‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) රජයේ ප්‍රතිපත්තියේ හෝ අනෙක් අභිලාෂයන්ගේ හෝ කොටසක් නොවන නමුත්, නව නීතියක් හඳුන්වා දෙන තුරු එය ප්‍රවේශමෙන් භාවිත කිරීම රජයේ බලාපොරොත්තුවයි. නව නීතියක් කෙටුම්පත් කරන තුරු මෙම පනත අත්‍යාවශ්‍ය වෙනවා. කෙසේ හෝ නැවත වරක් අවධාරණයෙන් ප්‍රකාශ කර සිටින්නේ මෙම පවතින පනත අපගේ අභිලාෂය හෝ ප්‍රතිපත්තිය නොවන බවයි. වර්තමානයේ මෙම රජයේ ස්ථාවරය වන්නේ එයයි. එහෙත් නව නීති රාමුව ස්ථාපිත කරන තෙක් එය ප්‍රවේශමෙන් භාවිත කරනවා…’ Sri Lanka Latest News
වර්තමානයේදී මෙරට ජන සමාජය තුළ කතාබහට ලක්වී තිබෙන එක්තරා සුවිශේෂ විෂයක් ගැන මෙම කතාව කියා සිටින්නේ කවරකු විසින්ද? පසුගියදා මෙරට පාර්ලිමේන්තුව තුළදී මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ වත්මන් සභානායක බිමල් රත්නායක මහතා විසිනි. විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ පැනයකට පිළිතුරු ලෙස මෙම ප්‍රකාශය ඔහු සිදුකළේය.
දැනට වසර 45කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ බලගැන්වී තිබෙන ප්‍රධානතම නීති පද්ධතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙරට තුළ බොහෝ ආන්දෝලනයකට ලක්ව ඇති පනතකි. එසේ වන්නේ එම පනත තුළින් සිදුවන යහපත මෙන්ම අයහපත ගැනද බොහෝ පාර්ශ්ව සිදුකරනු ලබන විචාරයන් හේතුවෙනි. මේතාක් බලගැන්වී තිබෙන මෙම පනත හරහා මෙරට බලයෙහි සිටි රජයන් ගණනාවක්ම විවිධ ඵල ප්‍රයෝජන ලබාගත්තේය. මෙම පනත හරහා එම රජයන් බලතල අයුතු ආකාරයට පරිහරණය කළේ යැයි දෙස් විදෙස් පාර්ශ්ව ගණනාවක්ම එකල දෝෂාරෝපරණය කළේය. ඒ හෙයින් මෙම දරදඬු පනත වහා අහෝසි කර දැමිය යුතු යැයි කරුණු ප්‍රකාශ කෙරිණි. මෙම වටපිටාවේදී මෙම පනතට තදබල විරෝධතාවක් ප්‍රකාශ කළ මෙරට සිටින ප්‍රධානතම පාර්ශ්වයක් වූයේ වත්මන් රජයේ ජාතික ජන බලවේගය පක්ෂයයි. ඔවුන් පසුගිය ජනාධිපතිවරණය සහ මහ මතිවරණය පැවැති සමයේදී මෙම තදබල විරෝධය අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර සිටියේය. කෙසේ හෝ ඔවුන් බලයට පත්වූ විට මෙම පනත අහෝසි කර දැමීමක් ජනතාව බලාපොරොත්තු වුවද මෙතෙක් එවැන්නක් සිදුව නැත. මෙලෙස ජාතික ජන බලවේගය රජය මේ වනවිට බලයට පත්ව මාස 05ක කාලයක් ඉක්මවා ඇතත් එවැනි පොරොන්දුවක් ඉටුව නොමැත. පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක විසින් සිදුකරන ලද ඉහත ප්‍රකාශය අසන්නට ලැබෙන්නේ මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදීය. එයින් පැහැදිලිව අවබෝධ වන්නේ දැනට වසර 45ක් පුරා බලගැන්වී තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙම නව රජය විසින්ද මෙම අවස්ථාවේදී අනුගමනය කරනු ලබන බවයි.
