ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පී ජයලාල් රෝහණ එහෙමත් නැතිනම් (මුතුමිණ) ඔබට මතක ඇති. ඔහු කලාව වෙනුවෙන් හඬක් නඟන අපූරු කලාකරුවෙක්. එනිසා ඔහුගේ අලුත්ම තොරතුරු ඔබට කියන්නට අපි ඔහුව ‘හාට්’ එකට සම්බන්ධ කරගත්තේ මේ විදිහට.
ජයලාල් ඔබ දැන් රටින් රට දේශන සඳහා සහභාගි වෙනවා. කොහොමද ඒ වැඩකටයුතු?
අපේ දේ අපේ මිනිසුන්ට අගේ නැති වුණාට අපේ වටිනාකම විදේශීය ප්‍රේක්ෂක මගේ ආදර රසික රසිකාවියන්ට දැනෙනවා. ලන්ඩන්, ස්කොට්ලන්තය, බහරේන්, ප්‍රංශය වගේ රටවල මම පසුගියදා ගියා. ඉතාමත් හොඳ ප්‍රායෝගික දැනුමක් එක්ක දේශන සංවාදයක් පවත්වලා ලංකාවට පැමිණියා.
රඟපෑම අතහැර ඒ පැත්තෙන් යන්නද අදහස?
කෝ රඟපාන්න නිර්මාණ නෑනේ. දැන් එහෙම නිර්මාණ හැදෙන්නෙත් නෑනේ. බාල ටෙලිනාට්‍යවලට මගේ බල්ලවත් යන්නේ නැහැ. ඒ තරමට දැන් හැදෙන ටෙලිනාට්‍ය මට අප්‍රසන්නයි. පසුගිය දවස්වල චිත්‍රපටයකට සම්බන්ධ වෙලා වැඩ කළා. ‘ද නිවුස් ප්‍රෙස්’ චිත්‍රපටය තිරගත වෙනකොට ඒ වෙනස දැනගන්නවා.
ඔබ ඔය පවසන විදියට නිර්මාණ හදන්න නිර්මාණකරුවන් දැන් ක්ෂේත්‍රයේ නැතිද?
හොඳ මිනිසුන් ඉන්නවා. මම නැහැ කියන්නේ නැහැ. දැන් හැදෙන ටෙලිනාට්‍යවලින් සමාජයට දෙන්නේ මොනවද. හොඳ මිනිසුන් අතර ආතක් පාතක් නැති හිකනල්ලු වගයක් මේ කලාවේ ඉන්නවා. ඔවුන්ගේ නාට්‍ය නිසා අද නිර්මාණකරුවෙක්ට තැනක් නැහැ. රංගන ශිල්පියොත් කම්කරුවො වෙලා. රු.500ට රඟපාන්න යනවා. දැන් තියෙන්නේ ටෙලිනාට්‍ය කර්මාන්තයක් නෙමේ ගණිකා වෘත්තියේ නියැළෙන කර්මාන්තයක්. ඒ තරමට උතුම් කලාව හෑල්ලුවට ඇද දමලා.
ඔබ ජනාධිපතිතුමන් හමුවීමට කාලය ඉල්ලූ බව ආරංචියි. අවස්ථාවක් ලැබුණෙ නැද්ද?
ඒක තමයි මට තියෙන ප්‍රශ්නය. මට එක විනාඩි පහක් රටේ ජනාධිපතිතුමන් හමුවෙලා කතා කරන්න ඕනෑ. මේක දැවෙන ප්‍රශ්නයක් වෙලා. කලාව වෙනත් මඟකට ගමන් කරමින් තිබෙනවා. එය ගැන කතා කරන්න කවුරුවත් පසුව ඉඩකඩ සලසා දෙන්නේ නැහැ. මම ජනාධිපතිතුමන්ගෙත් ගෙවල් දොරවල් ඉල්ලන්න යනවා නෙමේ. මේ පල්හොරු ටිකක් ඉඳගෙන කලාව වනසනවා. අපි කතා කරනවාට බයයි. අනෙක සම්පූර්ණයෙන්ම මේ මෙගා ටෙලිනාට්‍ය කලාව නතර කළ යුතුයි. කොච්චර හොඳ නිර්මාණ තියෙනවාද පෙන්වන්න. මේ ජරා ගොඩවල් විකාශය කරන්නේ නැතිව. රටේ මතු පරපුර මෙයින් බේරාගත යුතුයි. මේ තියෙන කලාව අවසානයේ නවතින්නේ වෙන වෙන ව්‍යාපාරවලින් තමයි.
බොහෝ දෙනෙක් නඟන කතාවක් තමයි කලාව වෘත්තිය මට්ටමින් කරන්නවත් නිදහසක් නැති බව. ඇත්තෙන්ම කලාව වෘත්තියක්ද?
කලාව කියන්නේ සුන්දර වෘත්තියක්. ශ්‍රී ලංකාවේ වෘත්තීය කලාවක් නැහැ. පසුගිය දවස්වල රටේ කලබලවලට සංගීත සන්දර්ශන නැවැත්වූවා. ඔවුන් මහ පාරට වැටුණා. අවසානයේ ඔවුන්ගේ මෙවලම් පවා වික්කා. රාජ්‍ය නැටුම් කණ්ඩායම, යුද හමුදා තූර්යවාදක කණ්ඩායමට කලාව වෘත්තිය මට්ටමින් කරන්න පුළුවන්. ඔවුන්ට ස්ථිර වැටුප් ක්‍රමයක් තිබෙනවා. හෙට මේ කලාව නැවැත්තුවොත් ඔක්කොම ඉවරයි. එතකොට කෝ ඔය කියන වෘත්තීය කලාව.
ඔබේ දැනුම් සම්භාරය මතු පරපුරට දෙන්න සූදානම් වෙලා සැලැසුම්සහගතව පාඨමාලාවක් ආරම්භ කළා. කොහොමද එහි වැඩකටයුතු?
මම එය ආරම්භ කරලා අවුරුද්දක් විතර වෙනවා. මම වෙන සංවිධායක බලයකට කල්ලියක් හැදුව නෙමේ. සමහරු එහෙම කියනවා ඇති. පාඨමාලාවේ ආරම්භයේ 150ක් විතර තරුණ, වැඩිමහල් පරපුර සම්බන්ධ වුණා. දැන් එහි තිස්දෙනෙක්වත් නැහැ. කලාව කියන්නේ සතුට සාජ්ජයේ පාටි දාන එකවත්, කෝලම් මඩුවක්වත් නෙමේ. මම වෙලාවට වැඩ කරන කෙනෙක්. එහෙම වෙලාවට වැඩ කරන්න බැරිව විනයක් නැතිව හැදෙන පිරිස මම එළවනවා. මේ වෘත්තිය හදවතින් රකින්න බැරි නම් එතැන කොහොමද කලාවක්. උසස් පෙළ පාස් නොවුණ පිරිස, උසස් පෙළ නාට්‍ය හා රංගකලාව සමත් දරුවො, මම ළඟ ඉගෙන ගන්නවා. මට මේ කලාව ගැන කතා කරන්න මේ කාලය මදි. මොකද මම උත්සාහ කරන්නේ අලුත් පරපුරක් බිහිකරන්න. ඒත් දැන් ඉන්න අයට එහි වටිනාකමක් නැහැ.
වසන්ත විතාරණගේ











