මෙරට වැසියන්ගෙන් 20%ක් දෙනා හෘදයාබාධයන්ට ගොදුරුවෙමින් සිටින බවත්, මෙම ප්‍රතිශතය බස්නාහිර පළාතේ 30% දක්වා වර්ධනය වී ඇති බවත්, කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ සඳහන් කළ බව ‘මව්රට’ නිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. ශ්‍රී ලංකාවේ වැඩිම පාඨක අවධානය දිනාගත් ප්‍රවෘත්ති වෙබ් අඩවිය ලෙස ‘මව්රට’ විසින් වාර්තා කළ මෙම ප්‍රවෘත්තිය සත්‍යයක් වන අතර, එම ප්‍රවෘත්තිය සම්බන්ධව අප සොයා බැලීමටද සූදානම් වුණෙමු. ‘මව්රට’ පුවත්පත ලෙස අප මේ සියල්ල හෙළිදරව් කරගැනීම සඳහා විවිධ වෛද්‍යවරුන් හා සාකච්ඡා කළ අතර, ඒ අය බොහෝ දෙනකුගේ නම්ගම් හෙළිකිරීමෙන් තොරව මේ පිළිබඳ තොරතුරු වාර්තා කරන්නට සූදානම් වූ නිසා අප මෙහිදී වෛද්‍යවරුන්ගේ අදහස්, මත පදනම්ව නමුත් වෛද්‍යවරුන්ගේ නම්ගම් සඳහන් කිරීමෙන් තොරව මෙම ලිපිය පළකිරීමට සූදානම් වෙමු.
සාමාන්‍යයෙන් හෘද රෝග සහ මානසික ආතතිය, නැත්නම් මානසික ප්‍රශ්න මේ කාලය තුළ ඇතිවිය හැකිද? මානසික ආතතිය වැඩිවීමෙන් රුධිර පීඩනය වැඩිවීම, රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම, එහෙමත් නැත්නම් බෝ නොවන රෝග වර්ධනය වීම මේ තත්ත්වය තුළ සිදුවිය හැක්කක්ද? ඒ පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක කාරණා කිහිපයක් ඔස්සේ මෙසේ සොයා බලන්නට අප සූදානම් වුණෙමු. සත්‍යය මෙයයි. අද අප ජීවත් වෙමින් සිටින්නේ මීට වසර 3කට හෝ 4කට පෙර අප පැතූ ලෝකයේ නොවේ. සමහර විට මීට වසර 20කට 30කට පෙර අප සිතූ ලෝකයේද නොවේ. මීට වසර 50කට 60කට පෙර අප 2022 යැයි සිතා උන්නේ රොබෝවරුන් අතින් සියලු දේ සිදුවන, සුඛෝපභෝගී යානවාහන සියල්ලන්ටම තිබෙන, සියලු පහසුකම්වලින් අනූන සුඛෝපභෝගී ජීවිත ගතකරනා මිනිසුන් ගැනය. කොළඹ නගරය අතිසුඛෝපභෝගී පුරවරයක් වෙතැයි අප සිතා සිටියෙමු. කිසි දිනෙක කොළඹ නගරයේ කොනක ජනාධිපතිවරයා පන්නා දමන්නට කූඩාරම් ගසාගත් මිනිසුන් දවස් ගනන් නොකා නොබී අවුවේ වැස්සේ සිටිනු ඇතැයි අප නොසිතුවෙමු. නමුත් අද උදාවී ඇත්තේ අප කිසි දිනෙක නොසිතූ නොවිරූ කාලකණ්ණි අත්දැකීමකටය. මේ ලියන මොහොත වන විට ලියුම්කරු ලෙස මමද, මෙය කියවන මොහොතේදී පුවත්පත කියවන පුද්ගලයා ලෙස ඔබද අප දෙදෙනාම එකසේ පීඩාවට පත්වූවන් වෙමු. ඔබේ නිවෙසටද මගේ නිවෙසටද ප්‍රශ්න තිබේ. ගෑස් සිලින්ඩරයක් සොයාගැනීමේදී මුදල් වියදම් වීම, මුදල් තිබුණද ගෑස් සිලින්ඩරයක් සොයාගැනීම, ගෑස් සිලින්ඩරයේ පාවිච්චි කිරීමේ කාලය අවසන් වූ පසු ඊළඟ සිලින්ඩරය සොයාගැනීම වැනි ප්‍රශ්නවලට අප පැටලී සිටින්නෙමු. මේවායින් ගැළවී යාහැකි දැයි අපට දැන් සිහිනයක් පමණි. තෙල් මිල වැඩිවීම එක් පසෙකින් සිදුවද්දී අනෙක් පසින් ෂෙඩ්වල තෙල් නැති වීම සිදුවේ. තෙල් පෝලිම් දිගුවෙද්දී පෝලිමේ අග සිටින අපට අසන්නට දකින්නට ලැබෙන්නේ තෙල් වැඩිවෙලා කියන ප්‍රවෘත්තියයි. රැයක් ගතවී එළිවෙද්දී යළිත් වරක් තෙල් මිල වැඩිවේදැයි හදවත ගැහෙමින් තිබේ.
