‘අජේ දේව්ගන්ගේ ‘May Day’ වෙනුවෙන් ‘බිග් බී’ නැවත වතාවක් පීඩනයට පත්වෙයි.’ඒ
පසුගිය දවසක ඉන්දියානු සිනමා සඟරාවක පළවූ උණුසුම් පුවතකි. එය උණුසුම් පුවතකැයි යන ගණයට වැටෙන්නේ ‘බිග් බී’ට ඇලුම් කරන රසික ජනතාව තවමත් ඔහුගේ සැප දුක සොයා බලන මේනියාවක කල් ගෙවන නිසාය.
‘බිග් බී’ කියන්නේ අමිතාබ් බච්චන්ගේ නික් නේම් එක බව නොදන්නා කෙනෙකු නැත. අමිතාබ්ට දැන් වයස අවුරුදු 79කි. එහෙත් උතුරු ඉන්දීය ප්‍රේක්ෂකයන් තුළ ඔහුගේ ප්‍රතිරූපය කෙරෙහි වන ඇල්ම හෝ කැමැත්ත තවත් විදියකට කියන්නේ නම් ආකර්ෂණය නම් කෙසේවත් වියපත් වී නැත. ඇත්තටම කියනවා නම් එය අමුතුම පහේ මේනියාවකි. නැත්නම් එදාවේල හරිහම්බ කරගෙන කන බොන පීඩිත පන්තියේ මිනිසුන් අමිතාබ්ට ‘කොවිඩ්’ ආසාදිත වී ඇතැයි යන ආරංචිය නිසා බච්චන් මැදුර වටා කූඩාරම් ගසා ගත්තේ නැත.
අන්න ඒ නිසා ‘අමිතාබ් පීඩාවෙන්’ යන පුවතින් ඔහුගේ රසිකයන් කලබලයට පත්වීම සාමාන්‍ය දෙයකි.
‘මම පීඩාවෙන් නොසන්සුන්ව සිටිමි, දෙවියන් මට පිහිට වෙන්න’
අමිතාබ් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහිද එවැනි සටහනක් දමා තිබූ හෙයින් ඔහුගේ අනුගාමිකයන්ද දැඩිව කලබලයට පත්ව ඇති බවද දැනගන්නට ලැබී ඇත.
මොකක්ද ඉතින් ඔය අමිතාබ් පෙළන පීඩාව,
එය මරු කතාවකි. කෙටියෙන් එයට මුලපුරන්නේ නම් අජය දේව්ගන් තම අලුත්ම අධ්‍යක්ෂණය වූ . ‘May Day’ චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය සඳහා අමිතාබ් බච්චන්ව තෝරාගෙන ඇත. පසුගිය සතියේ අජය ඔහුට පවසා ඇත්තේ පෙබරවාරි මැද එහි රූගත කිරීම් අරඹන බවය. එම දුරකතන ඇමැතුම පැමිණි මොහොතේ පටන් අමිතාබ් දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටින බව ඔහුගේ ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් පිරික්සන ඕනෑම අයකුට පෙනී යන කාරණයකි.
මොකක්ද එයට හේතුව ‘May Day’ චරිතයට අමිතාබ් අකැමැතිවක්ද?
අකමැති නම් ඔහු එය අජයට නොකියා ඉඳීවියැ… එවැන්නක් කීම අමිතාබ් වැනි ප්‍රබලයකුට බැදපු කජු පීරිසියක් හිස්කර දමනවාට වඩා සුළු කාරණයකි.
එහෙනම් මොකක්ද මේ අවුල?
බොහෝ විට එය කිසිවකුට අදහන්නට බැරි කතාවකි. අමිතාබ් වැනි පලපුරුදු ප්‍රබල නළුවකුට එවැනි ප්‍රශ්නයක් තිබීමද ලොකු විහිළුවකි. සරලව කියනවා නම් අමිතාබ්ට ඇත්තේ ‘රඟපෑමේ භීතියක’ තවත් ආකාරයකට එය ‘හීන්නෝන්මාදයකට’ සමානය. සරලව විලාසිතාමය තාලයකට කියනවා නම් අමිතාබ්ට ‘ෂූටිං සික්’ය.
කතාව පැහැදිලි මදිද? එහෙනම් අහගන්න.
79 හැවිරිදි අමිතාබ් මේ පසු කරන්නේ තම සිනමා ජීවිතයේ 52 වැනි වසරය. ඒ කියන්නේ රංගනය යනු අමිතාබ්ට ‘නතිංය’. හැබැයි තම ප්‍රබල ප්‍රතිරූපය මදකට බිම ඇද දමන කුඩා දුර්වලකමක් අමිතාබ් සතුව ඇත. ‘කුඩා’ කිව්වාට විටෙක එය රූගත කිරීමක දිනය වෙනස් කරවන තරමට ප්‍රබලය.
