‘සුනාමි’ සිනමාපටය මෙරට තිරගත වන්නට පටන් ගන්නා මොහොතේම එහි ප්‍රධාන භූමිකාවක් රඟපෑ නිරංජනී ශන්මුගරාජා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇති බවටත් මේ සියල්ල අතර හිටිහැටියේ ඇය විදෙස්ගතව ඇති බවටත් අපට ආරංචි වුණා. මේ කතාවල ඇත්ත, නැත්ත හොයන්න අපි මේ වන විටත් විදෙස්ගතව සිටින නිරංජනීට කතා කළා.
නිරංජනී ලංකාවට සුනාමි එනකොට ඉන්දියාවට පැන්නා නේද?
‘සුනාමි’යට මුහුණ දීලා තමයි මම ලංකාවෙන් පිටවුණේ. ‘සුනාමි’ චිත්‍රපටය 16 වැනිදා තිරගත වුණා. මම 17 වැනි දින ලංකාවෙන් පිටවුණා.
හදිසියේම විදේශගත වුණේ ඇයි?
ඉන්දියාවේ සත්‍යජිත් ෆිල්ම් ඇකඩමියේ අධ්‍යාපනය හැදෑරූ තරිඳු කෝනාරගේ චිත්‍රපටයකට අපට ආරාධනා කළා. ඒ සඳහා ලංකාවේ ශිල්පීන් හතර දෙනෙක් තෝරාගෙන තිබෙන නිසා අපි එයට සම්බන්ධ වුණා. මේ දවස්වල රූපගත කිරීම් සිදුවෙනවා ඉන්දියාවේ කල්කටාවල. පෙබරවාරි 2 තමයි නැවැත මම ලංකාවට එන්නේ.
‘සුනාමි’ චිත්‍රපටය තිරගත වීමත් එක්ක ඔබට ලැබුණු ජාත්‍යන්තර සම්මානය ගැන කොහොමද ප්‍රතිචාර?
ඇත්තටම එය මට ලැබුණු සම්මානයක් නෙවේ. මගේ රටට ගෙනාපු සම්මානයක්. මම එය සියලු දෙනාගේ ශක්තිය, ආශීර්වාදය නිසා මට ලැබුණු දෙයක්. මම සතුටු වෙනවා ඒ ලැබුණු සම්මානය ගැන. ඒ වගේම 2014 සුනාමි ස්වභාව-ධර්මයත් එක්ක ගොඩගැලුවා. එයින් අඬා වැලපුණා. කල්‍යාණිලා මොනතරම් ඉන්න ඇතිද. ඔවුන්ටත් මේ සම්මානය අයිතියි. සම්මානය ලැබෙන කොට මම කල්කටාවල. සම්මානය ලැබුණේ භූතානයේ, චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ඩකාවල. චිත්‍රපට නිෂ්පාදිකාව ලංකාවේ. ඔය විදියට සුනාමි දස අත විහිදුණා. රේණුකා අක්කා තමයි මට කිව්වේ භූතානයේ පැවැති අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලේ අද්විතීය රංගනය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය මට හිමිවෙලා කියලා.
සුනාමි තිරගත වීමත් එක්ක එහි ප්‍රතිචාර ලබන්නටත් ඔබ දැන් ලංකාවේ නැහැ. එය අඩුවක් නේද?
මම නැහැ කියලා කිසි අඩුවක් නැහැ. කල්‍යාණි චරිතය වෙනුවෙන් මම උපරිම ප්‍රතිචාර දැක්කා. ඒ ප්‍රතිචාර ලැබුණේ මහාසයුර මෙන් ගලාගෙන ආ කඳුළු අතරෙන්, ඒ කඳුළු මට සම්මානයකටත් වඩා ශක්තියක් ගෙන දුන්නා. ඒ මගේ චරිතයේ සාර්ථකත්වයේ ප්‍රතිඵල තමයි. මම මේ අවස්ථාවේ සුනාමි චිත්‍රපටයේ සියලුම දෙනාට හෘදයංගමව ස්තුතිය පුදකරනවා. අන්තර්ජාල හරහාත් මගෙ චරිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ක්‍ෂේත්‍රයේ ශිල්පීන් අදහස් ප්‍රකාශ කර තිබුණා.
