක තොරතුරුයි මේ ඔබ හමුවේ පෙළ ගැසෙන්නේ.
තරුවක් ලෙස 70 දශකය ලස්සන කළ ඔබ අද බොහෝ නිහඬයි නේද?
නිහඬයි කියන්නටම බැහැ. ජීවිතයේ සැඳෑ සමයට පිවිසෙමින් මම එහි නිදහස් සුවය අත්විඳිනවා කියන එක තමයි ඔබේ ප්‍රශ්නයට දියයුතු හොඳම පිළිතුර වන්නේ.
ඒ කියන්නෙ රඟපාන්නට දැන් ඔබට වයස වැඩියි කියලද හිතන්නෙ?
මම හිතන්නෙ එහෙමයි, මොකද? මට දැන් වයස අවුරුදු හැත්තෑවක් වෙනවා. තරුණ කාලේ රඟපෑවා වාගේ, මල් ගස් වටේ නැටුවා වාගේ දැන් නටන්න, රඟපාන්න බැහැ.
ඒ නිසා තැන්පත් විදියට ජීවිතය දිහා බලන එක තමයි කරන්නට ඕනෑ.
වයසට සරිලන චරිතයක් රඟපෑමේ කැමැත්තක්වත් ඔබ තුළ නැතිද?
රඟපෑම කියන්නේ සරල දෙයක් නොවෙයි. බොහෝම වගකීමෙන් යුතුව දිවා – රෑ නොබලා කැපවීමෙන් ඉටු කළ යුතු කාර්යයක් ඒක.
අලුත් පරම්පරාව ඒ දිහා කොහොම බලනවද කියන්නට දන්නෙ නැහැ. අපි නම් එදා රංගනය සඳහා කැපවූයේ බොහොම වෙහෙස මහන්සි වෙලයි… අන්න ඒ කැපවීම එදා තරුණ වයසෙදි කළා වාගේ මේ වැඩිහිටි වයසෙදි කරන්න අමාරුයි. ඒ හින්දා කොයි මට්ටමේ හෝ චරිතයක් වෙනුවෙන් නිදහස, විවේකය අහිමිකර ගන්න එක මට ටිකක් අපහසුයි.
හැබැයි එදා වාගේම අදත් මම සිනමාවට ආදරය කරනව. රඟපෑම කියන වෘත්තියට ගරු කරනවා.
හොඳයි අපි අතීතයට යමු. ඔබ සිනමාවට ආවේ හුඟාක් තරුණ වයසෙදි?
ඔව්. ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයෙන් තමයි මම හා හාපුරා කියල රංගනයට පය තැබුවේ. එතකොට මට වයස අවුරුදු 20ක්, 21ක් වාගේ ඇති. මුඩුක්කුවක ජීවත් වන, කටකාර කෙල්ලක ලෙස තමයි මම එහි රඟපෑවේ.
ඒ කාලේ ගාමිණී – මාලිනී සුසංයෝගය හරිම ජනප්‍රියයි. මගේ පළමු රංගනයේදී ඔවුන් සමඟ සමසමව කටයුතු කරන්නට ලැබීම ගැන මම ගොඩාක් සතුටු වුණා.
ඒ කටකාර මුඩුක්කු කෙල්ලට හොඳ ප්‍රතිචාරයක් ලැබුණාලු නේද?
සත්තකින් ඔව්. ‘සූරයෝ’ චිත්‍රපට පෙළ ඒ දවස්වල රසිකයන් හරිම ආදරයෙන් වැලැඳගත්තා. ඒ නිසා ‘සූරයෝ’ කියන හැම චිත්‍රපටයක් වාගෙම ‘හතරදෙනාම සූරයෝ’ත් අතිශයින්ම ජනප්‍රිය වුණා. දින සිය ගණන් නොකඩවා ප්‍රදර්ශනය වූ නිසා කටකාර මුඩුක්කු කෙල්ලටත් රසිකයෝ ප්‍රිය කළා.
