සමස්තයක්ව ගත් කළ උතුරු ඉන්දියානු සුපිරි තාරකාවන් තම පෙම් පලහිලව් ගැන ප්‍රසිද්ධියේ කිරීමට අකැමැත්තක් දක්වන්නෝ වෙති.
එම අකැමැත්ත තුළ සමහර විටෙක ‘නළු තරුව’ සිටින අතර, තවත් විටෙක ‘නිළි තරුව’ද සිටින අවස්ථාවන් වෙයි.
පසුගිය සතියක ටයිගර් ශෙරොෆ් සමඟ ඉතා සමීපව ඉන්දීය ගුවන් තොටුපොළෙහි ඇවිද යමින් සිටි දිශා පටානි ඔවුන්ගේ සේයාරූ පෙළක් ගත් ‘ඉන්ඩියන් ටුඬේ’ පුවත් පතෙහි කැමරා ශිල්පියාට හැරෙන තැපෑලෙන් දුරකතන ඇමැතුමක් දී කියා තිබුණේ තමාගෙත්, ටයිගර්ගේත් පමණට වඩා වූ සමීප රූප පුවත්පතෙහි පළ නොකරන්නැයි කියාය.
විවාහ ගිවිස ගැනීමට ඔන්න මෙන්න වාගේ සිටින ආලියා බාට්ද එවැනිම නිළි තරුවකි. කිසිවිටෙකවත් කොතැනකදීවත් තම පෙම ගැන හෝ විවාහය ගැන ප්‍රසිද්ධියේ කතා නොකරන්නට පරෙස්සම් වන්නියකි.
සුපිරි නළු රන්බීර් කපූර් නිතර ආලියා ගැන කතා කළද, ආලියා එලෙස රන්බීර් ගැන කතා කරන අවස්ථා ඉතා අවමය. ‘කොෆි විත් කරන්’ වැඩසටහනේදී රන්බීර් ආලියා සහ ආලියා සමඟ තමාගේ තිබෙන පෙම ගැන බොහෝ මිහිරි කතා කීයේ කරන්ගේ උසීගැන්වීම මතය. ප්‍රසිද්ධ ඕපාදූපකාරයකු වූ කරන් ‘කොෆි විත් කරන්’ වැඩසටහන මුළු ඉන්දියාවේ අංක එකේ විශේෂාංගයක් කළේද ඔහුගේ ඒ රසින් පිරුණු ඕපාදූප ස්වභාවය නිසාමය.
එහෙත්..,
එදින රාත්‍රියේම රන්බීර්ට දුරකතන ඇමැතුමක් දුන් ආලියා ඔහුට නොසෑහෙන්න දොස් කියා තිබුණේ ඔහුගේ පමණට වඩා කියැවීම කමකට නැති බවකි. කරන් ජොහාර්ගේ පාලනයක් නැති ඕපාදූප පිපාසයට රන්බීර් තමා සහ ඔහුගේ සමීප ඇසුර රසවත් ෆලුඩා එකක් කොට දුන් ආකාරය ඉතාම අශෝභන යැයි යන්න ආලියා තම වැඩිමල් සහෝදරිය පූජා බාට් හමුවේද කියා තිබිණි.
‘ඔබත් – ඇයත් අතර තිබෙන පෙම් පලහිලව්ව ආලියා මාධ්‍යයට වසන් කරන්නේ ඇයිදැයි…’
යනුවෙන් මාධ්‍යවේදියකු රන්බීර්ගෙන් අසා තිබූ මොහොතක රන්බීර් කියා තිබුණේ,
‘එය මගෙන් නොව, ආලියාගෙන්ම අසන්නැයි…’
කියාය.
රන්බීර් එහෙම කියා ඇඟ බේරා ගත්තේ ආලියා බාට්ට තියෙන බය නිසාද..?
එහෙම බයක්ද රන්බීර් ආලියාට ඇතැයි සිතන්නට බැරිය. එයට හේතුව වන්නේ රන්බීර් පසුගිය දිනෙක රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ‘රජිව් මසන්ඞ්’ නම් නිවේදකයා සමඟ නැවැතත් ආලියා බාට් ගැන නන්දොඩවීමය. කට පරෙස්සම් කරගන්නැයි ආලියා කොතෙක් කීවද රන්බීර් නැවැතත් නවතම ආකාරයට තම ප්‍රේම පුරාණය ගැන රියැලිටි වැඩසටහනකදී පුරාජේරු කීවේය.
‘ආලියා ගැන තවමත් යමක් නොකියන්නේ, ඈ ඔබට දෙහි කපාවි දැයි බය නිසාද?’
රජිව් මසන්ඩ කතාබහ අතරතුරදී රන්බීර්ගෙන් ඇසුවේය.
එයට පිළිතුරු ලෙස, හරි අපූරු සිනාවක්ද රන්බීර්,
‘මම බලා සිටියේ ඔබ මට තල්ලුවක් දෙනතුරුයි. දැන් ඒ තල්ලුව ලැබුණා… කියන්න මොනවද ඔබට දැනගන්නට ඕනෑ…’
යනුවෙන් කීයේය.
ඔබ දෙදෙනාගේ විවාහය තීන්දුවී ඇතැයි දැනගන්නට ලැබුණා.’
ඒ රජීව් මසන්ඞ් ආලියා බාට් සම්බන්ධව ඇසූ පළමු ප්‍රශ්නය විය.
