.
මේ පාපන්දු වසන්තය. මුළු ලෝකෙම එක බෝලයක් දිහා බලාගෙන ඉන්නවා. රටවල් දෙකක් හැමදාම මේ බෝලය ගෝල් එකට ගහන්න තරග කරනවා. මේ තරගයෙන් අනතුරුව මුළු ලෝකෙම දිනන එක කණ්ඩායමක් අපි අඳුරගන්නවා. මුළු ලෝකෙම එකතුවෙලා ඒ මිනිස්සුන්ට අත්පුඩි ගහනවා. බිලියන හතරක්, ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් හරි අඩක්, පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරගය නරඹනවා. Sri Lanka Latest News
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල රටවල් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒකෙන් විවිධාකාරයෙන් තෝරාගත්තු රටවල් හතළිස්අටක් දැන් ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව කියන රටවල් තුනේ කඳවුරු බැඳලා ඉන්නේ. ඒගොල්ලෝ එක කුසලානයක් වෙනුවෙන් විශාල තරගකාරීත්වයක නිරත වෙලා ඉන්නවා.
අපේ කණ්ඩායමක් ලෝක කුසලානෙට ගිහිල්ලා නැතිවුණත්, යන බවක් මෑත ඉතිහාසයක පේන්න නැතිවුණත්, අපිත් ඒගොල්ලොත් එක්ක එකතුවෙලා මේ ලෝක කුසලානය දිහා ඇස් කන් ඇරගෙන බලාගෙන ඉන්නවා. ලෝක කුසලාන තරග තියෙන්නේ මැදියම් රාත්‍රියේ, ඒත් ශ්‍රී ලාංකිකයෝ පවා මේ මැදියම් රැයේ අවදියෙන් ඉන්නවා ලෝක කුසලාන ජයග්‍රහණයන් දෙස බලා ඉන්න. ලෝක කුසලානයේ විවිධ විශේෂ සිදුවීම් තියෙනවා. විශේෂයෙන්ම ඇමෙරිකාව සමග යුද්ධයකට පැටලිච්ච ඉරානය, ඇමෙරිකාවේ පිට්ටනිවල ඉරානය වෙනුවෙන් තරග කරන එක.
මේ සියල්ල ඉක්මවා යන අතිවිශේෂ තරගයක් අපි දැක්කා. ඒ තරගය ගැන අපිට කතා කරන්න හිතුණේ එක්තරා හේතුවක් හින්දා. ඒ හේතුවත් මම ඔබට ඊළඟට කියන්නම්. ඊට කලින් අපි මේ කතාව අහලා ඉමු.
ස්පාඤ්ඤය සහ තවත් රටක් පහුගිය දවසක පාපන්දු ලෝක කුසලානය සඳහා තරග වැදුණා. ස්පාඤ්ඤය කියලා කියන්නේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ හැකි සියලු දක්ෂතා ඇති ක්‍රීඩකයන් ඉන්න රටක්. ලෝක කුසලානය ආරම්භයේදී ස්පාඤ්ඤය ඉන්නේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ. ඔවුන්ට ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් නැතිවයි ඔවුන් මේ තරගයට ආවේ.
