වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් බලය ලබාගැනීමට පෙර දේශපාලන වේදිකාවල දෙඩූ පුරසාරම් අද වනවිට බොරු බවට පත්ව ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. NEWS CENTER UNLIMITED යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු දැක්වූ එම අදහස් පහත පළවේ. Sri Lanka Latest News
‘දැන් ඔය 78 අවුරුද්දක් මොකක්ද කළේ කිය කියා කෑගහනවනේ. අපි රටේ 100%ක් විදුලිකරණය කළා 2013දී. 2013 තමයි ඒ ඉලක්කය අපි සපුරා ගත්තේ. මතක තියාගන්න විදුලිබල මණ්ඩලය හදනකොට 7%යි තිබුණේ ලංකාවේ විදුලිය. එහෙම සාර්ථක ඉලක්ක කරගත්තා. ඒ වගේම අර 650 ඉලක්කය කරගත්තට අද වෙනකොට 1800ක් ඒ කියන්නේ Non- conventional Renewable Sources තියෙනවා. ඒකට වළ කපන්න තමයි දැන් මේ ආණ්ඩුව හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. අනුර දිසානායක පාලනය මේ හරිත බලශක්තියට ගහලා, රටේ බලශක්ති ස්වයංපෝෂිතභාවය බිඳදමලා, අර තෙල් ගල් අඟරු මත යැපෙන රටක් හදන්න. ඒක තමයි එයාගේ එකම ක්‍රියාවලිය.
අනිත් එක තමයි වැදගත්. මන්නාරම් ද්‍රෝණියෙන් සොයාගනු ලබන දේශීය ස්වභාවික වායුවලින් අවම වශයෙන් මෙගාවොට් 1000ක විදුලිබල ප්‍රමාණයක් උත්පාදනය කිරීම. දැන් අපි මේ වැඩපිළිවෙළ ඇරඹුවා. ඇත්තටම මේ වැඩපිළිවෙළ කාලයක් තිබිච්ච දෙයක්. මැතිනිගේ කාලෙත් තිබුණා. ඇත්ත වශයෙන්ම රනිල්ගේ සාම කාලයේ මේකට නෝර්වේජියානු සමාගමක් ඇවිල්ලා පර්යේෂණ කළා. ඒවායින් දත්ත හොඳට අපිට ලැබුණා. ඊට කලින් රෂියන් සර්වේ එකක් තිබුණා. ඒ දත්ත පසුව අපි මිලදී ගත්තා, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ. මමත් හිටියා ඒ කමිටුවේ. ඒ අනුව ටෙන්ඩර් කළා අපි මන්නාරම් ද්‍රෝණියේ කොටස් හතකට කඩලා.
මාධ්‍යවේදියා
ඇත්තටම එතන තෙල් තියෙනවද?
තෙල් නම් දැනට ලැබිලා නෑ. නමුත් ගෑස් සම්පත හම්බවුණා. අපි ළිං හතරයි කැණුවේ. දෙකක හම්බවුණා. එකක් අර බ්රේක් වුණා. අනිකේ හම්බ වුණේ නෑ. දන්නවද ඔය ලොකුවට තෙල් හම්බවෙච්ච ඉරානේ, සවුදියේ, උතුරු මුහුදේ පනස් ගණන්, හැට ගණන් ළිං හාරලා තමයි තෙල් හම්බවුණේ. ඉරානේ එහෙම අන්තිමට කරකියා ගන්න දෙයක් නැතුව බලාපොරොත්තු කඩවෙලා ගියාම තමයි හම්බ වුණේ. අපේ ඊට වඩා හරි වාසනාවන්ත විදිහට හම්බ වුණා. මොකද වුණේ? මේ සමාගම, මේක බිඩ් කරපු සමාගම බලගතු රටක් මිලදී ගත්තා, අරගෙන ඒක වහලා දැම්මා. අද නිර්භීත නම්, දේශමාමක නම් කරන්න තියෙන්නේ දැන් අවුරුදු ගාණක් වෙනවා ඔය වැඩේ වෙලා. වහාම ඔවුන්ව අයින් කරලා ඔය තෙල් කැනීම් කටයුතු ටෙන්ඩර් කැඳවීමක් කරලා දෙන එක. ටෙන්ඩර් කැඳෙව්වා අවස්ථා ගණනාවක ඒක කරන්න දුන්නේ නෑ, විදේශ බලවේග. මට හිතෙන්නේ නෑ මේ ආණ්ඩුවට කරන්න පුළුවන් කියලා. මොකද රටේ සුළං බලය, සූර්ය බලය, කුඩා ජල විදුලිය කප්පාදු කරලා ඩීසල්, ගල් අඟුරු, දැවි තෙල්වලට මුල් තැන දෙන ආණ්ඩුවක් කොහොමද මේ රට ඇතුළේ තෙල් නිපදවන්න ඉදිරිපත් වෙයිද? නෑ.
