ජගත් බෙනරගම කියන්නේ කලාවට සම්බන්ධ වුණු මුල් කාලෙ ඉඳන්ම තමන්ගේ ජනප්‍රියත්වය එක වගේ රැක ගන්න සමත් වුණු රංගන ශිල්පියෙක්. ජගත් බෙනරගමගේගේ අලුත් කලා තොරතුරු සහ ලංකාවේ කලාව ගැන ඔහුගේ අදහස් දැන ගන්න අපි ඔහු එක්ක සම්බන්ධ වුණා.
මේ දවස්වල කෙරෙන කලා කටයුතු ගැන කියලම අපි කතාබහ ආරම්භ කරමු?
මේ දවස්වල නම් විශේෂම වැඩක් කියලා නැහැ. කොරෝනා හින්දා නැවතුණු වැඩ තවම පටන් ගත්තේ නැහැ. බාගෙට කරපු වැඩ ගොඩක්ම තියෙනවා. මේ වෙද්දී කැලෑ හඳ ටෙලි නාට්‍ය විකාශනය වෙනවා. ඊට අමතරව වැඩ ඉවර කරපු නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී විකාශනය වෙන්න තියෙනවා.
ඔබේ රසිකයන් වෙනුවෙන් අපි ඒ නිර්මාණ ගැනත් කතා කරමු?
ජයසේන ජයකොඩි මහත්මයාගේ “අස්වැන්න” නව කතාව ඇසුරින් සැම්සන් කුමාරගේ මහතා අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු ඉවරයි. ඒ වගේම “ගිරිකුළේ දෝංකාරය” සහ ක්‍රිස්ටි ශෙල්ටන් ප්‍රනාන්දු මහත්මයාගේ “ඔබ ආයෙත් ඇවිදින්” ටෙලි නාට්‍යයත් ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි.
පසුගිය කාලයේදී ඔබ රඟපාලා තියෙන ටෙලි නාට්‍යය සියල්ලම ප්‍රවීණයන්ගේ නිර්මාණ බව තමයි ඒ ලැයිස්තුව බලද්දී පැහැදිලිවම හැඟී යන්නේ. ඒ කියන්නේ ජගත් බෙනරගම වැඩ කරන්නේ ප්‍රවීණයන් එක්ක විතරයි කියන එකද?
අපෝ නැහැ. මම අලුත් අය එක්කත් වැඩ ගොඩක් කරලා තියෙනවා. නවක අධ්‍යක්ෂවරයෙක් වන අරුණ අබේරත්නගේ චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කරලා තිබුණේ. හැබැයි කොරෝනා හින්දා ඒකත් තවම නැවතිලා තියෙන්නේ.
අපි එහෙනම් සිනමාව ගැන කතා කරමු. මොනවද ඔබව ඉදිරියේදී දැක ගන්න ලැබෙන සිනමා නිර්මාණ?
ඉදිරියේදී තිරගත වෙන්න චිත්‍රපට හතරක් තියෙනවා. “නගරං” චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස “ඇලකන්ඩියේ මාකස්” චිත්‍රපටය සහ “රජානෝ”, “සිනෙමා” චිත්‍රපටයත්, සිසිල්
“මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි” චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.
ජගත් බෙනරගම කියන්නේ ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය ආරම්භයේදී නිතර දැක ගන්න ලැබුණු රංගන ශිල්පියෙක්. ඒත් දැන් ඔබව මෙගා නාට්‍ය තුළින් දැක ගන්න නැහැ. ඔබටත් මෙගා එපා වෙලාද?
මෙහෙමයි. මම මෙගාවලට විරුද්ධ වෙන්නේ නැහැ. පබා නාට්‍යයේ කොටස් 579ක් තිබුණා. දාමිණී නාට්‍යයේ කොටස් හාරසිය ගානක් තිබුණා. හැබැයි ලංකාවේ ඒ වගේ සාර්ථක මෙගා ටෙලි නාට්‍ය කිහිපයක් විතරයි තිබුණේ කියලයි මම හිතන්නේ. මොකද ඊට පස්සේ ආව ගොඩක් මෙගාවල මුල හිටිය අධ්‍යක්ෂවරයා නෙවෙයි අන්තිමට ඉන්නේ. සමහර ඒවට තිර රචකයෝ කිහිප දෙනෙක් මාරු වෙනවා. නළු නිළියොත් එහෙමයි. සමහර මෙගා වල නාට්‍ය පටන් ගන්න කොට ඉන්න ප්‍රධාන නළුවා, නිළිය විතරක් නෙවෙයි සහාය නළුවා, නිළියත් අන්තිමට නැහැ. ඒ හින්දා මේ නාට්‍ය ප්‍රේක්ෂකයන්ට එපා වෙලා තියෙන බවක් තමයි පේන්නේ.
ඔබ කිව්වා වගේම ලංකාවේ ටෙලි නාට්‍ය කලාව ගැන බොහෝ විවේචන එල්ල වෙන බවක් පේන්න තියෙනවා. ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදියට ඔබ මේක දකින්නේ කොහොමද? කොතැනද වැරැද්ද තියෙන්නේ?
මම හිතන්නේ මේක මේ ක්‍රමයේ වැරැද්දක්. ඉස්සර ටෙලි නාට්‍යයක සම්පූර්ණ වැඩ ඉවර වෙලා තමයි රූපවාහිනී ආයතනයට ලබා දෙන්නේ. ඒත් දැන් ටෙලි නාට්‍යයක් සඳහා රූපවාහිනී ආයතනයක අනුමැතිය ලබා ගන්න එක ඉතාම අමාරු වැඩක් බවට පත් වෙලා. නාට්‍යයක කොටස් කිහිපයක් රූගත කරලා ඒක අනුමැතියට යොමු කරනවා. සමහර වෙලාවට අනුමැතිය ලබා ගන්න මාස ගණන් බලන් ඉන්න වෙනවා. එතකොට මුල් කොටස්වලට වඩා රංගන ශිල්පීන්ගේ පෙනුමත් වෙනස් වෙලා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා.
ප්‍රවීණ රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් අධ්‍යක්ෂණයට යොමු වෙන එක සාමාන්‍ය දෙයක්. ජගත් බෙනරගමට ඒ අදහස නැද්ද?
මම මුලින්ම ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළේ 2005දි. සඳ නොදුටු සඳ ටෙලි නාට්‍යය. නමුත් ටෙලි නිර්මාණයක් නාළිකාවලින් මිලදී ගන්නේ ඉතාම අඩු මුදලකට. මම අධ්‍යක්ෂවරයා වුණාට එහි නිෂ්පාදකවරයා වෙන කෙනෙක්නේ. ඉතිං ඒ ලැබෙන මුදලින් නිෂ්පාදන වියදමවත් පියවා ගන්න බැරි බව මට තේරුණා. ඉතිං දැන දැන කෙනෙක්ව අමාරුවේ දාන්න බැරි හින්දා අධ්‍යක්ෂණ වැඬේ එහෙමම නැවතුණා. නමුත් පසුගිය කාලේ විකාශනය වුණු දෙයියන්ගේ රටේ ටෙලි නාට්‍යයේ අවසන් කොටස් තිහ අධ්‍යක්ෂණය කළේ මම. ඒ ටෙලි නාට්‍යයත් නියමිත කොටසින් නවත්වන්න අධ්‍යක්ෂවරයාට ඕනෑ වුණා. නමුත් නිෂ්පාදකවරයා ඒ වෙද්දි තමන්ගේ වියදම පියවාගෙන තිබුණේ නැහැ. ඒ හින්දා වෙනත් අධ්‍යක්ෂවරු දෙන්නෙක් යටතේ ඒ නාට්‍යය තව ඉස්සරහට ගියා. නමුත් ඒක එතරම් සාර්ථක වුණේ නැහැ. අවසානයේ තව කොටස් තිහකින් නාට්‍ය නැවැත්වීමේ එකඟතාව මත ඒ කොටස් තිහ අධ්‍යක්ෂණය කරන්න මම කටයුතු කළා.
ජගත් බෙනරගම ගැන කතා කරද්දී අපිට වේදිකාව අමතක කරන්න බැහැ. අවසන් වශයෙන් අපි වේදිකාව පැත්තට හැරෙමු?
වේදිකා නාට්‍ය පැත්තෙන් නම් හරිම දුෂ්කර කාලයක් තමයි පහු වුණේ. මොකද මම රඟපාන වේදිකා නාට්‍ය තුනක්ම ජයලත් මනෝරත්නයන්ගේ. එතුමා රෝගී තත්ත්වයෙන් සිටින කාලයේ ඉඳන්ම අපි විවිධ අපහසුතා මැද තමයි ඒ නාට්‍ය රූගත කළේ. අවසානයේ එතුමා අප අතරින් සමු අරගත්තට පස්සේ ඒ චරිත සඳහා වෙනත් නළුවන් යොදා ගෙන නැවත රූගත කිරීමට ලෑස්ති වෙනවාත් එක්කම තමයි කොරෝනා ආවේ. කොහොම වුණත් මනෝරත්නයන්ගේ ගුරුතරුව, තල මල පිපිලා සහ අන්දරේ කියන වේදිකා නාට්‍ය තුනම ඉදිරියේදී රඟ දක්වන්න අපි බලාපොරොත්තු වෙනවා.
චන්දන පොන්නම්පෙරුම











