බටහිර අහස් කුසේ සූර්යයා රටා මවමින් දුර ඈත පෙනෙන සයුරු තෙරේ ගිලී යාමට සූදානම්…. Sri Lanka Latest News
ඉර බැහැල යන හවසක අපූරු වර්ණ රටා සහිත අහසක් මා ඉදිරිපිට දිස්වන්නේය. මේ අහසේ රක්ත කාළ වර්ණයන්ගෙන් හැඩවූ රටා බොහෝය. විවිධ පක්ෂි සමූහ තම කැදැලි කරා පියඹා යන අපූරු දසුන් අහස්කුස පුරාවට දිස්වන්නේය. අඳුර රජයන මේ ගොම්මන් යාමයේ ගෙම්බෙක්ගේ බක බක ශබ්දයක් හෝ නිදහසේ තම ආහාර බුදිමින් සිටි ගවයෙකුගේ කලබල ගමන් විලාසයක් හැර මේ ඉසව්ව නිහැඬියාවෙන්ම සංවර වී ඇත.
අස්වැන්න නෙළා අවසන් වූ අක්කර ගණන් කුඹුරු ඉඩම්වල දිගෙලි කළ ගව පට්ටියේ ගවයන් සියයකට එහා ඇත. ගොපලු කොලුවාගේ තැපැල් නයින්ටි වර්ගයේ පරණ මෝටර් සයිකලයේ හඬට අවදි වන ගවයන් එකා දෙන්නා තම ආහාර බුදීම පසෙකට දමා, පෙළගැසී තල් රුප්පාව අතරින් වැටී ඇති අඩි පාරක බොහෝ සංයමයකින් ගමන් කිරීමට පටන් ගෙන ඇත. රංචුවේ ඉදිරියෙන් ගමන් කරන්නේ, දුඹුරු පැහැයට හුරු තියුණු අං යුගලක් සහිත ගව රංචුවේ නායකයා බව මගේ නිගමනයයි. මන්ද අනෙක් සියල්ලෝම ඔහුගේ අනුගාමිකයන් පරිද්දෙන් නායක ගවයා යන මාර්ගය අනුගමනය කරන්නට පසුබට නොවන්නේය. තවද අතරින් පතර මවු දෙනුන්ගේ කිරි බුරුල්ලේ රස නොසෑහෙන්න විඳින්න අලුත් අමුත්තෝ කීපයක්ද වෙති. හොඳින් ලෝමවලින් ආවරණය වූ දින දෙකකට හෝ තුනකට පෙර උපත ලැබූ මේ ගව පැටවුන් තම මවු දෙන පිටිපස්සේ කඩි මුඩියේම දිවයන්න පටන් ගන්නේ ගොපලු කොල්ලාගේ මෝටර් රථයේ එන්ජිමෙන් ඇසෙන ශබ්දයට නවකයන් වූ නිසාවෙන් බව මගේ හැඟීමය.
රංචුවේ බොහෝ දෙනාගේ කශේරුකාවට මඳක් පහළින් දෙමළ අක්ෂරයක් වන ‘සි’ අකුර කොටා ඇත. නොඅනුමානයෙන් මේ ගව පට්ටියේ අයිතිය ‘සිවාට’ හෝ ‘සිවලිංගම්’ සතු මහා වස්තුව බව පැහැදිලි නිගමනය වේ.
‘ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය
කටුරොද ගම්මාන තරමක පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය’
එදා සාගර පලන්සූරිය මහතා නොහොත් කේයස් දුටු ගමට වඩානම් මේ ගම බොහෝ වෙනස්ය. පසෙක ඇත්තේ පෞරාණික පරම්පරා කීපයක්ම වැඳ නමස්කාර කළ සියඹලා ගසක් හා කොහොඹ ගසකට මැදිව උසින් අඩු බිත්තිවලින් නිර්මාණය කළ රතු සුදු තීන්තවලින් වර්ණ ගැන්වූ කෝවිලකි. කුඩා ප්‍රමාණයේ මේ කෝවිල ඉදිරියේ රතු සුදු ‘තිරුනූරු’ ආලේප කළ ත්‍රිශූල කීපයක් සිටුවා ඇත. මොවුන්ට අනුව නම් මේ වයිරවර් දෙවියන් වෙනුවෙන් ඉදිවූ කෝවිලක්ය. ‘වයිරවර්’ නම් ග්‍රාමයේ ආරක්ෂකයායි. මේ වයිරවර් නම් දෙවියන් හා ගෙතුණු අපූරු කතාවක් ඇත.