පුදුම විදියට ඔවුන් එම චරිත නිරූපණය ආදරයෙන් වැලැඳගත්තා. මඟතොටේ යන්න බැරි තරමට ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුණා. දැන් කාලේ වාගේ නෙවෙයි. ඒ දවස්වල නළු නිළියන්ට රසිකයන් හරි තදින් ඇලුම් කළා. නළුවෙක්, නිළියෙක් එන්නෙ කොතැනටද? එතැනට මහා ජන ගංගාවක් ඇදී ආවා. අපව දකින්න, සෙනඟ අතරින් ඇවිදගෙන යන කොට අපේ ඇඟිලි කොනක් හරි ස්පර්ශ කරන්න රසිකයෝ පොර කෑවා.
එච්චර සුන්දරත්වයක් ඒ කාලේ සිංහල සිනමාව තුළ තිබුණා. මමත් එහි පංගුකාරියක්ය කියන අහිංසක ආඩම්බරය මගේ හිතේ තියෙනවා.
ජීවන ගංගා චිත්‍රපටය ගැනද මෙතැනදී කතා කළ යුතුයි. එහි රඟපෑවේ මමයි, සේනාධීර රූපසිංහයි. සෝනියා දිසයි. මම දරු පවුලක් කඩා ඉහිරවන අනියම් පෙම්වතියකගේ චරිතයකට තමයි එහිදී මැදි වුණේ. එය ඉතාම ජනප්‍රිය වුණා. විශාල ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබුණා. හුඟක් විට විචාරයට කතාබහට ලක්වුණු චිත්‍රපටයක් ලෙස ‘ජීවන ගංගා’ මාධ්‍යවල පවා ප්‍රසිද්ධියට පත්වුණා.
නපුරු කළු චරිතයක් කළාය කියන හැඟීම වෙනුවට ප්‍රේක්‍ෂකයන් තුළ මතු වුණේ මා එය සාර්ථකව කළාය යන හැඟීමයි.
සුගන්ධි චිත්‍රපටයේ ඔබ රඟපෑවෙත් නපුරු සරාගී චරිතයක් නේද?
එහි මම ද්විත්ව චරිත නිරූපණයක නියැළුණා. මම දැඩි සේ ප්‍රිය කළ ජනක රත්නායකගේ ‘කබලෙන් ළිපට’ චිත්‍ර කතාව අනුවයි එය නිර්මාණය වූයේ. එහිදී මම නිෂ්පාදනයට පවා අත ගැසුවේ ඒ කතා තේමාවට මම කැමැති නිසාමයි.
‘නයෝමි’ ලෙස කුඩම්මාටත්, දියණිය ලෙස ශෝභාටත් මම එහි කළ රංගනය ගැනද මට හොඳ විචාර පැසසුම් ලැබුණා. එය සාර්ථක චිත්‍රපටයක්. ප්‍රේක්‍ෂකයන් මෙන්ම විචාරකයන්ද පිළිගැනීම මට ලොකු සතුටක් වුණා.
සිරුර නිරාවරණය වන අන්දමේ විලාසිතා අනුගමනය කළ නයෝමිගේ චරිතයට චෝදනා එල්ල වුණේ නැද්ද?
අයියෝ නැහැ. චිත්‍රපටය වැඩි පුර ජනප්‍රිය වීමට නම් මම හිතන්නෙ එය හේතුවක් වුණා. සමහර පිරිමි ළමයි කොලුකමට එය හත් අට වතාවක් බලලා තිබුණා. මඟතොටේදී හමුවූ විට පවා ඔවුන් එය මා හා පැවසුවා. ඇත්තෙන්ම නයෝමිගේ සරාගී චරිතය හුඟක් ජනප්‍රිය වුණා. එහි මගේ රඟපෑම නපුරු අවිනීත කුඩම්මෙක් ලෙස විහිද ගියත් ප්‍රේක්‍ෂකයන් වැඩිපුර කතා කළේ එහි සාර්ථකත්වය ගැනයි.
