ශ්‍රී ලන්කන් විකුණන්නේ නැති එක අවුලක් වෙයිද?
හැමිල්ටන් නඩුවේ තත්ත්වය හරි නෑ!
මාලිමාවේ සමාජ මාධ්‍ය මාලිමාවටම ගහන්න අරන්!
14 දවස තීරණාත්මකයි!
තීරණාත්මක මහ මැතිවරණයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් මාලිමාවත්, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානයත් මෙවර මහ මැතිවරණ පිටියේ ඉදිරි පෙළ සටනේ නියුතුව සිටින අතර දකුණේ තවත් පක්ෂ කිහිපයක් ආසන කිහිපයක් වෙන් කරවා ගැනීම සඳහා සටනට පිවිස සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. කෙසේ වෙතත් මහ මැතිවරණය යෙදී ඇති 14 වැනිදා ගතහොත් එය තවත් විශේෂ කාරණාවක් හේතුවෙන් මේ වනවිට ඉතා තීරණාත්මක තත්ත්වයකට පත්ව ඇත. ඒ, දේශපාලනය වශයෙන් ලංකාවේ ඉදිරි වසර පහ තීරණය කෙරෙන දිනයේදීම ආර්ථික වශයෙන් ලංකාවේ ඉරණම තීරණය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ දූත පිරිසක් ලංකාවට ගොඩබැසීමට නියමිතව තිබීමය.Sri Lanka Latest News
පසුගිය කාලසීමාවේදී අප දිගින් දිගටම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පෙන්වා දුන් කරුණක් වූයේ මූල්‍ය අරමුදල සමග දිගටම ගනුදෙනු කිරීම අතුරේ යනවා හා සමාන ඉතා අවදානම්සහගත එකක් බවට පත්ව ඇති බවය. එම අවදානම්සහගත තත්ත්වයේ බැරෑරුම්කම රටේ ඉදිරි දිශාව තීරණය කෙරෙන මහ මැතිවරණය පැවැත්වෙන දිනයේදීම මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට පැමිණීමෙන්ම හොඳින්ම පෙනෙන්නට තිබේ.
මාලිමාවයි මූල්‍ය අරමුදලයි
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමාව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී කියා සිටියේ මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති ගිවිසුම වෙනස් කිරීමට මාලිමා ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බවකි. නමුත් ජනාධිපති පුටුවේ වාඩිවීමෙන් පසුව මේ වනවිට දැකගන්නට ඇති සිදුවීම්වලින් පෙනෙන්නේ මාලිමා ආණ්ඩුවත් මූල්‍ය අරමුදල සමග ගිවිසුමේ සංශෝධනයකින් තොරව ඉදිරියට යෑමට සැලසුම් කර ඇති බවකි. කෙසේ වෙතත් එය කළ හැකිද යන සැකය දැන් දැන් සිදුවන සිදුවීම්වලින් බොහෝ පාර්ශ්වයන්ට මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන.
විශේෂයෙන්ම මූල්‍ය අරමුදල ඉදිරිපත් කොට ඇති කොන්දේසිවලින් එකක් වී තිබුණේ විශාල වශයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතු බවකි. විශේෂයෙන්ම කාලයක් පුරා දැවැන්ත පාඩුවක් ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය එහි ඉදිරියෙන්ම තිබූ ආයතනයක් විය. ඉකුත් රනිල් වික්‍රමසිංහ පාලනය ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවස්ථා කිහිපයකදීම උත්සාහ කළද ඒ සියල්ල ව්‍යර්ථ වී ගිය ආකාරයක් දැකගන්නට තිබිණි. එසේ තිබියදී වත්මන් ආණ්ඩුව තීන්දු කොට ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුණා දැමීම අත්හිටුවීමටය. ඒ අනුව මූල්‍ය අරමුදල සමග අස්සන් කොට ඇති ගිවිසුමේ කොන්දේසි සහ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය අතර යම් පරස්පරයක් මතුවෙමින් පවතින ආකාරයක් දැකගැනීමට පුළුවන.
හැමිල්ටන් නඩුව
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප සිදුකළ තවත් විශේෂ අනාවරණයකින් මෙරට බැඳුම්කර හිමිකරුවකු වූ හැමිල්ටන් රිසර්ව් බැංකුව ලංකාවට එරෙහිව නිව්යෝර්ක්හි ෆෙඩරල් අධිකරණයේ පැවරූ නඩුවේ තීන්දුව ලබාදෙන ලෙසට එම බැංකුව විසින් අධිකරණය වෙත ලිපියක් යොමුකොට තිබූ බව වාර්තා කළෙමු. ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවද ෆෙඩරල් අධිකරණය වෙත ලිපියක් යොමුකරමින් මූල්‍ය අරමුදල සමග අස්සන් කොට ඇති ගිවිසුම ඒ ආකාරයට ඉදිරියට ගෙන යෑමට සූදානම් බව අධිකරණය වෙත දැනුම් දීමට පියවර ගෙන තිබිණි. මෙම නඩුවේ තීන්දුව ලංකාවට ඉතා අවාසිසහගත එකක් වනු ඇති බව දැනටමත් විවිධ පාර්ශ්වයන්ගෙන් මත පළවෙමින් තිබේ. පසුගිය කාලයේදී එම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ෆෙඩරල් අධිකරණය සූදානම් වුවද, එවක වික්‍රමසිංහ ආණ්ඩුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට එම නඩු තීන්දුව ලබාදීම කල්දැමීමට පියවර ගත්තේය. ඒ අවස්ථාවේ පැවැති බයිඩන් රජය අධිකරණයට දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකා ආණ්ඩුව අයි.එම්.එෆ්. ගිවිසුම සමග සිටින බව තහවුරු කොට ඇති බැවින් නඩු තීන්දුව ලබාදීම කල්දමන ලෙසය.
කෙසේ වෙතත් දැන් ලංකාවේ පවතින්නේ වික්‍රමසිංහ පාලනයක් නොවේ. එමෙන්ම ඇමෙරිකාවේ පවතින්නේ ඩිමොක්‍රටික් පක්ෂ බයිඩන් ආණ්ඩුවද නොවේ. ලංකාවේ පවතින්නේ මාලිමා ආණ්ඩුවකි. ඇමෙරිකාවේ පවතින්නේ කන්සර්වේටිව් පාක්ෂික ට්‍රම්ප් ආණ්ඩුවකි. ඒ අනුව වත්මන් ආණ්ඩුව පාඩු ලබන ශ්‍රී ලන්කන් ආයතනය සහ විකුණා දැමීමට සැලසුම් කර තිබූ විදුලිබල මණ්ඩලය තවදුරටත් රජය සතුව තබාගැනීමට තීන්දු කිරීමත් සමග අයි.එම්.එෆ්. ගිවිසුම සහ අයි.එම්.එෆ්. සාකච්ඡා කුමන අතකට පෙරළෙනු ඇද්දැයි යන්න සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුව තිබේ.
අයි.එම්.එෆ්. උපාය මාර්ග
අනෙක් අතට මූල්‍ය අරමුදලේ කණ්ඩායම ලංකාවට පැමිණෙන්නේ මහ මැතිවරණයෙන් වත්මන් ආණ්ඩුව බහුතර බලයක් ගනු ඇද්ද නොගනු ඇද්ද යන සැකය මතුවෙමින් පවතින වාතාවරණයකය. පසුගිය සතියේ මෙම තීරය එස්සේ අප කළ අනාවරණයකින් කියැවුණේ 113කින් යුත් බහුතරය ලබාගැනීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ඇතුළේද යම් කුකුසක් පැනනැගී ඇති බවකි. මාලිමා ප්‍රධානීන්ගේ උපකල්පනය වී ඇත්තේද 100කට ආසන්න මන්ත්‍රීවරු සංඛ්‍යාවක් මාලිමාවට ගැනීමට හැකිවනු ඇතැයි කියාය. එසේ වුවහොත් ආණ්ඩුව පිහිටුවන ආකාරය පිළිබඳ කොළඹ එක්තරා හෝටලයක පැවැති සාකච්ඡාවකදී මාලිමා ප්‍රධානීන් කතාබස් කොට තිබූ බවක්ද අප එහිදී වාර්තා කළෙමු.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත්වූ වහා මූල්‍ය අරමුදල විසින් ආණ්ඩුවට දැනුම් දී තිබූ කාරණයක් වූයේ ආණ්ඩුවේ ඉදිරි ආර්ථික සැලැස්ම මූල්‍ය අරමුදලට ලබාදෙන ලෙසය. නමුත් තවමත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එම ආර්ථික වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳ ලිඛිත සටහනක් මූල්‍ය අරමුදල වෙත ලබාදීමක් කර නොමැත. ඒ අනුව මූල්‍ය අරමුදල බලාපොරොත්තුවෙන් සිටින්නේ මෙවර පැවැත්වෙන සාකච්ඡා වටයේදී හෝ ආණ්ඩුව විසින් ඒ ආකාරයේ ආර්ථික සැලැස්මක් මූල්‍ය අරමුදල වෙත ලබාදෙනු ඇතැයි කියාය. ඊළඟ වාරිකය නිදහස් කිරීමට නම් ආණ්ඩුවේ මෙම ආර්ථික වැඩපිළිවෙළ මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කොට අනුමැතිය ගතයුතුව ඇත. ඒ අනුව ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් ගත් විට මෙවර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුවේ ප්‍රධානීන් අතර පැවැත්වෙන්නේ ඉතා තීරණාත්මක සාකච්ඡා වටයකි.
මෙහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සාකච්ඡාවට සහභාගි වන්නේම උපායමාර්ගයන් දෙකක් අතේ තබාගෙනය. ඉන් එක් උපායමාර්ගයක් වී ඇත්තේ ආණ්ඩුව යම් හෙයකින් 113ක බහුතරය ලබාගතහොත් සාකච්ඡාව මෙහෙයවන්නේ කුමන අයුරින්දැයි කියාය. දෙවැනි උපක්‍රමය වී ඇත්තේ යම් හෙයකින් ආණ්ඩුව මහ මැතිවරණයෙන් 113ක බහුතරය ලබා නොගතහොත් සාකච්ඡා ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි කියාය.
අනුර යළි සටනට
කෙසේ වෙතත් ජනාධිපතිවරණය ජය ගැනීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා පසුගිය බදාදා දිනයේදී පළමු වරට සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘සටන‘ දේශපාලන වැඩසටහනට සහභාගි විය. මෙහිදී දැනට මතුව ඇති තීරණාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් සිරස මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර, එහිදී ජනාධිපතිවරයා රටේ ආර්ථික අනාගතය සම්බන්ධයෙන් ඉතා පැහැදිලි මෙන්ම බරපතළ ඉඟි කිහිපයක්ම ලබාදීමට පියවර ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි.
මෙහිදී ජනාධිපතිවරයා ඉන්දියාව සම්බන්ධයෙන් ලබාදුන් ඉඟිද ඉතා තීරණාත්මකය. විශේෂයෙන්ම එහිදී ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේ ඉන්දියාව සමග සිදුකිරීමට යෝජනා කර ඇති මන්නාරම් ප්‍රදේශයේ සිදුකෙරෙන විදුලිබල උත්පාදන ව්‍යාපෘතිය නැවත විමර්ශනය කිරීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බවය. ලංකාවේ විදුලිය නිපදවා එහි කොටසක් ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව මෙහිදී පැහැදිලිවම ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය. ඒ හරහා ජනාධිපතිවරයා වක්‍රව දැනුම් දී සිටි කාරණාවක් වූයේ ලංකාවේ බලශක්ති අයිතිය පාලනය කිරීමේ හැකියාව වෙනත් කිසිදු රටකට පවරා දීමට ආණ්ඩුව සූදානම් නැති බවය.
මීට අමතරව මන්නාරම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ව්‍යාපෘතිය සහ සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය මේ පවතින අයුරින්ම ඉන්දියාවට ලබාදීමට කටයුතු නොකරන බවද ජනාධිපතිවරයාගෙන් සඳහන් විය.
නමුත් මේවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කොට ඇති ගිවිසුමේ අඩංගු යම් යම් කරුණුය. නමුත් ආණ්ඩුව ඉන්දීය බලශක්ති ව්‍යාපෘතිය යළි විමර්ශනය කිරීමට තීන්දු කිරීම හරහා ඉදිරියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව සමග ගනුදෙනු කරන්නේ කෙසේද යන ප්‍රශ්නය බොහෝ දෙනා තුළ මතුව තිබේ. අනෙක් අතට විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලන්කන් ආයතනය ප්‍රතිව්‍යුහගත කරන බවට අස්සන් කොට එම වගන්තියද මාලිමා ආණ්ඩුව විසින් කැඩීම හේතුකොට ගෙන මූල්‍ය අරමුදල සමගද යම් මත ගැටුමක් ආණ්ඩුව විසින් නිර්මාණය කොට ගෙන ඇති බවක් දැකගන්නට පුළුවන.
