මගේ දුව ෆිල්ම් ෆෙයාර් සම්මානය ඇගේ දෑතින් ගෙන ඕඩියන්ස් එකට මුහුණ දී ප්‍රතිචාර දක්වන විට මාව ඉබේටම අසුනින් නැඟිටුණා., ඇගේ මුව පුරා සතුටු සිනාවකින් එළිය වන විට ඈ වෙනුවෙන් මගේ ඇස්වලට උණුසුම් සතුටු කඳුළක් ගලාගෙන ආවා. ඇත්තෙන්ම මට ආඩම්බරයි. වසර ගණනක්ම ඉන්දීය සිනමා කර්මාන්තය තුළ විවිධාකාර රඟපෑම් කළ මට ගන්න බැරිවුණු සම්මානයක් මගේ දුව එයාගේ දෝතට ගත්තා.
ඒ සංවේදී ලස්සන කතාව පසුගිය සතියේ දවසක ‘හින්දුස්තානයේ ටයිම්ස්’ පුවත්පතට පැවැසුවේ චුන්කි පාණ්ඬේ විසින්ය.
චුන්කි පාණ්ඬේ කියන්නේ ගෙවී ගිය 90 දශකය පුරා විවිධ චරිත නිරූපණයන් ඔස්සේ ප්‍රේක්‍ෂක සිත් අමන්දානන්දයට පත්කළ උතුරු ඉන්දීය සුපිරි තරුවකි. ප්‍රධාන චරිත නිරූපණයනට වඩා සහාය නළුවාගේ චරිතය වෙත බොහෝ විට නම් කෙරුණු චුන්කි පාණ්ඬේ, සුනිල් ෂෙට්ටි, අක්ෂය කුමාර, අනිල් කපූර් සහ ගෝවින්ද සමඟ චිත්‍රපටයකට ඇතුළු කර ගැනීමට අධ්‍යක්‍ෂවරු අතර ඒ කාලයේ යම් ආකාරයක රැල්ලක් තිබුණේය.
චුන්කිගේ කඩවසම් පිරිමි පෙනුම සහ ඕනෑම චරිතයක් රඟදැක්වීමේ හැකියාව ඊට තුඩු දෙන්නට ඇත. ඛාන්ලාගේ පැමිණීමත් සමඟ චුන්කි සිනමාවෙන් ඈත් විය. නැවැතත් චුන්කි ගැන පුන පුනා කතා කිරීමේ දොළ දුකක් මාධ්‍යයට ඇති වන්නට වූයේ, අනන්‍යා පාණ්ඬේගේ සොඳුරු රංගනය තරුණ පෙළ අතර මිහිරියාවක් ඇතිකර තිබෙන නිසාය.
අලංකාර රූප සම්පත්තියකට හිමිකම් කියන අනන්‍යා සිය පියා වගේම උස් සිරුරක්ද හිමිකර ගෙන සිටියාය. නිරූපණ ක්‍ෂේත්‍රයේද ජනප්‍රිය නමක් ඇති අනන්‍යා පාණ්ඬේ තමා ලද සම්මානය ගැන අවිහිංසක උද්දාමයකට පත්ව සිටින්නීය.
චුන්කි ගැන කතාබහ කිරීම මඳකට අමතක කොට තිබූ මාධ්‍යය අනන්‍යාගේ සම්මානයෙන් පසු ඔහුව යම් කතාබහවලට කොටුකර ගැනීමට දැරූ උත්සාහයන් අසීමිතය. පැමිණි බොහොමයක් වූ ආරාධනා අතරින් පළමුවෙන්ම චුන්කි තෝරා ගත්තේ ‘හින්දුස්තාන ටයිම්ස්’ පුවත්පතය.
‘මාධ්‍ය හමුවට පැමිණීම ඔබ විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙන්නේ ඇයි?
මාධ්‍යවේදියා පළමුවෙන්ම චුන්කිගෙන් ඇසූ ප්‍රශ්නය එය විය.
