එදා ගොළු හදවතේ තිබුණු පාසල් ආදර කතාව පසුකාලීනව සිනමාවට ආවා. හිරිපොද වැස්ස, ආදරණීය වස්සානය, සිනමාවේ පාසල් කතා අතර ඉහළින්ම කියැවුණා. අද ඒ රැල්ල ටෙලි නාට්‍ය ලෝකෙට ඇවිත් දෙවෙනි ඉනිම, සංගීතේ, හුස්මක් තරමට ටෙලිනාට්‍ය ඒ අතර විශේෂයි. ලස්සනට දුවපු අහස් මාලිගා ටෙලිනාට්‍යයත් පාසල් කාලයට හැරිලා. ඇත්තටම අහස් මාලිගාවලට එහෙම වුණේ ඇයි කියලා දැනගන්න හොඳම කෙනා ලස්සනට ආදර කතා මවන ගයාන් හෙට්ටිආරච්චියි. ඔහු තමයි අහස් මාලිගා පිටපත් රචක.
විවිධ තේමාවන්ගෙ ආදර කතා මවපු ගයානුත් රැල්ලට හසුවුණාද?
ඔබ ඔය අහන්නේ අහස් මාලිගා ටෙලිනාට්‍ය ගැන වෙන්න ඇති.
ඇත්තටම ඔව්. අහස් මාලිගා 2 ටෙලි නාට්‍ය තවත් පාසල් නාට්‍යයක් වුණේ ඇයි?
දැන් තිබෙන රැල්ල ඕක තමයි. අපි හිතාගෙන හිටියේ කොටස් 400දි විතර නාට්‍ය වෙනස් මාවතකට ගෙනයන්න. ඒත් එයට කලින් මෙය සිදුකරන්න විවිධ හේතූන් බලපෑවා. දැන් ටෙලි නාට්‍ය කලාව පාසල් නාට්‍ය රැල්ලක් වෙලා. ඒක අපි කරපු දෙයක් නෙවේ. ප්‍රේක්‍ෂකයාගේ කැමැත්ත. ඉතින් ඔවුන්ගේ අදහස තිබුණා අහස් මාලිගා තාරුණ්‍යයට නැඹුරු ආදර කතාවක් නෙවෙයි කියලා. ඉතින් දෙවෙනි ඉනිම, සංගීතේ, හුස්මක් තරමට ජනප්‍රිය වුණේ පාසල් නාට්‍ය කතා නිසයි. හැබැයි දැන් දෙවෙනි ඉනිම කැම්පස් කතාවක් වෙලා. සමහර විට ඉදිරියේදී ටෙලිනාට්‍ය කැම්පස් යාවි.
විශ්ව කොඩිකාර සහ උදාරි ටෙලිනාට්‍යයෙන් ඉවත්වීමත් මෙයට විශාල වශයෙන් බලපාන්න ඇති?
උදාරිගේ පෞද්ගලික හේතුවක් මත ටෙලි නාට්‍යයෙන් ටික කාලයකට ඉවත් වුණා. විශ්ව කොඩිකාරත් ඔහුගේ චරිතයෙ වෙනස්වීම් එක්ක අපි එක්ක කතා කරලා තීරණයක් ගත්තා. ඉතින් ඒ හැමදේම කල්තියා සාකච්ඡා කරලා තීරණ ගත්ත නිසා අපිට අහස් මාලිගා තුළින් ඉදිරියට ගලාගෙන යන කතාව නිර්මාණය කරන්න පහසු වුණා. ප්‍රධාන චරිත දෙක නැතිවීමත් බලපාපු කරුණක් තමයි. එහෙමයි කියලා අපි ප්‍රේක්‍ෂකයා අතරමං කරල නැහැ.
එහෙම නැහැ කියන්නේ කොහොමද? වසර 18ක් එහාට කතාව ගෙන ගියාම ලොකු ආන්දෝලනයක් සිදුවෙනවානේ?
ඔබ කියන කතාව ඇත්ත. හැබැයි නාට්‍ය හරහා ප්‍රේක්‍ෂකයා දැනුවත් කළා ඉදිරි පෙළගැස්ම ගැන. අහස් මාලිගා චරිතවල දරුවන්ගේ ඉදිරි පෙළ ගැස්මක් විදියට තමයි වසර 18ක් ඉදිරියට කතාව නිර්මාණය කළේ. ඉතින් එවෙලේ අපි කල්පනා කළා ජනප්‍රිය කතාව මොකක්ද කියලා සමාජයේ. මේ දවස්වල ක්‍රිකට් ගැන හැමෝම කතා වෙන නිසා එය මූලික කරගෙන අහස් මාලිගා 2 අලුත් විදියකින් නිම වුණා. හැබැයි තිබුණු කතාවම තමයි තාරුණ්‍යයේ ආදරය මූලික කරගෙන ඉදිරියට ගලාගෙන යන්නේ.
ජනප්‍රිය ටෙලි පිටපත් රචකයකු ලෙස නමක් දිනා සිටින ඔබත් යන්නම් වාලේ නිර්මාණ කළාම බාල බොළඳ වෙනවා නේද?
ජනප්‍රිය රැල්ලයි නිර්මාණයට අවශ්‍ය. සිරසේ ප්‍රවීණා, මහගෙදර ආවාම අපේ අය කළේ ඒ කතා දැකලා මේගා කලාවක් බිහි කරපු එකයි. පසුකාලීනව එය රැල්ලක් වුණා. ඉතින් මේ පාසල් කතා රැල්ලත් එක තැනකදී ඉවර වෙයි. ප්‍රේක්‍ෂකයාගේ කැමැත්තට ඉඩදිය යුතුයි. ඔවුන්ටයි නිර්මාණ පෙන්වන්නේ.
ගයානුත් චැනල් එකේ බලපෑම්වලට හසුවෙලාද?
මම චැනල්වල බලපෑම්වලට හිරවෙලා ටෙලි නාට්‍ය ලියනවා නෙවේ. සමාජයේ පිරිස ඉල්ලන දේ මාධ්‍ය ආයතන දන්නවා. ඉතින් ටෙලිනාට්‍ය බිස්නස් එකක්. එය විකුණන්නට අවශ්‍ය නම් ජනතාවගේ රුචිකත්වය අනුව විකිණිය යුතුයි. එහෙම නොකළාම ඉල්ලුම අඩුයි. ඉතින් ඉල්ලන විදියට මට ලියන්න සිද්ධ වෙනවා. සමාජයටත් මම ඒ හරහා හොඳ පණිවුඩයක් දෙනවා. නැතුව සමාජය විකෘති කරන්නේ නැහැ.
වසන්ත විතාරණගේ