ජනපතිගේ එක්සත් රාජධානී සංචාරයට අදාළව පළවන සාවද්‍ය තොරතුරු පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කොට ඇත.
එම නිවේදනය මෙසේය.
බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දූත පිරිස සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සමාජ මාධ්‍ය විවිධ සාවද්‍ය තොරතුරු හුවා දක්වමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කරන බව නිරීක්ෂණය වෙයි.
මෙම අවස්ථාව සඳහා ලැබුණු නිල ආරාධනය අනුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල දූත පිරිසට එක් වූයේ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීහු පමණි. ඊට අමතරව ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා මීට සහභාගී විය.
ජනාධිපතිතුමාගේ භාර්යාව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ සඳහා එක් වූයේ එතුමියගේ පෞද්ගලික වියදමින් වන අතර, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද ඊයේ (19) පැවති ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුවට එක් වූයේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින අතරතුරය.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD)
2022-09-20