වැන් හොලන් අරන් ආ ප්‍රබල පණිවුඩය!
රාජ්නාත් අන්තිම මොහොතේ නැවතුණේ ඇයි?
මහින්ද සතියක් රෝහල්ගත වෙයි!
චීන නැවේ අර්බූදය තවම ඉවර නෑ!
තීරණාත්මක සැප්තැම්බරය එළඹුණා!
එළඹුණු සැප්තැම්බර් මාසය ලංකාවට ඉතා තීරණාත්මක මාසයක් බවට පත්වන ලකුණු මේ වන විටත් පහළ කොට හමාරය. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ කණ්ඩායමක් ලංකාවේ තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා මෙම මාසයේ ලංකාවට පැමිණීමට නියමිතව ඇති බැවිනි. මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචන රැස්වීම සැප්තැම්බර් 14 වැනිදා ආරම්භ වන අතර, එය 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. මෙම සමාලෝචනයේදී ලංකාව මෙතෙක් අයි.එම්.එෆ්. ගිවිසුමට අනුව සපුරා ඇති කොන්දේසි කොපමණද යන්න සොයා බලා එහි දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 338ක මුදල නිදහස් කිරීමට නියමිතය. නමුත් ගැටලුව ඇත්තේ ලංකාව මෙම කාලය ඇතුළත සපුරාලිය යුතු කොන්දේසි සියල්ල ඉටුකර තිබේද යන්න පිළිබඳවය.Sri Lanka Latest News
වැන් හොලන් ලංකාවට ආවේ ඇයි?
අයි.එම්.එෆ්. කණ්ඩායම ලංකාවට පැමිණීමට පෙරාතුව පසුගිය සතියේ තවත් විශේෂ ඇමෙරිකානු නියෝජිතයෙක් ලංකාවට පැමිණියේය. ඒ, ඇමෙරිකානු සෙනට් සභාවේ ප්‍රබලයකු වන ක්‍රිස් වැන් හොලන්ය. මේරිලන්ඩ් ප්‍රාන්තය නියෝජනය කරමින් ඇමෙරිකානු සෙනට් සභාවට ඩිමොක්‍රටික් පක්ෂයෙන් තේරී පත්වූ ක්‍රිස්, මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩිව පෙනී සිටින්නකු මෙන්ම දෙමළ ඩයස්පෝරාව සමග අති සමීප සබඳතාවක් පවත්වාගෙන යන්නකු ලෙස සැලකේ. ඉකුත් යුද සමයේදී ක්‍රිස් ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සහ වෙනත් සිදුවීම් සම්බන්ධයෙන් දැඩිව අදහස් පළකළ අයකු ලෙසද හැඳින්විය හැකිය. ඇමෙරිකාවේ වත්මන් පාලනය හොබවන බයිඩන් පාලනයද ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන නිසා ක්‍රිස්ගේ අදහස්වලට බයිඩ්න් ආණ්ඩුව තුළ ඉහළ තැනක් හිමිව ඇති බවද සැලකිය යුතු තත්ත්වයකි.
ලංකාවේ හිටපු කෙනෙක්!
එමෙන්ම කවුරුත් නොදන්නා කරණාවක් වන්නේ මේ ක්‍රිස් වැන් හොලන් කලක් ලංකාවේ ජීවත් වූ අයකු වීමය. ඊට හේතු වී තිබුණේ ක්‍රිස්ගේ පියා වන ක්‍රිස්ටෝපර් වැන් හොලන් ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කර තිබීමය. කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයකු වන ක්‍රිස්ටෝපර් වැන් හොලන් 1972 – 1977 සිරිමාවෝ මැතිනියගේ රජය සමයේදී මෙරට ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර එවක ඔහුගේ පුත් ක්‍රිස් වැන් හොලන් ගුරුතලාව ශාන්ත තෝමස් විiාලයේ ඉගෙනුම ලැබීය. පසුව ක්‍රිස් ඉන්දියාවේද අධ්‍යාපනය ලබා තිබිණි. ඉකුත් සතියේ ලංකාවට පැමිණියේ ලංකාවේ ඉගෙනගත් මේ කියන ක්‍රිස් වැන් හොලන්ය.
පණිවුඩය මෙන්න!
කෙසේ වෙතත් ලංකාවේ මාධ්‍ය ක්‍රිස්ගේ ලංකා සංචාරයට එතරම් ප්‍රචාරයක් නොදුන්නද, අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ බයිඩන් රජයේ විශේෂ පණිවුඩයක් සමග ක්‍රිස් වැන් හොලන් ලංකාවට පැමිණ ඇති බවකි. ක්‍රිස් ලංකාවට පැමිණිමට පෙරාතුව නිකුත් කරනු ලැබ තිබූ ප්‍රකාශයකින්ද මේ බව තහවුරු වී තිබිණි. ලංකාවට පැමිණිමට පෙර ක්‍රිස් මුලින්ම ගියේ මාලදිවයිනටය. එහිදී ක්‍රිස් මාලදිවයින් රජයට දැනුම් දී තිබුණේ ඉදිරි මැතිවරණයකින් කවුරුන් ජයග්‍රහණය කළද එය ඇමෙරිකානු රජයට කිසිදු ගැටලුවක් නොවන නමුත් පැවැත්වීමට නියමිත මැතිවරණය ඉතා සාමකාමී සහ සාධාරණ එකක් විය යුතු යැයි කියාය. එම මැතිවරණයේදී ඇමෙරිකාව කිසිදු පාර්ශ්වයක් නොගන්නා බවද ක්‍රිස් එහිදී මාලදිවයින් රජයට දැනුම් දීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම ලංකාවට පැමිණිමට පෙරාතුව ක්‍රිස් ලංකාව සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික භාෂාවක් උපයෝගී කරගෙන නිකුත් කර තිබූ නිවේදනයකින් කියැවුණේ ලංකා ආණ්ඩුව ලංකා ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත්, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්පූර්ණයෙන් සහ සාධාරණ ලෙස ලබාදීමට කටයුතු කළ යුතු බවත්ය. ඒ හරහා ක්‍රිස් නොකියා කියා තිබුණේ මේ වන විට දින නියමයක් නොමැතිව කල්දමා තිබෙන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව පියවර ගතයුතු බවකි. ක්‍රිස් මහනුවරට ගොස් රන්දෝලි පෙරහැර ආරම්භ වීමට ප්‍රථම ජනාධිපතිවරයා හමුවූයේ මෙම නිවේදනය නිකුත් කොට පැය ගණනාවකට පසුව වීම විශේෂ සිදුවීමකි.
