ගෞතම ශ්‍රී පාදස්ථානය පිහිටා ඇති සමනොළ අඩවිය අතීතයේ සිටම විවිධ ජනප්‍රවාද කතා රාශියකටම හිමිකම් කියන ප්‍රදේශයකි. සමනොළ රක්ෂිතය තුළ පිහිටා ඇති විවිධ සුවිශේෂි ස්ථාන හා බැඳුණු ජනප්‍රවාද කතා විවිධාකාරයෙන් අපට අසන්නට ලැබෙයි. ඔබ හැටන් සිට නල්ලතන්නිය මාර්ගයේ ශ්‍රී පාදස්ථානය කරුණා කරන්නේ නම් ඔබට සුවිශේෂී දිය ඇල්ලක දර්ශනයක් දැකගත හැකිවේ. හැටන් නල්ලතන්නිය මාර්ගයේ පහළට කරුණා කරන්නේ නම් මහගිරිඳඹ ආසන්නයේදී මෙය ඔබට ඉදිරියෙන් ඈතින් දර්ශනය වන අතර පහළ කොටසේදී සාම චෛත්‍යයේ සිට ඉහළ කඳුවැටිය දෙස බැලීමේ දී මෙම ඇල්ල දැකගත හැකිවේ.
නමුත් බොහෝ වශයෙන් සිරිපා වාරයේදී මෙය සිඳී ගොස් හෝ ජලය ඉතා අඩු වශයෙන් පවතින අතර සිරිපා අවාරයේ මෙය වැඩි වශයෙන් සක්‍රීය දිය ඇල්ලක් ලෙස පවතී. “යකා ඇඬූ ඇල්ල” නමින් හඳුන්වනු ලබන මෙම දිය ඇල්ල ආශ්‍රිතව ජනප්‍රවාද කතා විවිධ ආකාරයෙන් පවතී. අතීතයේ සමනොළ අඩවිය ආශ්‍රිතව වාසය කරන ලද යක්ෂයෙක් බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටු වීම සඳහා සමනොළ කන්දට වැඩි අවස්ථාවේ එයට අසතුටට පත්ව හඬා වැටීමෙන් ඔහුගේ දෙනෙතින් රූරා හැලුණ කඳුළුවලින් මෙම දිය ඇල්ල සෑදී පෝෂණය වන්නේ යැයි පබැඳුණ ජන කතාවක් ද පවතී. තවද එම යක්ෂයා සමන් දෙවියන් විසින් එළවා දැමූ බවටත් ජනප්‍රවාද කතාවල සඳහන් වේ.

සිරිපා මළුවේ රත්නපුර මාර්ගය අසලට ගොස් ඈත පෙනෙන සමනොළ අඩවිය දෙස බැලුවොත් සීගිරිය, බතලේගල බඳු ඉහළ චතුරස්‍රයක හැඩයක් ගන්නා කන්දක් දැකගත හැකිවේ. එය කුණුදිය පර්වතය නමින් හඳුන්වයි. සමනොළ රක්ෂිතයේ ඇති කඳුවලින් ජනප්‍රවාද කතා රැසකට මූලික වන කන්දක් ලෙස මේ කුණුදිය පර්වතය හැඳින්විය හැක. උසින් මීටර 2,000කට ආසන්න කුණුදිය පර්වතය හා බැඳුණු ගෙතුණු ජනප්‍රවාද කතා කීපයක්ම ඇත. සමන් දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේට සිරි පතුල පිහිටුවීමට මුලින්ම ආරාධනා කර ඇත්තේ මේ කුණුදිය පර්වතයට බවත් නමුත් ඊට පෙර එහි කුණුවී ලේ ගලන ගැරඬියකුගේ මළකුණක් තිබූ නිසා එය සිරිපතුල පිහිටුවීමට නුසුදුසු ස්ථානයක් බවත් එම නිසා සමනොළ කඳු මුදුන තෝරාගත් බවත් ඒ සමඟ ඇති ප්‍රධාන ජනප්‍රවාදය වේ. තව ජනප්‍රවාද කතාවක සඳහන් වන්නේ සමනොළ අඩවියේ උසම කඳු මුදුන ලෙස කුණුදිය පර්වතය තිබූ බවත් සමන් දෙව් ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ කුණුදිය පර්වතයේ සිරිපතුල පිහිටුවීමට නියමිතව තිබූ නමුත් බුදුරජාණන් වහන්සේ වැඩීමට පෙර සමන් දෙවියන් කුණුදිය පර්වතය පරීක්ෂා කිරීමේදී ගැරඬි මළකුණක් හමුවූ හෙයින් සමන් දෙවියන් කෝප වී කුණුදිය පර්වතයට පයින් ගැසූ නිසා පසුව සමනොළ කන්දට වඩා එය මිටි වූ බවද ජනප්‍රවාද කතාවල සඳහන් වේ. කෙසේ නමුත් මේ කතා සියල්ල අතීතයේ සිට ජනවහරේ පැවතගෙන එන ජනප්‍රවාද කතා පමණක් බවත් එහි ඇත්ත නැත්ත තීරණය හරියාකාරව තීරණය කිරීමට හෝ මේ කතා පිළිබඳව නිසි නිගමනයකට එළඹීමකට හෝ නොහැකිය.
ශශින් විජේතුංග











