බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය අර්බුදයකට ඇද දමමින්, එරට මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ සෞඛ්‍ය අමාත්‍ය (සෞඛ්‍ය ලේකම්) සජීද් ජාවඩ් ඉල්ලා අස්වූහ.
රිෂී සුනාක්, අග්‍රාමාත්‍ය ජොන්සන්ට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් වී ඇත්තේ, රජයෙන් ඉවත් වීමට ලැබීම කනගාටුවක් බවත්, පවතින වාතාවරණය යටතේ තමන්ට තව දුරටත් තම ධුරයේ රැඳී සිටිය නොහැකි බවත්ය.
‘දක්ෂ සහ ශක්තිමත් මෙන්ම විශ්වාසවන්ත රජයක් ජනතාව අපේක්ෂා කරනවා. ඒත් එවැනි රජයක් පවතිනවා යැයි මට පෙනෙන්නේ නැහැ. මා ධුරයෙන් ඉවත් වෙනවා. මෙය මා අමාත්‍ය ධුරයක් හෙබවූ අවසන් අවස්ථාව වන්න පුළුවනි. සිතට එකඟව මට මගේ ධුරයේ රැඳී සිටින්න බැහැ’ යනුවෙන් ද රිෂී සුනාක් අග්‍රාමාත්‍ය ජොන්සන්ට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් වී ඇත.
මුදල් අමාත්‍ය රිෂී සුනාක් සහ සෞඛ්‍ය අමාත්‍ය සජීද් ජාවඩ් ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කෙරෙහි ඔවුන් තුළ ඇති වුණු අප්‍රසාදය වර්ධනය වීම හේතුවෙන් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පැහැදිලි කර තිබේ.
‘ඔබ කෙරෙහි මා තැබූ විශ්වාසය නැතිවුණා. ඔබගේ නායකත්වය යටතේ තව දුරටත් වෙනසක් අපේක්ෂා කළත්, එසේ වෙනසක් නොවන බව පැහැදිලියි. ඒ ගැන පවසන්න සිදුවීම කනගාටුවක්. මා ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ නිසයි.’ යැයි සෞඛ්‍ය අමාත්‍ය සජීද් ජාවඩ්, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් වී ඇත.
(ඒ.එෆ්.පී.)