බෝ නොවනා රෝග පමණක් නොව බෝවන රෝග පවා බරපතළ ලෙස පැතිර යෑමේ අවදානමක් තිබේ. හෙට දවස අවිනිශ්චිතය. කුමක් වේදැයි නොදනිමු. පිටි මිල ඉහළ යයි. සිමෙන්ති මිල ඉහළ යයි. හාල් මිල ඉහළ යයි. සීනි මිල ඉහළ යයි. පරිප්පු මිල ඉහළ යයි. කඩදාසි මිල ඉහළ යයි. ප්ලාස්ටික් මිල ඉහළ යයි. සබන් මිල ඉහළ යයි. මෙසේ නම්ගම් සඳහන් කරන්නට ගියෝතින් මිල ඉහළ යා නොහැකි කිසි දෙයක් නැත. මිල ඉහළ නොයන්නේ නම් වටිනාකම වැඩි නොවන්නේ නම් ඒ අපේ ජීවිතවල පමණි. එවන් තත්ත්වයක් යටතේ හෘදයාබාධ ඇතිවීමේ සම්භාවිතාව ගැන අමුතුවෙන් සිතන්නට දෙයක් නැත.
ජාත්‍යන්තර නිර්ණායකවලට අනුව හෘදයාබාධයක් ඇතිවීමට බලපාන සාධක මෙසේ හඳුනාගත හැකිය. රුධිර පීඩනය, දියවැඩියා, මේද අනුපාතය, ස්ථුලතාව, දුම් පානය, මානසික අසහනය, කායික වර්ධනය, ජන්ම ප්‍රවේණිය. මෙම හේතූන් අතරින් ජන්ම ප්‍රවේණිය නිසා ඇතිවූ රෝග වළක්වා ගැනීම දුෂ්කර නමුත් ඉහත දැක්වූ අනෙකුත් හේතූන් සියල්ල නිසා ඇතිවන රෝග වළක්වාගත හැකිය. මේ කාලය තුළ ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇත්තේ මානසික අසහනය, රුධිර පීඩනය වැනි කාරණා නිසා ඇතිවන හෘදයාබාධයි. එසේම මානසික අසහනය බරපතළ ලෙස බලපෑමෙන් මීට අමතරවද වෙනත් රෝග ඇතිවිය හැකි බව මේ පිළිබඳ කාරණා දන්නා අය සඳහන් කරන කාරණයකි. මෙසේ යම් රෝග ලක්ෂණයක් හදවතට බලපෑමෙන් හෘදයාබාධත්, මොළයට බලපෑමෙන් අංශභාගයත්, ඇස්වලට බලපෑමෙන් අන්ධභාවයත්, වකුගඩුවලට බලපෑමෙන් වකුගඩු අකර්මණ්‍ය වීමත් ඇතිවිය හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි.
සාමාන්‍යයෙන් සුළු කාර්යයක් නිසා ඇතිවන හතිය, කය මෙන්ම සිත වෙහෙසන විට පපුව මැද ඇතිවන වේදනාව, කරන කාර්යයට අනුකූල නොවන වේදනාව, වියළි කැස්ස, කකුල් ඉදිමීම, ඇස් ඉදිමීම, පපුවේ ගැස්ම, පපුවේ සිට වම් අත දිගේ ඇඟිලි තුඩු දක්වා පපුවේ සිට බෙල්ලේ වම් පැත්තේ ඉහළ පෙදෙස දක්වා ඉඳිකටු අනින්නාක් මෙන් දැනෙන වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, හදිසි ක්ලාන්ත ගතිය, කරකැවිල්ල, හෘද ස්පන්ධනය හේතුවකින් තොරව වේගවත් වීම, කිසිදු හේතුවක් නොමැතිව ඇදවැටීම හෘදයාබාධ ලක්ෂණ ලෙස වෛද්‍යවරු පවසති. මේ කාරණා අද ඇතිවිය හැකි වීමට හේතු ලෙස බරපතළ ලෙස බලපාන්නේ මානසික ආතතියයි. මානසික ආතතිය යනු නිවෙසට අවශ්‍ය බඩුමුට්ටු සොයාගැනීමට නොහැකි වීමෙන්, මුදල් හිඟකමින්, ජීවත් වීම පිළිබඳ ගැටලුවලින් බොහෝ විට වැඩිහිටියන් මේ මානසික ආතතියට පත්වේ. දරුවන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගත නොහැකි රාජ්‍යයක් තුළ වැඩිහිටියන්ට මානසික ආතතිය