ඉතින් ඒක නිසා මේක කරන්නම ඕනෙ දෙයක්. එහෙම කරලා ගෑස් කොළඹට ගෙනාවොත් ඒක ලොකු වියදමක් යන්නේ නෑ. ඩොලර් මිලියන් 300ක්. අපි හැදුවා ඒ කාලේ ඒකට ෆන්ඩ් එකක්, පේටි්‍රයෝටික් ෆන්ඩ් කියලා එකක්, බැඳුම්කරයක් ලාංකිකයන්ට දායක වෙන්න. ඒ කාලේ කටකතාවට කිව්වේ, ‘මගේ යාළුවෙක් ඉන්නවා කැනඩාවේ, ඩොලර් මිලියනයක් එවනවා..’ අර ගායකයෙකුත් කිව්වේ. ඒ වගේ තක්කඩි ගොන් කතා. මිනිස්සු රවට්ටන්න හදපු බොරු කතා. එහෙම නෙවෙයි. අපි ප්ලෝට් කරා ඩොලර් මිලියන් 300ක එකක් අපිට ප්ලෝට් කරන්න පුළුවන් නම්, විදේශිකයන්ට දාන්න අපි සැලසුම් හදලා තිබුණේ ඒකට නෝර්වීජියන් මොඩල් එක අරගෙන. ලංකාවේ මේ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ මන්නාරමෙන් කෙරවලපිටියට පයිප් එකෙන් ගේන්න ඕනේ. දැන් මොකක්ද කරන්න යන්නේ? තමිල්නාඩුවෙන් ත්‍රිකුණාමලයට තෙල් ගේන්න යන්නේ. බලශක්තිය පාවිච්චි වෙන්නේ කොහෙද? කොළඹ. තමිල්නාඩුවෙන් ත්‍රිකුණාමලයට. මොන ගොන් ආණ්ඩුවක්ද? මොන ගොන් ප්‍රතිපත්තියක්ද? කාගේද ඒ අවශ්‍යතාව? ඒක ලංකාවේ අවශ්‍යතාවක්ද? මම කියන්නේ ඒක රනිල් වික්‍රමසිංහත් කළා 2023. ඒකම මේ ගොල්ලොත් කළා.
ඉන්දියාව හරි, කවුරු හරි වේවා, මන්නාරමෙන් කෙරවලපිටියට තෙල් නළය දාන්න ඕනේ මන්නාරමේ හාරන තෙල්. ඉන්දියාව අපිට ඕක හාරලා දෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. නමුත් විධිමත් සමාගම් ලෝකේ පුරා තියෙනවා. ලංකාවේ ඇතුළේත් මේක කරන්න පුළුවන්. ලංකාවේ විද්‍යාඥයෝ මේ තැන්වල වැඩ කරනවා. ඒ අයගෙත් උදව් අරගෙන අපි මේ වැඩේ කරන්න ඕනේ. එහෙම කළොත් අපිට ගොඩාක් මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. ඒ වගේම මේකේ හුඟක් දේවල් අපි ඇචීව් කළා. 100%ක අඛණ්ඩ විදුලිබල සැපයුම් අද තියෙනවා. අද කොහෙවත් ලයිට් කැපෙන්නේ නෑ. අද 5500ක් තියෙනවා. මෙහෙ 2500යි ඉල්ලුම. මේ සමහර ඒවා අපි විශාල වශයෙන් අඳුන්වලා දීලා තියෙනවා. මේකේ තිබෙන එකක්වත් කළේ නෑ. උදාහරණයක් හැටියට මේකෙන් අපි යෝජනා කළා 2015 අගෝස්තු මාසේ මම කැබිනට් පත්‍රිකාවක් දාලා අපි මිල සූත්‍රය අඳුන්වලා දෙමු නැවත කියලා. මොකද 2002දී මිල සූත්‍රය කරු ජයසූරිය මහත්තයාගේ කාලේ හඳුන්වලා දුන්නා. ඒකෙන් ඒ විදුලිබල ක්ෂේත්‍රයයි, තෙල් ක්ෂේත්‍රයයි රටේ ආර්ථිකයයි, තුනම අර තුවාල හොඳ කරගත්තා. එතකොට මම මේක ගෙනාහම අද ඔය අපේ සජබයේ ඉන්න කට්ටිය, ඒ වගේම යූ.ඇන්.පී. එකේ ඉන්න කට්ටිය, කියන්න කනගාටුයි, ඔය මුදල් අමාත්‍යාංශයට අරක්ගෙන හිටපු අය, ඔස්තාර්ලා ඒකට විරුද්ධ වුණා. ඇයි? අපට මේකෙන් අසීමාන්තික ලාභ හම්බවෙනවා. මුදල් අමාත්‍යාංශයට ගෙනියන්න බෑ මේ විදියට මිල සූත්‍ර දාගෙන කියලා. ඊට පස්සේ මම කොච්චර අමාරුවෙන්ද ඔය තෙල් මිල අඩු කළේ. ඔය මහින්ද රාජපක්ෂ රුපියල් 154ට දීපු පෙට්‍රල් 117ට ගෙනාවේ. ඩීසල් 134 එක 95ට ගෙනාවේ කොච්චර සටනක් කරලාද? ඇත්තටම මට ඕනෙ කළේ ඩීසල් රුපියල් 85ට දෙන්න. අපේ මුදල් අමාත්‍යාංශයේ අය කිව්වානේ, අපේ කාර්වලට තෙල් ගහන විදිහක් නෑ කියලා. ඒ ආණ්ඩුව මෙහෙයෙව්වේ එහෙමනේ. කාර් එකනේ මූලික වුණේ, පොදු ප්‍රවාහනය නෙවෙයිනේ. රටේ ආර්ථිකය නෙවෙයිනේ. මම මේ කියන්නේ, මේ අද සමහරු මේ ගැලවුම්කාරයෝ විදිහට පෙනීඉන්න හදනවා. එදා කිසි සහයෝගයක් දුන්නේ නෑ. එදා ඒ බලශක්ති ප්‍රතිපත්තියේ මිල සූත්‍ර අපි අනුගමනය කළා නම් ඔය 2022 ඒ වගේ ප්‍රශ්නයක් එන්නේ නෑ. මොකද CEB එකට, පෙට්‍රෝලියම් එකට දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා.
ගෝඨාභයගේ කාලේ වුණේ පෙට්‍රෝලියම් එක කරපු මිනිස්සු පෙට්‍රෝලියම් එකට දරාගන්න බැරි තරම් ණය කන්දක් ගෙවාගන්න බැරි විදියේ එක්ස්පෝෂර් එකක් කළා. ඔනෙ නම් අහන්න සුමිත් අබේසිංහගෙන්. එතුමා කෝප් එකට ආපු වෙලාවේ මම එතුමාට අනතුරු ඇඟෙව්වා 2021 ඔක්තෝබර් මාසේ. ඕගොල්ලෝ තව මාස හයයි යන්නේ කියලා මේ ක්‍රමයට. ඒක එහෙම්මම වුණා. ඒ කියන්නේ මේ ගෝඨාභය මහත්තයලගේ තිබුණානේ අර අමුතුම ආනාධිකමක්. රට බංකොලොත් වෙන්නේ නෑ, අපි දන්නවා සියල්ලම, අපි තමයි හරියටම කරලා තියෙන්නේ. එතුමාගේ විතරක් නෙවෙයි එතුමාගේ මුළු කණ්ඩායමේම තිබුණා. ඒකේ ප්‍රතිඵල තමයි ඔය අපට ලැබුණේ මහා භයානක විදිහට. කොහොම වුණත් බලශක්තිය ගැන මේ ආණ්ඩුවට නම් කිසිම ප්‍රතිපත්තියක් නෑ….’
NEWS CENTER UNLIMITED










