ෂාරුක් සහ අමිතාබ් යනු යුග දෙකක් සිය භාව්‍යමය රංගනයෙන් වර්ණවත් කළ සුපිරි තරු දෙකකි. ඔවුන් දෙදෙන පිය – පුතු ලෙස එක්ව “කබි කුෂි කබි ගම්” සමඟ කළ රංගනය සමඟින් උතුරු ඉන්දීය ප්‍රේක්‍ෂකයන්ගේ මතකයෙන් ගිලිහී ගොස් නැත. හැබැයි “කබි කුෂි කබි ගම්” රඟපාන විට අමිතාබ් සහ ෂාරුක් අතර සීතල නිහඬ යුද්ධයක් පැතිර ගිය බව බොහෝ දෙනකුට රහසක් සේම තවත් ඇතැමුන්ට නොරහසකි. යුග තුනක් එකට එක් කළ “කබි කුෂි කබි ගම්” හි තම වැඩිමහල් පුත්‍රයා ලෙස රඟන්නට “යාෂ් චොප්රා” අභිෂේක් නොගෙන ෂාරුක් ගත්තේ ඇයිද? යන කනස්සල්ල අමිතාබ් තුළ වූ බව යාෂ් චොප්රාද හීනියට වාගේ දැන සිටියේය. එයට සම්බන්ධව සිටි බොහෝ දෙනකුට වුවද එය රහසක් වූයේ නැත.
එලෙසම බොහෝ නිෂ්පාදක සහ අධ්‍යක්‍ෂවරු ඔවුන්ගේ චිත්‍රපටවලට ෂාරුක්වම තෝරා ගන්නා විට වුවද අමිතාබ්ට හිත රිදුණේය. පෙර කලෙක තමාගේ දායකත්වය වීර චරිත කරා යොමු කරවන්නට එක පොදියට පොර කෑ චිත්‍රපට නිෂ්පාදකයන් අභිෂේක්ව අතහැර ෂාරුක්ව සොයා යෑම පියකු ලෙස අමිතාබ් දුකට පත්කර තිබිණි.
කොතැනක හෝ යම් අවස්ථාවකද අමිතාබ්ගේ දුක මිශ්‍ර ඊර්ෂ්‍යාව පිටතට පැන්නේය. ඇතැමුන් එය රසවත් “ගොසිප්” එකක් කරගත්තේය.
බොහෝ දෑ ඉවසා සිටි ෂාරුක්ද මාධ්‍යවලට උඩගෙඩි දීම මත, ‘බච්චන්ලා මගේ කකුලෙන් අදින්නේ ඇයිදැයි මම දන්නේ නැතැයි’ යනුවෙන් සිය පීඩනය පුපුරවා හැරියේය.
එතැන් පටන් බච්චන් සහ ෂාරුක් අත යම් යම් විරසක ඇති විය. ඒ මීට වසර ගණනකට පළමුවය. කාලය ගෙවී ගියේය. සියලු විරසක සහ රහසේ ලියලා තිබූ අමනාපකම්ද කෙමෙන් යටපත්ව ගියේ “කිංඛාන්” සිය ඔටුන්න කවර හෝ තරුණ නළුවකු වෙත පිරිනමන්නට තනන කාලයේදීය.
“හීරෝ වෙතින් ෂාරුක්ට බින්දුව?” යන මැයෙන් සමාජජාලා වෙබ් අඩවිවල පළවන විට ෂාරුක්ට ඊර්ෂ්‍යා කිරීම අමිතාබ් පසෙක දැමුවේය.
ඒ වාගේම තරහෙන් හිටපු අය තරහ මරහා අමතක කර පැත්තකට වෙනවා වාගේම තවත් සමහර අය අලුත් යාළුකම් ඇතිකර ගනිති.
ෂාරුක් සහ අමිතාබ් අතරද, එවැන්නක් සිදුවිය. සුරංගනාවක් වැනි පුංචි ආරාධනාගේ උපන් දින සාදයට එන්නැයි ෂාරුක් ඛාන් පවුලට ආරාධනා ලැබුණේ ඒ නිසා වන්නට ඇත.
ෂාරුක් සිය සුන්දර බිරිය ගෞරී සහ පුංචි පුතු ඒබ්‍රහම් සමඟ ආරාධනාගේ 8 වැනි උපන් දින උත්සවයට පසුගිය සෙනසුරාදාවක සහභාගි වූයේ ඉතාම සරලව සැරසීගෙනය.
බච්චන්ද සමඟ ඉතා උණුසුම් වැළඳ ගැනීමක් කළ ෂාරුක් මතක ඇති දවසක තමා ඉතා සතුටින් සහභාගි වූ සොඳුරුතම සාද අතර මෙයද එකකැයි ෂාරුක් පැවසුවේ සියල්ලන් සමඟ පිළිසඳරෙහි යෙදෙන අතර තුළය.
“හරිම ලස්සන ඇඳුමක්” යැයි ඓශ්චර්යා ගෞරිගේ ඇඳුම වර්ණනා කරන විට ගෞරි කීවේ, සාදය සඳහා පුතු සහ තමා වෙනුවෙන් ඇඳුම් තේරුවේ ෂාරුක් බවය.
“ඔහු හරිම සතුටින් ඔබේ පවුලේ ආරාධනාව පිළිගත්තේ. මොකද ඇත්තටම “සාද” සඳහා ලැබෙන ආරාධනයන් ගැන විශේෂ සතුටක් මීට පෙර මම ඔහු වෙතින් දැක තිබුණේ නැහැ.”
ගෞරි ඛාන් තවදුරටත් ඒ ගැන එලෙස කීවාය.
ලස්සන රෝස පැහැති ඇඳුමකින් සැරසී සිටි ආරාධනා ඉතා කෝල ගතියෙන් වුවද අමුත්තන් හමුවේ හැසිරුණාය.
උත්සවය සඳහා මුම්බායිහි පිහිටි බච්චන් මැඳුරට ෂාරුක් ඛාන් ඇතුළු පවුලත්, එයට පසු කරන් ජොහාර් සිය පවුල සමඟත්, චිත්‍රපට නළු රමීෂ් දේශ්ටූත් තම පවුල සමඟත්, කැමරා ශිල්පී ඔබ්බු රත්තාහි තම දරු පවුල සමඟත් සාදය වර්ණවත් කරන්නට පැමිණියහ. සාදයෙහි සොඳුරුතම අවස්ථාවන් “ජකසජන” කිරීමට සුවිශේෂී කෙනෙක් අවැසි නොවූයේ ඩබ්බු රත්නාහි එය හරි අපූරුවට නිම කළ නිසාය.
සමුගෙන යන්නට පළමුව ෂාරුක් ලස්සන සෙල්ෆියක්ද ගත්තේය.
“සුවිශේෂී තැනකදී සුවිශේෂී හමුවක්,” ඔහු එය තම ට්විටර් ගිණුමට මුදාහළේ එලෙසිනි.
පුදුම හිතෙන තරමේ ප්‍රතිචාර ඒ සඳහා ලැබී තිබිණි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