IMF ටීම් එකක් එනවා!
ක්‍රිස්ගෙන් පසු ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාවට මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පැමිණිමට නියමිත අතර, එහිදී මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් සහ ලංකාව මෙතෙක් ඉටුකොට ඇති කොන්දේසි සම්බන්ධයෙන් දීර්ඝව විමර්ශනය කිරීමට නියමිතය. මූල්‍ය අරමුදල මගින් ලංකාවට පළමු වාරිකය ලබාදුන්නේ පසුගිය මාර්තු මාසයේදීය. එහිදී ලංකාව විසින් ඉටුකළ යුතු කොන්දේසි ගණනාවක් ඇතුළත් ගිවිසුමක්ද මූල්‍ය අරමුදල මගින් ලබාදී තිබිණි. ඒ අවස්ථාවේදී ලංකා ආණ්ඩුව මූල්‍ය අරමුදලෙන් ලැබුණු පළමු වාරිකය සැමරුවේ රට වටේ රතිඤ්ඤා පත්තු කරමින් අති උත්කර්ෂවත් ආකාරයටය. එපමණක් නොව ආණ්ඩුවේ මුල් පෙළ නියෝජිතයන් රටට කියා සිටියේ මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබීමත් සමග විදෙස් රටවලින්, ජාත්‍යන්තර සංවිධානවලින් විශාල වශයෙන් ඩොලර් ලංකාවට ලැබෙනු ඇතැයි කියාය. විදේශ විනිමය අර්බුදයෙන් ඉතා ඉක්මනින්ම ලංකාවට ගැලවිය හැකි යැයි කියාය. ආණ්ඩුව එසේ කීවද ඒ අවස්ථාවේ අප කියා සිටියේ මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණු සැණින් එසේ රටවල් ලංකාවට උදව් කිරීමට නොපැමිණෙනු ඇති බවත්, ඉතා දීර්ඝ සහ අසීරු ගමනක් ලංකාවට යෑමට ඇති බවත්ය. අප කී එම කරුණ සනාථ කරමින් මූල්‍ය අරමුදලේ සහාය ලැබුණද ජාත්‍යන්තර සහාය ආණ්ඩුව සිතු ආකාරයට ලංකාවට ලැබුණේ නැත.
කොන්දේසි ඔක්කොම සපුරලාද?
කෙසේ වෙතත් මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 338 ලබාගැනීම නම් ලංකාව ඉටුකළ යුතු ප්‍රධානතම කොන්දේසිය වී තිබුණේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තය. නමුත් තවමත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සම්පූර්ණ කරගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබී නොතිබීම විශේෂ සිදුවීමකි. අනෙක් අතට මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම සම්බන්ධයෙන් සොයා බලන වෙරිටේ රිසර්ච් ආයතනයද පසුගිය සතියේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ තවමත් ආණ්ඩුව මෙම කාලයේ ඉටුකළ යුතු මූල්‍ය අරමුදලේ කොන්දේසිවලින් ඉටුකර ඇත්තේ 38%ක ප්‍රතිශතයක් පමණක් යැයි කියාය. එසේ නම් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනවිට සිටින්නේ කුමන තැනකද?
චීනය තවම තීන්දුවක නෑ!
ආණ්ඩුව මුලින් සැලසුම් කර තිබුණේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ලබන ඔක්තෝබරයට කලින් අවසන් කිරීමටය. පළමු අදියරේදී ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය ඒ සඳහා කොළ එළියක් නිකුත් කරමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහාය දැක්විය හැකි බව දැනුම් දී තිබිණි. නමුත් ඒ අවස්ථාවේදී චීනය ප්‍රකාශ කොට තිබුණේ තමන් එම පොදු වේදිකාවකට පැමිණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත සිදුකිරීමට එකඟ නැති බවත්, වෙනමම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම් බවත්ය. නමුත් චීනයේ එම ප්‍රතිචාරයත් සමග පැරිස් සමාජයත්, ඉන්දියාවත්, ජපානයත් නිවේදනය කොට තිබුණේ ලංකාවේ ණය හිමි සියලු රටවල් එකම වේදිකාවක සිට එකම ගිවිසුමකට ඇතුළත්ව කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති නම් මුලින්ම චීනය සමග ඇතිකර ගැනීමට නියමිත එකඟතාව ප්‍රකාශයට පත්කළ යුතු බවත්ය. එම ප්‍රකාශයෙන් පසු මේ දක්වා පැරිස් සමාජය, ඉන්දියාව, චීනය හෝ ජපානය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දැඩි නිහඬ පිළිවෙතකි. ඒ අනුව ලබන ඔක්තෝබරය වන විට ආණ්ඩුව බලාපොරොත්තු වන පරිදි විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කරගත හැකිවේද යන්න සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිනිශ්චිත තත්ත්වයකි. මේ සම්බන්ධයෙන් ලංකාවේ මාධ්‍ය වචනයක් හෝ කතා නොකිරීම විශේෂ කරුණක් වන අතර, අඩුම තරමේ විපක්ෂයේ සිටින ආර්ථික ඔස්තාර්ලා යැයි කියාගන්නා කිසිවකු හෝ ඒ පිළිබඳ ජනතාව දැනුවත් නොකිරීමද කනගාටුදායක සිදුවීමකි.
