ජනාධිපති මන්දිරය තුළ තිබී තරුණයන් කණ්ඩායමක් විසින් සොයාගෙන කොටුව පොලීසියට භාරදී තිබූ මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අද (28) අධිකරණය විසින් පොලිසියට නියෝග කළා. පසුගිය 09 වනදා ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ දී ඒ තුළ තිබී මෙම මුදල් සොයාගෙන තිබුණා.
එම මුදල් පොලීසියට භාරදී තිබූ අතර අද කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ එම මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. රුපියල් 17.850,000.00ක් එලෙස කොටුව පොලීසිය වෙත භාරදී ඇති බව කොටුව පොලීසිය අධිකරණයට දන්වා තිබෙනවා.
එසේ භාරදී සති තුනක් ගතවී තිබුණද එම මුදල් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ. එනිසා එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කෙරුණා.
ඒ අතර ජනාධිපති මන්දිරය තුළදී හමුවූ මුදල් ගණන් කරමින් සිටි තැන හුන් තරුණයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා. එම සැකකරුවන් හතර දෙනෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපමත මුදාහරින ලෙසයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ.