ආණ්ඩුව තමයි කරන්නේ
එමෙන්ම සිරස සමග පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දුන් ඊළඟ ඉඟිය වූයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙනි. ජනාධිපතිවරයා එහිදී පැහැදිලිව කියා සිටියේ එළඹෙන යල කන්නයෙන් පසු ආණ්ඩුව වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගේ වී තොග මිලදී ගැනීමට සැලසුම් කොට ඇති බවය. දැනටමත් ඊට අවශ්‍ය පසුබිම සකස් කරමින් යන බව ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේය. වී අලෙවි මණ්ඩලය හරහා ඒ සියලු වැඩකටයුතු සිදුකරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඒ අනුව පෙනෙන්නට ඇත්තේ ජනාධිපතිවරයා, පෞද්ගලීකරණය කරනවා වෙනුවට තවදුරටත් යම් යම් ආයතන රාජ්‍ය අංශය යටතේ තබාගෙන ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුකොට ඇති බවකි.
රාජ්‍ය-රාජ්‍ය සාකච්ඡා
ඉන් අනතුරුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ පසුගිය කාලසීමාව පුරාම සිදුව ඇති තෙල් ගනුදෙනු සම්බන්ධයෙන්ය. එහිදී ජනාධිපතිවරයාගේ කටින් පිටවූ රහසක් වූයේ ඉදිරි කාලයටද තෙල් ගෙන්වීමේ ඇනවුම කලින් සමාගම් වෙතම ලබාදීමට ආණ්ඩුව තීන්දු කොට ඇතැයි කියාය. එසේ නොදුන්නා නම් ජනවාරි මාසය වෙද්දී යළිත් රට ඇතුලේ තෙල් සහ ගෑස් හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව තිබූ බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. නමුත් මින් ඉදිරියට තෙල් ආනයනය කිරීම සිදුකිරීමේදී රජයන් සහ රජයන් අතර ගිවිසුම් අස්සන් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඒ සම්බන්ධයෙන් දැනටමත් මැදපෙරදිග රාජ්‍යයන් කීපයක් සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
පසුගිය දිනෙක ජනාධිපතිවරයා ඉරාන තානාපතිවරයා කැඳවා සාකච්ඡා කළ අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් මාධ්‍යවලට නිකුත් කෙරුණේ ඔය අතරතුරේදීය. සාමාන්‍යයෙන් ඉරානයෙන් ඍජුව තෙල් ගෙන්වීමට ලංකාවට හැකිවුවහොත් ඒ හරහා දැවැන්ත ලාභයක් උපයාගත හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. ඒ හරහා අතරමැදියන්ට මොනයම් හෝ මුදලක් ගෙවීමට නොමැති බැවින් ලාභය උපරිම කරගත හැකි බව ඔවුන්ගේ මතයය. මේ හරහාද පෙනී යන්නේ පෞද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයකට ගමන් කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බවකි.
ගැටුමක් පටන් ගනීද?
ඒ අනුව ජනාධිපතිවරයා ලබාදුන් යම් යම් පිළිතුරුත් සමග බොහෝ දෙනා පෙන්වා දෙන්නේ ඒ හරහා මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති ගිවිසුමේ ඇති කොන්දේසි සමග යම් ගැටුමක් ඇතිවීම නොවැළැක්විය හැකි යැයි කියාය. ඒ අනුව මූල්‍ය අරමුදල සමග ඉදිරියට යෑමේ ගැටලුවක් මතුවිය හැකි බවද ඔවුන්ගේ අදහස වී තිබේ.
මීට අමතරව මීට සති දෙකකට ඉහතදී ලංකාවම කලඹවාලූ ආරුගම්බේ ප්‍රහාර අනතුර සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමක් කෙරිණි. මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ දැනට හය දෙනකු ඒ සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බවය. ඔවුන් සියලු දෙනා පසුගිය කාලයේදී ආශ්‍රය කළ පුද්ගලයන් සහ ඔවුන්ගේ ගිණුම්වලට මුදල් පැමිණි ආකාරය පිළිබඳ දීර්ඝව විමර්ශනය කරන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. එමෙන්ම මෙම පුද්ගලයන් ගමන් කළ තැන් පරීක්ෂා කිරීමේදී යම් ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සාහයක් තිබූ බවට සැක මතුවන බවත්, ඒ අනුව ගුවන් තොටුපළ හරහා සංචාරකයන් ලෙස පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. එසේ කොට තිබුණේ තොරතුරු ලබාදුන් විදේශ ඔත්තු සේවා මගින් සංචාරකයන් ලෙස පැමිණෙන පුද්ගලයන් මෙම ප්‍රහාරය පසුපස සිටින බවට තොරතුරු අනාවරණ කොට තිබීම හේතුවෙනි. ජනාධිපතිවරයාගේ එම පිළිතුරෙන් පැහැදිලි වූ කාරණයක් වූයේ මෙම සිද්ධිය පසුපස යම් බරපතළ තත්ත්වයක් පැවැති බවකි.