නැවේ අවුල!
මීට අමතරව ඉන්දියාව ආරම්භයේ සිටම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ඉතා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබුණද මේ වන විට ඔවුන්ද ඒ සම්බන්ධයෙන් ඉතා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම විශේෂ සිදුවීමකි. ඊට බොහෝ දුරට හේතුපාදක වී ඇත්තේ පසුගිය දිනවල ලංකාව, චීනය මුල් කරගෙන ගෙනගිය විදේහ ප්‍රතිපත්තියය. ඉන්දීය විරෝධය මැද මේ වන විට ලංකාව චීන ආරක්ෂක නැවකට ලංකාවට ඇතුළු වීමට අවසර ලබදී ඇති අතර, ජනාධිපතිවරයා ඔක්තෝබර් මාසයේදී චීන සංචාරයක නිරත වීමටද නියමිතය. ඒ අනුව ඉන්දියාව අනුමාන කර සිටින්නේ ජනාධිපතිවරයා අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාවට වඩා රාජපක්ෂවරුන් මෙන්ම චීන හිතවාදී පිළිවෙතක් අනුගමනය කිරීමට තීරණය කොට ඇති බව විය යුතුය. මේ නිසා අතීතයේදී චීන හිතවාදී පිළිවෙතක් අනුගමනය කළ මහින්ද රාජපක්ෂ රජයට මෙන්ම ගෝඨාභය රාජපක්ෂ රජයටත් දැක්වූ ප්‍රතිචාරයම ඉන්දියාව විසින් වත්මන් ආණ්ඩුවටද දක්වනු ඇති බව බොහෝ දෙනාගේ අනුමානය වී තිබේ.
ඔත්තෝබර් කරගන්න බැරි වෙන ලකුණු!
අනෙක් අතට මේ වන විට අවස්ථා කිහිපයකදීම පැරිස් සමාජය, ඉන්දියාව සහ ජපානය ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය (ෆෝමියුලා) ලබාදෙන ලෙස ඉල්ලා තිබුණත් තවමත් ආණ්ඩුව පැත්තෙන් එය ලබාදීමට කටයුතු කොට නැත. ඇතැමුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව මෙම ක්‍රමවේදය ලබාදීමට කටයුතු කළේ නම් දැනටමත් ආයෝජන අවස්ථා රැසක් ලබාගැනීමට ලංකාවට හැකියාව ලැබෙනු ඇති බවකි. නමුත් තවමත් එවැනි වැඩපිළිවෙළක් දියත්ව නොමැති වීම හේතුකොටගෙන ජාත්‍යන්තර දේශපාලනය ගැන දන්නා බොහෝ දෙනා කියා සිටින්නේ මෙම තත්ත්වය යටතේ ඔක්තෝබර් මාසයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කරගැනීමට නොහැකි තත්ත්වයක් ආණ්ඩුවට මතුවනු ඇතැයි කියාය.
නැව හම්බන්තොටට එනවා!
අනෙක් පැත්තෙන් චීන නැවේ ප්‍රශ්නයද මෙ වන විට ලංකාව හා ඉන්දියාව අතර පමණක් නොව, ජාත්‍යන්තරයටම බලපාන ප්‍රශ්නයක් බවට පෙරළෙන ලකුණු මේ වන විට පහළ කොට තිබේ. මෙකී අර්බූදය නිසා මෙම නැව චීනයට 100%ක්ම අයිතිය හිමි හම්බන්තොට වරායට ඇතුළු වීම වළක්වා එය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සීමා කිරීමේ උත්සාහයක් පසුගිය දින කිහිපයේ විවිධ පාර්ශ්වවලින් දියත් වන ආකාරයක් දැකගත හැකි විය. නමුත් අපට ඇති තොරතුරුවලට අනුව නම් කියවෙන්නේ නාරා ආයතනය සහ අනෙකුත් ආයතනවලින් දැනටමත් එම නැවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලබාදී තිබීම නිසා එම නැව කොළඹ වරායට ගෙන ඒම සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුව ඇති බවය.
වාරිකය කල් යයිද?
කෙසේ වෙතත් මේ වන විට බොහෝ දෙනාට මතුව ඇති ප්‍රශ්නයක් වන්නේ චීනය සමග මේ ආකාරයෙන් ගනුදෙනු කිරීමට ගොස් ආණ්ඩු බිඳගත් ආසන්නතම උදාහරණ ගණනාවක් පැවැතියදී යළි යළිත් එවැනි ගැටලු ඇතිකර ගැනීමට වත්මන් ආණ්ඩුවද කටයුතු කරන්නේ මන්ද යැයි කියාය. බොහෝ දෙනා කියන්නේ ජනාධිපතිවරයා මෙවැනි තීන්දුවක් ගෙන ඇත්තේ ලබන ඔක්තෝබරයේ සිදුකිරීමට නියමිත ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී විශාල සහනයක් චීනයෙන් ලබාගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින නිසා යැයි කියාය. නමුත් එහි ඇති භයානක තත්ත්වය වන්නේ යම් හෙයකින් මෙම ගැටලු මුල්කොට ගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ඔක්තෝබර් මාසයේදී සාර්ථකව අවසන් කරගැනීමට ලංකාවට නොහැකි වුවහොත් එම කරුණ මුල්කොට ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ගිවිසුමෙන් ඉවත් නොවී දෙවැනි වාරිකය ලංකාවට ලබාදීම කල්දැමීමේ අවදානමක් මතුව තිබීමය. එසේ මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය ලංකාවට ලබාදීම පමා කිරීමට තීන්දු කළහොත් එය නියත වශයෙන්ම ලංකාවේ ආර්ථිකය මුල්කරගෙන එල්ල වුණු ප්‍රබල ප්‍රහාරයක් වනු නොඅනුමානය. මන්ද යත් ලංකාවට මෙම කටයුතු සාර්ථක කරගැනීමට නොහැකි බවට ඒ හරහා ලෝකයට පණිවුඩයක් යෑම ඊට හේතුවය.
