සුනඛයා කියන්නේ ඈත අතීතයේ සිටම මිනිසා සමග බැඳුණු සතෙක්. පැරැණි ජනශ්‍රැතිවල පවා සුනඛයා සහ මිනිස් සමාජය අතර පැවැති බැඳීම සඳහන් වෙලා තියෙනවා. (Sri Lanka Latest News)
‘රෑ වෙනවා නොදැනෙයි අම්මා නැතුව
එළිවෙනවා නොදැනෙයි බල්ලා නැතුව
හොරු එනවා නොදැනෙයි බල්ලා නැතුව
මිනි මළ ගෙදර අඳුරුයි දුව නැතුව’
මේ පැරැණි කවිය, බල්ලා අපේ ජීවිතවලට කොයි තරම් සමීපද කියන කාරණාවට හොඳ උදාහරණයක්.
ලෝ ප්‍රකට ශ්‍රේෂ්ඨයෙක් ලෙස සැලකෙන නැපොලියන් බොනපාට් වරක කිව්වේ, ‘ඔබ බල්ලෙකුට අකැමැති නම් ඔබ පක්ෂපාතීත්වයට කැමැති නැත. ඔබට විශ්වාසවන්ත අයට ඔබ කැමැති නැත. එබැවින් ඔබට විශ්වාසවන්ත විය නොහැකිය’ කියලායි.
බල්ලන් සහ මිනිසුන් අතර තියෙන සම්බන්ධය පුදුමාකාරයි. අපේ තනිකම පාළුව නැතිකරන්න මේ අහිංසකයන් තුළ තිබෙන ශක්තිය පුදුමාකාරයි. දියුණු ලෝකයේ සිදුකළ බොහෝ පරීක්ෂණවලින් පවා අද වනවිට සොයාගෙන තිබෙන්නේ බලු සුරතලුන්ට මිනිස්සුන්ගේ හෘද රෝග, මානසික ආතතිය පවා නැතිකිරීමේ විස්මිත හැකියාවක් ඇති බවයි.
ගෙදර ඇතිකරන සුරතල් සතුන් ඒ නිවැසියන්ට දැනෙන්නේ පවුලේ කෙනෙක් විදියටයි. ඒ සත්වයා අපේ දරුවෙකු හා සමානයි. බොහෝ නිවැසියන් ගෙදරක සුරතල් බල්ලෙක් හෝ පූසකු ඇතිකරන්නේ නිවසේ ආරක්ෂාව සඳහා පමණක්ම නෙවෙයි. තමන්ගේ පාළුව තනිකම නැතිකර ගැනීමේ අදහසින් තමයි බොහෝ අය සුරතල් සතුන් ඇතිදැඩි කරන්නේ. තමන්ගේ පවුලේ කෙනෙක් වගේ, දරුවෙක් වගේ ඇතිදැඩි කරන එවැනි සුරතල් බල්ලෙකුට හිත්පිත් නැති විදියට කවුරු හරි පහර දෙනවා නම් ඒක ඒ සුරතලාගේ ගෙදර අයට මොන තරම් වේදනාවක් ගෙන දෙන කරුණක් වේවිද? එවැනි සිද්ධියක් සහිත වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරණය වුණා. ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මාර්ගය අසල සිටි සුනඛකයකුට පොල්ලකින් පහරදී ඝාතනය කරන ආකාරය එම වීඩියෝවෙන දැක්වුණා. ඒ අනුව, එම සුරතලාගේ හිමිකරුවා අක්මීමන පොලිස් ස්ථානයට මේ පහරදීම ගැන පැමිණිල්ලක් ගොනුකර තිබුණා.
මෙම බලු සුරතලාව ඝාතනය කළ දෙදෙනා බටදූව ප්‍රදේශයේ ජීවත්වෙන වයස අවුරුදු 34 සහ 37 හැවිරිදි වයස්වල පුද්ගලයන්.