ඇතිවීම අමුතුවෙන් පැහැදිලි කළ යුතු කාරණාවක් නොවේ. මේ මානසික ආතතිය සඳහා එකිනෙක කරුණු දැක්වීමට අවශ්‍ය නැත. එය ඔබට හොඳින්ම පැහැදිලි වන බව විශ්වාසය. බඩු මිල ඉහළ ගොස්, බඩුමුට්ටු සොයාගත නොහැකි වී, නිවෙසේ සියලු කටයුතු අඩාළ වී ඇති දේශයක මිනිසුන්ට මානසික ආතතිය ඇතිවීම අවබෝධ නොවේ නම් එය ඊටත් වඩා ප්‍රශ්නයකි. මෙසේ මානසික ආතතිය ඇතිවූ විට එයින් වැළකීම සඳහා සාමාන්‍යයෙන් දියුණු දේශයන්හි මිනිසුන් සිය විවේකය විනෝදය ගතකිරීම හිත නිවෙන ස්ථානවලට සංචාරය කිරීම, මුහුදු වෙරළක් හෝ ගංදෑලක හැන්දෑව ගතකිරීම, විනෝද ගමන් යෑම වැනි උපක්‍රම භාවිත කරයි. නමුත් ශ්‍රී ලාංකිකයන්ට අද එය කිසි සේත්ම කළ නොහැකිය. ගමනක් බිමනක් යෑම සඳහා තෙල් නැත. තෙල් හොයාගත්තද ඊළඟ ඉන්ධන පිරවුම්හලේ කොතැන තෙල් තිබේදැයි යන්න ප්‍රශ්නයකි. තෙල් මිල ඉහළ යෑම ඊටත් වඩා ගැටලුවකි. සාමාන්‍යයෙන් දැන් ලංකාවේ සාමාන්‍ය දුරක් යෑමට රුපියල් 5,000ක තෙල් වැය නොවනා වාහනයක් ඇත්නම් එය එක්කෝ විදුලියෙන් ගමන් කරනා වාහනයකි. එසේ නොවේ නම් තෙල් වෙනුවට වෙනත් දෙයක් යොදා ධාවනය කරන වාහනයක් විය යුතුය. මේ ප්‍රශ්න සියල්ල හමුවේ හෘදයාබාධවලින් පමණක් බේරී ජීවත් වෙන්නට හැකි වෙනවා නම් එයත් වාසනාවකි. හෘදයාබාධ පමණක් වැලඳී බේරීමට හැකි නම් එයත් වාසනාවකි. මක්නිසාද යත් මේ මානසික ආතතිය දරා සිටීමට සිදුවීමෙන් බරපතළ ලෙස ශ්‍රී ලාංකිකයන් මානසික රෝගවලට ගොදුරු වීමේ අර්බුදයක් තිබේ. එහි හොඳම කොටස වන්නේ අද වන විට ශ්‍රී ලංකාව පාලනය කරන සමහර පාලකයන් බැලූ බැල්මටම මානසික ආතතතියකින් නැත්නම් මානසික රෝගයකින් පෙළෙන බව අපටද හඳුනාගත හැකි නිසාය. හොඳි අවබෝධයෙන් සිටින්න. මේ මොහොතේ කළ යුත්තේ ප්‍රශ්න ඇඟට නොගෙන සිටීමත්, හිතට නොගෙන සිටීමත්ය. කුමන හෝ ආකාරයකින් මේවා විසඳෙතැයි විශ්වාස කිරීමය. එසේම පීඩනය පිටකිරීම මීට හොඳ විසඳුමකි. එක්තරා මනෝ වෛද්‍යවරයකු සඳහන් කළේ යම් කිසි ප්‍රශ්නයක් සිදුවූ විට කුණුහරුපෙන් බැණීම පවා ඔහුගේ මානසික ආතතිය පිටකිරීමක් ලෙසය. එසේ මානසික ආතතිය පිටකරමින් මේ උද්ඝෝෂකයන් සිදුකරනු ලබන කාර්යභාරයට එකතු වීමෙන්ම සමහර විට හෘදයාබාධවලින් වැළකීමේ හැකියාව ලැබෙනු ඇත. නමුත් වැදගත්ම කාරණය වන්නේ මේ වන විට උද්ඝෝෂණ බිමේදී පවා එක්තරා තරුණ පුද්ගලයෙක් හෘදයාබාධයකින් මියගොස් තිබීමය. ඒ නිසා හෘදයාබාධ දැන් තෙල් මිල වැඩි වුණු දේශයේ, ජීවන වියදම වැඩිවුණු දේශයේ, කන්න බොන්න නැති දේශයේ, ණය වුණු දේශයේ, ජීවත් වීමට කිසිම හව්හරණක් නැති දේශයේ මිනිසුන්ට හෘදයාබාධ පමණක් අප සොයා පැමිණ තිබේ.
ජීවන පහන් තිළිණ