පෝර්ට් සිටියත් චීනයට?
මීට අමතරව සිය චීන සංචාරයට ප්‍රථම ජනාධිපතිවරයා පසුගිය සතියේදී පෝර්ට් සිටිය භාරව සිටින දිනේෂ් වීරක්කොඩි මහතා හට උපදෙස් ලබාදී ඇත්තේ පෝර්ට් සිටියට චීන ආයෝජන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන ලෙසය. ඒ හරහා ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව වී ඇත්තේ පෝර්ට් සිටිය සංවර්ධනය කිරීමේ වැඩි කොටසක් චීනයට ලබාදී ලංකාවේ ආර්ථිකයට චීනයෙන් විශාල තල්ලුවක් ලබාගැනීමටය.
චීනය වෙනම කණ්ඩායමක් එවයි!
මේ සියල්ල අතරවාරයේ මීට සති කිහිපයකට ඉහතදී චීනයද විශේෂ කණ්ඩායමක් ලංකාවට ගෙන්වා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට පියවර ගෙන තිබිණ. සාමාන්‍යයෙන් චීන තානාපති කාර්යාලය හරහා ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් චීනය නිතරම වාර්තා ලබාගත්තද මෙම විශේෂ පර්යේෂණ කණ්ඩායම ලංකාවට එවීම හරහා චීන රජය බලාපොරොත්තු වී ඇත්තේ ඉදිරි කාලයේදී ලංකාවේ විය හැකි දේශපාලන විපර්යාස මොනවාද, ඉදිරියේදී ලංකාවේ කුමන තත්ත්වයක් මතුවිය හැකිද යන්න සම්බන්ධයෙන් නියම තත්ත්වය දැනගැනීමය. ලංකාව සම්බන්ධයෙන් චීනය තීන්දු තීරණ ගැනීමේදී මෙම විශේෂ විමර්ශන කණ්ඩායම ලබාදෙන වාර්තාව සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුකිරීමට නියමිත බවක්ද දැනගන්නට ඇත.
ඉන්දියාවෙන් ප්‍රබලයෙක්!
චීනය හා ලංකාව අතර මේ ආකාරයේ ගනුදෙනුවක් සිදුවෙමින් පවතිද්දී ඉන්දිය රජයේ අතිවිශේෂ අමුත්තකුද ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාවට පැමිණීමට නියමිතය. ඒ, වෙන කවුරුවත් නොව ඉන්දීය රජයේ තෙවැනි ඉහළම නියෝජිතයා වන ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාය. රාජ්නාත් සැලකෙන්නේ ඉන්දීය රජයේ අගමැතිවරයා වූ නරේන්ද්‍ර මෝදිට පසුව ආණ්ඩුවේ සිටින ප්‍රබලතම චරිතය ලෙසය. එමෙන්ම ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයකු මෑත කාලයේ ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව ලෙසද මෙය සැලකිය හැකිය.
පසුබිම මෙහෙමයි!
රාජ්නාත් සිං මහතාගේ ලංකා ගමන සිදුවන්නේ චීනය සහ ඉන්දියාව අතර බරපතළ අර්බුදයක් මතුවෙමින් පවතින වාතාවරණයක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ලංකාවේ කච්චතිව් දූපත සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකළ පසුබිමක වීම තවත් විශේෂ සිදුවීමකි. මෝදිට අමතරව තමිල්නාඩු මහ ඇමැතිවරයා වන එම්.කේ. ස්ටාලින්ද පසුගිය සතියේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කච්චතිව් දූපත වහාම ඉන්දියාවට පවරා ගැනීමට කටයුතු කළ යුතු යැයි කියාය. එමෙන්ම උතුරේ දෙමළ නායකයන්ද පසුගිය කාලය පුරාම දිගට හරහට ඉන්දීය අගමැතිවරයාට ලිපි යොමුකරමින් කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඉන්දියාව ලංකා ආණ්ඩුවට දැඩි බලපෑමක් කළ යුතු යැයි කියාය.
එන්නේ හලෝ කියන්නද?
කෙසේ වෙතත් ඉන්දීය දේශපාලනය පිළිබඳ දන්නා බොහෝ දෙනා කියන්නේ රාජ්නාත් මෙසේ ලංකාවට එන්නේ ‘හලෝ කොහොමද? අපෙන් මොනවද කෙරෙන්න ඕනෙ..?’ යනුවෙන් අසන්නට නොවේ යැයි කියාය. එමෙන්ම ඇතැම් මාධ්‍ය වාර්තා පළකොට තිබුණේ ලංකාවට පැමිණෙන රාජ්නාත් ත්‍රිකුණාමල ප්‍රදේශයේ සංචාරයක නිරත වීමටද සැලසුම් කොට ඇති බවකි. එමෙන්ම ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙස ආණ්ඩුව රාජ්නාත්ගෙන් ඉල්ලීමක්ද කොට ඇති බවකි. ඒ කොයි හැටි වෙතත් අපට ඇති ආරංචිවලට අනුව නම් කියැවෙන්නේ රාජ්නාත් මෙසේ ලංකාවට එන්නේ ත්‍රිකුණාමලය බලන්නවත්, ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් ආණ්ඩුව ඉන්දියාවට ලබාදීමට යන දේවත් බලන්න නොව, උතුරු නැගෙනහිර ප්‍රදේශවලට අදාළව ඉතා බරපතළ දේශපාලන පණිවුඩයක් ආණ්ඩුවට ලබාදීමට යැයි කියාය. එසේත් නොමැති නම් වහාම උතුර නැගෙනහිර පළාත්වලට අදාළව පළාත් සභා මැතිවරණය පවත්වන්නට යැයි කියාය. මීට අමතරව නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ලංකාවට පැමිණීමට අවසර ලබාදී ඇතැයි කියන චීන නැව සම්බන්ධයෙන්ද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී ප්‍රබල පණිවුඩයක් ආණ්ඩුවට ලබාදීමට නියමිතව ඇති බවකි.
