• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

පොහොට්ටුවේ ප්‍රබලයන් 4 දෙනෙක් රොස්මිඩී පෙදෙසේ ගෙදරක සජිත් එක්ක කරපු රහස් සාකච්ඡාව! රෑ කෑමත් අරන්! සජිත් බීලා තියෙන්නේ ග්‍රීන් ටී! රාජ්‍ය රහස්! EXCLUSIVE

April 30, 2023
in Exclusive, Rajya Rahas
Reading Time: 19 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

බැසිලුත් ගිහින් රනිල් හමුවෙලා!

විපක්ෂය එකමුතු කළ සටන් පාඨ 3!

ජවිපෙ වෙනස් වෙයි! අනුර කුමාර සිග්නල් එකක් දෙයි!

රනිල් එන්න හිටියේ විපක්ෂය කඩලා සිංහයෙක් වගේ!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ විවාදය සහ ඡන්ද විමසීම ඉකුත් සතියට යොදාගත්තේ සැලසුම් කිහිපයක්ම ඔළුවේ තබාගෙනය. එහි ප්‍රධානම සැලසුමක් වූයේ මූල්‍ය අරමුදලේ විවාදය ආරම්භ වන දවස් වන විට විපක්ෂය භේදභින්න කොට සීසීකඩ කොට ආණ්ඩුවට හිතකර වාතාවරණයක් යටතේ ජයග්‍රාහීව අයි.එම්.එෆ් විවාදය පැවැත්වීමය. ඒ නිසාම ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ආයතන අල්ලාගෙන පසුගිය කාලය පුරාම ආණ්ඩුව, විපක්ෂය භේදභින්න කිරීම සඳහා වූ විවිධ අසත්‍ය පුවත් පළකිරීම ආරම්භ කොට තිබිණි. සජබයෙන් මන්ත්‍රීවරු රැසක් ආණ්ඩුවට එක්වන බවට ප්‍රචාර ගෙන ගියේ ඒ අනුවය. සජබය සමග සිටින සෙසු පක්ෂ නායකයන් අතර බරපතළ ගැටුම් ඇතිවී තිබෙන බවට අසත්‍ය පුවත් පළකිරීමට පියවර ගත්තේ ඒ අනුවය. ජනාධිපතිවරයා සිතා සිටියේ මූල්‍ය අරමුදල සම්බන්ධ විවාදය ආරම්භ වන විට තමන් සැලසුම් කළ පරිදිම විපක්ෂය සීසීකඩ වී සිටිනු ඇතැයි කියාය.

රනිල්ගේ සටකපටකම්!

කොහොමත් රනිල් යනු, දේශපාලන ගේම් ගැසීමට උපන් හපන්කම් ඇත්තෙකි. තමන්ට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වන් භේදභින්න කොට, ඔවුන් අසමගි කොට තමන්ගේ වැඩේ කරගැනීමට සැලසුම් දියත් කළ හැකි රුසියෙකි. මේ අවස්ථාවේදීද රනිල් සැලසුම් කළේ එම සැලසුම් දියත් කොට ජොලි මූඩ් එකකින් පාර්ලිමේන්තුවට පැමිණ මූල්‍ය අරමුදලේ විවාදයට සම්බන්ධ වීමටය.

බෙදෙනවා වෙනුවට එක්වෙන්න පොටක් පෑදෙයි!

නමුත් ආණ්ඩුවත් නොසිතූ පරිදි මූල්‍ය අරමුදල සම්බන්ධ විවාදය ආරම්භ වන සතිය වන විට විපක්ෂය සිටියේ සීසීකඩ ගොස් නොව, ආණ්ඩුවේම යම් යම් ක්‍රියාකාරකම් හේතුවෙන් ඒකරාශී වෙමින්ය. ඒ සඳහා මූලික පදනම වැටී තිබුණේ මෑත කාලයේ ආන්දෝලනාත්මක පනතක් වූ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත, එක්ස්ප්‍රස් පර්ල් සම්බන්ධ සිදුවීම සහ විකාශන අධිකාරී පනත මුල් කරගෙනය. මෙම පනත්වලට එරෙහිව සිවිල් සමාජයෙන් විපක්ෂයට එල්ල වුණු ප්‍රබල බලපෑම්වලින් කියැවුණේ ආණ්ඩුව ගෙන යන මෙම වැඩපිළිවෙළ හමුවේ විපක්ෂය එක්ව ඊට මුහුණ නොදුනහොත් රට බරපතළ අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැකි යැයි කියාය.

ගජේන්ද්‍රනුත් ඇවිත්!

මෙම තත්ත්වය යටතේ පසුගිය සඳුදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂවල විශේෂ සාකච්ඡාවක් කැඳවූවේය. එම රැස්වීම කෙතරම් සාර්ථක වූවාද කියනවා නම් මෙතෙක් විපක්ෂයේ පැවැති රැස්වීම්වලට සහභාගි නොවූ උතුර නියෝජනය කරන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පවා එම රැස්වීමට සහභාගි වී සිටියේය. වෙනදා දෙමළ සන්ධානය සහභාගි වන කිසිදු රැස්වීමකට ගජේන්ද්‍රන් සහභාගි නොවුණද මෙවර ඔහු ඊට එක්ව තිබුණේ ආණ්ඩුව ගෙනයන මර්දනකාරී වැඩපිළිවෙළ හමුවේ විපක්ෂයේ එකමුතු වීම සිදුකළ යුතුම කාර්යයක් බවට වටහාගෙන තිබීම නිසාය. එදින උතුරු නැගෙනහිර පළාත්වල ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව හර්තාල් ව්‍යාපාරයක් කැඳවා තිබීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය ඊට සහභාගි විය නොහැකි බවට කල් තියාම සජිත්ට දැනුම් දීමක් කර තිබිණි.

හිටි අය මෙන්න!