ඒ කියන්නේ අමිතාබ් රූගත කිරීම් තමාට ඕනෑ විදියට හසුරුවනවාද?
අපොයි නැහැ. කොතරම් සුපිරි ප්‍රතිරූපයක සිටියද සෙට් එක තුළ අමිතාබ් හොඳ විනය ගරුක මහත්තයෙකි. අවුලකට ඇත්තේ අමිතාබ් රූගත කිරීමකදී දක්වන අනිසි බියයි.
චිත්‍රපටයකට ගිවිසුම් අස්සන් කර සිංහයකු සේ පසුවන මේ සුපිරි නළු මිනිසා රූගත කිරීම් සඳහා ඇරයුම ලැබෙන විට හා පැටියකු සේ තැතිගනියි. නිතර කාමරයට වී නිසොල්මනේ දෙවියන් නමදින හෙතෙම,
‘අනේ දෙවියනි, සාර්ථකව මේ චරිතය රඟපාන්න මට ශක්තිය දෙන්න’ යැයි වරින්වර මතුරන්නේය.
‘දෙවියන් ‘May Day’ රූගත කිරීම් වෙනුවෙන් මා සන්සුන් කරන්න. මට හිතවත් මා අනුගාමිකයිනි මා වෙනුවෙන් යාඥා කරන්න.’ තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහිද අමිතාබ් මීට දින කිහිපයකට පළමුව එම සටහන මුදාහැර තිබිණ.
එයට ප්‍රතිචාර ලැබුණාද ඉතින්,
උමතුවෙන් මෙන් බච්චන් රසිකයන් එයට තම ආශීර්වාදය දක්වා තිබිණ.
වසර 52ක ඉතිහාසයක් තිබෙන සුපිරි තරුවකට එසේ විය හැකිද?
එය අමිතාබ් විසින්ම ඔප්පු කර හමාරය. රූගත කිරීමකට යන්නට පළමුව ගෙවී යන දින දෙක තුනේදී අමිතාබ් සිය ලේලිය පුතා සහ බිරිය සමඟද ඒ ගැන කතිකා කරන බව ‘මන්මෝහන් දේශායි’ නම් චිත්‍රපට නිෂ්පාදකවරයා වරෙක පවසා තිබිණ. සෙට් එකේදි අමිතාබ් ඉතාම නිහඬය. සන්සුන්ය. තිර පිටපත නිතර ඔහු අතය. අවසාන මොහොතේ අධ්‍යක්ෂවරයා අභියසට යන ඔහු,
‘ඔබට හරියන විදියට මට කරන්න පුළුවන් වෙයිද?’
යනුවෙන් අසන්නේය.
‘May Day’ අධ්‍යක්ෂ අජයගෙනුත් එහෙම අහයිද?
දැනටමත් අජය සමග කතාබහකදී අමිතාබ් කිහිප වතාවක් එලෙස අසා ඇති බව ආරංචිය.
‘අමිත් ජී… ඔබ අසිහියෙන්ද? කරුණාකර ඔවැනි වචන මා එක්ක කතා කරන්නත් එපා’
යනුවෙන් අජය ඉතා ගරුසරු ලෙස අමිතාබ්ව සනසා ඇත. බොහෝ විට මෙවැනි මානසිකත්වයක් ඇති වන්නේ තම කාර්යය අකුරටම ඉටු කරන්නට පමණට වඩා වෙහෙස වන අයට බව බච්චන් පවුලට ලැදි ‘මනෝවිශ්ලේෂකවරයකු’ පවසා ඇත.
කෙසේ වුවද අමිතාබ් සිය පවුලේ අය සහ ට්විටර් අනුගාමිකයන්ගේ දහසක් ආශීර්වාද, පැතුම් මැද ‘May Day’ රූගත කිරීම්වලට සූදානම් වේ.
ඒ අතර, ප්‍රවීණ දමිළ මෝස්තර නිරූපිකා සහ යොවුන් නිළි රුකුල් ප්‍රීත් සිංග්,
‘අමිත් සර්… ඔබ සමඟ එකම සෙට් එකක කටයුතු කිරීමට මා ලද වාසනාව සුළුපටු නැත’
යනුවෙන් අමිතාබ්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි කදිම සටහනක් තබා ඇත.
‘May Day’හි ගුවන් නියමුවන් ලෙස අජය සහ රුකුල් රඟන අතර අමිතාබ්ගේ චරිතය ගැන තවම අනාවරණය කොට නැත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු