රනිල් කියන්නෙ ලංකාවෙ දේශපාලනයෙ චූඩාමාණික්‍යයද? නෑ. රනිල් කියන්නෙ ලංකාවෙ ප්‍රභූ දේශපාලනයෙ චූඩාමාණික්‍යය. රදල දේශපාලනයෙ අන්තිම පූර්ණ සාමාජිකයා. අන්න ඒ නිසා රනිල් කියන්නෙ ප්‍රභූ දේශපාලනයෙ නෂ්ටාවශේෂ රකින බහිරවයා. රනිල් නැතුව ගියාම මේක හේදිලා යනවා. ඒක හුඟක් අය දන්නවා, අනුර හරි හෝ වැරදි අනුර කියන්නෙ ප්‍රභූ දේශපාලනයේ මුර බල්ලෙක් නෙමේ. කිව්වත් නොකිව්වත් අනුරට තියෙන ඇරියස් එකක්. අනුර තඹුත්තේගම ගොවියගෙ පුතා. ඒක අපිට ‘පට්‍ට’ වුණාට වලව්වට ලොකු හිතේ අමාරුවක්. එයාලා හැමදාකම කළේ තම තමන්ගෙ එකා එක්ක අම්බිලියො පැන්න එක. තමන්ගෙ අම්බිලියා එහා පැත්තෙ එකාට දීලා, මෙයා අනිත් පැත්තට පනිනවා. එහාට මෙහාට පැන්නට අම්බිලිය තියෙන්නෙ තමන්ගෙ පන්තියෙ එකෙක් ගාව. ඒක පොඩි එකෙක්ට දෙන්නෙ නෑ. සෙල්ලම සාධාරණ බව පේන්නෙ පිටින් බකන් ඉන්න අපිට විතරයි. ඒ නිසා බයක් වෙන්න කාරණාවක් නෑ. මේකෙන් මහින්ද රනිල්වවත් රනිල් මහින්දවවත් අවුට් කරන්නෙ නෑ. මේක දෙපැත්තටම සාධාරණ සෙල්ලමක්.
ඒ සෙල්ලමට අනුරව ගත්තෙ නෑ. ටිල්වින්ව ගන්නෙත් නෑ. විජිතව, හඳුන්නෙත්තිව, බිමල්ව ගන්නෙත් නෑ. හැබැයි ‘හරිනි එනවා නම් ගන්නම්…’Sri Lanka Latest News
එයාලා ඒකට ඕකේ. ඒකයි රනිල් බලන්න හරිනි ගිය බවට කතන්දර කිව්වෙ. එයාලා දන්නවා ගන්නවා නම් ගැළපෙන්නෙ හරිනිව බව. ඒ නිසා මේ වෙලාවෙ පොඩි වල්වාසි ගන්න වැඩක් යනවා. ඒ තමයි හරිනිට ඉඟියක් කරනවා. ‘අපේ පරම්පරාව බේරගන්න එන්න’ කියලා. හරිනි ලංකාවෙ අගමැති මිසක් ජනාධිපති නෙමේ. ඒක හරිනිට දැනෙන්නෙ ඇරලා, හරිනිව ගලවා ගත්තා නම් වලව්වට සනීපයි. වලව්වෙ ඉස්සරහ දොර ඇරෙන්නෙ හරිනිට මිසක් අනුරලට නෙමේ. ද්‍රවිඩ සන්ධානයෙ වුණත් ඕක තමයි සෙල්ලම. සම්බන්දන්ට ආදරයෙන් දෑත් දිගු කළාට ශ්‍රීධරන්ව බදාගන්න මේ අය ආස නෑ. වේට්ටිය අඳින ශ්‍රීධරන් අයිති වලව්වට නෙමේ. ඉස්සර කෙහෙල්වත්තෙන් ආපු ආර්. ප්‍රේමදාසට මේ අය සැලකුවෙත් ඔහොමම තමයි. කුරුඳුවත්තෙ බංගලාවලට අලුත් අවුරුද්දට නෑගම් යන දේශපාලන නෑදෑයෝ දෙකට බෙදිලා තරග කළාට කාටවත් ඌයිය වෙන්න දුන්නෙ නෑ. පිට්ටනියෙදි රණ්ඩු වෙලා හෝටලේදී එකට කන ක්‍රිකට් ක්‍රීඩකයො වගේ එයාලා අවුරුදු ගානක් තිස්සෙ සෙල්ලම කරගෙන ගියා. උච්චි උච්චි තෝල් තෝල් කියලා ඕනෙ වෙලාවට පිල මාරු කරන්න එයාලා දැන ගෙන හිටියා. ගම්වල එවුන් ගහමරාගෙන රණ්ඩු වෙද්දි ස්ටේජ් එකෙන් ස්ටේජ් එකට ආදරය පාකරන්න දේශපාලකයො දැනගෙන හිටියා. දානෙට මඟුලට එකට සෙට් වුණු දේශපාලන නෑදෑයෝ රජ පුටුව පරම්පරාවෙ ඊළඟ එවුන් වෙනුවෙන් රැකගන්න ප්‍රතිඥා දීලා තිබුණේ.
ඇත්තටම තඹුත්තේගම තනි සිග්නල් කණුව යට ඉපදුණු ගොවියෙක්ගෙ පුතෙක් මේ සිස්ටම් එක නොකඩන්න අපිට වෙන්නෙ අත්පුඩි ගහන්න විතරයි. මේ සෙල්ලමට අපිව ගන්නෙ නෑ. අපිට එන්නත් බෑ. අපි එන්න අහන්නෙත් නෑ. ඉතින් හාමුලගෙ පුතාලා දුවලා ඕනෙම ජඩ වැඩක් කරන්න බය වුණේ නෑ. ඒකට හේතුව ජනාධිපති අංකල්ලා යාළුවන්ගෙ පුතාලට පස්ස පැත්තට කෝටුවෙන් ගැහුවට හුඟාක් රිදවන්නෙ නෑ. ඒ ගැහුවත් ආදරේට හදාගන්න බව ඒ පුතාලට අත්තම්මලා ලොයි බංකුවෙ ඉඳගෙන කියලා දුන්නා. ඩේසි ආච්චිලයි හාමු සීයලයි බහිරවයො වගේ පරම්පරා ගානක් තිස්සෙ ආත්ම මුර කළා. ලීස්තර වැටවල් ගහලා කොටු කරපු වලව් ආලින්දවල, ලොකු කළුවර කවිච්චිවල ඉඳගෙන රට ගැන තීන්දු ගත්තෙ අප්ප මහප්පලෑ දරුවො. වතුරට වඩා ලේ හුඟාක් ගනකම් බව ඒ සුදුපාට වලව්වල හිරවෙලා පැනගන්න බැරුව හිටපු ආත්ම අන්තිම වෙනකල් විශ්වාස කළා. රනිල් ඒ විශ්වාසයෙ අන්තිම පරම පවිත්‍ර හිමිකාරයා. එයාව හිරේ දාන්න කාටවත් බෑ. ඒකට හේතුව පරම්පරාවල ලේ උරුමය. පවුලෙ වැඩිහිටියෙක්ව රකින්න පොරොන්දු වෙන දූ දරුවන්ට කිරි අත්තගෙ මුරණ්ඩුකම ආදරෙන් ඉවසන්න වෙනවා. ඒකට හේතුව දරුවන්ට සෙල්ලං කරන්න බංගලා මිදුල හදන්න සීයා තරුණ කාලේ වෙහෙස වුණු හැටි වැඩිහිටියො කියලා දුන්න නිසා.
ඒත් ගොවියෙක්ගෙ පුතෙක්ට ඒක අදාළ නෑ. උන් හොරාකාපු බව බය නැතිව කියන තැනටම ආවෙ, කවදාවත් මේක පරම්පරාවෙන් පිටතට නොයන බවට තිබුණු පට්ට විශ්වාසය නිසා. මේ රටේ මිනිස්සුන්ට අවුරුදු කෝටියක් ගියත් වැඩවසම් ක්‍රමයෙන් ගැළවිලා වලව්වෙ ඉස්සරහ දොරෙන් ගෙට එන්න බෑ කියලයි රනිල්ලා හිතුවෙ.
‘එහෙම එකක් නෑ, වරෙල්ලා යන්න…’
කියලා උඹවයි මාව එක්ක ගිහිල්ලා වලව්වෙ ලොකු කළුවර උළුවස්සෙ මායිම පැන්නෙ තඹුත්තේගම ගොයියගෙ පුතා අනුර. අනුර කවිච්චියෙ ඉඳගන්නව ද ඒක පෙරළනවද කියන එක තීරණාත්මකයි. හරිනම් අනුර කරන්න ඕනෙ මේක තමයි. මේක එඩිතර වැඩක්. හරිද වැරදිද පවුද නැද්ද කියන එක වෙනම කතාවක්. අනුරට අදාළ වෙන්න ඕනෙ මේ එකක්වත් නෙමේ.
‘රනිල්ට අත තිබ්බොත් බලාගෙනයි…’ කියන හාමුලට එරෙහිව ඔහු පාවිච්චි කරන්න ඕනෙ නීතිය. අධිකරණයේ ස්වාධීන බව. ජනතා පරමාධිපත්‍යය. ඒවා වලව්වෙ කුස්සියේ දරමැස්ස යට හංගලා තියෙන තැනින් එළියට අරගන්න අනුරලට වගකීමක් තියෙනවා. මොකද අනුර නියෝජනය කරන්නෙ මේ රටේ මිලියන විස්සකට ආසන්න සාමාන්‍ය මිනිහගෙ කුලකය. ඒ කුලකය විශාල වැඩියි. උන් ඈතින් පේන වලව්වෙ හෙවැණැලිවලටත් බයයි. ඒ බය නැති කරලා අනුරට පුළුවන් රජ වෙන්න. හැබැයි ඒකට කෙටි පාර තියෙන්නෙ හාමුලට. ඒ පාර තෝරගත්තොත් අනුර පරම්පරාවක් පාවා දුන්න එකෙක් වෙනවා. වලව්වෙ ලොකු කළුවර කවිච්චියට අනුරව ගැළපෙන්නෙ නෑ කියලා දේශපාලකයො හැංගි හොරා කියන්නෙ, අනුරගෙ ඇඟේ මඩ තියෙන හින්දා නෙමේ. අනුරගෙ තාත්තයි අපේ තාත්තයි පිළිකන්නෙ ලී බංකුවෙ ඉන්දලා මඩක්කුවෙ කෑම තීබූ පරම්පරා මතකෙට. ඒ නිසා අනුර රනිල් හිරේ දාපු එක සංකේතාත්මකයි. ඒක ස්වයං වින්දනයක් බව කියන්නෙ වලව්වෙ ඉහළ මහලෙ ඉඳලා විස්කි තොලගාන උදවිය. ඒත් ඒක සාමාන්‍ය මිනිස්සුට පරමානන්දයක්.
‘ඇයි ඒ…?’
කෙනෙක් කියයි ඒක පරම්පරාව වෛරය කියලා. ඔව් ඒක හරි. උන් අපිට කෙළින්ම කිව්වා.
‘අපි මොනවා කළත් තොපිට කරන්න දෙයක් නෑ…’ කියලා. ඒක අපේ පරම්පරාවෙ එකෙක් බින්දා. නෑ අපි හාමුව හිරේ දාලා පෙන්නනවා කියලා ඔප්පු කළා. ඒක කළේ නීතිකව. ඒක කළේ ඇරියස් එකකට නෙවේ. වැරදි හම්බෙන පිළිවෙළට නොම්මර ලැබෙයි. බස්තම බිම තියලා එන්න. මේ මල් පිපෙන කාලෙ. වලව්වෙ ලොකු බංගලි රෝස පඳුරට යටින් මොනරකුඩුම්බිය මල් හිනාවෙනවා.
අනුර සහෝදරයා, දේශපාලනය වෙනයි. මේවා වෙනයි. අපි ඉන්නවා, කඩපං මේ සිස්ටම් එක. ගහපං කුඩු වෙන්න. ඔය උස ඇති. මේක ඒ හැටි දිග පළල එකක් නෙමේ. හැම් බේකන් චීස් පුඩින් වගේ නෙමේ, හෙරළි පොළොස්, තිබ්බටු මැල්ලුං. නීත්‍යනුකූලව කෙරෙන ඕනෙම දේකදි අපි සැලියුට් කරනවා.

ජීවන පහන් තිළිණ