‘ඔව්… එයට දින නියමකර ගැනීමට ආසන්නව තිබුණා. ‘කොවිඞ්-19’ අගුළු දැමීම නොතිබ්බා නම් මේ අවස්ථාවේ මමත් ආලියාත් සීතලට හිම වැටෙන ලස්සන රටක මධුසමය ගතකරන්නට තිබුණා.
රජිව් මසන්ඞ්ගේ ඕපාදූප තල්ලුව හරහා රන්බීර් දුන් පළමු උත්තරය එය විය.
ඒ ආරම්භය හරහා රන්බීර් ආලියා ගැන තව තව බොහෝදෑ දොඩවන්නට ගත්තේ කටට බ්‍රේක් එකක්වත් නොදෙමිනි.
ඔබ දන්නවාද මන්දා, ආලියා කියන්නේ පිරිමියකුට ලබන්නට පින තිබිය යුතු කෙල්ලක්… ඈ සිටින තැන ගිනිගහන කාන්තාරයක් වුවද, සීතල වෙනවා.
‘ඇයත් – මමත් පෙම් කරන මුල් අවදියේ මගේ තාත්තා මට කිව්වා… විවාහය සඳහා කෙල්ලක තෝරා ගැනීම ප්‍රේම කිරීම සඳහා කෙල්ලක තෝරා ගැනීම තරම් සරල නැහැ කියා.’
ඔහු එහෙම කීයේ, මමත්, ආලියත් අතර ඇති වූ පුංචි රණ්ඩුවකට මම මගේ දුරකතනය විසන්ධිකර ගෙන සිටි අවස්ථාවකයි.
සමහර විට මමද නැවතිල්ලෙ හිතා බලනවා. අපි දෙන්න හරියටම මැචින්ද කියා. අද මම ඔබ සමඟ හැමදෙනාටම ඇහෙන්නට කියනවා.., මට ගැළපෙන අපූරුම බිරිය ආලියා බාට් කියලා…’
එහෙම පවසන විට රන්බීර්ගේ තරුණ දෙනෙත මත පිරිසුදු පෙමක දයාවන්ත කඳුළක් මෝදුව තිබෙනු තමා දුටු බව රජිව් මසන්ඞ් ප්‍රකාශ කර තිබුණේය.
‘ඔබ ඈ ගැන බොහෝ හැඟීම්බර බවයි පෙනෙන්නේ…’
රජිව් මසන්ඞ් මද සිනහවකින් ඇසුවේය.
ආලියා මට ශ්‍රියාකාන්තාවක් වාගේ. ඇය ඉස්සරහා මම පුංචිම පුංචි තිතක් විතරයි..,
‘ආලියා වටා චිත්‍රපට නිෂ්පාදකවරුන් වටවී සිටින විට මම ආඩම්බර වන්නේ ඇය කෝටි ගණන් මුදල් උපයා දෙන යන්ත්‍රයක් නිසාම නෙවෙයි, ඇගේ අති දක්‍ෂ රංගනයට ඔවුන් වශීකෘතව සිටීම මට මහා සතුටක් වන නිසයි.
විටෙක මම ආලියා හමුවේ පුංචි කිරි දරුවෙක් වාගේ. ඈ මා ගැන, මගේ කෑම – බීම ගැන, ඇඳුම් – පැලැඳුම් ගැන හරියට වෙහෙසවෙනවා.
ඇතැම් විට මගේ යහළුවන් කියනවා ආලියා ටිකක් සැරපරුෂයි නේදැයි කියා. හැබැයි ඇගේ ඒ සැරපරුෂ බව මට විශාල ආශිර්වාදයක් වුණාය කිව්වොත් හරියටම හරි.
අවසාන වශයනේ ආලියා බාට් නම් අපූරු කෙල්ල ගැන යමක් කියනවා නම්…
මම ඇයට ගොඩාක් ආදරෙයි. ගිටාරයේ තත් වයන විට මම ඇගේ ආදරය සිහියට නඟාගන්නා අවස්ථාවල ඉතාම ලස්සනට මා වෙතින් එය වාදනය වන්නේ ඉබේටමයි…’
අප ළඟදීම විවාහ වෙනවා… ආලියා සම්බන්ධ වන මගේ ජීවිතය ඉතාම සුන්දර, අලංකාර ඉසව්වක් වන බව මට විශ්වාසයි.
මම කතා කළා වැඩිද මන්දා…,
අවසානයේ රන්බීර් රජිව් මසන්ඞ්ගෙන් ඇසුවේය.
නැහැ… ඔබ හරි අපූරු කෙනෙක්… ඔය තරම් ගෞරවනීය ලෙස කිසිවකු තම අනාගත සහකාරිය ගැන කතා කරනවා මම අහලා නැහැ. ඔබටත්, ආලියාටත් මම සුබපතනවා…,
රජිව් මසන්ඞ් එහෙම කීවේය.
රියැලිටි වැඩසටහන එතැනින් නිමවිය.
ආලියා නැවැතත්,
‘ඔබේ කට කිසිම කමකට නැතැයි කියා රන්බීර්ට දොස් කිව්වාද..?’
එහෙම ආරංචියක් නම් තවම නැත…
ආලියාගෙන් කෙටි පණිවුඩයක් නම් ලැබුණු වගට රන්බීර්ගේ ජංගම දුරකතනය විසින් සාක්‍ෂියක් එක්කර තිබිණි.
ගිටාරය වයමින් ගීතයක් මුමුණන ඔබ දෙස නිහඬව බලා සිටින මොහොතක් අපේක්‍ෂා කරමි… ඉක්මනට හමුවෙමු…,
එහි සඳහන්ව තිබුණේ එහෙමය…,
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











