කොරෝනා වසංගතය හින්දා ගෙදරට කොටු වෙලා හිටිය කාලේ කලාවට ආදරය කරන ගොඩදෙනෙක් මීට කාලෙකට කලින් රස විඳපු විශිෂ්ට ගණයේ නිර්මාණ රැසක් නැවත රස වින්දා. ටෙලි නාට්‍ය, චිත්‍රපට වගේ ගොඩක් දේවල් ඒ අතරේ තිබුණා.
ටෙලි නාට්‍ය බොහොමයක් 90 දශකයේ විකාශනය වූ ඒවා කිව්වොත් හරි. මොකද සිංහල ටෙලි නාට්‍ය වංශ කතාවේ ස්වර්ණමය යුගය තමයි 90 දශකය. 90 දශකයේ ටෙලි නාට්‍ය බොහොමයක් නිරෝධායන ඇඳිරි නීතිය කාලේ නැවත වරක් ජනප්‍රිය වුණේ ඒ හින්දයි.
දඬුබස්නාමානය, වෙදහාමිනේ වගේ කලාත්මක නිර්මාණ බොහොමයක් ඒ අතරේ තිබුණා. ඒ වගේම ඒ නිර්මාණ හරහා හැමෝගෙම කතාබහට ලක් වුණු නළුවෙක් හිටියා. ඒ තමයි කමල් අද්දරආරච්චි. 90 දශකයේ සම්මානයට පාත්‍ර වුණු විශිෂ්ට ගණයේ නිර්මාණ රැසක ප්‍රධාන නළුවා වුණේ කමල්.
90 දශකයේදී කමල් රඟපෑ ටෙලි නාට්‍ය රැසක් අන්තර්ජාලය හරහා නැරඹීමේ අවස්ථාව තියෙනවා. ඒත් තාමත් අන්තර්ජාලය හරහා හොයා ගන්න බැරි කමල් රඟපෑව නිර්මාණ බොහොමයකුත් තියෙනවා. අතීතයේ කලා නිර්මාණ නැවතත් කතාබහට ලක් වෙලා තියෙන මේ කාලේ අපි කමල් අද්දරආරච්චිව හොයාගෙන ගියා. ඒ අන්තර්ජාලය හරහා හොයා ගන්න බැරි ඒත් ඒ කාලේ අතිශයින් ජනප්‍රිය වුණු කමල් රඟපෑව චරිතයක් ගැන කතා කරන්න. ඒ ටෙලි නාට්‍ය තමයි “රන් කහවණු”. 90 දශකයේ ටෙලි නාට්‍ය රස විඳපු හැමෝටම නම කියපු ගමන්ම ඒ ගැන මතක් වේවි. අපි කමල් අද්දරආරච්චි එක්ක ආයෙත් ඒ මතකය අලුත් කර ගමු.
“ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් තමයි රන් කහවණු ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළේ. අපේ හිටිය ප්‍රවීණ වගේම දක්ෂ අධ්‍යක්ෂවරයකු වන ටයිටස් තොටවත්ත මහත්තයා තමයි ඒ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. සනත් ගුණතිලක, ජීවන් කුමාරණතුංග, මැණික් කුරුකුලසූරිය, සබීතා පෙරේරා ඇතුළු සිනමා තාරකාවන් රැසක් එම ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඇත්තටම ඔය ටෙලි නාට්‍ය ආරම්භයේදී මම සම්බන්ධ වෙලා හිටියේ නැහැ. නමුත් මම ඊට පෙර තොටවත්ත මහත්තයාගේ පින් මඳ පුතුන් කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක තමයි ලංකාවේ චිත්‍රාගාරයක රූගත කළ පළමු ටෙලි නාට්‍ය. ඒකත් රූපවාහිනී නිෂ්පාදනයක්. ඒ හරහා තොටවත්ත මහත්තයා මාව හඳුනාගෙන තිබුණා.”
නාට්‍ය ආරම්භයේදී සම්බන්ධ වෙලා නොසිටියත් රන් කහවණු නාට්‍යයේ ජනප්‍රියම චරිතය වුණේ කමල්. ඒ ගැන දැන් ඔහු කතා කරන්නේ මෙහෙමයි.
“රන් කහවණු ටෙලි නාට්‍යයේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වුණු තරුණයකුගේ චරිතයක් තමයි මට ලැබුණේ. සරලව කිව්වොත් කුඩුකාරයෙක්ගේ චරිතයක්. ඇත්තටම නාට්‍ය ආරම්භයේදී ඒක සුළු චරිතයක්. නමුත් නාට්‍ය විකාශනයේදී ඒ චරිතයට විශාල ජනප්‍රියත්වයක් හිමි වෙනවා. අවසානයේ රන් කහවණු ඒ තරුණයා වටා ගොඩනැඟුණු ටෙලි නාට්‍යයක් බවට පත් වෙනවා. ඒ චරිතයට සහ ටෙලි නාට්‍යයට ඒ කාලේ ලැබුණු ප්‍රතිචාර අති විශාලයි.”
ඒ කියන්නේ ඒ කාලෙදිත් දැන් වගේම ටෙලි නාට්‍යවල තිර පිටපත අතර මඟදී වෙනස් කළාද? කමල් රන් කහවණු ගැන මතකය අවදි කරද්දී මගේ හිතට නැඟුණු ප්‍රශ්නය තමයි ඒ.
“ඔව්. මේක විකාශනය වෙද්දි තමයි ඉදිරි කොටස් රූගත කළේ. ඇත්තටම කියනවානම් සමහර අවස්ථාවල මේ නාට්‍යයේ හෙට විකාශනය වෙන්න තිබුණු කොටස් අපි රඟපෑවේ අද. අතර මඟදී ටෙලි නාට්‍යයේ කතාව වුණත් වෙනස් කරන්න පුළුවන් වුණේ ඒකයි. මං හිතනවා නාට්‍යයට ලැබුණු ජනප්‍රියත්වයට ඒකත් බලපාන්න ඇති.”
රන් කහවණු රූගත කරලා තියෙන්නේ 90 දශකයේ මැද භාගයේදී. ඒ කාලේ තහනම් මත්ද්‍රව්‍ය එහෙම නැත්නම් කුඩු කියන්නේ ලංකාවේ සමාජයේ අද තරම් ප්‍රචලිත දෙයක් නෙවෙයි. කුඩු ගැන ලංකාවේ සමාජය කතා කරන්න පටන් ගන්න මුල්ම වකවානුවේදි තමයි මේ නාට්‍ය විකාශනය වෙන්නේ. ඒ කාලේ කුඩුකාරයෙක් කියන එකත් සමාජයට අලුත් අත්දැකීමක්. එහෙම පසුබිමක කමල් ඒ චරිතය මේ තරම් සාර්ථකව රඟපෑවේ කියන එක ප්‍රශ්නයක්.
“ඔව්. ඇත්තටම ඒ කාලේ කුඩුකාරයෙක් කියන්නේ මොන වගේ කෙනකුටද කියන එක ගැන කාටවත් හරි අවබෝධයක් තිබුණේ නැහැ. කුඩුකාරයකුගේ පූර්වාදර්ශයක් ගන්න විදියක් මට තිබුණේ නැහැ. නමුත් ඇතැම් චිත්‍රපට හරහා දැකලා තිබුණු හින්දා කුඩුකාරයෙක් කියන්නේ කවුද කියන එක ගැන යම් වැටහීමක් මට තිබුණා.
මත් වුණාට පස්සේ ඔවුන් හැසිරෙන ආකාරය පිළිබඳ යම් අවබෝධයක් ඒ හරහා මම ගත්තා. මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි වූ පුද්ගලයකුගේ චෛතසිකය මොන වගේද, ඔහුගේ සමාජ තත්ත්වය කොයි වගේද, යන දේවල් මම හොයලා බැලුවා. ඇත්තටම කිව්වොත් අපේ සමාජයේ බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වෙන්නේ නිසි ආදරයක් නොමැති වීම, නිසි මඟ පෙන්වීමක් නොමැති වීම, වැරැදි සමාජ ආශ්‍රය වගේ කරුණු හින්දා. හැබැයි අද ඉන්න කුඩුකාරයෝ නම් රන් කහවණු නාට්‍යයේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස්.”
කොහොම වුණත් 90 දශකයේ විවිධ ගණයේ ටෙලි නාට්‍ය රැසක් හරහා ජනතාවට සමීප වුණු කමල් සෑහෙන කාලයකින් ටෙලි නාට්‍යයක රඟපාලා නැහැ. ඔහුට ආදරය කරන රසික රසිකාවියන් වෙනුවෙන් අපි ඒ ගැනත් කමල්ගෙන් ඇහුවා.