ඉන්දීය යුද නැවකුත් කලින්ම එව්වා!
ඒ අනුව රාජ්නාත්ගේ කොළඹ සංචාරය තහවුරු කරමින් ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් වන ‘INS Delhi’ සිකුරාදා පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වී තිබිණ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. දිගින් මීටර් එකසිය හැට තුනයි දශම දෙකක් (163.2) හා නැව් මුළුව හාරසිය පනහක (450) ගෙන් සමත්විත වන නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් අභිෂේක් කුමාර් (Captain Abhishek Kumar) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර, නිල හමුවක් ද සිකුරාදා උදෑසන බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි. රාජ්නාත්ගේ ලංකා සංචාරය අවසන් වීමත් සමගම මෙම යුද නැවද ඉරිදා දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබිණ.
අවසන් මොහොතේ කැන්සල් කරයි!
නමුත් සියල්ල එසේ සිදුවද්දී සිකුරාදා රාත්‍රියේ හදිසියේම ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයකින් කියවුණේ රාජ්නාත්ගේ ලංකා සංචාරය දින නියමයකින් තොරව කල් දැමූ බවකි. ඊට කිසිදු හේතු සැපයීමක් ආරක්ෂක අමාත්‍යංශය මගින් කර නොතිබීමද විශේෂ සිදුවීමකි.
ඩලස් ජවිපෙට ගියේ ඇයි!
ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විවිධ දේශපාලන සන්ධාන සහ පෙරමුණු නිර්මාණය කිරීම සඳහා දේශපාලන පක්ෂ අතර ආරම්භ වී තිබූ සාකච්ඡා පිළිබඳ අප අවස්ථා කිහිපයකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ විපක්ෂයේ පුළුල්තම දේශපාලන සන්ධානය ලෙස සජබය ප්‍රමුඛ විපක්ෂය දේශපාලන පක්ෂ අතර සාකච්ඡා වට ගණනාවක් පැවැති බවත්, ඒවා මේ වන විට අවසන් අදියර දක්වා පැමිණ ඇති බවත්ය. විශේෂයෙන්ම සජබය හා ඩලස් පිල අතර සාකච්ඡා අවසන් අදියරේ ඇති බව අප අනාවරණ කර සිටියෙමු.
කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් පවතිද්දී ඩලස් පිල හදිසියේම විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග වෙනම සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව ඩලස්ලා මුලින් ශ්‍රීලනිපයත්, විමල්, ගම්මන්පිල පාරශ්වයත්, කොමියුනිස්ට් පක්ෂයත් මුණගැසී සාකච්ඡා කළ අතර එහිදී ඩලස් මාධ්‍ය හමුවේ කියා සිටියේ පොදු ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීම සඳහා මෙසේ සාකච්ඡා ආරම්භ කළ බවකි. එමෙන්ම ඩලස්ලා, ජවිපෙ සමග පසුගිය සතියේ සාකච්ඡා වටයක් පැවැත්වීමටද පියවර ගෙන තිබිණි.
පොදු අපේක්ෂකයා වෙයිද?
මෙහිදී පොදු ප්‍රතිපත්තියක් සකස් කරගැනීම යන මාතෘකාව එළියේ කීවද මෙම සාකච්ඡා පසුපස තවත් යම් අරමුණක් තිබිණි. ඒ, ඉදිරි ජනාධිපතිවරණයට ජවිපෙන් අනුර කුමාර දිසානායක මහතා තරග නොවදිනු ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිර ගොස් තිබීමය. මෙම ජනාධිපතිවරණයේදී අනුර පරාජයට පත්වුවහොත් එය ඊළඟ මහ මැතිවරණය කෙරෙහි අහිතකර ලෙස ජවිපෙට බලපානු ඇති බැවින් අනුර තරග නොකර පොදු අපේක්ෂකයකුට සහාය දැක්වීමට ඉඩ ඇති බව එම රාවයෙන් තවදුරටත් කියැවුණු අතර ඩලස්ලාගේ සාකච්ඡාවල අරමුණ වී තිබුණේ ජවිපෙත්, විපක්ෂයේ අනෙක් පක්ෂවලත් සහාය ගෙන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඩලස්ට ඉදිරිපත් වීමේ හැකියාවක් ඇද්ද යන්න සොයා බැලීමය.
සජබය කඩන සැලසුම!
අනෙක් අතට සජබය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ අතර සන්ධානයක් ගොඩනැගුණහොත් එය ජවිපෙටත් විශාල ප්‍රශ්නයක් වීමේ ඉඩකඩ ඇති නිසා ඩලස්ලා ඉල්ලා සිටි සාකච්ඡාව ලබාදී එම සන්ධානය අවුල් කර දැමීම ජවිපෙද උපායමාර්ගය විය.
ජවිපෙට දැඩි ප්‍රහාරයක්!