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට සජබ නියෝජිතයන්ට අමතරව ශ්‍රීලනිපයේ දයාසිරි ජයසේකර, ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල, චරිත හේරත්, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග ඇතුළු විපක්ෂය නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ. මුලින්ම මෙම සාකච්ඡාවේදී ප්‍රතිත්‍රස්ත පනත, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය, විකාශන අධිකාරි පනත ආදිය පිළිබඳ සාකච්ඡා කිරීමේදී සියලු දෙනාම එක හඬින් කියා සිටියේ මේ සියල්ලටම එරෙහිව විපක්ෂය එකමුතුව එක හඬින් යුතුව අදහස් දැක්විය යුතු බවකි. ඒ අනුව එම කරුණු තුන සම්බන්ධයෙන් විපක්ෂය අතර යම් ඒකමතික තත්ත්වයක් ඇතිවූ ආකාරයක් දැකගන්නට හැකි විය.

එදා රනිල් බැසිල් එක්ක ඇරගත් හැටි!

මේ ආකාරයට ප්‍රධාන කරුණු තුන සම්බන්ධයෙන් ඒකමතිකභාවයක් ඇතිවූ පසු ජී.එල්. පීරිස් මහතා මෙම සතියේ පාර්ලිමේන්තුවේ විවාද කිරීමට නියමිත මූල්‍ය අරමුදලේ ගිවිසුම් පිළිබඳ මාතෘකාව ඉදිරියට ගත්තේය. එහිදී බොහෝ දෙනා චෝදනා මුඛයෙන් කතා කළේ ආණ්ඩුව තවමත් මූල්‍ය අරමුදල සම්බන්ධ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නොතිබීම පිළිබඳවය. ඉකුත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේදී මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා මූල්‍ය අරමුදල සමග එකඟතාවක් ඇතිකරගත් අවස්ථාවේදී සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට එවක ආණ්ඩුව පියවර ගත්තේය. ඊට විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් එදා රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියේය. එහිදී බැසිල් විසින් මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් රනිල් බරපතළ විවේචනයක් සිදුකළ අතර, ඔහු කියා සිටියේ ආණ්ඩුව වහාම එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි කියාය. එම අවස්ථාවේදී රනිල් හා බැසිල් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර, එය එදින මාධ්‍ය හරහා රටටම දැනගන්නටද ලැබිණි. ඒ අවස්ථාවේදී බොහෝ දෙනා කියා සිටියේ රනිල් කී කතාව ඇත්තක් බවත්, මූල්‍ය අරමුදලේ ගිවිසුම රටටම දැනගැනීම සඳහා අණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබූ බවත්ය. එදා විපක්ෂ මන්ත්‍රීවරයකුව සිටියදී එසේ බැසිල් සමග මූල්‍ය අරමුදලේ ගිවිසුම ඉල්ලා උණුසුම් වචන හුවමාරුවක යෙදුණු රනිල් අද පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයා බවට පත්වී එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් මෙහිදී විපක්ෂ නියෝජිතයන් ඉදිරිපත් කරනු දැකගන්නට ලැබිණි. එම නිසා ඇහැටවත් දැක නොමැති මෙම ගිවිසුමට ඡන්දය ලබාදිය නොහැකි බව එහිදී බොහෝ විපක්ෂ නියෝජිතයෝ සජිත්ට පෙන්වා දුන්හ.

විපක්ෂයට දීපු තනතුරුත් අරන්!

මීට අමතරව යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රනිල්ම හඳුන්වා දුන් කෝප්, කෝපා කමිටුවල සභාපති ධුරයන් විපක්ෂයට ලබාදීම, ස්ථාවර නියෝගවලට අනුව මුදල් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම ආදිය මෙවර සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් එම තනතුරු සියල්ල ආණ්ඩුවට ලබාගැනීම සම්බන්ධයෙන්ද විපක්ෂ නියෝජිතයෝ දැඩිව විරෝධය පළකර සිටියහ. සජිත්ද එහිදී ඊට පක්ෂව අදහස් පළකරමින් කියා සිටියේ තමන් තවමත් එම තනතුරු විපක්ෂයට ලබාගැනීම සඳහා දැඩි සටනක නිරතව සිටින බවය. කෙසේ වෙතත් අවසානයේදී සජිත් කියා සිටියේ එදින සවස සජබ මන්ත්‍රී කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන බවත්, එහිදී මූල්‍ය අරමුදල සම්බන්ධ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත්ය. එමෙන්ම අඟහරුවාදා දිනද නැවත පාර්ලිමේන්තුවේදී මුණගැසී මෙම එකඟතාවන් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ හැකි බවද සජිත් එහිදී විපක්ෂ නියෝජිතයන්ට දැනුම් දී සිටියේය.

විපක්ෂයෙන් පිල්ලියක් දෙකක් අල්ලාගනී!

ඒ අනුව එදින සවස සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද පැවැතියේ මේ ආකාරයට මූල්‍ය අරමුදලේ ගිවිසුමට එරෙහිව සහ ප්‍රතිත්‍රස්ත පනත, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ සිද්ධිය සහ විකාශන අධිකාරි පනත සම්බන්ධයෙන් විපක්ෂය අතර සන්ධානයක් ගොඩනැගෙමින් එද්දීය. කෙසේවෙතත් ඒ වනවිටත් විපක්ෂය ඇතුළේ ගොඩනැගෙමින් පැවැති මෙම සන්ධානය පිළිබඳ තොරතුරු ආණ්ඩුවටත්, රනිල්ටත් නොදැනුණා නොවේ. රනිල් යනු එදා සිටම එවැනි සන්ධාන බිඳදැමීමෙහි දක්ෂයකු නිසා වෙනදා මෙන්ම මෙවරත් විපක්ෂයේ මෙම සන්ධානය කඩාබිඳ දැමීම සඳහා විවිධ පිල්ලි රනිල් විසින් උපයෝගී කරගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව රනිල් කෙසේ හෝ දෙපැත්තටම අඩිය තියාගෙන සිටින පිල්ලි දෙක තුනක් සොයාගෙන විපක්ෂයේ ගොඩනැගෙමින් පැවැති මෙම සන්ධානය කඩාබිඳ දැමීමට රනිල් වෙනම මෙහෙයුමක් දියත් කර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.