මේ වීඩියෝව නරඹද්දී දැකගන්න හැකිවුණේ සැකකරුවන් දෙදෙනා අවස්ථා කිහිපයකදීම සුරතල් බල්ලාව පන්න පන්නා මුගුරකින් පහරදෙන ආකාරයයි. මේ පහරදීම දරාගැනීමට නොහැකිව බියට පත්වන සුරතලා ගේට්ටුව මුල්ලටම ගුළිවී සැඟවෙන්න උත්සාහ කරනවා. නමුත් මේ අහිංසක සුරතලාට කරන්න පුළුවන් වුණේ බිරීම පමණයි. නමුත් ඌට සැකකරුවන්ගෙන් බේරීමට හැකියාව ලැබුණේ නැහැ. මේ වීඩියෝව දකින ඕනැම කෙනෙකුගේ හිතට දැනෙන්නේ මේ සුරතලා කොයි තරම් අසරණ වෙන්න ඇතිද කියන කාරණාවයි. ඌ දහස් වරක් හිතන්න ඇති ‘අනේ මට පහර දෙන්න එපා’ කියලා. ඒත් මේ මිනිස්සු දිගින් දිගටම පහරදී අහිංසක සුනඛයාව ඝාතනය කළා. බල්ලාට පහරදීමට ඔවුන් යොදාගත් මුගුර ත්‍රිරෝද රථය තුළ තිබී එළියට ගැනීම නිසා, සැකකරුවන් එම ස්ථානයට පැමිණ තිබුණේ සතාට පහරදීමේ සූදානමින්ම බවටයි බොහෝ දෙනාගේ අදහස වී තිබුණේ.
කෙසේ වෙතත් මෙවැනි අපරාධයක් කිසිසේත්ම සාධාරණීකරණය කරන්නට බැහැ. මනුෂ්‍යයන්ට වගේම තිරිසන් සතුන්ටත් ජීවත්වීමේ අයිතියක් මේ මහ පොළොවේ තියෙනවා. ඉතින් අක්මීමන පොලිසියට ලද පැමිණිල්ල අනුව පසුගිය 18 වැනිදා අදාළ සැකකරුවන් දෙදෙනා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයද සමග අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම පැමිණිල්ලට අදාළ වරද ලෙස දැක්වෙන්නේ 1907 අංක 13 සත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනතේ දෙවැනි වගන්තියයි. යම් තැනැත්තෙකු කෲර ලෙස සතෙකුට පහරදීම, හිංසා කිරීම, නොසලකා හැරීම, වේදනාවට පත්කිරීම මෙම වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකනු ලබනවා.
හිත්පිත් ඇති කාටවත් තමන්ගේ ගෙදර සුරතලාට පහරදෙනකොට දරාගන්න අමාරුයි. පිට කෙනෙක් පහර දෙනකොට ගොඩාක් හිත රිදෙන්නේ සුරතලාගේ හිමිකරුවන්ටයි. ඒ නිසාම කතාවට කියනවා ‘කොල්ලා මැරුවත් එකයි බල්ලා මැරුවත් එකයි’ කියලා. මොකද බල්ලෙක් කියන්නේ දරුවෙක් හා සමානවම ගෙදරක සැලකුම් ලබන නිසා.
සුරතල් බල්ලන් ඇතිදැඩි කරන හැම කෙනෙක්ම හොඳින් මතක තබාගත යුතු කරුණක් තමයි පාරේ යන එන කාටවත් කරදරයක් නොවන ආකාරයෙන් සුරතලාව හදාවඩා ගන්න. අද සමාජයේ බොහෝ දෙනෙක් සුරතලුන් ආවාට ගියාට හදනවා. හරියට සලකන්නේ නැහැ. බෙහෙත් හේත් නිසි වෙලාවට දෙන්නේ නැහැ. ලෙඩක් හැදුණාම ප්‍රතිකාර කරන්නේ නැහැ. දඩාවතේ යන්න ඇරලා දානවා. නමුත් නිසි විදියට බෙහෙත් හේත් එන්නත් ලබාදීලා, ආදරෙන් සුරතලාව රැකබලා ගන්න බැරි නම්, සතුන් නොහදා සිටීම වඩාත් හොඳයි.
සමහර මිනිස්සුන්ගේ හිත්වල තියෙන වෛරය, තරහව, පීඩනය ගෙදර සාමාජිකයන් පිටින් යවන්න බැරිනම් ඔවුන් කරන්නේ ඒ වෛරය අහිංසක තිරිසන් සතකු හරහා පිටකිරීමයි. එවැනි කෲර මිනිස්සු මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා.
යමෙක් සතුන්ට හිංසා කරයිද ඔහු මරණින් පසු නිරයේ උපදින බව ධර්මයේ සඳහන් වෙනවා. කිසිම සතෙක් දඬුවමට කැමැති නැහැ. ඒ නිසා සතුන්ට හිංසා කරන්න එපා. උන්ටත් ජීවත්වීමේ අයිතියක් තියෙනවා.
