2024 ජනාධිපතිවරණයට තව ඉතිරිව ඇත්තේ දවස් කිහිපයයි. මෙය ඉතා තීරණාත්මක ජනාධිපතිවරණයක් බව අප සියලු දෙනාම දන්නා කරුණකි. 2024 සිට තවත් වසර කිහිපයකට රට භාරගන්නා ජනාධිපතිවරයා පත්වීම එහිදී සිදුවන එකම පමණක් නොව, ශ්‍රී ලංකාවේ දක්ෂිණාංෂික සහ වාමාංශික බලවේග එකම විටක, එකම තරගයකට එක්ව සිටීම මෙවර ඇති විශේෂත්වයයි. 39 දෙනෙක් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව ඇති මෙම ජනාධිපති මැතිවරණයේදී වෙනදා නොදුටු ආකාරයේ තරගකාරීත්වයක්ද දැකගන්නට ලැබේ. මෙහිදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් කිහිපදෙනකුම එකම පොර පිටියක එකට තරග කරන අතර, මෙතෙක් කිසිදා නොදුටු ආකාරයට ප්‍රධාන අපේක්ෂකයන් හතර පස් දෙනෙක්ම මෙවර තරගයේ ඉදිරියෙන් ගමන් කිරීම විශේෂත්වයකි. මෙම ජනාධිපතිවරණයේදී අප විසින් හඳුනාගන්නා ලද නම් කිහිපයක් මුල් කොටගෙන මෙම අපේක්ෂක ලැයිස්තුව සකස් කළ හැකි නමුත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන හෝ කළ හෝ ප්‍රධාන දේශපාලන ධාරාවේ ක්‍රියාකාරී පුද්ගලයන් 10කට ආසන්න පිරිසක් මෙම ජනාධිපතිවරණ නාමලේඛනයේ දකින්නට ලැබීම විශේෂත්වයකි. (Sri Lanka Latest News)
ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් ප්‍රමාණයක් ඉදිරිපත් වන ජනාධිපතිවරණය මෙය වන අතර, මීට පෙර අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත් වී ඇති ජනාධිපතිවරණයක් අප දුටුවද, මෙම ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් 39 දෙනකු එකම ජනාධිපතිවරයෙක් ලෙස පත්වීම සඳහා තරග කරන ආකාරය හඳුනාගත හැකිය. මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවද එය ඉදිරි කාලයේදී අතිශය භාරදූර රාජකාරියක් භාරගන්නා පුද්ගලයා බවට පත්වීමට නියමිත අයකුගේ ජයග්‍රහණයක් වීමට නියමිතය. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය මේ වනවිට මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදයයි. මෙම අර්බුදය නොයෙක් ආකාරයෙන් මීට කලකට ඉහතද අප දුටු නමුත් දැන් එය වඩාත් තීව්‍ර සහ උග්‍ර අතට පත්වී ඇති බව අතිශය පැහැදිලි කරුණකි. මේ වනවිට අපට ගෙවීමට ඇති ණය ප්‍රමාණය, මේ වනවිට ශ්‍රී ලංකාව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පත්ව ඇති අර්බුදකාරී ස්වභාවය සියල්ල හඳුනාගත යුතුය.
ශ්‍රී ලංකාව මේ වනවිට ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 103.9%ක් බව බීබීසී වාර්තා හඳුන්වා දී තිබුණේය. එයින් ගෙවීමට ඇති විදේශීය ණය ප්‍රමාණය ඇ.ඩො. බිලියන 37.04කි. අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වඩාත් අවධානයට ලක්වූ රටක් බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. බුද්ධිගලනය සම්බන්ධයෙන් කතා කරද්දී ශ්‍රී ලංකාවේ ඉහළ වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් මේ වනවිට රට හැරදමා ගොස් අවසන්ය. 2023 වසරේ ඍණ අගයක් ලෙස පැවැති ආර්ථික වර්ධන වේගය මේ වසරේ පළමු කාර්තුව තුළ 5.3%ක වර්ධනයක් පෙන්නුම් කර තිබුණු බව සමහර වාර්තා සඳහන් කරයි. නමුත් රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීමට රජයේ බදු ප්‍රතිශත ඉහළ දැමීම නිසා තවමත් ජනතාව මුහුණ දී සිටින්නේ බරපතළ ආර්ථික අර්බුදයකටය. එසේම ශ්‍රී ලංකාව සහ අයි.එම්.එෆ්. සමග ඇතිවූ ගිවිසුම් හේතුවෙන් බරපතළ ලෙස ශ්‍රී ලංකාවට බඩුබාහිරාදිය ගෙන්වා ගැනීමට සීමාමායිම් පනවා තිබේ.
දේශසීමා විරහිත මාධ්‍යවේදියෝ ආයතනය වාර්ෂිකව පළකරන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ 2024 වනවිට රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 150 වැනි ස්ථානයයි. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව 135 වැනි ස්ථානයේ රැඳී සිටි අතර, මේ වනවිට එය ස්ථාන 15කින් පහත වැටී ඇති බවද මේ මොහොතේ අප සිහිපත් කළ යුතුය. එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පිළියමක් සෙවීම සඳහා අප විසින් විවිධාකාරයේ උපක්‍රම සකස් කරමින් තිබේ. ශ්‍රී ලංකාවේ මැතිවරණ සඳහා දිස්ත්‍රික්ක 22කින් ඡන්ද කොට්ඨාස 160ක මිලියන 17කට අධික ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ය. ලක්ෂ 9කට අධික නව ඡන්ද මෙම ජනාධිපතිවරණයේදී ප්‍රකාශ වීමට නියමිත බව සඳහන් කරයි. දිස්ත්‍රික්ක 22ක මෙම ජනාධිපතිවරණය සඳහා ඡන්දය ලබාදීම සිදුවන අතර, එම 22 වෙන වෙනම හඳුනාගැනීමද මෙවර සුවිශේෂ ලෙස හඳුනාගත හැකි කරුණකි. නමුත් 2023 වසරේ දූෂණ සංජානන දර්ශකයේ රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 115 වැනි ස්ථානයේ බව මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. පසුගිය වසරේ ශ්‍රී ලංකාව 101 වැනි ස්ථානයේ පසුවූ අතර, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් නිකුත් කරන ලද දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට ලකුණු හිමිව ඇත්තේ 100න් 34ක් පමණකි.
දූෂණ සංජානන දර්ශකය රාජ්‍ය අංශයේ දූෂණ මට්ටම සැලකිල්ලට ගනිමින් ලෝකයේ රටවල්වලට ලකුණු 100 බැගින් ලබාදෙමින්, 100 සිට කුමන මට්ටමක මේ රට පවත්වාගෙන යනවාද යන්න පිළිබඳ සැලකිලිමත් වීම මෙම දර්ශකයේ විශේෂත්වයයි. මෙවර ජනාධිපතිවරණයේදී සුපුරුදු පරිදි නුවරඑළිය මස්කෙළියේ වැඩිම ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්දය ලබාදෙන මැතිවරණ කොට්ඨාසය බවට පත්ව ඇති අතර, වැඩිම ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්දය ලබාදෙන මැතිවරණ දිස්ත්‍රික්කය බවට පත්ව ඇත්තේ සුපුරුදු පරිදි ගම්පහ දිස්ත්‍රික්කයයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය තරම් තීරණාත්මක ඡන්ද ප්‍රතිඵලයක් වෙන නැත. ගම්පහ ලක්ෂ 18කට වැඩි ඡන්ද ප්‍රමාණයක් මේ වසරේදී ලියාපදිංචි වී තිබේ. එම ලියාපදිංචි වූ ඡන්ද අතරින් අඩුම තරමේ ලක්ෂ 17ක් පමණවත් ප්‍රකාශයට පත්වනු ඇතැයි විශ්වාස කළ හැකිය. මෙහිදී ඇති විශේෂත්වය වන්නේ ගම්පහ ඡන්ද අතරදී බොහෝ විට ඉතා තීරණාත්මක තීන්දුසහගත ප්‍රතිඵල මීට පෙර ලැබී තිබීමය.
ගම්පහ ජනතාවගේ දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ ඔවුන් ආන්දෝලනාත්මක තීරණ ගැනීමට මැළි නොවන බවය. එසේම මුල්බැසගත් ඡන්ද හෝ මුල්බැසගත් දේශපාලන චරිත හෝ මුල්බැසගත් කණ්ඩායම්වලට හෝ එහා ගිය නව චරිත වෙනුවෙන් නැත්නම් නව දේශපාලන කණ්ඩායම් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩි නැඹුරුතාවක් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේය. එයට හේතුව ලෙස පබා වැනි චරිත පාර්ලිමේන්තුවට ගියේ ගම්පහින් වීම සැලකිය හැකිය. මර්වින් සිල්වා පාර්ලිමේන්තු යන්නේද ගම්පහෙනි. චතුර සේනාරත්නටද පාර්ලිමේන්තු වරම් ගම්පහෙන් හිමිවේ. එසේම මේ වසරේදී ප්‍රසන්න රණතුංගගේ දේශපාලන බලය බිඳහෙළමින් නාලක ගොඩහේවා දිස්ත්‍රික්කයෙන් එකට පැමිණීමත්, ඉතා ආධුනික දේශපාලකයකු ලෙස වැඩි කලක් දේශපාලන පොර පිටියේ රැඳී නොසිටි ඉන්දික අනුරුද්ධ තුන්වැනි තැනට පත්ව ඡන්ද ලක්ෂය ඉක්මවා යෑමත් සැලකිය හැකිය. එසේම රන්ජන් රාමනායක සමගි ජන බලවේග ලැයිස්තුවේ අංක එකට පැමිණීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ හැකිය. නමුත් මෙවර ගම්පහ දේශපාලනය තියෙන්නේ උඩුයටිකුරු වෙලාය. එය හිතාගන්නටත් බැරි තරම් අමුතු ප්‍රතිඵලයකට පාර කියනු ඇතැයි අප සාමාන්‍යයෙන් විශ්වාස කරන්නෙමු. එයට හේතුව වන්නේ ගම්පහ පොහොට්ටු ලැයිස්තුවේ අංක 1ට පැමිණි නාලක ගොඩහේවා දැන් ඉන්නේ සජිත් ප්‍රේමදාස සමගය. 2කට පැමිණි ප්‍රසන්න රණතුංග ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ සමගය. 3ට පැමිණි ඉන්දික අනුරුද්ධ නාමල් රාජපක්ෂ නියෝජනය කරමින් තමන්ගේ දේශපාලන කටයුතු සිදුකරමින් සිටී. එසේම නිමල් ලන්සා වැනි දේශපාලකයෝ රනිල් වික්‍රමසිංහ සමගත්, ඇතැම් දේශපාලකයන් සමගි ජන බලවේගය සමගත් කටයුතු කරන අතර, රන්ජන් රාමනායක සමගි ජන බලවේග ලැයිස්තුවේ අංක 1ට පැමිණි අපේක්ෂකයා මේ වනවිට සද්ද බද්ද නැති දේශපාලන ක්‍රමයකට හුරුව ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය ඉතා තීරණාත්මක ලෙස වෙනස් විය හැකි බව අපට සැලකිය හැකිය.
සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් අපේක්ෂකයන් තමන්ගේ බලය තහවුරු කරගැනීමේ අවසන් රැලි සඳහා ගම්පහ හෝ ඊට ආසන්න ප්‍රදේශ තෝරාගැනීමටද වැඩි නැඹුරුතාවක් දක්වනු දැකගන්නට ලැබේ. ඒ අනුව අනුර කුමාරලාගේ රැලිය ගම්පහදීත්, දිලිත් ජයවීරගේ රැලිය කිරිබත්ගොඩදීත් පැවැත්වෙන අතර, ඇතැම් විට දේශපාලන කණ්ඩායම්වල ප්‍රතිඵලයට වැඩි වෙනසක් සිදුකරන ප්‍රබලතලම දේශපාලන දිස්ත්‍රික්කය ලෙස ගම්පහ සලකන්නට මේ පොඩි පොඩි පක්ෂවල අය පවා කටයුතු කර ඇති බව පැහැදිලිවම හඳුනාගත හැකිය.
මෙවර විශේෂත්වයන් අතර මීළඟට කොළඹ දිස්ත්‍රික්කය සඳහන් කළ හැකිය. කොළඹ දිස්ත්‍රික්කය ගම්පහට වඩා කුඩා නමුත් ඊළඟට වැඩිම ඡන්ද සහිත දිස්ත්‍රික්කයයි. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය කුමක් හෝ ආකාරයකින් ජනතාවට විශාල බලපෑමක් කළ හැකි ප්‍රතිඵලයක් වන අතර, සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් මෙම දිස්ත්‍රික්කය නියෝජනය කිරීමද විශේෂත්වයකි. ජාතීන්ගේ විවිධත්වය සහ දේශපාලන ක්‍රියාකාරකම්වල විවිධත්වය වඩාත් දකින්නට ලැබෙන දිස්ත්‍රික්කයකි. ප්‍රධාන පෙළේ දේශපාලකයන් පවා ප්‍රධාන වශයෙන් කණ්ඩායම්වලට බෙදී සිටීම මෙහිදී දැකගත හැකි අතර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි අපේක්ෂකයන් මෙවර සහාය දක්වන්නේ දිලිත් ජයවීරටය. එසේම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි විජයදාස රාජපක්ෂත්, සරත් ෆොන්සේකාත් වෙන වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබෙන බවද පැහැදිලිව හඳුනාගත හැකිය. ඒ අනුව ගත් විට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන චරිත ප්‍රධාන වශයෙන් බෙදී ඇති කණ්ඩායම් 4ක් නොව ඊට වැඩිය. විශේෂයෙන්ම මෙහිදී රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන කණ්ඩායමකුත්, සජිත් ප්‍රේමදාස නියෝජනය කරන කණ්ඩායමකුත්, ප්‍රධාන වශයෙන් මාලිමාව නියෝජනය කරන කණ්ඩායමයකුත්, නාමල් රාජපක්ෂ නියෝජනය කරන කණ්ඩායමකුත් වෙන වෙනම හඳුනාගැනීමට හැකියාව ලැබෙන අතර, ඊට අමතරව දිලිත් ජයවීර, සරත් ෆොන්සේකා, විජයදාස රාජපක්ෂ කියන කණ්ඩායම්වලටද සහාය දක්වමින් කොටස්වලට කැඩී තිබීම කොළඹ දිස්ත්‍රික්කයේ ඇති විශේෂත්වයයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය කුමක් වුවද, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මේ ප්‍රධාන අපේක්ෂකයන්ගේ ඡන්ද ප්‍රමාණය විශාල වශයෙන් කෑලි කෑලිවලට කැඩී වෙන්වීමෙන් මෙහිදී ප්‍රතිඵලයට ඇති බලපෑම යම් විදියකින් අවම විය හැකි බව අපගේ විශ්වාසයයි. එයට හේතුව වන්නේ ඡන්ද ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් වලංගු ඡන්ද ලෙස ලැබුණු විට එහි ප්‍රධාන කොටස් 7කට පමණ ඡන්ද බෙදීයෑමත්, ප්‍රධාන වශයෙන් කොටස් 4කටවත් අවම වශයෙන් ප්‍රධාන අංක බෙදී යෑමෙන් සිදුවන කාරණාවත් වෙන වෙනම හඳුනාගත හැකිය. එහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්, සමගි ජනබලවේගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මැතිතුමන්, අනුර කුමාර දිසානායක මැතිතුමන් සහ නාමල් රාජපක්ෂ මැතිතුමන් යන කණ්ඩායම්වලට යම් ආකාරයකින් ඡන්ද ලැබෙන අතර, දිලිත් ජයවීරටද සුළු හෝ ඡන්ද ප්‍රමාණයක් නොලැබේවි යැයි අපට කිව නොහැකිය. ඒ අනුව දිලිත්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වයටද වඩාත් වැඩි නැඹුරුවක් දක්වන හොඳම දිස්ත්‍රික්කය ලෙස අපට හඳුනාගත හැක්කේ කොළඹ දිස්ත්‍රික්කයයි. කොළඹ දිස්ත්‍රික්කයේදී දිලිත් සහ අනෙක් දේශපාලන අපේක්ෂකයන් අතර ඉන්නා දෙවැනි පෙළ කණ්ඩායමට විශේෂයෙන් විජයදාස රාජපක්ෂට, සරත් ෆොන්සේකාට අඩුම තරමකින් හෝ ඡන්ද යම් ප්‍රමාණයක් ලැබෙන්නට බැරිකමක් නැත. ඒ අනුව ගත් විට මේ ප්‍රධාන ඡන්ද ලක්ෂ 16 කිසිවකුටත් ලක්ෂ 8ක් ලබාගත නොහැකි ආකාරයට තීරණය වනු ඇතැයි ලියුම්කරුගේ විශ්වාසයයි. එහිදී ලක්ෂ 4 බැගින් 4 දෙනාට බෙදී නොගියද, යම් ආකාරයකින් සැලකිය යුතු පරතරයක් සහිතව ජයග්‍රහණය කිරීමට යම් අපේක්ෂකයකුට හැකියාව ලැබේ යැයි අප විශ්වාස නොකරන්නෙමු.
මෙහිදී මැද කොළඹ ඡන්ද බලප්‍රදේශය විශේෂයෙන් සැලකිය යුතු ඡන්ද කොට්ඨාසයක් වන අතර, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ ආදී කොට්ඨාසයන් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අංක ගණිතයෙන් ගත් විට සාමාන්‍ය ස්වභාවය වන්නේ මැතිවරණ බල ප්‍රදේශයක ඡන්ද වසරින් වසර වැඩිවීමයි. ප්‍රමාණයෙන් ඉහළ යෑමයි. ගම්පහ දිස්ත්‍රික්කයේ එක් එක් කොට්ඨාසයෙන් කොට්ඨාසයට ගත් විට ඡන්ද ප්‍රමාණය දෙතුන් දාහකින් වැඩි වී ඇති ආකාරය පැහැදිලිවම හඳුනාගත හැකිය. නමුත් කොළඹ පමණක් ඡන්ද අඩු වන දිස්ත්‍රික්කයක් ලෙස දකින්නට ලැබීම එහි ඇති සුවිශේෂත්වයකි. මේ ආකාරයෙන් ඡන්ද අඩුවීම දැකිය හැකි වීමත් එක ප්‍රදේශයක ඡන්ද වැඩිවීමත් මේ ආකාරයෙන් ඡන්ද ලක්ෂ 2 ඉක්මවූ ඡන්ද බලප්‍රදේශ වාර්තා වීමත් අප වෙනම කතාකළ යුතු මාතෘකාවක් බවට පත්ව තිබේ.
යාපනය සහ වන්නි දිස්ත්‍රික්කවල ප්‍රතිඵලයද විශාල බලපෑමක් සිදුකරන අතර, මෙවර වන්නි සහ යාපනය දිස්ත්‍රික්කවල ප්‍රතිඵලයට කුමක් වේදැයි කිසිවකුට සිතාගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ. එහිදී වන්නි සහ යාපනය දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මතිමතාන්තරවල ඇත්තේ ඉතා පරස්පර හඟීමකි. එයට හේතුව වන්නේ සැබෑවටම ද්‍රවිඩ එක්සත් ජනතා සන්ධානය විසින් වරක් එක් අපේක්ෂකයකුට සහාය දක්වන බව ප්‍රකාශ කිරීමත්, පසුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත් පක්ෂයේ නායකයා වූ ශ්‍රීධරන් ප්‍රකාශ කිරීමත්, ශ්‍රීධරන්ට පසුව මාවෙයි සේනාධිරාජා එම ප්‍රකාශයම අනුමත කිරීමත් සමග මෙම ප්‍රතිඵලයට බලපෑම් කරන ආකාරය ගැන දැන් ගැටලුසහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ. සාමාන්‍යයෙන් ඩෙල්ෆ්ට් සහ කයිට්ස්හි ප්‍රතිඵල විශේෂයෙන් හිතනවාට වඩා වෙනස් ස්වභාවයක් ගැනීමටද ඉඩ ඇති බව අපගේ විශ්වාසයයි. මෙම කුමන මට්ටමේදී වුවද ජනාධිපතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය විශේෂයෙන්ම දිගාමඩුල්ල වැනි ඡන්ද බලප්‍රදේශ, කාත්තන්කුඩි, මඩකළපුව ආශ්‍රිත ප්‍රදේශ කුමන ආකාරයේ බලපෑම් කරයිද කියන කාරණය ගැන ජනතාව සිටින්නේ වඩාත් කල්පනාකාරීවය. එසේම ද්‍රවිඩ අපේක්ෂකයකු ලෙස එක් අයෙක් ඉදිරිපත් වීමත්, ඔහු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය නියෝජනය කරන අයකු වීමත්, ඔහුට සහාය දැක්වීම හෝ නොදැක්වීම මෙතෙක් කිසිදු නිශ්චිත ප්‍රකාශයක් සිදු නොවීමත් යන කාරණා ගැන අප සිටින්නේ වඩාත් සැලකිල්ලෙනි.
නුවරඑළිය මස්කෙළිය ඡන්ද බලප්‍රදේශය විශේෂය. නුවරඑළිය මස්කෙළියේ ඡන්ද ප්‍රමාණය 3,85,000 ඉක්මවා ගොස් තිබීම හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී වෙනදා මැතිවරණවලදී තරම්ම මෙම ප්‍රතිඵලය විශාල බලපෑමක් එල්ල කිරීමට ඉඩ තිබේ. 3,80,000කට ආසන්න ඡන්ද ප්‍රමාණයකදී 3,50,000ක පමණ ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශ වුවහොත් මෙම 3,50,000න් වැඩි ඡන්ද ලබාගන්නා අපේක්ෂකයා කවුද කියන කාරණය වැදගත්ය. වෙනදා මෙම ඡන්ද බෙදී ගියේ කණ්ඩායම් දෙකක් අතර නිසා පැහැදිලිවම ඡන්දවල පරතරය ලක්ෂය ඉක්මවා ලබාගැනීමට එක කණ්ඩායමක් සමත් විය. නමුත් මෙවර ප්‍රධාන අපේක්ෂකයන් 4 දෙනාටම යම් ආකාරයකින් ඡන්ද ලැබෙනවා නම් එහිදී සිදුවිය හැකි කාරණය අපට හිතෙන්නේ සාමාන්‍යයෙන් එක් අයෙක් ඡන්ද ලක්ෂය ඉක්මවා ලබාගැනීම කොහොමටත් සිදුවිය හැකි බවය. එක් අයෙක් හෝ දෙදෙනෙක් ඡන්ද ලක්ෂය ඉක්මවා ලබාගතහොත් තවත් ඡන්ද 1,50,000කට ආසන්න ප්‍රමාණයක් ඉතිරිව තිබේ. එම 1,50,000ත් දෙදෙනෙක් අතර බෙදීයෑමෙන් නුවරඑළිය මස්කෙළිය මහ ප්‍රතිඵලයට එල්ල කරන දැවැන්ත ප්‍රහාරය යම් ආකාරයකින් වැළකී යෑමටද ඉඩකඩ තිබේ.
ඊට අමතරව ඡන්ද අඩු දිස්ත්‍රික්ක කිහිපයක් තිබීම නිසා යම් අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොවෙන්නට එම දිස්ත්‍රික්කවල ප්‍රතිඵල හේතුවේ යැයි විශ්වාස කළ හැකි අතර, පොළොන්නරුවද මෙවර දේශපාලනිකව ගත් විට ඉතා තීරණාත්මක දිස්ත්‍රික්කයක් බවට පත්ව තිබේ. ඊට හේතුව වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලකයන් අතර වඩාත් ඉහළටම දේශපාලනයෙන් පැමිණි ජනාධිපතිවරණ ජයග්‍රාහකයා බවට පත්වූ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වැනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වෙලාවේ ඉන්නේ කිසිවක් ගැන කිසිවෙක් සමග කිසිම දෙයක් කතා නොකරන මට්ටමකය. ඔහුගේ කණ්ඩායම වූ නිදහස් පක්ෂය කොටස් තුනකට බෙදී ඇති අතර, එහිදී එක කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දක්වන අතර, තවත් කණ්ඩායමක් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාසට එළිපිටම සහාය දක්වමින් තිබේ. ඊට අමතරව එහි ප්‍රධාන පෙළේ සාමාජිකයකු වූ විජයදාස රාජපක්ෂ තනිව ජනාධිපති සටනට පැමිණ සිටින අතර, ඔහුට සහාය දක්වාවි යැයි විශ්වාස කළ සිරිසේන මහත්තයා දැන් ඉන්නේ නිශ්ශබ්දවය. නමුත් නිශ්ශබ්දව සිටියද යම් දේශපාලන බලයක් පොළොන්නරුවේ හිමිකම් කියන ඔහුට පොළොන්නරුවෙන් තමන්ගේ හිතවතා දිනවන්නට මොනවා හෝ වැඩක් කරන්නට පුළුවන් වෙන්නටද ඉඩ තිබේ. එසේම ඩඩ්ලිගේ ළඟම හිතවතකු වූ දිලිත් ජයවීරද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නිසා ඩඩ්ලි කුමක් කරයිද යන්න ගැන අපට සිද්ධ වන්නේ බලා සිටින්නටය. ඒ අනුව මේ ලක්ෂ 4කටත් අඩු ඡන්ද ප්‍රමාණයක් ඇති පොළොන්නරුව දිස්ත්‍රික්කය කුමන ආකාරයකින් බෙදී යෑවිද යන්න ගැන අපට තියෙන්නේ කුතුහලයකි.
අනුරාධපුරය, කුරුණෑගල වැනි ඡන්ද බලප්‍රදේශවල ප්‍රතිඵල ගැන ඊළඟට කතා කළ යුතුය. විශේෂයෙන්ම කුරුණෑගල ඡන්ද ප්‍රමාණය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රබල දේශපාලන බළකොටුවක් ලෙස හඳුන්වන ස්ථානයකි. කුරුණෑගලින් ඡන්දයට එන්නට මහින්ද රාජපක්ෂ පවා කටයුතු කළේ ඒ නිසාය. කුරුණෑගල යනු ප්‍රදේශයක් ලෙස ගත්තද යම් වෙනස්කම් සහිත ප්‍රදේශයකි. කුරුණෑගල යම් ප්‍රමාණයක් විදේශගත වී සිටීමත්, යම් ප්‍රමාණයක් හමුදාවට එක්ව සිටීමත් අපට හඳුනාගත හැකි ලක්ෂණයකි. ඒ අනුව කුරුණෑගල වැඩිම තැපැල් ඡන්ද ප්‍රමාණයක් ඇති දිස්ත්‍රික්කය ලෙසද හඳුන්වා දෙන සිරිතක් තිබේ. ඒ අනුව කුරුණෑගල ප්‍රතිඵලය යම් විදියකින් ප්‍රධාන ප්‍රතිඵලයකට කුමන බලපෑමක් කරාවිද යන්න ගැන සැලකිලිමත් විය යුතුය. සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂගේ බළකොටුවක් වූ කුරුණෑගලට නාමල් රාජපක්ෂ එන්නේ නිකන්ම නොවේ. නාමල් එන්නේ කුරුණෑගල ප්‍රබලතම දේශපාලකයකු වූ හොඳට හෝ නරකට ඕනෑම දේකට බය නැතුව ඉදිරියට එන ජොන්ස්ටන් ප්‍රනාන්දුත් සමගය. ජොන්ස්ටන්ගේ දේශපාලන බළකොටුවේ බලය බිඳ දමන්නට අනුර කුමාර දිසානායකට හෝ වෙනත් පාර්ශ්වයකට හැකිවේද යන්න ගැන මෙවර බොහෝ දෙනෙක් ඉන්නේ සිහි කල්පනාවෙන් බලාගෙනය. සාමාන්‍යයෙන් අප විශ්වාස කරන ආකාරයට මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් යම් වාසි පාඩු නිර්ණය කළ හැකි වන අතර, මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන රැලි නිර්මාණය වෙන මොනරාගලින් සාමාන්‍යයෙන් පත්වෙන දේශපාලකයාගේ බලය නොවෙනස්ව පවතින කාලයක් එකම පක්ෂයක එල්ලී ආදරෙන් ජනාධිපතිවරයා හෝ කුමන හෝ ආකාරයකින් ඔහුව පිළිගෙන අපේ යැයි සිතාගෙන දේශපාලනය කරනා ස්වභාවයක් මොනරාගල තිබේ. මොනරාගල මිනිස්සුන්ගේ බලය මෙවර ලැබෙන්නේ කාටද, කුමන ආකාරයෙන්ද යන්න ගැන යම් යම් ඉඟි මේ වනවිට පළව තිබෙන බවද හඳුනාගත හැකිය. නමුත් විශේෂත්වය වන්නේ මෙම මැතිවරණ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය වෙනදා විශාල පරතරයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ නමුත්, මෙවර එය කළ හැකි වේද යන්නය. යම් හෙයකින් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල ළඟ ළඟ යන මට්ටමකට පැමිණියහොත් විශාල පරතරයකින් ජයග්‍රහණය කරන්නට කිසිවකුට නොහැකි වුවහොත් එය ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිඵලයට පවා යම් බලපෑමක් එල්ල කළ හැකි බව අපගේ විශ්වාසයයි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය විශාල පරතරයකින් ජයග්‍රහණය කළ හැකි නම් ඒ හැකි දිස්ත්‍රික්ක මොනවාද යන්න ගැන මේ වනවිට සියලු ප්‍රධාන පක්ෂවල අය ඉන්නේ ඉතා සැලකිල්ලෙනි.
ඒ අතර ගත් විට දකුණේ ප්‍රතිඵලය හරිම උභතෝකෝටිකයක් වනු ඇත. දකුණේ උපන් අපේක්ෂකයෝ ලෙස සැලකිය හැකි නැත්නම් දකුණ තම දේශපාලන නිජබිම කරගත් අපේක්ෂකයන් දෙදෙනෙක් මෙවර ඡන්දයට පැමිණ තිබේ. ඉන් එක් අයෙක් සජිත් ප්‍රේමදාසය. අනෙක් එක්කෙනා දකුණේ බල පරාක්‍රමය ප්‍රචලිත කළ හම්බන්තොට දේශපාලනයේ රජු මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂය. මේ දෙදෙනාට ඡන්ද ලබේද යන්නට වඩා මෙවර බොහෝ දෙනෙක් කතාබහ කරමින් ඉන්නේ දකුණේ බලය තියෙන්නේ නම් එන්.පී.පී. එක අතේ කියලාය. දකුණ තිස්සමහාරාමය එන්.පී.පී. එක මුළු රටම පරදිද්දී යන්තම් ජාම බේරාගත් තැනය. දැන් තිස්සමහාරාමයෙන් එපිටට ගිය දේශපාලන බලයක් මේ ප්‍රදේශය පුරා පැතිරෙන බවට බොහෝ දෙනෙක් විශ්වාස කරමින් තිබේ. ඒ අනුව ගත් විට දකුණේ ප්‍රතිඵලය උතුරේ ප්‍රතිඵලයට වඩා විශාල වශයෙන් දේශපාලනිකව වැදගත් වන්නේ දකුණේ ඡන්ද ටිකක් වැඩිපුර තියෙන නිසාය. කුමන හෝ ආකාරයකින් ගත් විට දකුණේ මිනිස්සු සමහර තීන්දු ගන්නේ ඉතා එඩිතරව බව අප දන්නා කරුණකි. දකුණ විසින් පත්කරන ලද දේශපාලකයෝ රටට කළ හොඳ නරක ගැන අපට තව පාරක් කතා කරන්න සිදුව ඇති නමුත්, ගාල්ලේ ප්‍රධාන නගරයත් ගමට යද්දී දේශපාලන හැසිරීමත් ටිකක් වෙනස් බව අප පහුගිය කාලයේ දුටු කරුණකි. ඒ ආකාරයෙන් ගත් විට දකුණේද ප්‍රතිඵලය කුමක් හෝ වෙනස් එකක් වනු ඇත.
මහනුවර දිස්ත්‍රික්කය, අනුරාධපුර දිස්ත්‍රික්කය තවත් එවැනි දිස්ත්‍රික්ක වන අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලයද වෙනදාට වඩා වෙනස් වීමට දැන් දැන් ඉඩ තිබේ. මේ ආකාරයෙන් දේශපාලන ප්‍රතිඵල වෙනස් වීමත් සමග කුමන හෝ ආකාරයකට ගත්තද ලංකාවේ යම් දේශපාලන පක්ෂයක් ප්‍රධාන ධාරාවේ 50%ක ඡන්ද ප්‍රමාණය ලබාගන්නට නම් දළ වශයෙන් ලක්ෂ 75කවත් ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුතු වේ. මෙම ඡන්ද ලක්ෂ 75 ලබාගැනීම ලේසි හෝ පහසු හෝ නැති බව නම් අපට හොඳටම විශ්වාසය. එයට හේතුව වන්නේ ඡන්ද ලක්ෂ 75 ලබාගන්නට ඒ ඒ දිස්ත්‍රික්කවලින් ඒ ඒ කණ්ඩායම් ලබාගත යුතු යැයි නිර්ණය කළ හැකි ඡන්ද ප්‍රමාණය අපට දැන් ගණන් බලා හදාගත හැකි නිසාය. මැතිවරණ දිස්ත්‍රික්ක 22න් එක කණ්ඩායමක් ලක්ෂ 75ක් ලබාගන්නට නම් කුමන හෝ ආකාරයෙන් ප්‍රතිඵල ලබාගත යුතු දැයි අප ඔබට ගණන් බලා පවසන්නේ ප්‍රතිඵලය එන්නට පෙරය. ප්‍රතිඵලය කුමක් වුවද මේ ගණන් හිලව් ඔබට අනාගතයේ දේශපාලන ක්‍රියාකාරීත්වය ගැන හෝ නිර්ණය කරගැනීමට වැදගත් වනු ඇත.
