ගාලුමුවදොර අරගලය ආරම්භ වනුයේ අප්‍රේල් මස නවවැනිදාය. පසුගිය නවවැනිදාට ඊට හරියටම මාසයක් සපිරුණේය. අරගලකරුවෝ පුරා මාසයක් ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳෙමින් උද්ඝෝෂණ කරන්නට වූහ. එහෙත් එක කඩදාසි කැබැල්ලක්වත් එකී පරිශ්‍රයට වීසි කරන්නට ඔවුහු කටයුතු නොකළෝය. තරුණ තරුණියන් දහස් ගණනක් රැස්ව සිටියද කිසිම විනය විරෝධී ක්‍රියාවක් වාර්තා නොවූයේය. සාමාන්‍ය වශයෙන් මෙවන් තරුණ අරගලයක දකින්නට ලැබෙතැයි සිතිය නොහැකි අපූරු විනයවත් බවක් සහ කැපවීමක් ගාලුමුවදොර අරගලයේදී දැකගත හැකි විය. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කොළඹට කැඳවන ලද කුලී මැරයන් පසුගිය 9 වැනිදා පහර දුන්නේ එවන් ප්‍රශස්ථ මට්ටමකින් පවත්වාගෙන ගිය සැබෑ ජන අරගලයකටය.
මේ අරගලය දෙස ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ බොහෝ දෙනකුද බැලුවේ වරදි ඇසකිනි. ඔවුන් සිතුවේ මේ අරගලය ගාලුමුවදොරට රැස්වූ තරුණ ප්‍රජාවගේ ගැටලුවක් පමණක් බවය. නැතිනම් 1971 සිට දේශපාලන වේදිකාවේ පට්ටා ගසන තරුණ අසහනය මේ අරගලයටද හේතුව කියාය. එහෙයින් මෙකී අරගලයට සැබැවින්ම හේතූභූත වූ කරුණු කාරණා විමසා බලා විසඳුමක් දෙන්නට ආණ්ඩුවට ඕනෑකමක් නොවූ සේය. අරගලය ආරම්භ වූ මුල් දිනවල ආණ්ඩුව සහ ඊට හිතවත් මාධ්‍ය දැරූ අදහස වූයේ සිංහල අවුරුද්දට කොල්ලෝ කෙල්ලෝ ගෙවල්වලට යනු ඇති බවය. එහෙත් එසේ සිදුවූයේ නැත. අරගලකරුවෝ එම භූමියේම අවුරුදු සැමරුවෝය. මේ අල්ලපනල්ලේ ආණ්ඩුවට හිතවත් ජනමාධ්‍ය අරගලයට අඛණ්ඩව ගරහන්නට විය. ඊට එන්.ජී.ඕ. ලේබල් ඇලවිණි. ඩයස්පෝරාවේ සම්බන්ධකමක් ඇතැයි කීවෝය. බෞද්ධ විරෝධී අරගලයක් බවට චෝදනා නැඟුවෝය. ඉන්ද නොනැවතී බීච් පාටියක් බවටද චෝදනාකෙරුවෝය. මේ වැරදි දේශපාලන කියවීමට මෙරට තරුණ පරපුර උත්තර දුන්නේ ඩිජිටල් තාක්ෂණයෙනි. ආණ්ඩුවට කඩේ යමින් අරගලයේ අරමුණු අවභාවිත කරන්නට යත්න දැරූ චැනල්වල රේටින් බින්දුවට බස්සන්නට ඔවුහු කටයුතු කළෝය.
එහෙත් තරුණ පරපුරේ ‘ස්මාර්ට්’ උත්තරය යල් පැනගිය මහලු ආණ්ඩුව කියවා ගත්තේ නැත. ඇත්තම කියනවා නම් තරුණ අරගලය තමුන් කියවාගත්තේ වැරදි ආකාරයට බව පසුගිය නවවැනිදා රාත්‍රිය තෙක්ම ආණ්ඩුව වටහා ගන්නේද නැත. මැයි මස 8 වැනිදා උපාසකයෙක් සේ අටමස්ථානය වැඳපුදාගන්නා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඊට පසුදාම තම කුලී මැරයන් අරලියගහ මන්දිරයට කැඳවන්නේත්, මහජන මුදලින් ඔවුන්ට සංග්‍රහ සත්කාර කර ගාලු මුවදොර අරගල කරන කොල්ලන්ගේ ඔළු පළන්නට මැර කණ්ඩායම් යවන්නේ එකී වැරදි කියවීම නිසාය. එහෙත් සබෑ ජන අරගලය තිබුණේ ගාලුමුවදොර නොව මුළුමහත් සමාජයේය. ගාලුමුවදොර වූයේ එහි සරල නියෝජනයක් පමණි. තමන් වෙනුවෙන් මාසයක් තිස්සේ සාමකාමී අරගලයක නියැළෙන සහෝදර සහෝදරියන්ට ආණ්ඩුවේ කුලී මැරයන් පහරදෙන බව දැනගත් වහාම කොළඹ සහ තදාසන්න සමාජයම වලාකුළක් සේ ගාලුමුවදොර වසාගන්නේය. අරගලයේ සැබෑ උරුමක්කාරයෝ කවුරුන්දැයි ආණ්ඩුව සහ ඔවුන්ගේ මැරයන් දැනගන්නේ එවිටය. එහෙත් ඒ වන විට පමා වූවා වැඩිය. අතට අහුවෙන දේ රැගෙන ගාලුමුවදොරට රැස්වෙන අරගලයේ හිමිකරුවෝ ආණ්ඩුවේ මැරයන්ට අමතක නොවන පාඩමක් උගන්වන්නට සමත් වූහ.
යූටියුබ් නාලිකා සහ පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් ගාලුමුවදොර ගෝඨාගෝ ගමට එල්ලවන ප්‍රහාරය ලංකාවේ හතර කොනට පමණක් නොව කරදිය වළල්ලෙන් එපිටද ගෙන යන්නට සමත් වන්නේය. ගෝඨාගෝ ගම අරගල බිමට එන්නට වේලාව මදිවූ අය මැරයන් රැගෙන ගිය බස් රථ අතරමඟදී පිළිගන්නේය. රටම ගිනිගන්නට ගතවන්නේ විනාඩි ගණනකි. ප්‍රචණ්ඩත්වය අප අනුමත නොකරන මුත් පහරට පහරදීම වූ කලී වෙනමම සලකා බැලිය යුතු තත්ත්වයක් බව නොකියාම බැරිය. ආණ්ඩුවේ මැර ප්‍රහාරය මුළු ලංකාවම ගිනි තබන්නට සමත් වන්නේය. කෝපයට පත් මිනිසුන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්, පළාත් පාලන නියෝජිතයන්ගේ දේපොළ සොය සොයා හානිකරන්නට පටන් ගත්තේය. අධි සුඛෝපභෝගී වාහන ගිනිබත් වූයේය. තවත් සමහරක් බේරේ වැවේ ගිල්වා දැමුණේය. බඩට කන්නට නැතිව, ලෙඩට බෙහෙත් නැතිව, තෙල් පෝලිම්, ගෑස් පෝලිම්වල තමන් දුක් විඳිද්දී අණ්ඩුවේ මැති ඇමැතිවරුන් ගෙවූ සුඛෝපභෝගී ජීවිත දුටු ජනතාවගේ ඉවසීම රතු කට්ට පැන්නේය. ජනතා නියෝජිතයන් යනු සාමාන්‍ය ජනයා මෙන් සරල ජීවිතයක් ගෙවිය යුතු අය මිස ජාතක කතාවල හමුවන සිටුවරුන් නොවනා බව නන් වැදෑරුම් පීඩාවන්ගෙන් පිරුණු ලාංකේය සමාජය දේශපාලනඥයන්ට පසුගිය 9 වැනිදා පසක්කර දුන්නේය.
රටේම පවතින්නේ පෝලිම්ය. තැනක ගෑස් පෝලිම්ය. තෙල් පෝලිම්ද රට පුරාමය. අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩාකර නොගන්නැයි රජයත් ඛනිජ තෙල් සංස්ථාවත් ජනතාවට නිවේදන පිට නිවේදන නිකුත් කළ බව ඔබටද මතක ඇත. එහෙත් විරෝධතාකරුවන් තිස්සමහාරාම කිරින්ද මාගම ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂට අයත් නිවෙසකට කඩාවදිනා විටත් එහි ගබඩාවක සඟවා තිබූ ඩීසල් ලීටර් 3,000ක් තිබූ බව වාර්තා වේ. රෝගියෙක් රෝහලකට ගෙනයන්නට පෙට්‍රල් ලීටරයක් සොයාගන්නට නැති රටේ අමාත්‍යවරයකුගේ නිවෙසක ලීටර් 3,000ක ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යාම සාධාරණීකරණය කරන්නට උන්මත්තකයකුට මිස අන් කිසිවකුට නොහැක. ලංකාවේ නීතියෙන් ඉන්ධන තොග රැස්කර තබාගත හැක්කේ ඊට අවශ්‍ය නෛතික අවසරය ඇති අයට පමණි. ඒ අනුව චමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කර ඇත්තේ බරපතළ වරදකි. අවුරුද්දකට ඩීසල් තමා සතු බවට ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහටද අදාළ විය යුත්තේ එම නීතියමය.
ආණ්ඩුවේ පොහොර තහනම ලංකාවේම මිනිසුන්ගේ බත් පතට වැලි දැම්මේය. එකී තීරණයෙන් සිදුවූ විනාශයෙන් ලංකාවේ කෘෂිකර්මය තව කන්න දෙක තුනකට ගොඩ එන්නේ නැති බව පැහැදිලිය. අද වන විට වගාවට අත්‍යාවශ්‍ය යූරියා මිටියක් රුපියල් 40,000 ඉක්මවා තිබේ. ඒ ගණනටවත් වෙළෙඳ පොළේ යූරියා නැත. එහෙත් විරෝධතාකරුවන් කඩා පනින විට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ නිවෙසේ යූරියා මිටි 300ද, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි ගොවිපොළේ යූරියා මිටි 400ක්ද තිබී ඇත. ජනතාවට හතේ හත වදිද්දී දේශපාලනඥයන් ගෙවා ඇත්තේ අධිසුඛෝපභෝගී ජීවිතයකි. ඔවුන්ගේ ජීවිතවලට අවශ්‍ය සෑම සියලු දේ පමණක් නොව ඔවුන්ගේ ව්‍යාපාර ආදිය බාධාවකින් තොරව කරගෙන යන්නට අවශ්‍ය සියලු දේද ගබඩා කරගන්නට තරම් වාසනාවක් ඔවුනට තිබී ඇත. මෙරට ජනතාව නුරුස්සන්නේ මෙකී තත්ත්වය බව රට පුරා ඇවිළෙමින් තිබෙන ජනතා වෛරය දේශපාලනඥයන්ට කියාදෙන පාඩමයි.
ආණ්ඩුවේ අසමත් පාලනය ජනතාවට දුන් ලොකුම පීඩනය ගෑස් හිඟයයි. අද වන විට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ලබාගැනීම දින දෙක තුනක් පෝලිමේ සිටියත් කරගත නොහැකි දෙයක් බවට පත්ව ඇත. ගෑස් හිඟය නිසා ආපනශාලා වසාදමා ඇත. වෙනකක් තබා ආදාහනාගාරවල මෘතදේහ ආදාහනය පවා නතර කළ අවස්ථා අපි අසා ඇත්තෙමු. එවන් රටක කබිනට් අමාත්‍ය ධුරයක් හෙබවූ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවෙසේ තිබී ගෑස් සිලින්ඩර් 80ක් උද්ඝෝෂකයන් සොයාගෙන ඇත. එකම ඇමැතිවරයෙක් තබා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් අප ඉන්ධන, ගෑස්, කිරිපිටි පෝලිම්වල දැක නැත. එහෙයින් අනිත් මැති ඇමැතිවරුන්ගේ තත්ත්වය මීට වෙනස් විය නොහැක. තම තමන්ගේ අදූරදර්ශී දේශපාලන තීන්දු නිසා ජනතාව පෝලිම්වල දුක් විඳිද්දී සුවපහසු ජීවිතයකට අවශ්‍ය සියලු සම්පත් ගොඩගසාගන්නට ජනතා නියෝජිතයන්ට සදාචාරාත්මක අයිතියක් නැත. ඉවසීමේ කෙළවරට පැමිණි ජනයා පොලු මුගුරු ගෙන පාරට බැස දේශපාලනඥයන්ට කියාදුන් පාඩම ඒකය.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු










