‘ආරාධනා’ සැලකෙන්නේ ශ්‍රී ලාංකේය චිත්‍රපට ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ චිත්‍රපටයක් ලෙසයි. 1980 තිරගත වූ මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් නිළි රැජන මාලීනි ෆොන්සේකා එවර සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්නා අතර, එවර සරසවිය සම්මාන උලෙළේ හොඳම කැමරා අධ්‍යක්ෂණයට හිමි සම්මානය සුමිත්ත අමරසිංහ හිමිකර ගන්නවා. හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය සිය මුල්ම නිර්මාණය උදෙසා එච්.එම්. ජයවර්ධන හා රෝහණ වීරසිංහටද, හොඳම ගීත රචනයට හිමි සම්මානය කුලරත්න ආරියවංශටද, ගායනය වෙනුවෙන් පණ්ඩිත් අමරදේවයන්ටද හිමිවෙනවා. තම සිනමා පසුබිම් සංගීතය ආරම්භය සනිටුහන් කළ මෙම සුවිශේෂී නිර්මාණය පිළිබඳ දශක හතරකට වඩා පැරැණි මතකය ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහ නැවැත ආවර්ජනය කළේ මේ ආකාරටයි.
කොහොමද ඔබට සහ එස්.එම්. ජයවර්ධනට මේ සඳහා අවස්ථාව ලැබෙන්නෙ?
79-80 කාලෙ වෙනකොට කැසට්පට ලංකාවේ ප්‍රබලම මාධ්‍යයක් වෙලා තිබුණෙ. ‘තරංගා’ කියන කැසට් නිෂ්පාදන ආයතනයෙ විජය රාමනායක ඒ කාලෙ ඉහළින්ම හිටපු කැසට් නිෂ්පාදකවරයා. එයා යටතෙ තිබුණ ‘තරංගා’ කියන ලේබල් එක තමයි ලංකාවෙ ප්‍රබලම කැසට් ලේබල් එක වුණේ. ඔය කාලෙ තමයි ටී.එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ වගේ අයත් ජනප්‍රිය වේගෙන ආවෙ. මං ඒ වෙනකොට ගුවන්විදුලියෙ ගීත නිර්මාණය කරල ජනප්‍රිය වෙලා හිටියෙ. විජය රාමනායකගෙ හොඳම යාළුවෙක් තමයි කුලරත්න ආරියවංශ කියන ගීත රචකයා. කුලරත්න ඒ වෙනකොට මං සංගීතවත් කරපු ජනප්‍රිය ගීත ගණනාවක් ලියන තිබුණ. කුලේ හරහා තමයි මට කැසට් පටියක් කරන්න අවස්ථාවක් හම්බුවෙන්නෙ. නීලා වික්‍රමසිංහගෙ කැසට් පටියට ගීත හතරකුත්, ටී.එම්.ගෙ කැසට් පටියට ගීත හතරකුත් කරන්න මට ඒ වෙලාවෙ අවස්ථාව හම්බුවෙනව. ඒ වෙනකොට එච්.එම්. ජයවර්ධනත් මාත් එක්ක සමගාමීව වගේ ගුවන්විදුලියෙ ජනප්‍රිය වෙච්ච ගීත ගණනාවක් කරල තිබුණ. ඉතින් අපි ගැන ඇහ ගහගෙන තමයි විජය රාමනායකල ඉඳල තියෙන්නෙ. ඒ නිසා මට ගීත හතරකුයි, එච්.එම්.ට ගීත හතරකුයි දාල කැසට් කරන්න කියල ආරාධනා කළා. අපි ඒ කැසට් එක කරාට පස්සෙ ඒක ඉතාම ජනප්‍රිය වුණා. එච්.එම්. කරපු ‘රත්තරන් නෙත් දෙකෙන්’ කියන ගීතය ජනප්‍රිය වෙනකොට මං කරපු ‘එක සිත දෙතැනක’, ‘හිරුට හොරොන්’ වගේ ගීත අනෙක් පැත්තෙන් ජනප්‍රිය වුණා. ඊට පස්සෙ විජය රාමනායක අපි දෙන්න ගැන පැහැදිලා එයාගෙ පළමුවැනි ෆිල්ම් එකට මියුසික් කරන්න කියල අපි දෙන්නට භාරදුන්න.
නිෂ්පාදකවරයගෙ තනි කැමැත්තටද ඔබ දෙදෙනා චිත්‍රපටයේ පසුබිම් සංගීතය සඳහා යොදාගන්නෙ?
ආරාධනා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ විජය ධර්මශ්‍රි. එතුමත් මගේ වැඩ ගැන බොහොම පැහැදීමකින් ඔය කාලෙ වෙනකොට හිටිය. මොකද මීට කලින් එතුමගෙ චිත්‍රපටයක එක ගීතයක් මම කළා. ඒක නිසා එතුමත් මට චිත්‍රපයටක සංගීතය කරන්න අවස්ථාවක් දෙන්න බලාපොරොත්තුවෙන් හිටියෙ. ඉතින් ඔය දෙපැත්තෙන්ම තිබ්බ අවශ්‍යතාවය මත තමයි අපි දෙන්නටම ‘ආරාධනා’ එකට සංගීතය කරන්න අවස්ථාව ලැබෙන්නෙ.
අධ්‍යක්ෂවරගෙන් මේ සඳහා ලැබෙන සහයෝගය කොයි වගේද?