අපි කලින්ම කිව්වා
අප පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය පළමු වරට මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු සොයාගත් බව වාර්තා කළෙමු. එහිදී අප කියා සිටියේ ඊශ්‍රායල් මොසාඩ් ඔත්තු සේවය මගින් මෙම තොරතුර ඇමෙරිකාවේ ප්‍රධාන විමර්ශන ආයතනය වන එෆ්.බී.අයි. ආයතනයට ලබාදී තිබූ බවත්, එම තොරතුර තහවුරු කරගැනීමෙන් පසු එෆ්.බී.අයි. ආයතනය මගින් අදාළ තොරතුර ලංකාවට දැනුම් දුන් බවත්ය. අප කළ එම අනාවරණය ජනාධිපතිවරයා සිරස රූපවාහිනී වැඩසටහනේදී තහවුරු කිරීම විශේෂ සිදුවීමක් විය. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ විදෙස් ඔත්තු සේවාවන් මගින් අදාළ තොරතුර ලංකාවට දැනුම් දී තිබූ බවකි. එමෙන්ම මේ වනවිට තත්ත්වය පාලනය කොට ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
විදෙස් බුද්ධි සේවා මගින් ලබාදුන් තොරතුරට අනුව ඊශ්‍රායල් ජාතිකයන් 20ත් 40ත් අතර ප්‍රමාණයක් රැස්ව සිටින ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් ඇති බව දැනුම් දී තිබූ බව කියා සිටි ජනාධිපතිවරයා ඒ අනුව රට පුරා පිහිටි එවැනි ස්ථාන සියල්ලටම ආරක්ෂාව ලබාදීමට පියවර ගත් බව සඳහන් කර සිටියේය. මෙම ප්‍රහාර අවදානම මතුවන විට ලංකාවේ ඊශ්‍රායල ජාතිකයන් 1,100කට වැඩි පිරිසක් සිටි බව කී ජනාධිපතිවරයා, අවදානමත් සමග 100ක පමණ පිරිසක් රටින් පිටවූ නමුත් අනෙකුත් සියලු ඊශ්‍රායල් ජාතිකයන් ලංකාව තුළම සිටි බවද කියා සිටියේය.
ඊශ්‍රායල් ලොක්කෙක් ආවා
කෙසේ වෙතත් මෙම සිදුවීම සිදුවී දින දෙක තුනක් යද්දී අතිවිශේෂ පුද්ගලයකු ලංකාවට පැමිණියේය. ඒ, වෙන කවුරුවත් නොව මෙරට කලාපය භාර ඊශ්‍රායලයේ ආරක්ෂක නිලධාරියා මෙන්ම මන්ත්‍රීවරයකුද වූ රෝයි වැක්නින්ය. ඊශ්‍රායල රජයේ ඉහළ පෙළේ නිලධාරියකු ලංකාවට පැමිණ ආණ්ඩුවේ වගකිවයුත්තන් සමග සාකච්ඡා කළද ඒ කිසිදු තොරතුරක් එළියට නොපැමිණීම විශේෂ සිදුවීමක් විය. ඔහු හමුවූයේ කවුරුන්ද, ඔහු සාකච්ඡා කළේ මොනවාද, ඇතිවූ එකඟතා මොනවාද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් දැනගන්නට නැතත්, ඊශ්‍රායල් රජයේ ඉහළ පෙළ නියෝජිතයකු ලංකාවට පැමිණි බව දැනගන්නට ලැබුණේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග එම නියෝජිතයා සාකච්ඡා කරන ඡායාරූපයක් එළියට ඒමත් සමගය. එම සාකච්ඡාව හැරුණු විට ඊශ්‍රායල් ප්‍රධානියා සහභාගි වූ අනෙක් කිසිදු සාකච්ඡාවක් පිළිබඳ මේ වන තෙක්ම තොරතුරු වාර්තා වී නැත.