‘අනේ මමවත් දන්නේ නැහැ මම ඇයි මාධ්‍ය හමුවීම්වලට මුහුණ නොදෙන්නෙ කියා.’
චුන්කි කීයේ හරිම සැහැල්ලුවටය.
එයින් සිදුවූයේ මාධ්‍ය විසින් ඔබව අතහැර දැමීම නේදැයි අනතුරුව චුන්කි වෙත පැමිණි ප්‍රශ්නය විය.
‘මොන පිස්සුද? එතරම් පහසුවෙන් චුන්කි පාණ්ඬේව ඔවුන්ට අමතක වෙන්නෙ නැහැ. ඒ නිසා තමයි කරන් නිතරම මට ඔහු සමඟ කෝපි එකක් බොන්න එන්නය කියන්නේ.
ආඩම්බර පෙනුමකින් මුහුණ පුරවාගෙන චුන්කි ඒ කීයේ ‘කොෆී විත් කරන්’ රූපවාහිනී වැඩසටහන ගැනය.
චුන්කි පාණ්ඬේ අනතුරුව කතාබහ කළේ තම දියණිය ගැනය. ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත්පතෙහි සාකච්ඡාවක් සඳහා ලැබුණු මේ ආරාධනය චුන්කි සතුටින් භාරගෙන තිබුණේද එය තම දියණිය ගැන කතාබහ කරන වැඩ සටහනක් වූ නිසාය.
කුඩා කාලයේ සිටම අනන්‍යා පාණ්ඬේ සිය රංගන කුසලතාව වර්ධනය කරගනිමින් සිටි බව පැවසූ චුන්කි, අම්මාගේ ඇඳුම් – පැලඳුම් ඇඳගෙන තනිවම කණ්ණාඩිය ඉදිරියෙහි නොයෙකුත් කෝලම් කළ බව පැවැසුවේය.
‘තිර රෙද්දෙන් හොරෙන් බලාගෙන, මම මගේ පුංචි කෙල්ලගේ හැකියාව හරි සතුටින් රස වින්දා’ කවදාක හරි ඈ ඇගේ තාත්තව අභිභවා යන බව මම දැන ගත්තේ ඒ දවස්වලමයි. මම අනන්‍යාට හොරා ඇඟිලි ගැන්නා. ලස්සන හීන දැක්කා. දක්‍ෂතම නිළියක ලෙස මගේ දූගේ හපන්කම් ගැන මට කතා කරන්න අවස්ථාවක් ඒවි නේදැයි යන අනුමානය මා තුළ තිබුණා. නමුත් මම ඇයට බලපෑම් කළේ නැහැ. අනන්‍යා නිළියක වූයේ ඇගේම කැමැත්ත මත තමයි.
චුන්කි ඉතාම හැඟීම්බරව ඒ වදන් පෙළ කීයේ ඇස් කෙවෙනි තුළ රැඳුණු කඳුළක් පිස දමමිනි.
ඒ තාත්තලාගේ හැටිය. පරම්පරාව ගෙන යන්නට පුතකු ඉල්ලුවාට හැම තාත්තලාම වැඩිය ආදරේ දූලාටය.
චුන්කි සමඟ අනන්‍යා ගැන කතා කළ හින්දු ටයිම්ස් පුවත්පත ඉන්පසුව දූ සමඟ තාත්තා ගැන කතා කරන්නටද ඉඩ සකසාගත්තේය.
තාත්තා ගැන මට කියන්න තියෙන දේවල් හදන්න දවස් ගණනක් ඕනෑ වේවි. ඒ තරමට මමයි, තාත්තයි හරිම යාළුයි. හැබැයි මා ගත්ත සම්මානය ගැන තාත්තා මේ තරමට සංවේදී වේ යැයි මම හිතුවේ නැහැ.
අනන්‍යා සිය කතාව ආරම්භ කළේ එහෙමය.