IMF ගැනත් කතා කරයි!

ඒ අනුව පැවැති සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අයි.එම්.එෆ්. ගිවිසුම සම්බන්ධයෙන් දෙපැත්තටම අදහස් පළවූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ගිවිසුමට පක්ෂ අය කියා සිටියේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යායුතු බව මුලින්ම කියා සිටියේ සමගි ජන බලවේගය බැවින් ඊට එරෙහිව ඡන්දය භාවිත කළ නොහැකි යැයි කියාය. නමුත් ගිවිසුමට විරුද්ධ පාර්ශ්වය කියා සිටියේ මෙම අයි.එම්.එෆ්. කොන්දේසි මුල් කරගෙන රට බරපතළ අසීරුතාවකට පත්වන බවත්, ඉදිරියේදී වෘත්තිය සමිති, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, රටේ ජනතාව ඊට එරෙහිව නැගී සිටින බැවින් ඊට පක්ෂව ඡන්දය ලබාදුනහොත් එහි වගකීම ගැනීමට සමගි ජන බලවේගයටද සිදුවනු ඇතැයි කියාය. මේ ආකාරයට ගිවිසුම සම්බන්ධයෙන් මත දෙකක් පැමිණීම හේතුවෙන් ඉදිරි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී එහි අවසන් තීන්දුව ගැනීමට සජිත් තීරණය කළේය.

උපුල්ට විනය බාරදෙයි!

කෙසේ වෙතත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එක්තරා විශේෂ තීන්දුවක් ගනු ලැබිණි. ඒ, පක්ෂයේ විනය කටයුතු සම්බන්ධයෙනි. ඊට මූලිකම හේතුව වී තිබුණේ පසුගිය සති කිහිපය පුරා රාජිත සේනාරත්න මහතා පක්ෂ මතයට පිටින් යමින් ආණ්ඩුවට එක්වන බවටත්, ඇමැතිකම් ගන්නා බවටත් කළ ප්‍රකශයන්ය. රාජිත සේනාරත්න මහතා මෙවැනි ප්‍රකාශයන් සිදුකළ සෑම අවස්තාවකදීම අප ඒ බව අප වෙබ් අඩවිය වූ අඅඅගප්අර්ඒබැඅිගකන හි පළකිරීමට කටයුතු කළෙමු. එපමණක් නොව ඊට සජබ මන්ත්‍රීවරුන් දැක්වූ ප්‍රතිචාරයන්ද ඒ ඒ අවස්ථාවලදී අප වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කළේ සිදුවන සිදුවීම් ඒ ආකාරයෙන්ම පාඨකයන්ගේ දැනගැනීම සඳහා වෙබ් අඩවියේ පළකිරීම පමණි.

රාජිත ගැන කතාව!

නමුත් මේ සම්බන්ධයෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නිවෙසේ පැවැති විනය කමිටු සාකච්ඡාවේදී රාජිත ‘මව්රට’ පුවත්පතට බරපතළ ප්‍රහාරයක් එල්ල කරමින් මෙම ගැටලුව අප ඇතිකළ එකක් බව කියා සිටියේය. එමෙන්ම අපට එරෙහිව සිය ෆේස්බුක් පිටුවේද ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට රාජිත පියවර ගත්තේය. මාධ්‍ය සදාචාරය අනුව යමින් අප එම පුවතද අපගේ වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තෙමු. කෙසේ වෙතත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රාජිතගේ සිදුවීම සාකච්ඡාවට ගනිද්දී රාජිතද එහි සිටිනු දැකගත හැකි විය. එහිදී මන්ත්‍රී කණ්ඩායම තීන්දු කළේ මින් ඉදිරියට පක්ෂයේ විනය කටයුතු සියල්ල ජනාධිපති නීතිඥවරයකු යටතට පත්කිරීමටය. එහිදී ඔවුන් තෝරාගත්තේ ප්‍රකට නීතිඥවරයකු වන උපුල් ජයසූරිය මහතාය. යම් මන්ත්‍රීවරයකු පක්ෂ මතයට පිටින් යමින් අදහස් දක්වන්නේ නම් ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම උපුල් ජයසූරියට පැවරීම එහිදී සිදුකෙරිණ.

මයික් දැක දුවයි!

මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරු විපක්ෂ නායක කාර්යාලයෙන් එළියට බහිද්දී එහි ගේට්ටුව අසල සිටි මාධ්‍යවේදීහු රැස්වීමේදී ගත් තීන්දු තීරණ පිළිබඳව සජබ මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටීමට පියවර ගත්හ. එහිදී කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා, තුෂාර ඉඳුනිල් වැනි මන්ත්‍රීවරුන් මාධ්‍යවේදීන්ට ප්‍රකාශ ලබාදුන්නද, වෙනදා මයික් එකක් දුටු පමණින් මාධ්‍යයට ප්‍රකාශ ලබාදෙන රාජිත වචනයක් හෝ කතා නොකර මාධ්‍ය මඟහැර යන ආකාරයක් දැකගත හැකි විය. එපමණක් නොව, ඊට පසු දින අධිකරණය හමුවේ විභාග වූ නඩුවකට මුහුණ දීමට රාජිත අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය නැවතත් රාජිතගෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටියද ඒ අවස්ථාවේදීද රාජිත මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් ලබා නොදී සිය රථයේ නැගී පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.

ජවිපෙ විරුද්ධ වෙයි!

මේ අතරවාරයේ පසුගිය අඟහරුවාදා දින පාර්ලිමේන්තුව ඇතුළේ තවත් විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවෙමින් පැවැති ආකාරයක් දැකගන්නට ලැබිණි. ඉන් එක් සිදුවීමක් වූයේ ජනතා විමුක්ති පෙරමුණ අයි.එම්.එෆ්. ගිවිසුමට විරුද්ධව ඡන්දය ලබාදෙන බව ප්‍රකාශ කිරීමය. එමෙන්ම එදින නිදහස ජාතික සභාව නියෝජනය කරන ජී.එල්. ඩලස් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමද අයි.එම්.එෆ්. ගිවිසුමට විරුද්ධව ඡන්දය භාවිත කරන බව ප්‍රකාශයට පත්කළහ. එපමණක් නොව දෙමළ ජාතික සන්ධානයද කියා සිටියේ විපක්ෂය තීන්දුවක් ගන්නේ නම් තම පක්ෂයද අයි.එම්.එෆ්. ගිවිසුමට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට සූදානම් යැයි කියාය.

ජවිපෙන් සජබෙට පණිවුඩ!

මීට අමතරව ඉකුත් සතියේ ජනතා විමුක්ති පෙරමුණ වෙතින් වෙනදා දක්නට නොලැබෙන යම් වෙනසක්ද පාර්ලිමේන්තුවේදී දක්නට ලැබිණි. පසුගිය කාලයේදී නම් විපක්ෂය සූදානම් කළ කිසිදු වැඩකටයුත්තකට ජවිපෙ සහභාගි නොවූවද, විපක්ෂය සමග එතරම් ඇයි හොඳයිකම් නොපැවැත්වුවද පසුගිය සතියේදී නම් ජවිපෙ එම ස්ථාවරයෙන් තරමක් මිදී ඇති ආකාරයක් දැකගන්නට ලැබුණේ ජවිපෙ පැත්තෙන් විපක්ෂයට යම් යම් පණිවුඩ ලැබෙන්නට පටන්ගෙන තිබූ නිසාය. එම පණිවුඩවලින් කියැවුණේ ප්‍රතිත්‍රස්ත පනත, අයි.එම්.එෆ්. ගිවිසුම වැනි ප්‍රධාන කාරණාවලදී මුළු විපක්ෂයම ඒකාබද්ධව එක් තීන්දුවක් ගතයුතු යැයි කියාය. මීට අමතරව පසුගිය සතියේදී අනුර කුමාර පාර්ලිමේන්තුවේ විපක්ෂ ලොබියේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගත්, ඩලස්ලාගේ පක්ෂය නියෝජනය කරන නිදහස ජනතා සභාවේ නියෝජිතයන් සමගත් දීර්ඝව අදහස් හුවමාරු කරගනු ලැබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අවස්ථාවේ මෙම සිදුවීම දුටු බොහෝ දෙනා කියා සිටියේ ඉදිරියේදී එය ඉතා හොඳ සංඥාවක් වනු ඇතැයි කියාය.

අපි කියපු ඔක්කොම රනිල්ගේකතාවේ තිබ්බා!

කෙසේ වෙතත් අඟහරුවාදා දිනයේදි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ අයි.එම්.එෆ්. ගිවිසුම සම්බන්ධයෙන් කළ කරුණු දැක්වීමේදී අප පසුගිය මාස කිහිපය පුරාම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කළ කරුණු එකින් එක තහවුරු වූ ආකාරයක් දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමක් විය. ලංකාවේ කිසිදු මාධ්‍යයක් අප කී එම කරුණු වාර්තා කර නොතිබූ පසුබිමක් යටතේ ජනතාවට කල්තියාම සත්‍ය තොරතුරු ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් එහිදී අප හට ඇත්තේ සියුම් ආඩම්බරයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට පළමු ණය වාරිකය ලබාදීමට තීන්දු කළ මොහොතේදී ආණ්ඩුව රටක් රාජ්‍යයක් දිනාගත් අයුරින් රතිඤ්ඤා පත්තු කර කිරිබත් කෑවේ දැන් රටේ ප්‍රශ්න සියල්ලම අවසන් බවටත්, මින් ඉදිරියට ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 7ක මුදලක් ලබාගත හැකි බවටත් සඳහන් කරමින් උදම් අනමිනි. නමුත් ඒ මොහොතේ අප කියා සිටියේ සැබෑ ප්‍රශ්නය ආරම්භ වූයේ දැන් යැයි කියාය. මූල්‍ය අරමුදල ලංකාවට පළමු වාරිකය නිදහස් කිරීමට තීන්දු කළද ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැතැයි කියාය. ආණ්ඩුව කියන ආකාරයට ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 7ක මුදල නොලැබෙන බවත් අපි එහිදී කියා සිටියෙමු. එමෙන්ම තවත් විශේෂ අනාවරණ කිහිපයක් කරමින් අප කියා සිටියේ මූල්‍ය අරමුදල ලබන ජුනි මාසයේදී විශේෂ කණ්ඩායමක් ලංකාවට එවීමට තීන්දු කර ඇති බවත්, මාස හයෙන් හයට සමාලෝචනයන් සිදුකරමින් ලංකාවේ තත්ත්වය සියුම්ව නිරීක්ෂණය කිරීමට තීන්දු කර ඇති බවත්ය. එමෙන්ම විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනය බරපතළ කොන්දේසි ඉදිරිපත් කර ඇති බවටත්, ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහත නොකරන බව කොතෙක් කියා සිටියද, දේශීය ණය පවා ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවටත් අපි එහිදී සඳහන් කර සිටියෙමු.

කෝ ඩොලර් බිලියන7..!

අප කී මේ කාරණා සියල්ලක්ම ජනාධිපතිවරයා සිය කතාවේදී එකින් එක තහවුරු කර සිටීමට පියවර ගෙන තිබිණි. ජනාධිපතිවරයා කියා සිටියේ මාස හයකට වරක් මූල්‍ය අරමුදල මගින් සමාලෝචනයක් සිදුකරන බවත්, අවශ්‍ය නම් එහිදී යම් යම් කරුණු වෙනස් කරගැනීමට හැකිවනු ඇති බවත්ය. එමෙන්ම මේ වනතෙක් ආණ්ඩුවට ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් එකදු ඩොලරයක් හෝ ලබාගැනීමට හැකියාව ලැබී නැත. ඒ වෙනුවට පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණය මුදලක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින්ම කැබිනට් පත්‍රිකාවක් යොමුකොට තිබිණි. මීට අමතරව චීනය මේ වන තෙක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සම්බන්ධ කිසිදු සාකච්ඡාවකට සහභාගි නොවීමද විශේෂ සිදුවීමකි. මීට සති කිහිපයකට ඉහතදී විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැති අතර, ඊට චීනය සහභාගි වී සිටියේ නැත. ඒ වෙනුවට ඊට එක්ව සිටියේ ඉන්දියාවත්, ජපානයත්, පැරිස් සමාජයත් පමණි.

විදෙස් රටවල් අපේ ආර්ථිකය දකින හැටි!

එමෙන්ම ආණ්ඩුව මේ දිනවල කියමින් සිටින්නේ රටේ ආර්ථිකය දැන් නිවැරැදි පීල්ලට වැටී ආර්ථික වෘද්ධියක් කරා ගමන් කරමින් සිටිනවා යැයි කියාය. ආණ්ඩුව එසේ කීවද අපේ රටේ ආර්ථිකයේ තරම පසුගිය සතියේදී අවස්ථා දෙකකදීම විදෙස් මාධ්‍ය මගින් අනාවරණ කර තිබිණි. එහි එක් වාර්තාවක් ඉදිරිපත් කර තිබුණේ ලෝක ප්‍රකට ආර්ථිකය සම්බන්ධ වෙබ් අඩවියක් වන බ්ලූම්බර්ග්ය. අනෙක් වාර්තාව ඉදිරිපත් කර තිබුණේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසිනි.

මේ බ්ලූම්බර්ග් වාර්තාව!

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මගින් අනාවරණ කොට තිබුණේ ලංකාවේ ආර්ථිකය කලින් පුරෝකථනය කර තිබූ ආකාරයේ වර්ධනයක් සිදු නොවනු ඇති බවත්, ආර්ථිකය තවදුරටත් පහත බැසීමක් අපේක්ෂා කළ හැකි බවත්ය.
ඒ අනුව 2023 වසරේ 2.4%ක ආර්ථික වර්ධනයක් සිදුවනු ඇති බවට එම වෙබ් අඩවිය කලින් පුරෝකථනය කර තිබුණද, මේ වනවිට ඔවුන් පවසන්නේ 0.7%ක වර්ධනයක් සිදුවනු ඇති බවකි.
එමෙන්ම 2023 දෙවැනි කාර්තුවේදී 3.9%ක වර්ධනයක් වනු ඇති බව ඔවුන් මුලින් පුරෝකථනය කර තිබුණද ‌එය මේ වනවිට 1%ක් වනු ඇති බව එහි දක්වා තිබේ.
මීට අමතරව 2023 පළමු කාර්තුවේදී ආර්ථික වෘද්ධිය 4.4%කින් පහළ යනු ඇති බව කියවුණද එය මේ වනවිට 9.9%ක පහළ යාමක් වනු ඇති බව ඔවුන් පෙන්වා ඇත.
එසේම 2023 වසරේදී සංචිත වර්ධනය වීමක් සිදුනොවනු ඇති බවද ඔවුන් අවධාරණය කොට ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් කියපු දේ!

මීට අමතරව ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තවදුරටත් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ක්‍ක්‍ක්‍- කාණ්ඩයේ තැබීමට පියවර ගෙන ඇති බවය. ඒ අනුව ලංකාව තවමත් ආණ්ඩුව කියන තරමේ ආර්ථික වර්ධනයේ මාවතකට අවතීරණ වී නොමැති බව මෙම කරුණු හරහා පැහැදිලිය.

සජබෙ ඡන්ද වර්ජනයේ!

කෙසේවෙතත් මූල්‍ය අරමුදල ගිවිසුම සම්බන්ධ විවාදයේදී ගත යුතු අවසන් තීන්දුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සජබය සිකුරාදා දිනයේ නැවත වතාවක් රැස්වී සාකච්ඡා කරනු ලැබීය. මෙහිදී බොහෝ දෙනා සජිත්ට පෙන්වා දුන්නේ ආණ්ඩුවට දැනෙන සුළු තීන්දුවක් මෙහිදී ගතයුතු යැයි කියාය. සාමාන්‍යයෙන් ඡන්ද විමසීමකදී මන්ත්‍රීවරුන් සිදුකරන්නේ එක්කෝ ඊට පක්ෂව ඡන්දය ලබා දීමය. එසේ නොමැති නම් විපක්ෂව ඡන්දය ලබාදීමය. එසේත් නොමැති නම් සබා ගැබේ හිඳිමින් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමය. නමුත් දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙහිදී සජබය තීන්දු කළේ අයවැය ඡන්දය විමසන අවස්ථාව වර්ජනය කිරීමටය. එසේ වර්ජනය කොට ඒ අවස්ථාවේදී සභාවෙන් පිටව යෑමටය. ඒ ආකාරයට මූල්‍ය අරමුදලේ ගිවිසුමේ ඇති කොන්දේසිවලට විරෝධය පළකළ යුතු බව සජබ මන්ත්‍රීවරුන්ගේ තීන්දුව විය.

ඡන්දෙ ගැන පොරොන්දුව!

පළාත් පාලන ඡන්දය දින නියමයක් නොමැතිව කල්දැමීමට ආණ්ඩුව කටයුතු කළද ආණ්ඩුව මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත්, ඉන්දියාවටත් පොරොන්දුවක් දෙමින් කියා ඇත්තේ මෙම මැතිවරණ දෙකම වහාම පැවැත්වීමට පියවර ගන්නවා යැයි කියාය. ආණ්ඩුව මූල්‍ය අරමුදලට සහතිකයක් දෙමින් කියා තිබුණේ ලබන අගෝස්තු සැප්තැම්බර් මාස වනවිට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා යැයි කියාය. පළාත් සභා මැතිවරණ පැවැත්වීම ඉන්දියාවේ එදා සිටම පැවැති ඉල්ලීමක් නිසා ආණ්ඩුවට ඉන්දියාවට දැනුම් දී තිබුණේ කෙසේ හෝ මේ වසර අවසන් වීමට ප්‍රථම පළාත් සභා මැතිවරණයද පැවැත්වීමට පියවර ගන්නවා යැයි කියාය.

සුමන්තිරන් ගහපු ගේම!

කෙසේ වෙතත් ආණ්ඩුව මේ දක්වාම පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල්දමා ගත්තේ සීමා නිර්ණය පිළිබඳ ගැටලුව දඩමීමා කරගනිමිනි. නමුත් මේ වන විට සීමා නිර්ණය පිළිබඳ කමිටුව විසින් අවසන් වාර්තාව ලබාදීමට පියවර ගෙන තිබේ. එමෙන්ම පසුගිය සතියේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පියවර ගත්තේය. ඒ, පැරැණි ක්‍රමයටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු යැයි කියාය. ඒ අනුව ආණ්ඩුව දැන් සිටින්නේ පඹ ගාලක සිරවීය. මන්ද යත් සුමන්තිරන්ගේ යෝජනාව සම්මත කළහොත් ආණ්ඩුවට පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වීමට සිදුවේ. එවිට එහි ප්‍රතිඵලය ආණ්ඩුවට එතරම් යහපත් නොවනු ඇත. අනෙක් අතට ආණ්ඩුව සුමන්තිරන්ගේ යෝජනාව පරාජයට පත්කළහොත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට කැමැත්තක් නොමැති බව ඉන්දියාව වටහාගනු ඇත. එයද ආණ්ඩුවට එතරම් හිතකර තත්ත්වයක් නොවනු ඇත. ඒ අනුව දැන් ආණ්ඩුව පත්ව සිටින්නේ ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී තත්ත්වයකටය.
එමෙන්ම ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට කලින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද ආණ්ඩුව යම් සහතිකයක් ලබාදී තිබේ. ඒ නිසා මේ වසර ඇතුළත කෙසේ හෝ ජනතාවට ආණ්ඩුව සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගැනීමට අවස්ථාවක් උදාවනු ඇති බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

කවුද මේ චාමර?

පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ මහත් ආන්දෝලනයට ලක්වූ නමක් වූයේ චාමර ගුණසේකරය. ඒ නමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොමැති වුවද එම නම රට ඇතුළේ ප්‍රසිද්ධියට පත්වූයේ විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා විසින් මේ නම පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීම නිසාය. එම හෙළිදරව්ව අමාත්‍යවරයා සිදුකළේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිදුවීමෙන් මෙම චාමර ගුණසේකර නැමැත්තාගේ ගිණුමකට ඩොලර් මිලියන 250ක මුදලක් බැරවී ඇති බව සඳහන් කරමිනි. ඒ අනුව බොහෝ දෙනා මේ චාමර ගුණසේකර නමැත්තා කවුරුන්ද යන්න විවිධ ක්‍රමවේද ඔස්සේ සොයාබැලීමට කටයුතු කොට තිබිණි. එසේ සොයා බැලූ ඇතැමුන් අන්තර්ජාලය ඔස්සේ එම නම පිරික්සා තිබූ අතර, එහිදී ඒ නමට අදාළව පැමිණ තිබුණේ විජයදාස රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපයන්ය.

ගොඩහේවාටත් චෝදනාවක්!

කෙසේ වෙතත් එම ඩොලර් මිලියන 250 අල්ලස් මුදලත් සමග විජයදාස විසින් එවක හිටපු අමාත්‍ය නාලක ගොඩහේවාටද බරපතළ චෝදනාවක් එල්ල කළේය. ඒ, නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙනි. එකල නිව් ඩයමන්ඩ් නෞකාව ලංකාවට අයත් වෙරළ තීරයේ ගිනිගනිද්දී එය රැගෙන යෑමට අවසර ලබාදුන්නේ ගොඩහේවා විසින් බව එහිදී විජයදාස චෝදනා කර සිටියේය. මේ බව තමන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි බවත්, ඔහුද එය තහවුරු කළ බවත් විජයදාස පාර්ලිමේන්තුවට කියා සිටියේය.

ගෝඨාත් එළියට එයි!

මේ ප්‍රකාශයත් සමග ගොඩහේවාද කළේ හිටපු ජනාධිපති ගෝඨාට දුරකතන ඇමතුමක් ලබාදී ඔහුගෙන් ඒ පිළිබඳ විමසා සිටීමය. නමුත් ගෝඨා එහිදී ගොඩහේවාට කියා සිටියේ තමන් කිසිසේත්ම එවැනි ප්‍රකාශයක් විජයදාසට නොකළ බවකි.

ජයනාත්ගෙනුත් අහයි!

මීට අමතරව ගොඩහේවා මේ පිළිබඳ එවක විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ජයනාත් කොළඹගේ මහතාගෙන්ද විමසීමක් කොට තිබිණි. ජයනාත් කොළඹගේ යනු ගෝඨාගේ ආණ්ඩුව සමයේ සුපිරි බලයක් තිබූ ලේකම්වරයකු ලෙස ප්‍රසිද්ධය. ජයනාත් ද එහිදී ගොඩහේවාට කියා සිටියේ එම නැවේ සිද්ධියට ගොඩහේවා සම්බන්ධ නොමැති බවත්, ගොඩහේවා සිටියේද නීතිපතිවරයාගේ නිර්දේශ යටතේ නැව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බවට වූ ස්ථාවරයේ බවත්ය. එය ගොඩහේවා විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර, පසුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා එම කරුණ රටට දැනුම් දීමටද පියවර ගත්තේය.

චාමර අල්ලයිද?

