ගුණාත්මක භාවයෙන් යුතු පැරැණි නාට්‍යය නැවත දැකබලා ගැනීමේ වාසනාව නැවැතත් ප්‍රේක්ෂකයන්ට උදාවී ඇත. එකී විශිෂ්ඨ ගණයේ ටෙලි කතාවන් අතර ‘ස්වයංජාත’ද එක් නිර්මාණයකි. ස්වයංජාතහි ‘කැවුමා’ හෙවත් ‘විභූතිරත්න’ගේ චරිතාපදානය තුළ සිය ශිල්පීය හරඹය රඟදැක්වූයේ ප්‍රවීණ නළු ජගත් චමිලය. විභූතිරත්න ගැන පමණක් නොව නැවැත විකාශනය වන ‘එකගෙයි මිනිස්සු’හි ‘උපගුප්ත’ ගැනද පුංචි සමාලෝචනයක යෙදෙන්නට හදවතට දැනුණු අවැසි බව වචනවලට පෙරලුනේ මේ ආකාරයටය.
කොහොමද ජගත් මේ දවස්වල ජීවිතේ?
බොහෝ කලාකරුවන් දෙන උත්තරය මමත් මෙතැනදී දෙන්නම්. කොරෝනා විරාමයට පසුව අප නැවැත කාර්යබහුල වෙමින් සිටිනවා.
ඒ කියන්නෙ නැවැත අලුත් ටෙලිනා්‍යවල රූගත කිරීම් ආරම්භ වෙලා?
ඔව්. රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන තරංග දිසානායක නිෂ්පාදනයෙන් සහාය වන අලුත්ම ටෙලිනාට්‍යයේ රූගත කිරීම් පටන් අරගෙනයි තියෙන්නේ.
ඔබ රඟපෑ පැරැණි ටෙලිනාට්‍ය දෙකක්ම නැවැත විකාශනය වෙනවා මේ දවස්වල?
ඔව්. ඒ මම ඉතාම කැමැත්තෙන් කළ අපූර්වතම චරිත යුගලක්. ‘ස්වයංජාත’හි විභූතිරත්නට වගේම ‘එකගෙයි මිනිස්සු’හි ‘උපගුප්ත’ටද මම එකසේ ඇලුම් කරනවා.
කොහොමත් ඔබට ලැබුණු චරිතයන් විවිධාකාරයි?
ඔව්. සිනමාව තුළින් ගතහොත් සැමීගේ කතාවෙහි ‘සැමී’ වාගේම ‘අළුබඳුන’, ‘රෝද හතරේ මනමාලයා’, ‘නෝ පාකින්’, ‘අහස් මාලිගා’ අප ඉහත කතා කළ ‘ස්වයංජාත’ සහ ‘එකගෙයි මිනිස්සු’ද විවිධාකාර චරිතයන්ගෙන් සමන්විතයි.
ඔය බොහෝ චරිත තුළ ජගත් චමිල යන අයගේ ස්වරූපය දුටු වාර ගණන අඩුයි?
ඔව්. මම රඟපෑ බොහෝ චරිතයන් තුළ මගේ ස්වරූපය වෙනස්ව තිබුණා. සැමීගේ කතාවේ ‘සැමී’ ස්වයංජාත ‘විභූතිරත්න’ වාගේම, එකගෙයි මිනිස්සුහි උපගුප්ත සහ රනාද එහෙමයි.
ස්වයංජාත විභූතිරත්නට වාගේම ‘එකගෙයි මිනිස්සු’හි උපගුප්තද දත්ඇන්දක් භාවිතා කළාද?
නැහැ. කවුරුත් හිතුවේ උපගුප්තගේ හඬ උච්චාරණය සඳහා මම දත් සෙට් එකක් දැම්මා කියලයි. නමුත් ඒ හඬ උච්චාරණයෙහි වූයේ මා විසින් ආයාසයෙන් මවාගත් ස්වරූපයක්.
ඔබට එය බොහෝ විට අපහසුවක් වෙන්නට ඇති?
ඇත්තටම ඔව්. දත්ඇන්ද දමපු විභූතිරත්නට වඩා උපගුප්තගේ චරිතය තුළ එම වචන උච්චාරණය මට මදක් අසීරු වුණා.
රූගත කිරීම්වලදී වචන උච්චාරණ ස්වරූපය අමතක වූ තැන් තිබුණෙ නැද්ද?
නැහැ. චරිතයකට මම මැදිවන්නේ ඒ පිළිබඳව හොඳ අධ්‍යාපනයක් කිරීමන් අනතුරුවයි. ඒ නිසා කිසිම තැනක මට උපගුප්තව අමතක වූයේ නැහැ.
ඔබ චරිත බාරගන්නේ තෝරා බේරා ගැනීමේ යම් සීමාවන් මතද?
නැහැ. නාට්‍ය හෝ චරිත තෝරන්නට ගියොත් මට කරන්නට යමක් ලැබෙන එකක් නැහැ. අනික මේ රටාව තුළ එවැනි තෝරාගැනීම් කිරීම අපහසුයි. තව දෙයක් ගුණාත්මක කතා තුළින් ප්‍රේක්ෂකයාගේ මනෝභාවය පෝෂණය කරන්නට වගේම සරල ටෙලි කතා තුළින් දවස පුරා වෙහෙසට පත්ව රූපවාහිනිය අසල ඉඳගන්නා ප්‍රේක්ෂකයන්ගේ මනස නිවාලන්නත් පුළුවන්. අන්න ඒ නිසයි ස්වයංජාත, එකගෙයි මිනිස්සු, අළු බඳුන වාගේම නෝ පාකින් සහ අහස් මාලිගා වැනි චරිතයන්වලටද මා ප්‍රවිශ්ඨ වූයේ.