අපේ රට ධර්මද්වීපය කියලා හැඳින්වුවත් මේ රටේ ජීවත්වන ඇතැම් පවුකාර මිනිස්සුන්ගේ හදවතේ මෛත්‍රිය කරුණාව ගෑවිලාවත් තියෙනවද කියලා හිතන්න මේ සිදුවීම හොඳටම ප්‍රමාණවත්. අපේ රටේ සමහර පාපතරයන් බලු සුරතලෙක්ට පන්න පන්නා පහර දෙනකොට මෙරටට පැමිණි විදේශිකයන් පිරිසක් බලු සුරතලෙකුට ආදරයෙන් සංග්‍රහ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දවසක සමාජ මාධ්‍යයේ පළවුණා. එහි දැක්වුණේ, මේ විදේශිකයන් අපේ රටේ ඓතිහාසික ස්ථානයක් නරඹන්න පැමිණි අවස්ථාවක එහි සිටි බලු පැටවෙක් පිපාසයෙන් ජල කරාමයක් අසල ඒ මේ අත දුවමින් සිටින ආකාරයයි. එසැණින් එක් විදේශිකයෙක් සිය දෝතට ජලය පුරවාගෙනැවිත් සුරතලාට පොවන ආකාරයත්, විදේශිකයාගේ කුඩා දරුවාත් අහිංසක සුනඛයාට වතුර බොන්න දීලා ඌගේ පිපාසය සන්සිඳවන ආකාරයත් වීඩියෝවේ දැක්වුණා.
මේ සිදුවීම දැකපු බොහෝ දෙනෙකුගේ හදවත් සසල වුණා. ලංකාවේ ඇතැම් මිනිස්සු දඬු මුගුරුවලින් බල්ලන්ට පහර දෙනකොට මේ විදේශිකයන් ඉතා අදරණීය විදියට සුරතල් සතුන්ට සලකන ආකාරයයි. ඉතින් අපිටම හිතෙනවා අපේ මිනිස්සු ගතිගුණ අතින් කොයි තරම් පහත්ද කියලා. අපිට අපේ මිනිස්සු ගැනම ලැජ්ජාවක් ඇතිවෙනවා.
සුරතල් බල්ලෙකුට පහරදී ඝාතනය කරපු සිදුවීම අහනකොට දකිනකොට අපේ හදවතට නිරන්තරයෙන්ම නැගෙන ගීයක් තියෙනවා. ඒ,් පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් රචනා කරපු, එඩ්වඩ් ජයකොඩි සහ මාලිනි බුලත්සිංහල ගායන කරන, ‘බුදු බණ කිව්වා නිරන්තරේ – බුදුබණ ඇසුවා නිරන්තරේ – ගතිගුණ අතින් අපි තවමත් වනාන්තරේ…’ ගීතය.
අපේ සමහර මිනිස්සු කටයුතු කරන්නේ හැසිරෙන්නේ හැඟීම් දැනීම් නැති අමනුෂ්‍යයන් වගෙයි. ‘මේ තරමට බුදුබණ අහනා රට දින දින පිරිහෙන කරුමය මන්දා…’ අපේ රටේ මිනිස්සු කොයිතරම් බුදු බණ ඇහුවාත් ඒවා ක්‍රියාවට නංවන්නේ නැතුව දවසින් දවස පරිහානිය කරාම යනවා.
අපි හිතන්නේ විදේශිකයන් ලංකාවට එන්නේ අපේ රටේ සුන්දරත්වය දකින්න විතරයි කියලා. ඒත් ඔවුන් මේ රටේ ඉන්නෙ කෙටි කාලයට වුණත් ඔවුන්ගේ විනෝදය පසෙක තබලා, සතා සිවුපාවාට ආදරය කරුණාව දක්වන්න ඒ විදේශකයන් කටයුතු කරන එක කොයි තරම් උතුම්ද? ඒ මිනිස්සුන්ගේ හදවත් කොයි තරම් ආදරණීයද? අපේ රටේ බොහෝ දෙනෙක් බොරුවට පන්සල් ගානේ ගිහින්, පෝයට සිල් සමාදන් වුණාට, ඒවා ප්‍රායෝගික ජීවිතයෙදී ක්‍රියාවට නංවන්නේ නැත්නම් ඒ අහන ධර්මයෙන් වැඩක් තියනවද?
අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. ඒක හැම දෙනාම තේරුම් අරගෙන සතා සිවුපාවාට ගහටකොළට ආදරය කරුණාව දක්වමින් ජීවත්වීමයි කළයුතු වන්නේ. එවිට සතුට සාමාදානයෙන් යුතු ලස්සන හෙට දිනයක් අපේ ජීවිතවලට උදාවේවි…

නිලන්ති රේණුකා










