අම්ම නැති හින්දා හිතට දුකක් දැනුණා…
කවිෂා කාවින්ද ගැන ගොඩදෙනෙක් දන්නේ නැතුව ඇති. ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධනගේ ආදරණීය දියණිය. කවිෂා ළමා කාලයේ ඉඳලා හැදුණෙ, වැඩුණෙ ඇමෙරිකාවේ. ඇය සත්සමුදුරෙන් එපිට ජීවත් වුණත් ඇය පසුගියදා ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වන ෂෙහාන් ජයසූරිය සමඟ විවාහ වුණා. කාලෙකට පස්සේ ලංකාවට ආපු කවිෂාගේ දිවිපෙවෙත ගැන අප කතාබහ කළා.
කවිෂා සුබ මංගලම්?
ගොඩාක් ස්තුතියි අයියේ.
ඉතින් කොහොමද අලුත් ජීවිතේ?
සතුටින්… සතුටින්… තවම ඉතින් අලුත් ජීවිතය පටන්ගත්තා විතරනේ.
මේ කොරෝනා වසංගතයත් එක්ක විවාහ මංගල්‍ය කල් දාන්න හිතුවේ නැත්තේ ඇයි?
පසුගිය ජූලිවල තමයි වෙඩින් එක ගන්න සැලැසුම් කළේ. මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ මම ලංකාවට ආවේ. ඒත් අපිට ජූලි මාසයේ වෙඩින් එක ගන්න බැරි වුණා. ආපසු අපි තීරණය කළා දෙසැම්බර් මාසයේ ගන්න. එහෙම හිතලා පසුගිය දහඅටවැනිදා අපේ විවාහ මංගල්‍යයේ කටයුතු සිදුවුණා.
ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ දුවක් වන ඔබ තරු පිරිවරාගෙන රාජකීය මංගල සාදයක් ගන්න නේද අදහස තිබුණේ?
කලා ක්‍ෂේත්‍රයේ දන්න කියන හැමෝටම ආරාධනා කරලා විවාහ මංගල්‍ය ලස්සනට කරන්න ආශාවක් තිබුණා. ඒත් ඉතින් සෞඛ්‍ය නීති-රීති අනුව වැඩි දෙනෙක් අපේ සාදයට සම්බන්ධ කරගත්තේ නැහැ. අපේ අම්මා ළඟින්ම ඇසුරු කළ මම දන්න කියන අයට තමයි ආරාධනා කළේ.
විවාහ මංගල්‍යයට අම්මා නැති අඩුව තදින්ම දැනෙන්න ඇති?
හිතට දුකක් දැනුණා. ඒත් කොරෝනා වසංගතය නිසා මවුපියන්ට ඒමට බැරි වුණා. සාදයට ආපු හැමෝමත් අම්මාගේ සුවදුක් ගැන විමසුවා. අම්මා දුරක හිටියත් අන්තර්ජාලය ඔස්සේ අපි සමඟ සම්බන්ධ වෙලා හිටියේ. අපේ විවාහ මංගල්‍යයේ තවත් විශේෂත්වයක් තමයි මගේ දෙවැනි අම්මාවරු, පියවරු තමයි ඇවිල්ලා හිටියේ. ජීවන් කුමාරතුංග, ශෙරිල් කුමාරතුංග ඒ ආදරණීය අම්මයි, තාත්තයි තමයි මගේ මංගල ඡායාරූපවල මගේ මවුපියන් විදියට පෙනී සිටියේ. මට වගේම ඒ තනිකම ෂෙහාන්ටත් දැනෙන්නට ඇති ඇමෙරිකාවට ගිහින් විවාහය ලියාපදිංචි කරන කොට. ඒ මොහොතේ ඔහුගේ කවුරුවත් හිටියේ නැහැ.
ඔබ දෙදෙනාගේ ආදර කතාවේ මුල ෆේස්බුක් නේද?
ඔව්… අපි දෙදෙනා දැන හඳුනන්නේ ෆේස්බුක් හරහා තමයි. ඉතින් අපි අවුරුදු පහක් විතර ආශ්‍රය කරලා තමයි කසාද බඳිමු කියලා තීරණය කළේ. ෂෙහාන් ඇමෙරිකාවට ආවා මාව බලන්න. එවිට තමයි දැනගත්තේ මම ඩිලානි අබේවර්ධනගේ දුව කියලා. ඉතින් සියලුමදෙනාගේ ආශීර්වාද මැද අපි සතුටින් ඉන්නවා.
ඇමෙරිකාවේ හැදුණු වැඩුණු ඔබ ලංකාවම තෝරාගත්තේ ඇයි ඔබේ විවාහයට?
මම පුංචි කාලේ හිටියේ ලංකාවේ. අනෙක මම වරින් වර ලංකාවට ඇවිත් යනවා. ඇමෙරිකාවේ මගේ පවුලේ අය වගේම, ලංකාවෙත් මගේ හිතවතුන් ඉන්නවා. ඉතින් මම හිතුවා විවාහ මංගල්‍යය ලංකාවේ ගන්න. චන්දිමාල් අයියා මගේ මංගල ඇඳුම් සම්බන්ධව සියලුම වැඩකටයුතු කළා.
ඔබේ විවාහ මංගල සාදයේදී රංජන් රාමනායක ගායනා කළ ‘රන් සමනළ ජෝඩුව වාගේ’ සින්දුව සමාජ මාධ්‍ය ජාල හරහා කතාබහට ලක්වී තිබුණා?
ඔව්… මගේ අම්මාගේ ඉල්ලීමකට තමයි රංජන් මාමා ඒ සින්දුව ගායනා කළේ. අම්මයි, රංජන් මාමයි රඟපාපු චිත්‍රපටයක සින්දුවක් ඒක. ඉතින් මගෙත් ලොකු ආශාවක් තිබුණා රංජන් මාමා සමඟ ඒ සින්දුවට නටන්න. මගේ ඉල්ලීමට මා සමඟ රංජන් මාමා නැටුවා.
කාලයක් ඔබේ මව කලා ක්‍ෂේත්‍රයේ නිර්මාණවලට නැතුවම බැරි කලා ශිල්පිනියක් වුණා. ඒ අඩුව ඔබ පිරවීමට නේද මගබලාගෙන ඉන්නේ?
මම අම්මා සමඟත් සුළු සුළු චරිත රඟපෑවා. රඟපාන්න ලොකු ආශාවක් හිතේ තිබුණා. ‘හාස්‍ය’ චිත්‍රපටයක සුවිශේෂී චරිතයක් නිරූපණය කළා. පසුකාලීනව මගේ අධ්‍යාපන කටයුතුත් සමඟ ඒ සියල්ල මඟහැරුණා.
ඉතින් දැන් දිගටම ලංකාවේ ඉන්න නිසා කලාකටයුතු කරගෙන යෑමට පහසුවෙයි?
අනේ මම ලංකාවේ ඉන්නෙ නැහැ. තව ටික දවසකින් ඇමෙරිකාවට යනවා මගේ රාජකාරි වැඩකටයුතු නිසා. අනෙක මම එහේ ගන්න වැටුප බලද්දි මේ ලැබෙන මුදල හැරෙන්නවත් මදි. විවේකය ලැබෙන කාලය අතරතුර ලංකාවට මම එනවා.
වසන්ත විතාරණගේ