හිතෙන්නෙ නැද්ද ඔබට විභූතිරත්න ගැන එදාට වඩා ප්‍රේක්ෂකයන් අද කතා කරනවාය කියා?
ඔව්. මට එහෙම හිතෙනවා. පැහැදිලිවම එය දැනෙනවා. විභූති ගැන විතරක් නෙමෙයි ස්වයංජාත නාට්‍යයද පළමු විකාශනයට වඩා දෙවැනි විකාශනයේදී ප්‍රේක්ෂකයන්ගේ කතාබහට බඳුන්ව තිබෙනවා. සරලව කියනවා නම් නැවැත විකාශනය තුළ ප්‍රේක්ෂකයන් එය ඉතා ගැඹුරින් රසවිඳිනවා. ස්වයංජාත විතරක්ම නෙමෙයි වසර ගණනකට පළමුව විකාශනය වූ උසස් ගුණාත්මක වූ සියලුම ටෙලිකතා මෙලෙස නැවැත විකාශනයකට බඳුන්වීම තුළ ප්‍රේක්ෂකයා නැවැත ගුණාත්මක නිර්මාණ රසවිඳීමට හුරුවෙනවා.
එය සුදත් රෝහණ මහත්තයාගේ ප්‍රයත්නයක්?
සත්තකින්ම ඔහු හොඳ නිර්මාණකරුවෙක්. එවැනි උසස් ගණයේ කලාකරුවකුට සුදුසු අසුනක් ලැබුණු නිසයි අගය කළ හැකි දෑ එම ආයතනය තුළ සිදුවන්නේ. දැන් දැන් ස්වාධීන රූපවාහිනිය තුළ විකාශනය වන නව නිර්මාණ වුණත් බලන්න. ප්‍රේක්ෂකයන් ඒ හරහා හොඳ රසවින්දනයකට යොමුවෙමින් සිටිනවා. රොෂාන් රවින්ද්‍රගේ ‘තණමල්විල කොල්ලෙක්’ ඊට හොඳම නිදසුනක්.
දක්ෂ රංගවේදියකු ලෙස ඔබ සිනමාව රූපවාහිනිය වගේම වේදකාවද ජයගත්තා?
හැම දක්ෂ නළුවෙක්ම බොහෝ විට බිහිවන්නේ වේදිකාව තුළින්මයි. වේදිකාව කියන්නේ සජීවී මාධ්‍යයක්. ලොව පුරා දක්ෂ කලාකරුවන්ට අද ඔවුන් සිටිනා තැනට පියමනින්නට වේදිකාව ප්‍රබල සාධකයක් වූවාය කිව්වොත් එය නිවැරැදියි. තවත් විදියකට කියනවා නම් වේදකාව කියන්නේ විශ්වවිද්‍යාලයක් වැනි ඉසව්වක්. මා මෙසේ කියන්නේ මා විසින්ම ලද අත්දැකීම් තුළිනුයි. ඉන්දික ෆර්ඩිනැන්ඩු සමඟ ‘කලම්බෝ කලම්බෝ’ වේදිකා නාට්‍යය නිර්මාණය කිරීම සඳහා අප පුරා අවුරුද්දක කාලයක් පුහුණුවීම් කළා. එයට පසුව අවුරුද්දක් පුරා එය වේදිකාගත කිරීම තුළින්ද හොඳ රංගවේදියකු සඳහා අවශ්‍ය පිටිවහල මම ලබාගත්තේ සජීවී අත්දැකීම් තුළයි. ඒ වගේම ප්‍රවීණ සිනමා නිළි අනෝජා වීරසිංහගේ වැඩමුළු තුළින්ද මා ලබාගත් දෑ බොහෝමයි. සැමීගේ කතාව චිත්‍රපටය වෙනුවෙන් විදේශීය සම්මානයකින් පිදුම් ලබන්නටත්, ‘රෝද හතරේ මනමාලයා’ වෙනුවෙන් හොඳම සහාය නළුවා ලෙස කිහිප විටක්ම සම්මානයට පාත්‍ර වෙන්නටත් වේදිකාව තුළ මා ලද ඒ බොහෝ දෑ ශක්තිමත් පසුබිමක් වුණා.
රූපවාහිනී සේවාවන්වල ප්‍රාසාංගික වැඩසටහන් සඳහා ඔබ බොහෝ විට සහභාගි නොවන්නේ ඇයි?
මෙහෙමයි. මම බොහෝ විට මගේ සහභාගිත්වය දෙන්නෙ යම් කතිකාවක් කළ හැකි වැදගත් යමක් කිව හැකි රූපවාහිනී වැඩසටහන්වලට පමණයි. ප්‍රේක්ෂකයාව මුලාකිරීමේ හෝ රැවටීමේ කලාව මම හඳුනන්නේ නැහැ. නිදසුනක් දෙනවා නම් මම ගෙදරදී කෑම උයන විදියයි, මට කිති එන්න මාව කිතිකවපු විදියයි පෙන්නන්න මම කැමැති නැහැ. එවැනි පුද්ගලික දෑ බොළඳ රසාස්වාදනය වෙනුවෙන් ප්‍රේක්ෂකයා හමුවේ පෙන්වන ආකාරය රඟදක්වන්න ඇත්තෙන්ම මම දන්නේ නැහැ. එවැනි වැඩසටහනක් සඳහා මම ගියත් කරන්නේ එතැනදි මට අවැසි කතිකාව කළ හැකි පරිසරය මා විසින්ම හදාගන්නා එකයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු










