ඓතිහාසික සිනමා රැල්ලක අග රැජනක් ලෙස කටයුතු කළ ඇය ලාංකීය සිනමාවට නැවුම් එළියක් ගෙන ඒමට කැපවුණා. එහෙත් කාලෙක සිට කලා නිර්මාණවල දුලානි අනුරාධා දැකගන්නට ලැබුණේ නැහැ. ඇයත් සද්දබද්ද නැතිව මල් වරුෂා මැද අතිනත ගන්නටවත් සූදානම්ද කියා සැකයක් අපට හිතුණු නිසා ඇයට කතා කළා එය ගැන දැනගැනීමටත් එක්ක.
කලා ක්‍ෂේත්‍රයට අවශ්‍යම මොහොතක දුලානි ඇයි පැත්තකට වෙලා?
පාසලේ වැඩකටයුතු එක්ක තමයි මුළු දවසම කාලය ගතකරන්නේ. පසුගිය කාලේ පාසල්වලට දීර්ඝ නිවාඩුවක් ලැබුණු නිසා අතපසු වුණු අධ්‍යාපන කටයුතු හමාර කිරීමට දරුවන් එක්කම තමයි ඉතින්.
නිර්මාණවලත් වෙනදා වගේ දකින්න නැහැ. ආරාධනා එනවා අඩුද?
නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. එහෙත් පසුගිය කාලේ කොරෝනා වසංගතය නිසා සියල්ල අඩපණ වුණා. අනෙක නිර්මාණකරුවන් නිර්මාණය කරපු චිත්‍රපට තවම ප්‍රේක්‍ෂකයන්ට පෙන්නන්න බැරුවනේ ඉන්නේ. ඉතින් කොහොමද තව නිර්මාණ කරන්නේ.
එදා ඉඳලා ඔබව අපට දැකගන්නට ලැබුණේ සිනමාවේ. පුංචි තිරයේ දුලානිට ඉඩක් නැතිද?
මෙහෙමයි. මම මෙගා ටෙලිනාට්‍යයවලට කොහෙත්ම කැමැති නැහැ. හොඳ ටෙලිනාට්‍යයකින් ආරාධනාවක් ලැබුණොත් සම්බන්ධ වීමට අදහසක් තිබෙනවා.
ඔබ නියැළෙන වෘත්තියත් එක්ක සමහර අවස්ථාවන්වල හොඳ නිර්මාණ ඔබ විසින්ම ප්‍රතික්‍ෂේප කරන්නට ඇති නේද?
නිර්මාණවලින් මට ආරාධනා ආවා. ඒත් මම ගුරුවරියක්. මගේ වෘත්තියට හානියක් වන විදියට මම කටයුතු කරන්නේ නැහැ. මම හොඳට තෝරා බේරාගෙන තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ.
ඔබ සම්බන්ධ වුණු ‘සංගිලි’ චිත්‍රපටයට ඔබ හිතූතරම් ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ නේද?
මම සම්බන්ධ වුණු දෙවැනි චිත්‍රපටය තමයි ‘සංගිලි.’ අවුරුදු දහයකට පස්සේ තමයි චිත්‍රපටය තිරගත වුණේ. අනෙක ප්‍රේක්‍ෂකයන් නිර්මාණ රසවින්දනයටත් විශේෂ
තෝරාගැනීමක් කරනවා එකිනෙකට. ගොඩාක් ඔය කාලෙ ඓතිහාසික සිනමා රැල්ලක්, ළමා රැල්ලක් එක්ක තමයි ප්‍රේක්‍ෂකයින් බැඳිලා හිටියේ. ඒ නිසා ‘සංගිලි’ට ලැබුණු ප්‍රතිචාරවල අඩුවක් දැකගන්නට ලැබුණා.
අසනීප තත්ත්වය දැන් කොහොමද දුලානි?
දැන්නම් සම්පූර්ණයෙන්ම හොඳයි. සුපුරුදු පරිදි වැඩකටයුතු කරගෙන යනවා.
ඔබේ සමකාලීන යහළු, යෙහෙළියන් මල් වරුෂා මැද අතිනත ගෙනයනවා. ඔබේ ඒ සිහිනයේ මල්වරුෂා ඇද හැලෙන්නේ කවදාද?
මගේ ජීවිතයේ සුන්දර කාලයත් අතළඟ එයි. ඒ මල් වරුෂාවේ මගේ සිහිනයත් සැබෑවෙයි.
වසන්ත විතාරණගේ