‘ඉනිඅවන්’ චිත්‍රපටයෙන් පටන් ගත්ත ඔබ අද දක්‍ෂ, ජනප්‍රිය ශිල්පිනියක් වෙලා නේද?
ඇත්තටම ගහක් ශක්තිමත් වෙන්නේ මුදුන් මුල නිසා. මම මේ වන විට චිත්‍රපට හතක පමණ රඟපාලා තිබෙනවා. අශෝක හඳගම වැනි දක්‍ෂ නිර්මාණකරුවකුගේ මඟ පෙන්වීම යටතේ මම අද ගොඩාක් දුර පැමිණ තිබෙනවා. ‘සුනාමි’ චිත්‍රපටයට මට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණෙත් ‘ඉනිඅවන්’ චිත්‍රපටය සෝමරත්න දිසානායක අයියා නරඹපු නිසා. හත් වැනි චිත්‍රපටයෙන් මට ජාත්‍යන්තර සම්මාන පවා ලැබුණා.
කල්‍යාණි එක්ක ඔබ හැඟීම් ගනුදෙනු කළේ කොහොමද?
එය තවත් විශේෂත්වයක්. මම අම්මා කෙනෙක් නෙවේ. නමුත් ඒ මවකගෙන් දරුවෙක්ට ලැබෙන සංවේදී ආදරය මට නිරූපණය කරන්න ලැබුණා. චිත්‍රපටයේ රූපගත කිරීම් තුළ ඇති වුණු බාහිර තුවාල චෝදනාවලට වඩා මට හැඟීම් එක්ක කටයුතු තමයි අපහසු වුණේ. ලෝකයේ වැඩි පිළිගැනීමක්, වටිනාකමක් තිබෙන එකම වෘත්තිය රඟපෑම ඒ හැඟීම් එක්ක ගනුදෙනු කරන නිසා.
හැඟීම් එක්ක ගනුදෙනු කළාට ලංකාවේ නිර්මාණවලට ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ නේද?
ඒ කතාව ඇත්ත. ඒ සමහර නිර්මාණවල. නමුත් ‘සුනාමි’ චිත්‍රපටයේ අපේ වටිනාකමට නිසි ඇගැයීමටත් අපට ලබාදුන්නා. එය තමයි අපේ රටේ නිර්මාණවල විය යුත්තේ. අපට අවශ්‍ය කරන හැමදේම කලට, වේලාවට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය නිරන්තරයෙන්ම හොයා බලා කටයුතු කළා විතරක් නෙවේ ඇස් දෙක වගේ අපි සියලුම දෙනාම ආරක්‍ෂා කළා.
ඔබ සාමාන්‍යයෙන් තිරපිටපතක් කියැවීමට අකැමැති රංගන ශිල්පිනියක්. එහෙත් ඔබ චරිතයට උපරිම සාධාරණයක් කරනවා?
ඇත්තටම මම පිටපත කියවන්න කැමැති නැහැ. එහි අන්තර්ගතවෙලා තිබෙන වචන ටික කියවනවාට වඩා දෙයක් කරන්න මම උත්සාහ කරනවා. අපට අවශ්‍ය රූපරාමුව දන්නේ අධ්‍යක්‍ෂ තමයි. ඉතින් මම රූපගත කිරීම් ඉවර වුණාම මම බලන්නේ දර්ශන තලයේදී අධ්‍යක්‍ෂ මගේ චරිතය ගැන සෑහීමට පත්වුණාද කියලා තමයි. ඔහු තෘප්තිමත් විය යුතුයි. මුලින් නිකම් දෙබස් කියූ පළියට චරිතයක් ජීවමාන කරන්න බැහැ. සාර්ථක අධ්‍යක්‍ෂණයක් යටතේ තමයි අපි ගොඩනැඟෙන්නේ.
වසන්ත විතාරණගේ