ස්පාඤ්ඤයත් එක්ක තරග කරපු රට මොකක්ද කියන එක අපි කවුරුත් දැනගෙන හිටියේ නැහැ. හොඳටම ඉංග්‍රීසි දන්න කෙනෙකුට වුණත් ඒ රටේ නම කියවාගන්නත් බැහැ. රටක නමක් කියවාගන්න අසීරු වෙන්නේ ඒ රට අපි කවදාවත් අහලා නැති රටක් වුණාම. මම විශ්වාස කරනවා ලෝකේ බිලියන අටකට වැඩි ජනගහනයක් ඉන්නකොට මේ බිලියන හතකටත් වැඩි ප්‍රමාණයක් මේ රටේ නම ජීවිතේ පළවෙනි වතාවට අහන්නේ මේ පාපන්දු ලෝක කුසලානය නිසාවෙන්. අප්‍රිකාවේ ඉන්න ඇතැම් රටවල්වල ඉන්න අය සහ ඒ රටේ ඉන්න පන් ලක්ෂ තිස්දාහකට අධික ජනගහනය විතරයි මේ රටේ නම හරියට දැනගෙන ඉන්න ඇත්තේ. ඒ තරමටම අප්‍රකට කුඩා රාජ්‍යයක්. ඔවුන් ආවේ පාපන්දු ලෝක කුසලානෙට පළවෙනි වතාවට. මම ඉස්සෙල්ලා කිව්වා වගේම රටේ ජනගහනය ලක්ෂ හයක්වත් නැහැ. අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් ප්‍රමාණයෙන් හතරෙන් එකකට සමාන ප්‍රමාණයක ජනගහනයක් තමයි මේ රටේ සමස්ත ජනගහනය. බාල මහලු සියලු දෙනාම. මේක දූපත් දහයකින් සමන්විත කුඩා රාජ්‍යයක්. අයිති අප්‍රිකාවට. මේ රටට පුළුවන් වෙනවා පාපන්දු ලෝක කුසලානෙට සුදුසුකම් ලබන්න. හැබැයි ඒගොල්ලෝ දන්නවා මේ භයානක ස්පාඤ්ඤය තමන්ව ගිලගන්නා බව. මුළු ලෝකයම දන්නවා මේ තරගය බලන්න දෙයක් නැහැ කියලා. මේක ඇත්තටම මහ ලොකු වැඩක් ඇති තරගයක් නෙවෙයි. හැමෝම හිතුවේ එහෙමයි.
මේ ගිනිකඳු පිරුණු රටෙන් ආපු, ලක්ෂ හයකටත් අඩු ජනගහනයක් ඉන්න රටෙන් ආපු, කවදාවත් පාපන්දු ලෝක කුසලානෙකට සහභාගි නොවුණු ක්‍රීඩකයොන්ට ස්පාඤ්ඤය වගේ විශිෂ්ටතම ක්‍රීඩකයෝ ඉන්න දක්ෂතම කණ්ඩායමක් එක්ක හැරෙන්නවත් බැරි බව අපිට විශ්වාසයි. අපි හිතුවේ ගෝල වහීි කියලා. හිතාගන්න බැරි විදිහට ගෝල සියයක් විතර එහෙන් ගහලා මෙහෙන් ගහලා 10 ට 1 කවත් 10 ට බින්දුවකවත් ජයක් ලබයි කියලා අපි හිතුවට, ඒක කරගන්න බැරුව යනවා. පාපන්දු ලෝකේ නිල් මෝරු කියලා හඳුන්වන මේ කණ්ඩායම ස්පාඤ්ඤයට එකම එක ගෝලයක්වත් ගන්න දෙන්නේ නැහැ.
තරගය පුරාම ඔවුන් ක්‍රීඩා කරන්නේ අතිශය ආරක්ෂිත ක්‍රීඩා රටාවක්. මේ ආරක්ෂිත ක්‍රීඩා රටාවේ බලමහිමයෙන් කිසිම විදිහකට ඔවුන්ට ගෝලයක් ලබාගන්න බැරිවෙනවා. මේ කණ්ඩායමේ හිටපු අවුරුදු 40ක් වයස බස් රියැදුරෙක් මේ තරගය සම්පූර්ණයෙන් උඩුයටිකුරු කරනවා. ඔවුන්ගේ ඉන්නවා අතිවිශිෂ්ට ගෝල් කීපර් කෙනෙක්. ඔහු කොච්චර දක්ෂද කියනවා නම් ඔහුට එල්ල කරපු භයානක පා පහරවල් හතක් අටක්ම ඔහු ජීවිතේ ගැන පවා නොහිතා පහසුවෙන්ම මැඬපවත්වනවා. අපි දකිනවා ඔහු ඕනෑම අවස්ථාවකදී පන්දුව එන දෙසට තමන්ගේ අවධානය යොමුකරන හැටි. අපිට පේනවා ඔහු ඕනෑම වෙලාවක බය නැතුව ඇවිල්ලා බෝලේ අල්ලගන්න හැටි. ඔහු වරක් තරගය මැදදී බරපතළ ආබාධයකට ලක්වෙනවා. ඒත් ඔහු පිටියෙන් ඉවතට යන්න හිතන්නේ නැහැ. ඔහු ඒත් පිට්ටනියේ රැඳී ඉන්නවා.