නමුත් ප්‍රශ්නය පැනනැගුණේ මෙම සාකච්ඡාවෙන් පසු ජවිපෙ ඉලක්ක කරනෙ සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල වීම ආරම්භ වීමත් සමගය. සාමාන්‍යයෙන් ජවිපෙ ප්‍රබලව සිය සන්නිවේදන කටයුතු මෙන්ම ප්‍රචාරණ කටයුතු සිදුකරනු ලබන්නේද සමාජ මාධ්‍ය ඔස්සේය. එම නිසා සමාජ මාධ්‍ය ඔස්සේ ඩලස්, ඩිලාන්, චරිත හේරත් වැනි දේශපාලන චරිත සමග ජවිපෙ සාකච්ඡා කිරීමෙන් පසු පසුගිය කාලයේ පැවැති සෑම ආණ්ඩුවකදීම ඇමැතිකම් සහ ආණ්ඩුවේ තනතුරු දරා රට මේ තැනට ඇදදැමූ පුද්ගලයන් සමග සාකච්ඡා කිරීමට පියවර ගත් බව කියමින් විශාල ප්‍රහාරයක් ජවිපෙට සමාජ මාධ්‍යයෙන් එල්ල වන්නට විය. මේ ප්‍රහාරය කෙතරම් දරුණු වූවාද කියනවා නම් සමාජ මාධ්‍යවල හයියෙන් සිය ප්‍රචාරණ ව්‍යාපෘති සිදුකරන ජවිපෙට එය ඔරොත්තු දුන්නේ නැත. ඒ අනුව ඩලස්ලා සමග සාකච්ඡා කිරීම පක්ෂයට අහිතකර ලෙස බලපා ඇති බව වටහා ගැනීමට ඔවුන්ට වැඩි වේලාවක් ගතවූයේ නැත. ඒ අනුව ජවිපෙද මුල් වටයේදී ඩලස්ලා සමග සන්ධානගත නොවන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරයක් ගෙන ගියද එය සාර්ථක වූ බවක් දැනගන්නට ලැබුණේ නැත.
අනුර ඩලස්ලාව නෝන්ඩි කර දමයි!
කෙසේ වෙතත් පසුගිය සඳුදා දිනයේදී අනුර කුමාර හිරු සලකුණ වැඩසටහනට ආවේ මෙවැනි පසුබිමක් මැදය. ඒ වන විට අනුර-ඩලස් සන්ධානය පිළිබඳවත්, ඩලස් පොදු අපේක්ෂකයා කිරීම පිළිබඳවත් සමාජ මාධ්‍ය ජාලවල දැඩිව කතාබහ වී තිබීම නිසා මාධ්‍යවේදීන්ද මේ පිළිබඳ අනුරගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී අනුර කොතරම් කලබල වූවාද කියනවා නම් ඉරිදා දිනයේදී පක්ෂයේ හදිසි විධායක සභාවක් කැඳවා තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ බව කියා සිටියේය. එමෙන්ම එය සඳුදා දිනයේම නිල නිවේදනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට සූදානම් කොට ඇති බවද අනුර කියා සිටියේය. නමුත් අද වනතුරුත් එවැනි නිවේදනයක් ජවිපෙන් නිකුත් නොවීම විශේෂත්වයකි.
කිසිම සන්ධානයක් නෑ!
අනෙක් අතට ඩලස්ලා පිළිබඳ චමුදිත සමරවික්‍රම ඇතුළු මාධ්‍යවේදීන් අනුරගෙන් ප්‍රශ්න කරද්දී අනුර සමච්චලයට මෙන් කියා සිටියේ ඩලස් පිල සමග කිසිසේත්ම සන්ධානගත වන්නේ නැතැයි කියාය. සාකච්ඡා සඳහා තමන්ගෙන් ඩලස් පිල වෙලාවක් ඉල්ල ඉල්ලා ආ බවත්, එම නිසා සාකච්ඡාවක් ලබා දුන් බවත් කී අනුර, ඔවුන් සමග සන්ධාන වීමක් සිදු නොවන බව සිනාසෙමින් කියා සිටීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය.
ලාල්කාන්ත තහවුරු කරයි!
අනුරට අමතරව ලාල්කාන්තද පසුගිය සතියේ ජවිපෙ අපේක්ෂකයා හා ඩලස් පිල සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට පියවර ගත්තේය එහිදී ලාල්කාන්තද කියා සිටියේ ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර බවත්, මේ දිනවල සාකච්ඡා සඳහා විවිධ පාර්ශ්ව පැමිණෙන බවත්, ඔවුන් සමග සාකච්ඡා කරන්නේ ‘සතා’ කවුද කියා දැනගෙන බවත්ය.
විමල්ලා බෑ!
මේ අතර සජබය හා විපක්ෂයේ අනෙකුත් පක්ෂ අතර ගොඩනැගෙන සන්ධානයේ තවත් සාකච්ඡාවක් පසුගිය සතියේ පැවැත්විණි. ඊට සජබ නියෝජිතයන් සහ අනෙකුත් පක්ෂ නියෝජිතයන් වන මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, දිගම්බරම් එක්ව සිටියහ. එහිදී මේ තිදෙනාම සජබ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කොට සිටියේ ජාතිවාදී මත දරන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි කණ්ඩායම් මෙම සන්ධානයට එකතු කරගැනීමට සාකච්ඡා ආරම්භ කොට ඇති බවට රාවයක් යන බවත්, එහි සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්නත්ය. එහිදී සජබ ප්‍රධානීන් පැහැදිලිව ඔවුන්ට පෙන්වා දී තිබුණේ කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී කණ්ඩායමක් මෙම සන්ධානයට එකතු කර නොගන්නා බවත්, එවැනි කිසිදු සාකච්ඡාවක් ඔවුන් සමග පවත්වා නැති බවත්ය.
මහින්ද සතියක් ඇතුළේ!
මේ දිනවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගතකරන්නේ සක්‍රීය දේශපාලනයෙන් ඉවත්ව තරමක් විවේකී ජීවිතයකි. එසේ වූවා කියා මහින්ද පක්ෂයේ වැඩකටයුතුවලට සම්බන්ධ වී සිටින්නේ නැත. පසුගියදා නුවරඑළියේ පැවැති පොහොට්ටුවේ සුහද හමුවට හා ක්‍රිකට් තරගයට පවා සහභාගි වූ මහින්ද එහිදී අවුරුදු 18ක කොල්ලෙක් මෙන් පොහොට්ටු මන්ත්‍රීවරු සමග හරිහරියට ක්‍රිකට් ගැසීමටද පියවර ගත්තේය.
කෙළින්ම තංගල්ලට!