ඒ අනුව ඇත්තටම මේ චාමර ගුණසේකර කවුද? නමක් ගමක් නොදන්නා එවැනි අයකුගේ ගිණුමකට ඩොලර් මිලියන 250ක් බැරවූයේ කෙසේද? චාමර ගුණසේකර මෙහෙයවූ ප්‍රබලයා කවුද? මේ ප්‍රශ්න සියල්ලම තවමත් ඇත්තේ පිළිතුරු නොමැති ප්‍රශ්න මට්ටමේමය.

මිහින්දට පස්සේ බැසිලුත් රනිල් හමුවෙලා!

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස් හමුවක් සිදුවූ බව අපි අනාවරණ කර සිටියෙමු. අලුත් අවුරුද්දට පෙර මහින්ද මෙම දැනුම්දීම ජනාධිපතිවරයාට කර තිබූ බවත්, එම දිනවල ජනාධිපතිවරයා නුවරඑළියේ සිටි බැවින් අවුරුද්දෙන් පසු මෙම හමුවීම සිදුවූ බවත් අපි එහිදී වාර්තා කළෙමු. ඒ අනුව හමුව සිදුව තිබුණේ පසුගිය 18 වැනි දිනය. මෙම හමුවේදී මහින්ද තමන්ට අගමැතිකම අවශ්‍ය බවට වූ නිල දැනුම් දීම ජනාධිපතිවරයාට සිදුකළ බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කිරීමට සුදානම් වන්නේ ජනාධිපතිවරයා හා රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයකු අතර සිදුවූ අතිශය රහස් හමුවීමක් පිළිබඳවය. මහින්දගෙන් පසු ගොස් ජනාධිපතිවරයා හමුවූ රාජපක්ෂ පවුලේ මෙම ප්‍රබලයා වන්නේ වෙන කවුරුවත් නොව බැසිල් රාජපක්ෂය. පසුගිය 22 වන සෙනසුරාදා දින සිදුවූ මෙම හමුවේදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද දීර්ඝව සාකච්ඡා කොට ඇති අතර එජාපය සහ පොහොට්ටුව එක්ව ගමනක් යෑම පිළිබඳ බැසිල් විසින් යෝජනා රැසක්ද ඉදිරිපත් කොට ඇති බව ආරංචිය.

කතා කරපු දේවල්!

කෙසේ වෙතත් මෙම හමුවෙන් පසු බැසිල් තම ළඟම හිතවතුන්ට පවසා ඇත්තේ එජාපය හා පොහොට්ටුව ඒකව දේශපාලන ගමනක් යෑමේ යෝජනාවට ජනාධිපතිවරයා විසින් යහපත් ප්‍රතිචාර දක්වා තිබූ බවකි. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂයා ලෙස රනිල් නම්කිරීමටත්, එජාපයේ ජ්‍යෙෂ්ඨයන්ද පාර්ලිමේන්තුවට ගෙන ඇමැතිකම් ලබාදී අලුත් ආණ්ඩුවක් පිහිටුවීමටත් මෙහිදී තමත් යෝජනා කළ බව බැසිල් සිය හිතවතුන්ට දැනුම් දී තිබිණ.

විපක්ෂයෙන් කියපු විදිහට ආවාද?

පසුගිය කාලය පුරාම ආණ්ඩුවට හිතවත් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලද වරින් වර පළකළ පුවතක් වූයේ සමගි ජන බලවේගයෙන් ‘මන්ත්‍රීවරුන් අච්චර එනවා, මෙච්චර එනවා, ඇමැතිකම් ගන්නවා’ යන පුවතය. මේ පුවත ඒ දවස්වල කොච්චර පට්ට ගැහුවාද කියනවා නම් අවසානයේදී සජබයෙන් ආණ්ඩුවට එක්වන පිරිස 40ක් බවද මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබිණි. නමුත් සජබ කිසිවකුත් ආණ්ඩුවට එක් නොවූ නිසා අන්තිමේදී ඒ පුවත පමණක් නොව ඒ පුවත දැමූ මාධ්‍ය ආයතනද පච වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

පොහොට්ටුවෙන් 4ක් සජිත් ළගට!

මාධ්‍ය මේ බොරු පුවතට විශාල ප්‍රචාරයක් දුන්නද කිසිම මාධ්‍ය ප්‍රචාරයක් නැතිව පසුගිය කාලසීමාව පුරා පොහොට්ටුවෙන් සජබයට එක්වීම සඳහා මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පණිවුඩ හුවමාරු කරගනිමින් තිබිණි. ‘රාජ්‍ය රහස්’ තීරයට ඒ පිළිබඳ මුල සිටම තොරතුරු වාර්තා වූ නමුත් අප එය රහසක් ලෙස තබාගත්තේ අදාළ සාකච්ඡා නිශ්චිත අවසානයක් කරා ළඟාවන තෙක් වාර්තා කළ නොහැකි නිසාත්, අච්චරක් එනවා, මෙච්චරක් එනවා මෙන් බොරු පුවත් පළකොට අපටද අනෙක් මාධ්‍ය මෙන් පච වීමට නොහැකි නිසාත්ය. කෙසේ වෙතත් මෙවර අප මේ පිළිබඳ වාර්තා කිරීමට තීරණය කළේ අදාළ සාකච්ඡා මේ වන විට සාර්ථක අවසානයක් කරා ළඟා වෙමින් පැවතීම නිසාය.

සාකච්ඡාව රොස්මීඩ් පෙදෙසේ ගෙදරකදී!

ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමු වරට අනාවරණ කරන්නේ පොහොට්ටුවෙන් සජබයට එක්වීමට සූදානමින් සිටින මන්ත්‍රීවරුන් කණ්ඩායම 15ක් යැයි කියාය. එම 15 දෙනා නියෝජනය කරමින් පසුගිය සතියේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු හතර දෙනෙක් සජිත් සමග විශේෂ සාකච්ඡාවකට එක්වූහ. මෙම විශේෂ සාකච්ඡාව පැවැතියේ රොස්මිඩ් පෙදෙසේ සජිත්වත්, එම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් හතර දෙනාවත් හොඳින්ම දන්නා කියන අයකුගේ නිවෙසකය. එම නිවෙසේ එදින මේ අමුත්තන් පස්දෙනාටම රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කොට තිබිණි. නමුත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් හතර දෙනා සාකච්ඡාවෙන් පසු රාත්‍රී භෝජන සංග්‍රහය භුක්ති වින්දද සජිත් සාකච්ඡාව පුරාම ග්‍රීන් ටී තොලගාමින් ඊට සම්බන්ධ වී සිටි ආකාරයක් දැකගත හැකි විය.

පොහොට්ටුව ඇතුළේ ප්‍රශ්න!

එහිදී මෙම මන්ත්‍රීවරුන් හතර දෙනා පිළිබඳවද විශේෂ යමක් සඳහන් කළ යුතුව තිබේ. ඒ, මෙම මන්ත්‍රීවරුන් දැනට පොහොට්ටුවෙන් වෙන්ව ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් නොවන බවය. තවමත් ඔවුන් කටයුතු කරන්නේ පොහොට්ටුව සමග එකටය. ඒ අනුව සාකච්ඡාව ආරම්භ කරද්දී මෙම මන්ත්‍රීවරුන් සජිත්ට දැනුම් දී සිටියේ තමන් මන්ත්‍රීවරු 15 දෙනකුගේ කණ්ඩායමක් නියෝජනය කරමින් මෙහි පැමිණි බවය. එහිදී ඔවුන් සජිත්ට පෙන්වා දුන්නේ ඉතා ඉක්මනින් මැතිවරණයක් පැමිණෙන බව තමන්ට දැනෙන බවත්, ඒ හේතුවෙන් පොහොට්ටුව ඇතුළේ විශාල අර්බුදයක් මතුවී ඇති බවත්ය. පසුගිය දිනවල නාමල් රාජපක්ෂ පොහොට්ටු බලමණ්ඩලය අමතමින් රට වටේ යෑමට පටන්ගත්තද එය අසාර්ථක වූ බවත්, නාමල්ට පාක්ෂිකයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, එසේ වුවත් නාමල්ට එය නොවැටහෙන බවත් මෙහිදී එම මන්ත්‍රීවරු හතර දෙනා සජිත්ට දැනුම් දී සිටියහ.

දිලිත්ට සහාය ඉල්ලලා!

එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පසුගිය දිනවල තම කණ්ඩායමට කතාකොට ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු වශයෙන් දිලිත් ජයවීර මහතා ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවත්, ඔහුට සහාය ලබාදෙන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවත් සජිත්ට දැනුම් දී සිටියේය. මීට අමතරව බැසිල් කතාකොට ඔහුට සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත්, පොහොට්ටුවේ තවත් පිරිසක් රනිල්ට සහාය දීමට තීන්දු කොට තිබීමත් මත මේ වන විට පොහොට්ටුව අච්චාරුවක් වී ඇති බවද ඔවුහු සජිත්ට පෙන්වා දුන්හ. මෙම පසුබිම යටතේ ලබන වසරේ මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත නිසා පොහොට්ටුවෙන් තවදුරටත් තරග කළ නොහැකි බවත්, තමන්ට ආණ්ඩුවට එක්වීමට නොහැකි බවත් මෙම මන්ත්‍රීවරු වැඩිදුරටත් සජිත්ට දැනුම් දී සිටියහ.

එකතුවෙන්නේ කොහොමද?

ඒ අනුව සජිත් ඔවුන්ගෙන් විමසා සිටියේ එසේ නම් ඔවුන් කෙළින්ම සජබය සමග එක්ව දේශපාලනය කිරීමට සූදානම්ද, එසේත් නැතින්ම සන්ධානයක් ලෙස සජබය සමග එක්වීමට සූදානම්ද කියාය. ඒ පිළිබඳ ඔවුන් සමග සිටින මන්ත්‍රීවරුන් 15 දෙනා සමග සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගන්නා ලෙසද සජිත් ඔවුන්ට දැනුම් දී සිටියේය.

රෑ කෑමත් අරන්ම ගිහින්!

මේ ආකාරයට ඉතා සුහද අයුරින් පැය එකහමාරක් පමණ වේලා පැවැති මෙම සාකච්ඡාව අවසන් වූයේ ඊළඟ සාකච්ඡාව සඳහාද දින වෙන් කරගැනීමෙන් අනතුරුවය. සාකච්ඡාව අවසන් කොට සජිත් රොස්මිඩ් පෙදෙසේ නිවෙසින් පිටත්ව ගියද පොහොට්ටුවේ මන්ත්‍රීවරු හතර දෙනා පිටව ගියේ රාත්‍රී භෝජන සංග්‍රහයද භුක්ති විඳ තවත් බොහෝ වේලා එහි ගතකිරීමෙන් අනතුරුවය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

සේවක පඩියෙන් ලක්ෂ 7ක මුදලක් කපාගෙන ජනාධිපතිටයි ආණ්ඩුවටයි සෙත් පතා සර්වරාත්‍රික පිරිත් පින්කමක් තියන්න ලෑස්ති වෙයි! පඩියෙන් 5000-2500-1000 කපන්න කියයි! පරිපාලන අමාත්‍යංශයෙන් ගහපු ලියුම මෙන්න!

Next Post

කැලණිය පරිගණක හා තාක්ෂණ පීඨය මාස 12කින් ප්‍රතිඵල නිකුත් කර නෑ! පේරාදෙණිය සමසෞඛ්‍ය විද්‍යා පීඨය තාමත් අධ්‍යයන කාලසටහන් ඉදිරිපත් කර නෑ! අන්තරේ වසන්ත පාර්ලිමේන්තුවට ඇවිත් කියයි! තේරීම් කාරක සභාව වහාම ක්‍රියාමාර්ග ගනී!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.