අද ඔබට මෙම විශේෂිත වතගොත කියමින් මෙම කතාව ආරම්භ කළේ ඇයි? එයට හේතුව නම් මෙයට දින කීපයකට පෙරදී අසන්නට ලැබුණු එක්තරා සුවිශේෂ පුවතකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි මානව හිමිකම් සැසිවාරය මෙම 2025 පෙබරවාරි 24 සිට 2025 අප්‍රේල් 04 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීම එම පුවතයි. මෙලෙස දින 40කට ආසන්න දීර්ඝ කාලයක් පුරා පැවැත්වෙන මෙම ප්‍රධානතම ජාත්‍යන්තර සමුළුවට ලෝකයේ රටවල් 100කට අධික සංඛ්‍යාවක් සහභාගි වන අතර, ශ්‍රී ලංකාවද ඉන් එක් රටක් වෙයි. දැන් එසේ නම් අප මෙම කතාවේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ ඇත. එය කුමක්ද? එය නම් මෙරට ජාතික ජන බලවේගය නව රජය ඉතිහාසයේ ප්‍රථම වතාවට මානව හිමිකම් කොමිසමේ සැසිවාරයකට සහභාගි වීමය. මෙහිදී ප්‍රධානතම සුවිශේෂ පුවත වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා රජය තම සහභාගිත්වය දැක්වීමයි. ඒ අනුව මෙරට නව රජයට ප්‍රථම වතාවට එහිදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි දේශපාලනික සහ මානව හිමිකම් විචාරකයන් අවධාරණය කර සිටියි. මෙම දෙස් විදෙස් විශ්ලේෂකයන් ප්‍රකාශ කර සිටින්නේ වත්මන් නව රජය මෙම සැසිවාරයේදී මුහුණ දෙනු ලබන ප්‍රධානම ප්‍රශ්නයක් වන්නේ ඉහත අප කතාබහ කළ මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. එයට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙයට පෙරදී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරවලදී අප රටේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර දැමීමට ගෙනා යෝජනාවලියයි. එය අවස්ථා කීපයකදීම ගෙන එනු ලැබූ තදබල ප්‍රධානතම යෝජනාවකි.
මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී ආරංචි වූයේ තවත් සුවිශේෂ පුවතකි. එනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රධාන නියෝජිත පිරිසක් පසුගිය පෙබරවාරි 23 වැනි ඉරිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් ඇත. එසේම එහි අනෙක් පුවත ලෙසින් මෙම මොහොතේ ආරංචි වූයේ විදේශ අමාත්‍ය විජිත හේරත් පෙබරවාරි 25 වැනිදා ජිනීවා වේලාවෙන් සවස 3.30ට සභා වාරය ඇමතීමට නියමිත බවයි. මේ වනවිටද (25දා) එම කතාවේ ප්‍රකාශයක් ශ්‍රී ලංකාවට ලැබී නොතිබිණි. දෙස් විදෙස් මාධ්‍ය එය වාර්තා කිරීමට නියමිතය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවන් පවත්වා ඇත. එහිදී එස්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාද හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත. මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහ මානව හිමිකම් මූලධර්ම හා අන්‍යොන්‍ය අවබෝධය ඉදිරියට ගෙනයෑම සඳහා ගෝලීය ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහය මෙම සැසියේ ප්‍රධාන කාර්යභාරයක් වෙයි. ලොව පුරා දැවෙන මානව හිමිකම් ගැටලු සාකච්ඡා කිරීමට සහ ඒවාට විසඳුම් සෙවීමට රටවල් සඳහා වැදගත් බුද්ධිමත් වේදිකාවක් සැපයීමට මෙම නවතම මානව හිමිකම් සැසිවාරය තුළින් බලාපොරොත්තු වෙයි. සැමගේ මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රයත්නයන් සමග සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ කැපවීම ශ්‍රී ලංකාවේ සහභාගිත්වය මගින් අවධාරණය කෙරෙයි.
මෙවර සැසිවාරයේදීද පෙර සැසිවාරවල මෙන් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ මානව හිමිකම් චෝදනා එල්ල වනු ඇතැයි මානව හිමිකම් විශ්ලේෂකයෝ කරුණු ප්‍රකාශ කරති. මෙම වත්මන් රජය පත්වීමෙන් පසුවද මිනිස් ඝාතන රැල්ලක් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වී තිබීමද මෙම කරුණු අතරට අයත් වනු ඇත. මෙරට තුළ ප්‍රබල පාතාල අපරාධ රැල්ලක් සිදුවෙමින් තිබෙන ආකාරයද දක්නට හැකිය. මෙම වසර (2025) ආරම්භයේ සිට මේ දක්වා කෙටි කාලයට මිනිස් ඝාතන 28කට අධික ප්‍රමාණයක් සිදුව ඇත. මේ අතර මෙයට පෙර බලයේ සිටි රජයන් විසින් සිදුකරන ලද විවිධ මානව හිමිකම් අපරාධද මෙවර සැසිවාරයේදී අවධානයට ගනු ඇතිය. එම අපරාධ සිදුකරන ලද අපරාධකරුවන් නීතියේ රැහැනට ගැනීමට අවශ්‍ය කාර්යභාරයන් ගැනද සාකච්ඡා වනු ඇතිය. දින 40ක පමණ දීර්ඝ කාලයක් සැසිවාරය සඳහා තිබෙන හෙයින් මේ වනවිට මෙම තීන්දු තීරණ සහ නිගමනයන් ගැන ස්ථිර වාර්තාවක් සැකසී නොමැත. අවසාන වාර්තාවලදී