කෙසේ වෙතත් පසුගිය සතියේ මහින්ද සතියක් පමණ කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව සිටිමින් සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකරගැනීමට පියවර ගෙන තිබිණි. ඉකුත් අඟහරුවාදා දින රෝහලෙන් පිටවූ මහින්ද කෙළින්ම ගියේ තංගල්ලේ කාල්ටන් නිවෙස වෙතය. ඒ, බදාදා කාල්ටන් නිවෙසේ සිරිත් පරිදි පැවැති පෝදා ධර්ම දේශනා වැඩසටහනට සහභාගි වීම සඳහාය.
ගෝඨා ඊජිප්තු සවාරියක!
මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද අලුත් තොරතුරක් පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා විය. ඒ, ගෝඨා ඉදිරි සති කිහිපය ඇතුළත ඊජිප්තුවේ සංචාරය කිරීමට සැලසුම් කරගෙන සිටින බවය. ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ගෝඨා අවස්ථා දෙකකදී මේ අයුරින් විනෝද සංචාර සඳහා ඩුබායි රාජ්‍යයටත්, මියන්මාරයටත් ගොස් තිබිණි. මෙවර ගෝඨාගේ ගමනාන්තය වී ඇත්තේ ඊජිප්තුවය. සිය ඊජිප්තු සංචාරයේදී සුපිරි අත්දැකීමක් ලෙස සැලකෙන නයිල් ගඟ දිගේ ඇදෙන ‘නයිල් කෲස්’ චාරිකාවට එක්වීමටද ගෝඨා සැලසුම් කොට ඇති බව ආරංචිය.
සජිත්ගේ කට!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙතෙක් ලංකාවේ සිටි විපක්ෂ නායකවරුන් ලෙස නොව තමන්ටම ආවේණික වූ රටාවකට විපක්ෂ නායක ධුරයේ කටයුතු කරමින් ජනතා සුබසාධනය සහ ජනතාවගේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් වැඩි කාලයක් වැයකරමින් කටයුතු කරන්නකු ලෙස ප්‍රකටය. වෙනදා සිටි විපක්ෂ නායකවරුන් ආණ්ඩුව සමග ඩීල් දමාගෙන ආණ්ඩුවෙන් දෙන වරප්‍රසාද ගෙන සුපිරි ජීවිත ගතකළද වත්මන් විපක්ෂ නායකවරයා වන සජිත් එසේ නැත. සජිත් විපක්ෂ නායක ධුරය භාරගත් දිනයේ සිට සක්වල වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි පාසල්වලට බස් රථ, ස්මාර්ට් පන්ති කාමර, පරිගණක විi ාගාර ලබාදුන්නේය. හුස්ම වැඩසටහන යටතේ ග්‍රාමීය රෝහල්වලට වෛi උපකරණ, ඖෂධ ලබාදුන්නේය. එපමණක් නොව ගම්වල ඇවිදිද්දී විවිධ ජන කොටස් හා වෘත්තිකයන් මුහුණ දෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතාකොට ඒවාට ආණ්ඩුවේ අවධානය යොමුකරවීමට පියවර ගත්තේය. ඒවාට විසඳුම් ලබාදුන්නේය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ තමන්ට හිමි කාලයෙන් රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කතා කළේය. 27/2 යනුවෙන් වගන්තියක් ඇති බව රටේ ජනතාව දැනගත්තේද සජිත්ගේ මේ ප්‍රහ්න කිරීම මුල්කරගෙනය.
අහන්නේ ජනතා ප්‍රශ්න!
මේ තත්ත්වය ජනතාව අතර කොතරම් ප්‍රසිද්ධියට පත්වුණාද කියනවා නම් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් දිනපතා විපක්ෂ නායක කාර්යාලයට පැමිණ තමන්ගේ ප්‍රශ්න සජිත්ට ඉදිරිපත් කළේ එහි ප්‍රතිපලයක් ලෙසය. ඊට පන්ති භේදයක්, පක්ෂ භේදයක් නොවීය. ඉහළම ව්‍යාපාරිකයන්ගේ සිට වෛiවරු, ඉංජිනේරුවරු මෙන්ම ගොවීන්, ධීවරයන්, වතු කම්කරුවන්, ගුරුවරුන්ද විපක්ෂ නායක කාර්යාලයට පැමිණ මෙසේ සිය ප්‍රශ්න ඉදිරිපත් කරන අතර, සජිත් ඒවා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අවධානයට යොමු කිරීමට කටයුතු කරයි. ආරම්භයේදී ආණ්ඩුවේ ඇතැමුන් මෙය හාස්‍යයට ලක්කර සිනාසුණද සිය ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කිරීම හේතුවෙන් ඒ ඒ ක්ෂේත්‍රවල නියෝජිතයන්ගෙන් සජිත්ට විශාල ප්‍රසාදයක් හිමිවූ ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් මේ තත්ත්වය ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ට නම් එතරම් දිරෙව්වේ නැත. මේ නිසා පසුගිය සතියේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් ගොස් ජනාධිපතිවරයාට පැමිණිලි කරමින් කියා සිටියේ සජිත් උදේ වරුවේ පාර්ලිමේන්ුවේ 27/2 ස්ථාවර නියෝග යටතේ වැඩකට නැති කතා කියමින් කාලය කාදමන බවය. ඊට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසද පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. මේ බව ඊට පසු දින ආණ්ඩුවේ පුවත්පත් දෙකක් මෙන්ම ආණ්ඩුවට හිතවත් තවත් පුවත්පතක්ද වාර්තා කිරීමට පියවර ගෙන තිබිණි
සජිත්ගේ උත්තරේ!