තාත්තගේ අසීමිත ආදරය පමණක් මොහොතක් මගේ හිත සංවේදී කරවනවා. ඔහු හැම මොහොතකම මා ගැන අවධානයෙන් සිටිනවා. පුදුමය කියන්නේ ඒ අවධානය සහ ආදරය තුළ මට වදයක් වූ කරුණු කාරණා කිසිවක්ම නොවීමයි.
පැහැදිලිව කියනව නම්, සමහර තාත්තලා වැඩි ආදරය මුල්කරගෙන තම දූවරුනට එල්ල කරන පීඩාවන් මගේ තාත්තාගෙන් මට එල්ල වූයේ නැහැ. එක දෙයයි ඔහු මට නිතර කීයේ. අනන්‍යා ඔයා හොඳ ළමයෙක්, හැමදාමත් ඒ හොඳකම තියාගන්න.’
අන්න ඒ වචන කිහිපය මගේ හැම උපන් දිනයකදීම තාත්තා මට මතක් කළා. තව දෙයක්, කඩ සාප්පුවල තියෙන, දකින දකින තොරොම්බල් ගන්න මම පසුම්බියෙ තියෙන සල්ලි වැය කරන එක ගැන නම් තාත්තා ටිකක් දුක්වුණා.
‘අනන්‍යා… සල්ලි නාස්ති කරන්න එපා. පරෙස්සමට වියදම් කරන්න. අරපිරිමැස්ම කියන්නේ ගැහැනියකට ආභරණයක්.
සමහර විටෙක තාත්තා මට කියනවා මම එයාට කවදාවත් අමනාප වුණේ නැහැ.
අනන්‍යා පාණ්ඬේ සහ චුන්කි පාණ්ඬේ අතර වූයේ ලේ නෑකමකට වඩා අපූරු මිත්‍රකමකි. අනන්‍යා කියන්නේ, ලෝකයේ ඉන්න හොඳම තාත්තා වාගේම හොඳම යහළුවා සිටින්නෙත් තම ජීවිතය තුළ බවය. නැඟී එන හොඳම නවක නිළි සම්මානය ගැනීමට වේදිකාවට නඟින විට අනන්‍යාට ඉතා උණුසුම් ප්‍රතිචාරයක් හිමිවිය.
විශේෂයෙන් සුපිරි පෙළේ නිළි තාරකාවන් අනන්‍යාගේ ඇඳුම ගැන කතා කළේ උනන්දුවෙනි. කහ සහ කළු පාට මිශ්‍රව ගෙන ඇය ඇඳ ඇඟලා සිටි ඒ අලංකාර ඇඳුමට පසුබිම්ව තිබුණේ, 2020 ජුනි මස තිරගත වීමට නියමිත සුන්දර ප්‍රේම කතාවක් රැගත් ‘ණය්කස ඡැැකස’ චිත්‍රපටයෙහි මිහිරි අනුරුවකි.
‘Khaali Peeli’ යන වදනෙහි අරුත ‘කහ සමඟ කළු’ යන්නය.
ඒ අපූරු විලාසිතාවට අනන්‍යාගේ ට්විටර් මිතුරු මිතුරියෝ දහස් ගණනක් සිය මනාපය පළකර තිබිණි.
අනන්‍යා මගේ ජීවිතයට එන්නට පළමුව ‘බලාපොරොත්තු’ යන වචනයට මගේ ලෝකය තුළ කිසිම ඉඩක් තිබුණු බවක් මට මතක නැහැ.
නමුත් අම්මගේ අල්මාරිය කහළගොඩක් කරමින් පුංචි අනන්‍යා ඇගේ පාට පාට සාරි ඇඳගෙන කැඩපත ළඟ අපූරුවට රඟන කල ‘බලාපොරොත්තුව’ යන වදනෙහි සොඳුරු අර්ථය තුළ මම බොහෝ හීන අහුලන්න ගත් බව අවංකව පවසමි.
හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතෙහි කතාබහට පැමිණි චුන්කි පාණ්ඬේ එය අවසන් කොට තිබුණේ එලෙසිනි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