අපේ කතාව හරියටම හරි
මේ සියල්ලට අමතරව අප මීට සති තුනකට ඉහතදී රාජ්‍ය රහස් ඔස්සේ අනාවරණ කළ තවත් තොරතුරක් තහවුරු කිරීමටද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පියවර ගත්තේය. ඒ, ඉදිරි කාලයේදී ආර්ථිකය වර්ධනය කරන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමේදීය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ලබන වසරේදී සංචාරකයන් ලක්ෂ 40ක් ලංකාවට ගෙන ඒමට සැලසුම් කර ඇති බවත්, ඊට අදාළ වටපිටාව සකස් කිරීම සඳහා මේ වනවිට සංචාරක ක්ෂේත්‍රයේ බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බවත්ය. මීට අමතරව එම සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වෙමින් තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
මේ බව අප මීට මාසයකට පමණ ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් රට දැනුවත් කිරීමට කටයුතු කළෙමු. එහිදී අප කියා සිටයේ පසුගිය කාලයේදී ජනාධිපතිවරයා හා චීන බලධාරීන් අතර පැවැති සාකච්ඡාවලදී මෙම එකඟතාව සිදුව ඇති බවත්, චීනය ලබන සංචාරක සමයේදී ලක්ෂ 60ක සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට එවීමට සැලසුම් කොට ඇති බවත්, එහි මුල් අදියර වශයෙන් ලක්ෂ 30ක පමණ පිරිසක් මෙම දෙසැම්බර් මාසයෙන් ඇරැඹෙන සංචාරක කාලසීමාවේදී ලංකාවට එවීමට තීන්දු කොට ඇති බවත්ය. ඒ අනුව අප කළ එම අනාවරණයද ජනාධිපතිවරයා පසුගිය බදාදා පැවැති සිරස රූපවාහිනී වැඩසටහනේදී තහවුරු කිරීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමකි.
සමාජ මාධ්‍ය ගහන්න ගනී
අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත්කරලීමට විශාලම වැඩකොටස සිදුකළේ වෙන කවුරුවත් නොව මෙරට සමාජ මාධ්‍යය. මුල් කාලයේදී මාධ්‍ය අනුරට යම් වැඩි ඉඩක් වෙන් කළත්, එය රට ඇතුළේ රැල්ලක් බවට පත්කළේ සමාජ මාධ්‍ය විසිනි. විශේෂයෙන්ම මාලිමාව ගොඩනැගීම සඳහා සමාජ මාධ්‍ය විශාල දායකත්වයක් සපයා තිබිණි. එහි හරි වැරැද්ද සහ සදාචාරය පිළිබඳ බරපතළ ගැටලුවක් පැවැතියද සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා කිසිදු නීතියක් රීතියක් නොමැති වීම නිසා විපක්ෂයේ අපේක්ෂකයන්ට දැඩිව මඩ ප්‍රහාර එල්ල කරමින්, ඔවුන්ගේ චරිත ඝාතනය කරමින් බුල්ඩෝසර් න්‍යායේ මාධ්‍ය ක්‍රමවේදයක් සමාජ මාධ්‍ය විසින් එකල ක්‍රියාත්මක කර තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම අනුරගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතා මෝඩයකු ලෙස හඳුන්වමින්, ප්‍රේමදාස පවුලේ චරිත ඝාතනය කරමින් අනුරගේ ප්‍රතිරූපය ඉහළ නැංවූ ආකාරයක් පැහැදිලිවම දැකගන්නට ලැබිණි.
ජනාධිපතිවරණ සමයේදී අනුරට විශාල ඉල්ලුමක් තිබූ නිසාම අනුර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කුමක් දැම්මත් ඊට විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබිණි. විශේෂයෙන්ම යූටියුබ්වල අනුරට සහ මාලිමාවට පක්ෂපාතීව අදහස් පළකළ ඇතැම් යූටියුබ් ක්‍රියාකාරිකයන්ට සහ ඔවුන්ගේ යූටියුබ් චැනලවලට විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර (වීව්ස්) හිමිවන ආකාරයක්ද දැකගන්නට තිබිණි. නමුත් ජනාධිපතිවරණයෙන් පසුව මේ වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. දැන් මේ යූටියුබ් නාලිකා සහ යූටියුබ් ක්‍රියාකාරිකයන් අනුර සහ මාලිමාව සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශවලට වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවන්නේ නැත. ඔවුන්ට ලැබෙන වීව්ස් ප්‍රමාණයද විශාල වශයෙන් පහත වැටී තිබේ. මෙහි ඇති සංඥාව ආණ්ඩුව පැත්තෙන් බරපතළ වුවද, එහි ඊළඟ ප්‍රතිඵලය වී ඇත්තේ එදා අනුර සහ මාලිමාවට පක්ෂව ප්‍රතිචාර දැක්වූ යූටියුබ්කරුවන් මේ වනවිට අනුරට සහ මාලිමාවට එරෙහිව අදහස් දක්වමින් ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගෙන තිබීමය.