ඒ අනුව පසුගිය අඟහරුවාදා මේ පුවත දුටු සජිත් එදින ගම්පහ මිනුවන්ගොඩ රෙජී රණතුංග විiාලයට බස් පරිත්‍යාග කිරීමේ උත්සවයේදී ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය. එහිදී සජිත් කියා සිටියේ ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කරන වැඩපිළිවෙළ ආණ්ඩුවට හිසරදයක් වී ඇති බවත්, එම නිසා ජනතා ප්‍රශ්න කතා කිරීම නැවැත්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවත්ය. නමුත් තමාගේ කටවැසීමට කිසිවකුටත් නොහැකි බවත්, ඉදිරියේදීද ජනතා ප්‍රශ්න කතා කරමින් ඒවාට ආණ්ඩුවේ අවධානය යොමු කරවීමට කටයුතු කරන බවත් සජිත් කියා සිටියේය.
මීට පෙරත් කළා!
මේ ආකාරයට ආණ්ඩුව සජිත්ගේ කට වහන්නට උත්සාහ කළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය සම්මත කරගැනීමට පෙර රාජ්‍ය මුදල් කමිටුවට ඉදිරිපත් වූ අවස්ථාවේද ආණ්ඩුව මේ අයුරින්ම සජිත්ගේ කට වැසීමට කටයුතු කොට තිබිණි. එදින සජිත් මුදල් කමිටුවේ අසුන් ගනිද්දී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කොන්දේසියක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සජිත් මුදල් කමිටුවේ අසුන් ගත්තද එහි අදහස් දැක්වීමට සජිත්ට ඉඩ දිය යුතු නැති බවකි. ඊට විපක්ෂයේ මන්ත්‍රීවරු විරුද්ධ වීම නිසා අවසානයේදී මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතා ඊට ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය කොට තිබිණි. මුදල් කමිටුවේ බහුතරය ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වීම හේතුවෙන් මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබඳ මුදල් කමිටුවේදී ප්‍රශ්න කිරීම වළක්වාලමින් සජිත්ගේ කට වසාතැබීමට ආණ්ඩුවට එදා හැකියාව ලැබී තිබිණි. නමුත් මෙවර පාර්ලිමේන්තුවේදී සජිත්ගේ කට වසාදැමීමට ආණ්ඩුවට හැකි වනු ඇද්දැයි සැක සහිතය.
මගුලට කව්රුත් නෑ!
මීට මාස කිහිපයකට ඉහතදී අප මෙම තීරය ඔස්සේ විශේෂ හෙළිදරව්වක් කරමින් ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම දේශපාලනයටද සම්බන්ධ ප්‍රකට පුද්ගලයකු වන ප්‍රකාශ් නායර් නමැත්තකු ලංකාවට පැමිණ ජනාධිපතිවරයාත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාපජක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු දෙනාත්, ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූ පුද්ගලයන් කිහිප දෙනකුත් හමුවී ගිය බව සඳහන් කර සිටියෙමු. මෙසේ ප්‍රකාශ නායර් පැමිණියේ සිය දියණියගේ මංගල උත්සවය සඳහා මේ සියලු දෙනාටම ආරාධනා කිරීමට බවත්, විවාහය ඉන්දියාවේ කොචින්හි පිහිටි අතිසුඛෝපභෝගී ෂෙරටන් හෝටලයේ පැවැත්වෙන බවත් කී අප, විවාහය පැවැත්වෙන දිනයේ එම හෝටලයේ සියලු කාමර ආරාධිත අමුත්තන් වෙනුවෙන් කල් තියාම වෙන් කිරීමට කටයුතු කොට ඇති බවත් සඳහන් කර සිටියෙමු. එමෙන්ම විවාහයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු මධ්‍යම රජයේ ප්‍රබල ඇමැතිවරුන් ගණනාවකටම ආරාධනා කොට ඇති බවද අප එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නෙමු.
තොණ්ඩමන් ගිහින්!
කෙසේ වෙතත් පසුගිය සතියේ මෙම විවාහ මංගල උත්සවය ෂෙරටන් හෝටලයේ පැවැතියද ඊට රනිල් – මහින්ද – ගෝඨා – බැසිල් යන කිසිවකුත් සහභාගි වී නොසිටීම විශේෂ සිදුවීමක් විය. මීට අමතරව ඉන්දීය අගමැති මෝදි හෝ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු කිසිවකුගේ මුහුණු එහිදී දැකගන්නට නොලැබිණි. ලංකාවෙන් ඊට සහභාගි වී තිබුණේ අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් සහ තවත් ප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනකු පමණි.
චන්ග්ට ප්‍රශ්නයක්!
මීට දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නියඟයෙන් වතුර නැතිව සිටි යාල කැලේ සතුන්ට වතුර ලබාදෙන ඡායාරූප කිහිපයක් මාධ්‍යයේ පළවිය. ඒ අනුව ජනාධිපතිවරයා සමග තානාපතිවරිය යාල කැලේ සතුන් බලන්නට ගොස් ඇති බව සිතා බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාලවල චන්ග්ට එරෙහිව අදහස් පළකර තිබූ ආකාරයක් දැකන්නට ලැබිණි. මෙම අදහස් දැක්වීම කෙතරම් දරුණුවට ගියාද කියනවා නම් එදින සමාජ මාධ්‍ය ජාල පිරී තිබුණේ චන්ග්ගේ යාල ගමන සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් දැක්වූ අදහස්වලිනි.
දීපු උත්තරේ!
ඒ අනුව අවසානයේදී යාල ගමනේදී ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට චන්ග් සිය ට්විටර් ගිණුමේ විශේෂ පණිවුඩයක් තැබීමට කටයුතු කළාය. එහිදී ඇය සඳහන් කර තිබුණේ තමන් යාල ගියේ ඇමෙරිකානු දැවැන්ත සමාගමක් වන හිල්ටන් හෝටල් ජාලය විසින් යාල ප්‍රදේශයේ ඉදිකළ නවතම හිල්ටන් හෝටලය විවෘත කිරීමේ කටයුතුවලට සහභාගි වීමට යැයි කියාය. එහිදී ජනාධිපතිවරයා සමග යාල ප්‍රදේශයේ සංචාරය කිරීමට තමන්ට අවස්ථාව ලැබුණු බවද ඇය සඳහන් කර තිබිණි.