කතාව මේකයි. මුළු ලෝකයම නොදැන හිටපු පුංචි දූපත් රාජ්‍යයක් අද මුළු ලෝකයම දන්නවා. ලෝකෙම අවධානය කේප් වර්ඩ් (Cape Verde) වෙත යොමු වුණා. කේප් වර්ඩ් කියන රටක් මේ ලෝකේ දැනගත්තේ මේ පාපන්දු ලෝක කුසලාන තරගය අතරතුර මේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා නිසාවෙන්. මේ ආරක්ෂක ක්‍රීඩකයෝ එකාමෙන් සටන් කරපු නිසා තමන්ගේ රටේ නම ලෝකයට අරගෙන ගිහිල්ලා අද මුළු ලෝකයම දන්නා රටක් බවට පත්වෙනවා. කේප් වර්ඩ්වලින් ලෝකෙට ගිය මිනිස්සු තමන්ගේ රට කේප් වර්ඩ් කියනකොට ලෝකේ කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි අද කේප් වර්ඩ් මුළු ලෝකයම දන්නවා.
මේ කතාව කියද්දී මතක් වෙන්නේ 1996 මුළු ලෝකයම දැනගත්තු මෙවැනිම රාජ්‍යයක් හිටියා. ඒ තමයි ශ්‍රී ලංකාව. ලෝකේ නොදැන හිටපු රටක්, පුංචි දූපතක්. ඉන්දියාවටත් ඈතින් තිබුණු පුංචි තිතක්. මුළු ලෝකයම දැනගත්තේ 1996 ලෝක කුසලානෙත් එක්ක. අර්ජුන රණතුංග ප්‍රමුඛ කණ්ඩායම එදා කළෙත් මේ කේප් වර්ඩ් කණ්ඩායම කළා වගේම වැඩක්. එදා අපි ලෝක කුසලානය දිනුවා විතරක් නෙවෙයි, ලෝකේ කොහේ හරි තැනක ඉන්න ශ්‍රී ලාංකිකයෙකුට අභිමානයෙන් ඔයාගේ රට මොකක්ද කියලා ඇහුවට පස්සේ ශ්‍රී ලංකාව කියලා කියන්න පුළුවන් උත්තරයක් හදලා දුන්නා. ඒක හරිම ගෞරවනීය දෙයක්.
කේප් වර්ඩ්ලා කළෙත් ඒක. කේප් වර්ඩ් ටීම් එකට තිබුණේ එකමුතුකමක්, ශක්තියක්, අපේ කියලා හැඟීමක්, මගේ කියලා හැඟීමක්, දිනන්න ඕනේ කියලා හැඟීමක්. ඒ හැඟීම තියෙනවා නම් කවදාවත් කණ්ඩායමකට පරදින්න වෙන්නේ නැහැ. අපි දන්නවා කේප් වර්ඩ්ලාට තරග සටහනේ ජයග්‍රාහකයෙක් බවට පත්වෙන්න බැරුව ගියා. වින් (Win) කියන සංකේතය ඔවුන්ට ලැබුණේ නැහැ. ජයග්‍රාහකයෝ නෙමෙයි ඔවුන්. හැබැයි මතක තියාගන්න ඔවුන් පැරදුණේ නැහැ. යෝධයෙක් එක්ක සටන් කරපු ලිලිපුට්ටෙක්ට යෝධයාව නැගිටින්න නොදී අල්ලගෙන ඉන්න පුළුවන් කියන එකම ජයග්‍රහණයක්. ඒ නිසා අපි කේප් වර්ඩ් කණ්ඩායමට අපේ ගෞරවය සහ උත්තමාචාරය පුද කරනවා. අපි 96 කළෙත් මේ වගේ වැඩක් කියලා කියන ගමන් අපේ ටීම් එකටත් අපේ ගෞරවය සහ ආදරය පුද කරනවා.

ජීවන පහන් තිළිණ