විශේෂයෙන්ම ජනාධිතිවරණ සමයේදී අනුරට සහ මාලිමාවට පක්ෂව අදහස් දැක්වූ ප්‍රකට යූටියුබ්කරුවකු ලෙස සේපාල් අමරසිංහ ප්‍රසිද්ධව සිටියේය. මේ වනවිට ඔහුද අනුර සහ මාලිමාව විවේචනය කරන තැනකට තල්ලු වී සිටීම විශේෂිතය. එහිදී තවමත් අනුරට සහ මාලිමාවට පක්ෂව අදහස් දක්වන යම් යම් සමාජ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් මාලිමාවට එරෙහිව අදහස් දක්වන ඒ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට එරෙහිව ප්‍රසිද්ධියේම ප්‍රතිචාර දක්වන ආකාරයක්ද දැකගන්නට පුළුවන. නමුත් ගැටලුව වී ඇත්තේ ජනාධිපතිවරයා පත්වී මාසයක් ඉක්ම යෑමට මත්තෙන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට විශාල දායකත්වයක් දැක්වූ සමාජ මාධ්‍ය ආපසු හැරුණේ කුමන් හේතුවක් නිසාද යන්නය.
දැන් සජිත් පස්සේ වැටිලා
මීට අමතරව මාලිමාවට පක්ෂපාතීව සිටි මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් දැන් දැන් සජිත් පසුපස ඒමට පටන්ගෙන ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ජනාධිපතිවරණ සමයේදී සජිත්ව දැඩිව විවේචනය කළ උපුල් ශාන්ත සන්නස්ගල සහ සේපාල් අමරසිංහ පසුගිය සතියේදී සජිත්ව තමන්ගේ ස්ටුඩියෝවලටම ගෙන්වාගෙන සම්මුඛ සාකච්ඡා සිදුකිරීම විශේෂ සිදුවීමක් වී තිබිණි. විශේෂයෙන්ම සේපාල් අමරසිංහ පසුගිය කාලයේදී ජවිපෙට සහ මාලිමාවට පක්ෂව කෙතරම් දැඩිව අදහස් දැක්වූවාද කියනවා නම් වරෙක ඔහුට සිරගත වීමට පවා සිදුවිය. ඒ, දළදා වහන්සේ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මුල්කොට ගෙනය.
නමුත් සේපාල් සජිත් සමග පැවැත්වූ සංවාදය හරහා මාලිමාවට යම් ඉඟියක් ලබාදීමට පියවර ගෙන තිබූ බව බොහෝ දෙනාගේ අදහසය. එමෙන්ම සේපාල් සිය වැඩසටහන්වලදී ජවිපෙ විසින් අගමැතිනි හරිනිට සිදුකරන කෙණෙහිලිකම් පිළිබඳවද ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබිණි. ඒ හරහා සේපාල් හා මාලිමාව අතර ගැටුමක් නිර්මාණය වී ඇති ආකාරයක් මේ වනවිට දැකගන්නට පුළුවන.
විජිතත් කතාකළා
කෙසේ වෙතත් මේ ආකාරයට අප සමාජ මාධ්‍ය තුළ ඉතා කෙටිකාලයකින් සිදුව ඇති මෙම විපර්යාසය පිළිබඳ වාර්තා කළේ ඒ හරහා යම් භයානක ඉඟියක් පෙනෙන්නට තිබීම නිසාය. සාමාන්‍යයෙන් අලුත් ජනාධිපතිවරයෙක් අලුත් ආණ්ඩුවක් පැමිණි පසු වසරක් හෝ දෙකක් යන තෙක්ම මාධ්‍ය එම ආණ්ඩුව විවේචනය කිරීමට කටයුතු කරන්නේ නැත. ඒ ඔවුන්ගේ මධුසමය නිසාය. නමුත් මාසයක් ගතවන්නටත් පෙරාතුව ආණ්ඩුව බලයට ගෙනා සමාජ මාධ්‍යම ඒ ආණ්ඩුව විවේචනය කිරීම පසුපස ඇති සංඥාව ඉතා ප්‍රබලව ග්‍රහණය කරගැනීම ආණ්ඩුවේ බලධාරීන්ගේ වගකීම බව අපගේ විශ්වාසයය.