වන්නි හත්පත්තුවේ අයියනායක, කඩවර, ගම්භාර, කළු දේවතාවා ආදී දෙවිවරුන් හා බැඳුණු වැඳුම් පිදුම්, ශාන්තිකර්ම පිළිබඳ අපි අසා ඇත්තෙමු. මේ ඉසව්වන්හීද ඒ ඒ ග්‍රාමයන්ට අධිපති වූ දෙවි දේවතාවන් වහන්සේලාද සිටී. හින්දු ආගමික ජනප්‍රවාදවලට අනුව වයිරවර්, අයියනාර්, කාත්තවරායන්, පෙරිය තම්බිරාන් ආදී වූවන් ග්‍රාමීය දෙවිවරුන් ලෙස වන්දනාමාන කරයි. මොවුන් ‘ග්‍රාමීය දේවන්ගල්’ ලෙස දමිළ භාෂාවෙන් හඳුන්වයි. ග්‍රාමීය ජනතාවගේ වන්දනාමානවලට ලක්වන මෙම දෙවිවරුන් ග්‍රාමයේ ආරක්ෂකයා වෙයි. මුලදී ඔවුහු වෙනුවෙන් ගමේ කොනක ගල් කණුවක් යොදා වන්දනාමාන කළහ. පසුකාලීනව දෙවියන් වෙනුවෙන්ම ඉදිවූ කෝවිල් නිර්මාණය විය. ඒ නිසාවෙන් අදටත් මූකලන් කැලේ හේනකට හෝ තම ගව රැළ සමග කැලේ රිංගන ගමේ කොයි කවුරුත් මේ දෙවිවරුන් සිහිපත් කර ඔවුන්ගේ ආශීර්වාද පතා පූජා විධි සිදුකිරීමට පුරුදු වී සිටී. කුඹුරු අස්වැන්න නෙළීමේ පසු අග්‍ර කොටස කෝවිලේ දෙවියන් වෙනුවෙන් පූජා කරයි. අදටත් මේ ග්‍රාමීය දෙවිවරුන් විශ්වාස කරන මේ ඉසව්වේ කොයි කවුරුත් තම තමන්ගේ ජීවිතයේ යහපැවැත්ම සිතුම් පැතුම් ඉටුවීම උදෙසා බාරහාර මෙන්ම පඬුරු දැමීම සිදුකරති.
මේ මා උදෑසන වින්දනය කළ තවත් අපූරු අත්දැකීමක්ය. උදෑසනම ගමේ ගැහැනුන් පිරිසක් මේ දේවාලය වෙත ආවේ උර කීපයක්ද, මල්, කපුරු, සුවඳ කූරු පිරි මලු කීපයක් ද රැගෙනය. පොඩි එකෙක් වෙනුවෙන් වූ බාරයක් ඔප්පු කිරීමට බව මගේ අනුමානය විය. ඔය අස්සේම අස්වනු නෙළා අවසන් වුවත් කුඹුරු ඉඩම් දෙසින් හමන සුළඟේ නැවුම් බවක් මුසුවී තිබීම හරි අපූරු අත්දැකීමක් විය. මහා සියඹලා වෘක්ෂයේ අතුපතරින් දැඩි සූර්ය රශ්මි ධාරා ඊතල මෙන් කෝවිල් ඉඩමේ වැලි මිදුල ගිනියම් කිරීම ආරම්භ කළේය. නමුත් ගැහැනුන් එකා දෙන්නා හැකි පමණින් කෝවිලේ මිදුල අතුපතුගා සකස් කරද්දී අනෙක් උදවිය උර තුළ වූ කුරහන් පිටි, හාල් පිටි, මුංඇට, පොල්තෙල්, පොල් ගෙඩි, සක්කර, කජු, වියළි මිදි, සහල් ආදිය එකිනෙක එළියට ගෙන පූජාවේ වැඩකටයුතු ආරම්භ කළෝය.