නුවර ඉඳලා එන කෝච්චියෙන් මල්පොකුරු එවන්න පවා රසිකයො උනන්දු වුණේ ඒ නිසාද?
මල් පොකුරු විතරක් නෙවෙයි, රසිකයෝ නුවර කෝච්චිය හරහා මට පලතුරු කූඩ හිටන් එව්වා. සමහර දවසට මල් පොකුරු මිටි ගණන් තිබුණා.
ඔබ එය නිහතමානීව පිළිගත්තද?
නැතුව… ප්‍රේක්‍ෂකයන් අපට දැක්වූ ළෙන්ගතුකම අප හොඳ හිතින් භාරගත යුතුයි. රංගවේදිනියකව තරුවක් කරන්නේ ඔවුන් තමයි. ඔවුන්ට අප කෘතගුණ සැලකිය යුතුයි.
මංගල යෝජනා සමඟ පැමිණි මිටි ගණන් ලියුම්වලට මොකද වුණේ?
ඒවාට ඉතාම උපේක්‍ෂාවෙන් සහ උපායශීලීව පිළිතුරු ලිව්වා.
ඒ වගේම මාව සජීවීව දකින්න ගේ ඉස්සරහ රැකගෙන හිටපු අයටත් මම ඉතා සුහදව ප්‍රතිචාර දැක්වූවා. කොහොමත් මම කවදත් හිටියේ ‘ප්‍රේක්‍ෂකයන්ට කෙයාර් කරන්න ඕනෑ නේද’ කියන තැනයි. ජනප්‍රියත්වය හමුවේ හිස උදුම්මා ගැනීමේ වුවමනාවක් කවදාවත් ‘අග්‍රා සජීවනී’ට තිබුණේ නැහැ.
අදටත් ඔබට මඟතොටේදී ප්‍රතිචාර ලැබෙන්නේ ඒ නිසා වෙන්න ඇති?
බොහෝ විට එහෙම වෙන්න ඇති. උපන් දිනය දවසට තවමත් මට සුබපැතුම් ගලාගෙන එනවා. මඟතොටේදී හමුවුණාම මම රඟපෑ චරිත ගැන කතා කරනවා. ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයේ කටකාර මුඩුක්කු කෙල්ලගේ දෙබස් සමහර අයට අදටත් කටපාඩම්.
නයෝමි ගැන ජීවන ගංගා ගැන ඔවුන් කතා කරන්නේ හරිම උද්දාමයෙන්. කොච්චර ලස්සනද ඒ කාලේ. චිත්‍රපට හෝල්වල මිනිස්සු පොදිකනවා. ඒ අපූරු යුගය ආයේ කවදා එයිද මිස්’ කියලා ඔවුන් මගෙන් අහනකොට අද සිංහල සිනමාව ගැන දුකක් වාගෙම එදා අප දායකත්වය දුන් සිංහල සිනමාවේ වසන්තය ගැන මහා සතුටකුත් දැනෙනවා.
චිත්‍රපට බලන්න හෝල්වලට යන අවස්ථා තිබෙනවද?
අනේ නැහැ, හුඟාක් විට බලන්නේ රූපවාහිනියේ විකාශනය වන චිත්‍රපට තමයි.
ඔබ රඟපෑ ඒ කාලේ චිත්‍රපට දිහා බලනකොට මොනවද හිතෙන්නේ?
සමහර සීන් දකින කොට, අනේ මීට වඩා හොඳට මට මේක කරන්න තිබුණා නේද? කියලා හිතෙනවා. නපුරු චරිත දකින විට අම්මෝ.., මම ඒ තරම් දුෂ්ට වුණේ කොහොමද? කියලත් හිතෙනවා.
ඒ වාගේම මේ රඟපාන්නේ අග්‍රා සජීවනී කියන තරුණ නිළිය නේද කියලා මහා ආත්මික සතුටක් දැනෙන අවස්ථාවන්ද ඒ අතර ඕනෑ තරම් තියෙනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