ගම්පහ 18,81,129
කොළඹ 17,65,351
කුරුණෑගල 14,17,226
මහනුවර 11,91,399
රත්නපුර 9,23,736
ගාල්ල 9,03,163
අනුරාධපුර 7,41,862
කෑගල්ල 7,09,622
බදුල්ල 7,05,772
මාතර 6,86,175
පුත්තලම 6,63,673
නුවරඑළිය 6,05,292
යාපනය 5,93,182
දිගාමඬුල්ල 5,55,432
හම්බන්තොට 5,20,940
මඩකළපුව 4,49,686
මාතලේ 4,29,991
මොනරාගල 3,99,166
පොළොන්නරුව 3,51,302
ත්‍රිකුණාමලය 3,15,925
වන්නි 3,06,081
ලෙස මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කරනු ඇත. එය සමස්තයක් ලෙස 17140354කි. සාමාන්‍යයෙන් 85%ක් ඡන්ද ප්‍රමාණයක් වලංගු ඡන්ද වේ නම් 14,569,301 කි. 2019 දී මෙම ප්‍රතිශතය 82%කි. ඒ අනුව 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නට නම් 7,284,651කට ආසන්න ප්‍රමාණයක් ලබාගත යුතුය. නමුත් ප්‍රශ්නය ඇත්තේ ප්‍රධාන අපේක්ෂකයන් හතර දෙනෙක් සටනට පැමිණීමත් සමගය. ඔවුන් අතරින් එක් අයෙක් ඡන්ද ලක්ෂ 10ක් ලබාගත්තේ නම් සහ සෙසු අපේක්ෂකයන් ලක්ෂ 2ක් 35 දෙනා අතර බෙදීයා නම් එහි එකතුව ලක්ෂ 12කි. එවිට ඉතිරි වේ යැයි උපකල්පනය කළ හැකි ඡන්ද ප්‍රමාණය එක්කෝටි තිස්ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකි. ඉන් එක් අයෙක් ලක්ෂ 20ක් හෝ ලබාගත් විට ඉතිරි එක්කෝටි දසලක්ෂයකි. ඉන් ලක්ෂ 72ක් ලබාගැනීම කළ හැකි නම් දෙවැනි තැනට පත්වන අපේක්ෂකයාට ලබාගත හැකි විය යුත්තේ ලක්ෂ 38කට වඩා අඩු ගණනකි. ඒ නිසා මෙවර තත්ත්වය අතිශය තීරණාත්මකය.
- ලක්ෂ 72
- ලක්ෂ 38
- ලක්ෂ 20
- ලක්ෂ 10
සෙසු සියලු දෙනාම ලක්ෂ 2 ලෙස සටහන් වේ නම් පමණක් දෙවැනි මනාපය ගණනය කිරීමට සිදුවේ. මෙවැනි පරතරයක් සහිතව පළමු තැනට එන්නට යමෙක්ට හැකිවේ නම් එය ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ වාර්තාවක් වනු ඇත. දෙවැනියා 30%ක් හෝ ගත් විටකදී කිසිම විටක 50%ක් ලබාගත නොහැක. එසේ නොවේ නම් රනිල්, සජිත්, අනුර, නාමල් තිදෙනාගෙන් එක් අයෙක් ලක්ෂ 10කට වඩා අඩු මනාප ගණන් ලබාගත යුතුය. තෙවැන්නාත් ලක්ෂ 20ට අඩු විය යුතුය. ඊළඟට පස්වැන්නෙක් ලක්ෂ 5 ඉක්මවා යාම මේ තත්ත්වය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කරනු ඇත.
ඒ නිසාම මේ තත්ත්වය ඉතා තීරාණාත්මකය.
බලා සිටිනු හැර වෙන කරන්නට දෙයක් නැත. පිච් එක සූදානම්ය. මැච් එක ළඟය. තියෙන්නේ බලා ඉන්නටය. හැමෝටම ජය වේවා….!

ජීවන පහන් තිළිණ