මෙහි ඊළඟ සිදුවීම දැකගන්නට ලැබුණේ ඇමැති විජිත හේරත් හරහාය. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවට එරෙහිව අසත්‍ය පුවත් පළකර තිබීම හේතුවෙන් කෝපයට පත් විජිත, ප්‍රසිද්ධියේම සමාජ මාධ්‍යයට බැණවැදුණු සිදුවීමකි. එහිදී විජිත කියා සිටියේ කිසිවකුටත් වල්බූරු නිදහසක් දිය යුතු නැති බවකි. මාධ්‍ය පුවත් වාර්තා කිරීමේදී වගකීමකින් යුතුව හැසිරිය යුතු බව එහිදී කියා සිටි විජිත, කිසිවකුටත් වල්බූරු නිදහසක් ලබාදිය නොහැකි බවද කියා සිටියේය. සාමාන්‍යයෙන් නව ආණ්ඩුවක් බලයට පත්වූ පසු මේ ආකාරයට මාධ්‍යට එරෙහිව අවි ඔසවන්නේ එම ආණ්ඩුවේ අවසන් කාලවකවානුවේදීය. නමුත් ජනාධිපතිවරයා බලයට පත්වී මාසයක් යෑමට මත්තෙන් කැබිනට් අමාත්‍යවරයකු වන විජිත හේරත් මහතා මේ අයුරින් මාධ්‍යයට අවි එසවීම විශේෂ සිදුවීමකි.
රනිල් රට යනවා
දේශපාලනයෙන් විශ්‍රාම යනවා කී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල නැවත වතාවක් දේශපාලන වේදිකාවේදී දැකගැනීමට හැකිව තිබේ. ඒ, සිලින්ඩරය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් වෙනුවෙන් විවිධ ස්ථානවල දේශපාලන රැස්වීම් අමතමින්ය. ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමග රනිල් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කළ එජාපයේ ප්‍රබලයන් කියා සිටියේ රනිල් යළි මැතිවරණවලට තරග නොවදින බවත්, අවම වශයෙන් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත්, දේශපාලන වශයෙන් විශ්‍රාම ගැනීමට රනිල් තීන්දු කොට ඇති බවත්ය. එජාප ප්‍රධානීන් ඒ ආකාරයෙන් කියද්දී අප ඒ කාලයේදීම වගකීමෙන් යුතුව කියා සිටියේ ඔවුන්ගේ එම ප්‍රකාශයන් සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, රනිල් දිගටම දේශපාලන කටයුතු සිදුකරන බවත්, නායකත්වයෙන් ඉවත් වන ලෙසට පක්ෂය ඇතුළෙන් එල්ල වන බලපෑම අවම කරගැනීම සඳහා රනිල් මෙසේ ප්‍රකාශ නිකුත් කරන බවත්ය.
කෙසේ වෙතත් පසුගිය ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සිලින්ඩරය සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකිරීමටද අපි කටයුතු කළෙමු. ඒ, සිලින්ඩරයට ගසන කතිරයක් පාසා එහි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානමින් සිටින්නේ රවී කරුණානායක මහතා යැයි කියාය. මන්ද යත් සිලින්ඩරය ලෙස තරග වදින්නේ රවීගේ නායකත්වයෙන් යුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නිසාය. එහි පක්ෂ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ශාමිලා පෙරේරාය. ජාතික ලැයිස්තුව සකස් කරද්දී ශාමිලා හමුවූ රවී සිය නමත් ජාතික ලයිස්තුවේ 10 වැනි ස්ථානයට ඇතුළත් කිරීමට කටයුතු කළ බව මීට පෙර අපි සඳහන් කර සිටියෙමු. ඒ අනුව අප පෙන්වා දුන්නේ යම් හෙයකින් සිලින්ඩරයට ජාතික ලැයිස්තුවක් හිමිවන්නේ නම් මුල් වටයේදීම රවී කරුණානායක ඒ හරහා පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානමින් සිටින බවය.
කෙසේ වෙතත් මේ වනවිට අපට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මහමැතිවරණය අවසන් වූ වහා රනිල් විදෙස්ගත වීමට සූදානමින් සිටිනවා යැයි කියාය. එහිදී දීර්ඝ විවේකයක් ලබාගැනීමෙන් පසු නැවත වතාවක් රනිල් ලංකාවට පැමිණ දේශපාලන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවක්ද අපට ආරාංචිය.