පසෙක කුරහන් පිටි හා හාල් පිටි මිශ්‍ර කර අවශ්‍ය පමණින් වතුර එක්කළ හොඳින් පදම්වන සේ එක් අයෙක් මිශ්‍රණයක් සකස් කළේය. තාච්චියක් ළිපේ තබා සක්කර හොඳින් උණුවනවාත් සමග මුං ඇට, පොල්, එනසාල්, සාදික්කා කුඩු ස්වල්පයක් හා කරාබු නැටි දෙක තුනක් දමා හොඳ පිරවුමක් සකස් කරන්නේය. මේ සියල්ලම සිදුකරන්නේ දින කීපයක් පේවී මස්මාංශවලින් තොරවී බව මට අසන්නට ලැබිණි. මගේ දමිළ සගයා තොරතෝංචියක් නැතුව මේ එක එක සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් මනාව ඉදිරිපත් කරමින් සිටින්නේය. ඇයට අනුව නම් මේ ගණදෙවියන් වඩා ප්‍රිය ආහාරයක් වූ මෝතගම් සඳහා වූ වට්ටෝරුවයි.
පොල් පැණි මිශ්‍රණය මැදිකරමින් අනාගත් පිටිවලින් ආවරණය කරගත් මෝතගම් හුමාලයේ තම්බා ගනී. අයෙක් තැම්බීම වෙනුවට ගැඹුරු තෙල් තාච්චියට දමා බැදගත්තේය. අපූරු සුවඳක් කෝවිල පරිශ්‍රය පුරා විසිරී ගොස්‍ය. ඔය අතරේ අනෙක් අය පොංගල් නොහොත් සක්කර, එනසාල්, කජු, සාදික්කා කුඩු, නැවුම් රතු හාල් යොදා පැණි රස කිරිබත් සකස් කරයි.මේ සියල්ලම දෙවියන් වෙනුවෙන් කරන පූජාව උදෙසායි.
වයිරවර් දෙවියන්ගේ රථය වූයේ සුනඛයායි. කෝවිල් චිත්‍රවල වගේම කැටයම්වල පසෙක අනිවාර්යයෙන්ම සුනඛයකු සිටී. ඔහුගේ වඩා ප්‍රියතම ආහාරය නම් උළුඳු වඩයි. ඒ නිසාම ගමේ බොහෝ දෙනා බාර ඔප්පු කරන අවස්ථාවේදී වඩ සාදා මාල ගොතා දෙවියන්ගේ කරේ පලන්දයි. මෙය නම් තවත් අපූරු සංස්කෘතියක අසිරියයි. කෝවිලේ පූජකතුමා පැමිණ කෙසෙල් කොළයක් මතද මෝතගම්, පොංගල්, මල්, කෙසෙල් ගෙඩි තබා දෙවියන් වෙත පූජා කර තේවාර නොහොත් දෙවියන් නැමදීම සිදුකරයි. මේ පූජාව අවසානයේ සියල්ලෝම දෙවියන් නැමද ඉතිරි වූ කැවිලි රස විඳිති.
පසුව මධ්‍යහ්නයේ දැඩි හිරු කිරණ නිසාවෙන් සියඹලා ගස යටට වී ‘කුලසාදම්’ පිළියෙළ කරති. රතු හාල් වැඩිපුර ජලය යොදා පිසීමට හැර එයට බටු, තක්කාලි, මිරිස්, වට්ටක්කා, කැරට්, බෝංචි, දෙල් ආදී ලෙස එළවළු මිශ්‍රකර පොල්කිරි යොදා සාදාගන්නා මේ ආහාරය උණු උණුවේම කෙසෙල් කොළවලට දමාගෙන ‘මෝරු මිළහායි’ නැතහොත් පැසුණු එළකිරි හා ලුණුවල බහලා අව්වේ වියළාගත් මිරිස් බැදුම් සමග ආහාර ගනිති. මේ සියලු ක්‍රියාවන්හි එකිනෙකාගේ සාමූහිකත්වය, චාරිත්‍ර වාරිත්‍ර, වත්පිළිවෙත් මනාව උගත හැකිවීම මේ ඉසව්වට ආගන්තුක වූ මා හට අපූරු අත්දැකීම් එක්කළේය.
