අද බිහිවෙන ටෙලිනාට්‍ය චරිත ගැන මතක ඇත්තේ කීයෙන් කීදෙනාටද. දැන් තත්ත්වය එසේ වුණත් ඔබට මතක ඇති මීට කාලයකට උඩදි ඔබ හදවතින් ආදරය කරපු චරිතයක්. ඒ සුවඳාගේ චරිතය. අදටත් විකාශය වෙන ‘කෝපි කඬේ’ ටෙලිනාට්‍ය හරහා තමයි ඔබට ඒ චරිතය සමීප වුණේ. ඉතින් එදා සුවඳාගේ චරිතය ඔබට ජීවමාන කළ දමයන්ත පෙරේරාගේ අලුත් වගතුග සොයා බලන්න ‘මව්රට හාට්’ විශේෂාංගයේ අපි අමතක කළේ නැහැ.
ටෙලිනාට්‍ය කලාවේ අපූරු චරිතයක් ඔබ ජීවමාන කළා. ඒ ගැන මුලින්ම කතා කළොත්?
මම හිතන්නේ ඒ සුවඳා කියන චරිතය අදටත් ජීවමාන චරිතයක් වෙලා. ඒ තරමට ගමේ ගොඬේ බාල, මහලු කොයි කවුරුත් ආදරය කරපු චරිතයක් තමයි සුවඳාගේ චරිතය. මම කෝපි කඬේ කොටස් දාහක විතර රඟපෑවා. එයට පස්සේ තමයි මම එයින් ඉවත් වුණේ.
ඔබට සුවඳාගේ චරිතය හිමිවුණු විදිහ ගැන ආවර්ජනයක් කරමුද?
මම පාසල් කාලෙ නැටුමට දක්ෂයි. ඉතින් පාසල් වේදිකා නාට්‍යවලත් රඟපෑවා. පාසලේ මිතුරෙක් හරහා රොහාන් වැලිවිට අඳුනගන්න ලැබුණා. ඔහුගේ වේදිකා නාට්‍ය රඟපෑමට මටද අවස්ථාව ලැබුණා. රොහාන් වැලිවිට හරහා ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා දැන හඳුන ගත්තා. එතුමන් යටතේ අවුරුදු 3ක් විතර රංගනය පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා. පාඨමාලාවේ කීර්ති කියලා මගේ මිතුරෙක් හිටියා. ඔහු කෝපිකඬේට පිටපත් හතරක් ලිව්වා. ඒ ලියපු එක පිටපතකට තමයි සුවඳාගේ චරිතය ලියැවුණේ.
ඔබ හිතුවාද සුවඳාගේ චරිතය මේ තරම් දුර ගමනක් යයි කියලා?
කවදාවත්ම මම හිතුවේ නැහැ සුවඳා මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. මොකද සුවඳාගේ චරිතයට එදා අපේ රංග පාසලේ කිහිපදෙනකුට කතා කළා. ඒත් කැමැති වුණේ නැහැ. පස්සෙ මට කතා කළාම මම කැමැති වුණා. එතකොට මට වයස අවුරුදු 28ක් විතර ඇති.
ඉතින් දමයන්ත ඔබ මෙවැනි චරිතයකින් මිදීමට විශේෂ හේතූන් බලපෑවාද?
ඇත්තටම මගේ රාජකාරි කටයුතු නිසා තමයි මම කෝපිකඩෙන් ඉවත් වීමට තීරණය කළේ. ඒ විතරක් නෙමේ පසුකාලීනව කෝපි කඬේ ටෙලිනාට්‍යයේ පිටපත් විකෘති වීම් වුණා. චරිත වෙනස් වීම සිදුවුණා. ඉතින් මම හිතුවා දැන් රඟපෑවා ඇති කියලා. දැන් නැවත කෝපිකඬේ ලියන්නේ කුමාර සිරිවර්ධන. නැවත හොඳ බවක් මම දකිනවා. මොකද ඒ කාලෙත් කුමාර කෝපි කඬේ හොඳට රචනා කළා. පස්සෙ දේශපාලන, පෞද්ගලික දේවල් කෝපිකඬේ හරහා පෙන්වන්න ගියා. ඊට පස්සේ එහි තිබුණ රසය දියවී ගියා.
මම හිතන විදියට ගොඩදෙනෙක් සුවඳාගේ චරිතය දැක්කේ ජෝකර් කෙනෙක් විදිහට?
ඔබ විතරක් නෙමේ කෝපිකඬේ නරඹපු ගොඩදෙනෙක් සුවඳාගේ චරිතය දැක්කේ ඒ විදිහට. හැබැයි මම සුවදාට ගොඩක් ආදරය කළා. ඒ චරිතයට උපරිම කැපවුණා. සුවඳාගේ චරිතය මම ජෝකර් කෙනෙක් විදිහට නම් දැක්කේ නැහැ. සුවඳා ගමේගොඬේ හැදුණු නූගත් කොල්ලෙක්. හැබැයි ඔහු ළඟ දයාව, අනුකම්පාව හැමදේම තිබුණා.
නැවත ආරාධනාවක් ලැබුණොත් කෝපි කඬේට එන්න සූදානම්ද?
දැන්නම් කොහෙත්ම අදහසක් නැහැ. මොකද එදා හිටිය සුවඳා නෙමේ අද ඉන්නේ. එදාට වඩා මගේ බාහිර ස්වරූපය පවා වෙනස් වෙලා. සමහරුන්ට අදටත් මාව අඳුනගන්න බැහැ. මමද සුවඳාගේ චරිතය කළේ කියලා. ඒ තරමට මම වෙනස්. මම හිතන්නැහැ එදා සුවඳා නැවත උපදී කියලා.
දමයන්ත එක්තරා කාලයකදී ඔබේ නමත් පැල්බැඳගෙන ප්‍රසංග වේදිකාවේ වික්කා. ඒත් ඔබ දකින්න ලැබුණෙ නැහැ?
ඔය කතාව මටත් කිහිපදෙනකු කතා කරලා කිව්වා. ප්‍රසංගවලට මම එනවා කිව්වට ආවේ නැත්තේ ඇයි කියලා. හැබැයි ඔය කියන කිසිම ප්‍රසංගයකින් මට ආරාධනා කළේ නැහැ. අනික ඔය දේවල් ගැන මම හොයන්න ගියෙත් නැහැ.
මේ දවස්වල දමයන්තගේ වැඩකටයුතු කොහොමද?
එහෙම විශේෂ දෙයක් නැහැ. ‘රූකඩ රාජ්ජේ’, ‘රයිගමයයි ගම්පලයයි’ සහ ‘වලිගයක් ඇවිල්ලා’ වේදිකා නාට්‍යවල වැඩ කරගෙන යනවා. එයට අමතරව සුමිත් තිත්තවැල්ලගේ ‘හිරු පායා’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට පසුගිය දවස්වල සම්බන්ධ වුණා.
වසන්ත විතාරණගේ