අපිට මුලින්ම මේකෙ තිර රචනය කියවල ගොඩක් සාකච්ඡා කරල තමයි ඒ තීරණ ගත්තෙ. ගීත කියන්නෙ කවුද, තේමාව මොකක්ද වෙන්නෙ, රූගත කරන්නෙ මොනවගේ පරිසරයකද වගේ සම්පූර්ණ විස්තරයක් අපිට අධ්‍යක්ෂවරය දෙනව. ඒ විස්තර අනුව තමයි අපි මේකට සංගීතය කරන්නෙ. සිනමා කෘතියක් කියන්නෙ අධ්‍යක්ෂවරයෙග නිර්මාණයක් කියලනෙ පිළිගැනීම තියෙන්නෙ. ඉතින් එයාගෙ ඔළුවෙ මැවෙන දේ ඒ විදිහට දෙන්න අපි දක්ෂ වෙන්නෙ ඕනෙ. ඒ සඳහා ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබුණ.
‘ආරාධනා’ ඔබ මුලින්ම සංගීතය සපයපු චිත්‍රපටයද?
ඔය වෙනකොට මම සචිත්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයගෙ ‘වදුල’ කියන චිත්‍රපටයකට පසුබිම් සංගීතය කරල තිබුණ. එයා තමයි මට මුලින්ම චිත්‍රපටයකට ආරාධනා කරන්නෙ. ඒක කරල ඉවර වුණාට චිත්‍රපයට තිරගත වෙන්න ප්‍රමාද වුණා. ‘ආරාධනා’ ඊට කලින් තිරගත වුණා.
චිත්‍රපටයෙ ගීත කොහොමද ඔබ හා එච්.එම්. ජයවර්ධන අතර බෙදී යන්නෙ?
මේ චිත්‍රපටයෙ ගීත තුනක් තිබුණ. ඒ තුනෙන් අමරදේව මාස්ටර්ගෙ ගීතයයි, මිල්ටන් මල්ලවාරච්චියි, මාලනී බුලත්සිංහලයි කියන ඩුවට් එකයි තමයි මම කරන්නෙ. එච්.එම්. කරනව විජය කුමාරතුංග ගායනා කරපු ‘සිනහවකින් පුතුගේ මුවින්’ කියන ගීතය. චිත්‍රපටයෙ පසුබිම් සංගීතය තනිකරම කළේ මම. එච්.එම්.ම කිව්ව දෙන්නෙක් එකතුවෙලා පසුබිම් සංගීතය කරන්න බෑ බන්, ඕක උඹ කරපන් කියල.
සංගීත නිර්මාණයේදී එච්.එම්. සහ ඔබ අතර ගැටුමක් ඇතිවුණේ නැද්ද?
අපි හොඳ මිත්‍රයො. අපි අතර තිබුණෙ ඒ විදිහට පොඩි දේකින් බිඳෙන මිත්‍රත්වයක් නෙමෙයි. අපි හොඳ අවබෝධයකින් තමයි මේ චිත්‍රපටයෙදි වැඩ කළේ. අපි දෙන්නම එකතුවෙලා කරපු කැසට් එක සාර්ථක වීම තමයි ඒ සඳහා අපි දෙන්නවම යොදාගන්න හේතුවුණේ. ඒකට අපිට කෘතගුණ සලකන්න තමයි ඔවුන්ට උවමනාව තිබ්බෙ. ඉන්දියාවෙ චිත්‍රපටවලට මේ විදිහට දෙන්නෙක් සංගීතය සඳහා යොදාගත්තත් ලංකාවෙ මේක වෙනව බොහොම අඩුයි.
තේමා ගීතය සඳහා අමරදේව මාස්ටර්ව යොදාගැනීම ඔබට කොයි විදිහටද දැනුණෙ?
අධ්‍යක්ෂවරය එක්ක කතා කරල තමයි ඒ තිරණ ගත්තෙ. අමරදේව මාස්ටර් මේකෙ තේමා ගීතය ගායනා කරනව කිව්වම චිත්‍රපටයට ඒකෙන් ලොකු බරක් ආව. අනිත් එක තමයි අමරදේව මාස්ටර් මගේ තනුවකට කියපු මුල්ම ගීතය වුණෙත් ‘ආරාධනා’ ගීතය. මම කරපු අනිත් ගීතය වුණ ‘සීත අරණේ’ ගීතය ගායනා කරන්නෙ මිල්ටන් මල්ලවාරච්චි සහ මාලනී බුලත්සිංහල. මිල්ටනුත් ඒ කාලෙ බොහොම ජනප්‍රිය වෙලා හිටියෙ. මාලනී, එච්.එම්.ගෙ බිරිඳ වීමේ සම්බන්ධෙකුත් තිබුණ. ඔය වගේ කාරණා තමයි මේකට ගායනා කරන්න ඔවුන්ව යොදාගන්න හේතු වුණේ.
මේ සඳහා සරසවි සම්මාන රැසක් හිමිවෙනව?
ඔව්. 1981 හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය සඳහා අපි දෙන්නටම සරසවි සම්මාන හිමිවෙනව. ඊට අමතරව ‘ආරාධනා’ ගීතය වෙනුවෙන් අමරදේව මාස්ටර්ට හොඳම ගායනයට සම්මානත්, හොඳම ගීත රචනයට කුලරත්න ආරියවංශටත් සම්මාන හම්බුවෙනව. මට තියෙන ලොකුම තෘප්තිය තමයි අවුරුදු 40ක් පුරාවටම තවමත් ආරාධනා ගීතය ජනප්‍රිය වීම.
ඉන්දික වික්‍රමරත්න