“ඔව්. මං හිතන්නේ දැන් අවුරුදු පහළොවකින් විතර මම ටෙලි නාට්‍යයක රඟපාලා නැහැ. ඒ කාලේ වෙද්දී මට හොඳ නිර්මාණ ලැබුණේ නැති එක තමයි ඒකට හේතුව. ඒ රැල්ල ඒ විදියටම ගිහින් 2012 වෙද්දී මෙගා ටෙලි නාට්‍ය බිහි වුණා. මම ඒකට කොහොමත් කැමැති නැහැ. එදත් එහෙමයි අදත් එහෙමයි. හැබැයි හොඳ නිර්මාණයක් ලැබුණොත් ඕනෑම වෙලාවක නැවත ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න මම සූදානම්.”
ඒ අතරේ ලංකාවේ කලා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කමල් අද්දරආරච්චි තැබුව දැවැන්ත පියවරක් ගැනත් අපිට දැන ගන්න ලැබුණා. ඒත් කොරෝනා හින්දා හැම දෙයක් වගේම ඒ කටයුත්තත් තරමක් ප්‍රමාද වෙලයි තියෙන්නේ. ඒ ගැන කමල් අද්දරආරච්චිගේ වචනවලින්ම කියනවා නම් මෙහෙමයි.
“චිත්‍රපට නිෂ්පාදනය කේන්ද්‍ර කර ගත් චිත්‍රාගාර සංකීර්ණයක් ගොඩනැගීමේ වැඩකටයුතු මම ආරම්භ කළා. චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන හැම තාක්ෂණික පහසුකමක්ම එහි ඇතුළත්. නමුත් ඒ එක්කම කොරෝනා ආවා. ඒ හින්දා එහි වැඩ කටයුතු ඉදිරියට ගෙනි යන්නේ කොහොමද කියලා බොහොම සීරුවෙන් බලාගෙන ඉන්නවා. කොරෝනාවට බයේ හැමදාම හැංගිලා ඉන්නත් බැහැ. ඒ වගේම අපේ කටයුතු හින්දා ගෙදර අයගේ ආරක්ෂාව බිලි දෙන්නත් බැහැ. මගේ අම්ම වගේම බිරිඳගේ පියාත් දැන් වයෝවෘද්ධයි. ඒ හින්දා එළියට ගිහින් ආසාදිතයෙක් වෙලා එන්න මට බැහැ. ඒ හින්දා ඒ දේවල් සීරුවට කර ගෙන යන විදිය ගැන තමයි දැන් හිතන්නේ.”
කොහොම වුණත් කමල් අද්දරආරච්චිගේ අලුත් වැඩපිළිවෙළ ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ වගේම සිනමාවේ ගුණාත්මකභාවය වැඩි කරන්නත් අති විශාල දායකත්වයක් සපයනු ඇති බව නම් අපිට විශ්වාසයි. ඒ වගේම ඒ හරහා ඉදිරියේදී විශිෂ්ට ගණයේ ටෙලි නිර්මාණයකින් කමල්ව දැක ගන්න එකත් අපේ බලාපොරොත්තුවක්. මේ කතාවට විරාමය තියන්නේ ඒ බලාපොරොත්තුවත් හිතේ තියාගෙන. ඒ ඉදිරි කලා නිර්මාණ ගැන කමල් මතු කෙරුව රසවත් අදහසක් සටහන් කරන ගමන්.
“මේ යන විදියට මේ තත්ත්වය තව අවුරුද්දක්වත් තියෙයි. ඒක අඩු වැඩි වෙන්න පුළුවන්. ඒත් ඒ වෙනකම් අපි මේකත් එක්ක ජීවත් වෙන්න ඕනෑ. දැන් මේ කාලේ මාස්ක් එකක් කියන්නේ මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක්. එතකොට මේ කාලේ කරන නිර්මාණවලදිත් මිනිසුන්ට මාස්ක් පැලඳගෙන ඉන්න වෙනවා. නැත්නම් මේක වර්තමානයට අයත් නිර්මාණයක් නෙවෙයි කියලා නරඹන අයට හිතෙන්න පුළුවන්. ඉතිං ඒ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. ඒවත් එක්ක ඉස්සරහට යන්න අපි බලමු.”
චන්දන පොන්නම්පෙරුම