ඒවා එළිදැක්වීම සිදුකෙරෙනු ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වසරකට සැසිවාර තුනක් පවත්වනු ලබයි. මේ සියල්ලක්ම සඳහා ශ්‍රී ලංකාව සහභාගි වනු ලබයි. පසුගිය කාලයේදී සැසිවාර ගණනාවකදීම ශ්‍රී ලංකාවට එරෙහිව තදබල මානව හිමිකම් චෝදනා ගොනු කළේය. එහෙත් එම බොහෝ චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළේය. එසේ වුවද ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය පියවර ගත් ආකාරයද දක්නට හැකි විය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අපරාධ චෝදනාවලට අදාළව නීතිමය පියවර ගැනීමට සහ පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකාව වෙනුවෙන්ම වෙන්වූ විශේෂ කාර්යාලයක්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ජිනීවා ප්‍රධාන මූලස්ථානයේදී විවෘත කරන ලදී. එසේම පසුගිය කාලයක් පුරාම මානව හිමිකම් අපරාධ චෝදනාවලට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව විවිධ සම්බාධක ගණනාවක්ම පනවන ලදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශයන් හා නිගමනයන් මත මෙම ශ්‍රී ලාංකිකයන්ට විවිධ රටවලින් සම්බාධක පනවන ලදී. මෙම සම්බාධක සඳහා සංචාරක තහනම්ද අදාළ විය. මෙම පියවරයන්ට අමතරව තවත් සුවිශේෂ කරුණක් ලෙස වාර්තා වී තිබුණේ නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා තිබෙන ජාත්‍යන්තර අපරාධ මහාධිකරණය තුළ මෙම අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරීමට යම් පියවරක් ගැනීමය. එහෙත් එම නීතිමය කටයුතු මෙතෙක් ස්ථාවරව සිදුව නොමැත. මේ ආකාරයට අප සිතනවාටත් වඩා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම යනු අතිශය ප්‍රබල ජාත්‍යන්තර ආයතනයකි.
ඔබට ලියා තබන මෙම කතාවේ තවත් සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් ආරංචි වන්නට ගත්තේ මෙතැනදීය. එනම් මෙහි ඉහත ඔබට ලියා තැබූ විදේශ අමාත්‍ය විජිත හේරත්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ සිදුකළ ප්‍රකාශය ගැන මාධ්‍ය පුවත් වාර්තා කර තිබුණේ මෙයට සුළු මොහොතකට පෙරදීය. එය එක්තරා අයුරකින් දීර්ඝ කතාවක් වුවත් ඒ සියල්ලක් ලියා තබන්නට මෙහි ඉඩකඩ මදිය. විශේෂ කරුණු කිහිපයක් මෙසේය. විදේශ අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර තිබිණි.
‘ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් රජය විසින් ජාතිය, ආගම, පන්තිය සහ කුලය මත පදනම් වූ කිසිදු භේදයකින් හෝ වෙනස්කම් කිරීමකින් තොරව තම ජනතාවගේ විවිධත්වයට ගරු කරන සහ සමරන එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා කටයුතු කිරීමට දැඩි ලෙස සහ අවංකව කැපවී සිටී. අපේ රට ශ්‍රී ලංකාව තුළ භේදකාරී ජාතිවාදය හෝ ආගමික අන්තවාදය හෝ නැවත ඇතිවීමට අපි ඉඩ නොතබමු. අපගේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳ මූලික හා දිගුකාලීන මූලධර්මවලට සම්පූර්ණයෙන්ම ගරු කරනු ලබන අතරම, සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරනු ලැබේ. සෑම පුරවැසියකුටම තම ආගම ඇදහීමට, තම භාෂාව කතාකිරීමට සහ තම සංස්කෘතික වටිනාකම් අනුව බියෙන් හෝ වෙනස්කම් කිරීමකින් තොරව ජීවත් වීමට නිදහස තිබිය යුතුය. ජාතික සමගිය සහ සංහිඳියාව තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා ප්‍රත්‍යක්ෂ පියවර ගැනීමට රජය ප්‍රතිඥා දී තිබේ. සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් සඳහා වූ අපගේ දැක්මට සහ ප්‍රජාවන් අතර පරතරයන් පියවීම සඳහා වූ කැපවීමට අනුකූලව ශ්‍රී ලංකා දිනයක් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇත.
ගැටුමෙන් පැනනගින අභියෝගවලට මුහුණ දීම සඳහා ස්ථාපිත කර ඇති දේශීය යාන්ත්‍රණය සහ ක්‍රියාවලීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ස්වාධීන සහ විශ්වසනීය ආකාරයකින් ඔවුන්ගේ කටයුතු දිගටම කරගෙන යන බව අපි සහතික කරමු. මෙම ක්‍රියාවලියේදී අපි මෙරට තිබෙන අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය වැනි දේශීය ආයතන ශක්තිමත් කරනු ලැබේ. මෙම කාර්යභාරයේදී ජාත්‍යන්තර ප්‍රජාවේ අඛණ්ඩ දිරිගැන්වීම සහ සහයෝගය අපට අත්‍යාවශ්‍ය වෙයි. ශ්‍රී ලංකාව 1955 සිට එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී සාමාජිකයෙකි…’

ප්‍රියන්ත හෙට්ටිගේ