කෝවිලට පසෙක වූ මහා මූකලන් කැලය නම් කැලෑ පලතුරුවලින් පිරී ඇත. මගේ සගයාට අනුව වරෙක ඇය ‘ඉලන්ත පලම්’ අහුරක් අතේ තබන්නේය. තවත් විටක කටු සහිත අතු පාත්කරමින් ඉතා කුඩා ප්‍රමාණයේ කළු පැහැ දම් පාටට හුරු ‘සූර පලම්’ අතේ තබන්නේය. ඒවායේ ගුණාත්මක බව ගැනද කරුණු කියන්නීය. පාලෙප් පලම් නොහොත් පළු කාලයට හැකි පමණ ආහාරයට ගන්නා පොඩි එවුන් මෙන්ම ලොකු එවුන්ද තල් කොළවලින් සෑදූ වට්ටි මලු ආදිය රැගෙන ගොස් හැකිතාක් පළු ගෙඩි එකතු කරයි. වැඩිහිටියෝ මේවායෙන් පාලේප් පාණි නොහොත් පළුවලින් පැණි සාදති. පොල් රොටී, තෝසේ සමග ආහාරයට ගැනීමට එදා මෙන්ම අදත් පුරුදු වී සිටිති. මහ ඝන කැලෑවකට රිංගුවහොත් සුමිහිරි පැණි රසක් හා කිරි රසක් තියෙන පළු අහුරක් කඩා ගන්නවාට නම් සැක නැත. හීනි තද කොළ පාට පත්‍ර අතර පුංචි කහ පැහැයෙන් සැඟවී සිටින විදුලි බුබුළුක හැඩයෙන් යුත් පළු ගෙඩි නම් අපූරුය. කහ පැහැ මල් පොකුරු අතර ගුමු ගුමු හඬ නගන රොනට වඩිනා මීමැස්සන් නිසා මේ ගස් අවට පරිසරය නම් තරමක් නොසන්සුන්ය. ගසේ වූ පල රසවිඳීමට ඇදෙන කුරුලු කොබෙයියන් මෙන්ම බිමට වැටෙන පළු ගෙඩි කෑමට ලඳු කැලෑ අස්සේ රිංගන වල් ඌරන්ගේ, වලසුන්ගේ දසුනත් බොහෝ සුලබය. මේ කාලයේ තුවක්කුවක හෝ ඇටවූ උගුලකට හසුවන පළු කෑ වල් ඌරන්ගේ මස් වෙනදාට වඩා රසවත් බව මස් බුදින ඇත්තන්ගේ මතයයි.
මේ ගම් පළාතේ බොහෝ දෙනාගේ ජීවන උපාය ගොවිතැන වුවත් එකා දෙකා තල් රෑ මැදීමද සිදුකරයි. බොහෝ තල් ගස්වල කළගෙඩි තුන හතරක්ම එල්ලා ඇත. තල් ගස බොහෝ උස වූවත් මේ ගසට නැගීම සඳහා විශේෂ වූ ක්‍රමවේදයක් ඔවුන් සතුය. එකතු වී ඇති තල් යුෂ මුට්ටියෙන් වෙන්කරගන්නා ඔවුන් මුවහත් පිහියකින් තල් මල කපා නැවතත් වැරෙන් ඒ වටා තල් කොළයෙන්ම ගැට දමා යුෂ ගලා ඒම වේගවත් කරයි.හවස්භාගය වන විට තල් රා බීමට කැමැති උදවිය රා තැබෑරුමට යද්දී තව අයෙක් තල් හකුරු සෑදීමට උත්සාහ කරයි.
ගොම්මන් කළුවර ගම්මානය ගිලගනිද්දී මෙසේ මගේ සටහන අවසන් කරන්නෙමි. තවත් රසවත් ග්‍රාමීය කතාවකින් ලබන සතියේ අපි හමුවෙමු.

විදුනි බස්නායක










