මහරගම ආපිකෝ එක ඉස්සරහා ඉස්සර බාර් එකක් තිබුණා. ඉස්සර කිව්වෙ දැනට අවුරුදු නවයකට දහයකට කලින්. දෑන් ඒ බාර් එක නෑ. (Sri Lanka Latest News)
ඕකට ප්‍රියා සූරියසේන එනව කොට කලිසමක් ඇඳන් හරි සැහෑල්ලුවෙන්. ඇවිත් තනියම බාර් චෙයා එකක වාඩිවෙලා මග් එකක බීර බොන හැටි තාම මතකයි. අපිත් බාර් එකේ අයිනෙ මේසෙක අඩියක් ගහන ගමන් ඉන්නෙ. අපේ කතාවත් මියුසික්වලින් පටන් අරන් Sex දක්වා දුරදිග යනව.
ප්‍රියා අපි අඳුනන්නෙ නෑ. අපිට ඔහු අඳුනගෙන සෙල්ෆියක් ගන්න ඕනෙ වුණෙත් නෑ. එයා වැඩිය කාගෙවත් දිහා බලන්නෙ නැතිව මධුවිත ඇසුරට වැටෙනව.
ප්‍රියා කියපු සින්දු අපි පෙම්පත්වල ලියල යවලා තියනව සෑහෙන්න. හෙන බූට් කාපු ශෝකජනක රාත්‍රී ඒ සින්දු ඇතුළෙ දියකරල දාලා තියනව.
ඒ අරුමැසි වචන ලිව්වෙ ගීත රචකයො තමයි. ඒත් ඒවායෙ හුඟක් තනු ප්‍රියාගෙ.
ඒ තනු එයාට ආවේණික රහකට හැඩයකට ගැයුවා. ඒක ඉතින් සම කරන්න බෑ. වෙනම ලකුණක්.
‘සුදු පරෙවි රෑන සේ…’ ඇහෙන කොට ඉස්කෝලෙ කාලෙ ආදරයේ මුල්ම පාඩම් කියල දුන්න කෙල්ලො කීප දෙනෙක්ගෙ මූණ තාම මැවෙනව. පස්සෙ කාලෙ තමයි දන්නෙ ඒක ලිව්වෙ සුනිල් ආර්. ගමගේ කියලා. හෙන දෛවෝපගත විදියට ඒ සුනිල් ආර්. ගමගේ පසුකාලීනව අපේ ගී මගට හෙන සපෝට් එකක් දෙනවා.
‘මගේ ළමැද සුව යහනක්…’ සින්දුව ඇහෙනකොට අයිතිකරගන්න ආසාවෙන් හිටපු තවත් ගෑනු මූණු ටිකක් මතකෙට එනවා. ඒ දවස්වල හිතුණෙ ආදරය කියන්නෙ අයිතිය හඟවන පදයක් කියලනෙ.
මට මතකයි මම කෙල්ලෙකුට ලියලා යැව්වා,
‘ඔබෙ නෙත් දොළොස් මහේ පහන වේ
කළ මැන දල්වන ආරාධනා
පෙර භවයේ වියෝග අඳුරේ නිවුණු තැනින්…’
මේක ප්‍රේමකීර්ති ලිව්වේ කියලා පස්සෙ දන්නෙ. ඒක නම් පට්ටම ආරාධනාවක්. කෙල්ලගෙ ඇස් දෙක වර්ණනා කරන ගමන්, පෙර භවයක වියෝගය නිවාගන්න ඒ නෙත් පහන ඉල්ලන එක නම් මාරම ඉන්විටේෂන් එකක්. ඒ දවස්වල ඕවා කෙල්ලන්ට ලිව්වේ මේ තරම් රහක් දැනගෙන නම් නෙවෙයි. ඒත් අපි රහම සින්දු කෙල්ලොන්ට යවලා.
‘අඳුර අඳුර මගේ’ කියන සින්දුව තමයි දැන් මට වැඩිපුර සමීප. ඒක උපේක්ෂාවක් එක්ක තමන් දෙසටම හැරෙන වෙනස් රහක් තියන සින්දුවක්. ජීවිතේ සමහර විඳීම් පරිපාකයට පත්වෙනකොට තමයි උපේක්ෂාව නමැති කවුළුව ඇරෙන්නේ. ඒක හරි සන්සුන් ලස්සන මනෝභාවයක්. දැන් අපි ආසම ඒකට.
මිනිස්සුන්ගෙ හිතේ ලස්සන තැනක හිටිය බවට ලකුණක් තියලා යන්න හැමෝටම බෑ.
ප්‍රියා නැතත් හෙටත් අපි ප්‍රියා එක්ක ගමන් බිමන් යාවි. සමහර විඳීම් රිදීම් පිරිමැද ගනීවි. අතීත මතක කැලේ ඇවිදීවි. ඊට පස්සෙ අපිත් යන්නම යාවි. ප්‍රියා ඔබට ස්තුතියි.
රවී සිරිවර්ධන










