ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ පමණක් නොව සිනමාවෙත් රිදී තාරකාවක් වුණු ඇය ‘ගිරුකුළ’ ටෙලිනාට්‍යයට අවසාන වරට තම රංගන කුසලතා ඉදිරිපත් කරමින් කලාවෙන් දුරස් වුණා. ඉන්පසු ඇය නතර වූයේ එංගලන්තයේ. එලෙස එංගලන්තයේ වසර ගණනාවක් කල් ගෙවන කාංචනා මෙන්ඩිස්ගේ වගතුග සොයා ඔබට කියන්නට අප සිතුවා.
කාංචනා ඉතින් කොහොමද?
පවුලෙ අයත් සමඟ සතුටින් ඉන්නවා.
ලංකාවට එන්න අදහසක් නැතිද?
මේ අවුරුද්දේ එන්න තමයි හිතාගෙන ඉන්නේ.
ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙසට කාලයක් ලංකාවේ කටයුතු කළා. හිතට දුකක් නැතිද කලාවෙන් දුරස්වීම එක ගැන?
දුකක් නැතුවා නෙවේ. ඒත් මම හැම දේම හිතලා තමයි කටයුතු කළේ. මට දැන් දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. මම කලාව වෙනුවෙන් කාලයක් උපරිමයෙන් කැපවුණා. ඒත් දැන් මට වගකීම් තියෙනවා. මගේ දරුවන් විදේශ රටක ඉද්දි මට ලංකාවේ ඉන්න බැහැ එතකොට. තනිකමත්, පවුල ගැනත් සුබවාදීව හිතලා මමත් එංගලන්තයේ ඉන්න තීරණය කළා.
ඒ කියන්නේ ඔබ ඉදිරියට රඟපාන්න අදහසක් නැතිද?
මම කලාවට හදවතින්ම ආදරය කරනවා. මගේ ප්‍රේක්‍ෂකයන්ට අසාධාරණයක් කරන්නේ නැහැ. හැබැයි දැන් හැදෙන නිර්මාණවලට මම කැමැති නැහැ. හොඳ නිර්මාණයකින් මට යමක් කරන්න තිබුණොත්, මට ආරාධනා කළොත් මම ලංකාවට ඇවිත් සම්බන්ධ වෙනවා.
විදේශීය රටක ජීවත් වන ඔබට කොහොමද විදේශීය රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?
ඔවුන් පවා කියන්නේ නැවැත රඟපාන්න කියලා. දැන් හැදෙන නාට්‍යවල චරිත වගේ නෙවෙයි, අපි රඟපාපු චරිත නිර්මාණ අදටත් මතකයි. ඒ ගැන ඔවුනුත් දුක්වෙනවා මම කලාවෙන් ඈත් වුණු එකට. මෙහෙ රූපගත කිරීමක් හෝ කලා කටයුත්තක් සංවිධානය කළොත් මම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා.
අද ක්‍ෂේත්‍රයට එකතු වන නවක පරම්පරාව ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තටම එය ගැන කනගාටුයි. දක්‍ෂතා තිබෙන නවක පිරිස ඉන්නවා. ඒත් ඔවුන් අමුතු රැල්ලක් හරහා විවිධ විදියට ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා. කලාව කියන්නේ දේව ආභරණයක් වගේ රැකිය යුතුයි. එය වැරැදි වැඩ හරහා විනාශ කරන්න එපා. ප්‍රවීණ ශිල්පීන්ට ගරු කරන්නම දන්නේ නැති තරම්. 2018 මම ලංකාවට ආපු වෙලාවෙත් ‘රිදී රැයක්’ ප්‍රසංගයේ පුහුණුවීම්වලදී ඔවුන්ගේ හැසිරීම් මම දැක්කා. කවදාවත් අපි ඒ විදියට හැසිරිලා නැහැ.
ලංකාවේ විකාශනය වන නිර්මාණ රසවිඳිනවාද?
කාල වේලා අනුව හොඳ නිර්මාණයක් තිබුණොත් මම අනිවාර්යයෙන් නරඹනවා. මම රටින් දුරස් වෙලා හිටියත් කලාවට වගේම මගේ රටට හදවතින්ම ආදරය කරනවා.
වසන්ත විතාරණගේ











