වෙසක් යනු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් දිනයයි. පහන් එළි දල්වා අඳුර පලවා හරින අතරම මිනිසුන්ගේ හදවත ප්‍රඥාවෙන් ආලෝකවත් වන කාලයක්. මේ නිසාම වෙසක් සමය ඇරැඹෙන්නේම හැම කෙනාගෙම හිත් පහන් කරවන සුන්දර හැඟීමකින්. එහෙත් මේ උතුම් වෙසක් දිනයේ මීගොඩ ප්‍රදේශයෙන් අහන්නට ලැබුණේ රටම කම්පා කරවන පුවතක්.Sri Lanka Latest News
වෙසක් සතුට නිමේෂයකින් නිමා කරමින් අපරීක්ෂාකාරී රියැදුරෙක් නිසා වටිනා ජීවිත 06ක් විනාශ වුණා. මෙය සාමාන්‍ය රිය අනතුරක් නම් නොවේ. පවුල් කිහිපයකම හෙට දවස උදුරාගත්, තරුණයන් කිහිපදෙනකුටම මවුපියන්ගේ හදවත් හිස් කළ වෙසක් සතුට නිමේෂයකින් අවසන් කළ ඛේදවාචකයක් වුණා. එදා රාත්‍රියේ දන්සල අසල මිනිසුන්ගේ සිත් පිරී තිබුණේ පිනකින්. බොහෝ දෙනෙකු රොටියක් කන්න පෝලිමේ හිටියා. ඒ අහිංසක ආසාවක්. තවත් කෙනෙක් තම දරුවන් අතින් අල්ලාගෙන හිටියා. තවත් කෙනෙකු තමන්ගේ පවුලේ ආදරණීයයන් සමග සතුටෙන් කතාකරමින් පෝලිමේ සිටියා. ඒ කිසිවෙකුත් දැන සිටියේ නැහැ තමන්ගේ ජීවිතවල අවසන් මිනිත්තු කිහිපය මේ ගතකරමින් ඉන්නේ කියලා. නමුත් ඊළඟ නිමේෂයේ අසන්නට ලැබුණේ සිනහව නොවේ කෑගැසීමක්. හැමෝම තමන්ගේ ආදරණීයයන් හෙව්වා. එක මොහොතකින් දන්සලක් මරණ භූමියක් බවට පත්වුණා. මුළු රටම මේ ගැන කතාකරන්නට වුණා.
වෙසක් සමයේ අපට අසන්ට ලැබුණු කනගාටුදායකම පුවත වුණේ මීගොඩ දන්සලකට ගිය පිරිසකට සිදුවූ කනගාටුදායක සිදුවීමයි. මේ අනතුර සිදුව තිබුණේ පසුගිය මැයි 31 වැනි දින රාත්‍රි 11.50ට පමණයි. 119 දුරකතන අංකය යටතේ මීගොඩ පොලිසියට දුරකතන ඇමතුමක් ලැබීමෙන් අනතුරුව පොලිසිය ක්‍රියාත්මක වනවා. වෙසක් පොහොය නිමිත්තෙන් මීගොඩ මංසන්ධිය ආසන්නයේ රොටි දන්සලක් සංවිධාන කර තිබුණා. දන්සලට සහභාගි වීමට බොහෝ පිරිසක් පොහොය දවසේ රාත්‍රියේ පැමිණ තිබුණා. ක්ෂණයකින් සිදුවූයේ කිසිවෙක් නොසිතූ ඛේදවාචකයක්. අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් දන්සල් පෝලිමේ සිටි පිරිසට අනතුරක් සිදුකර පලාගියේ සිදුවූයේ කුමක්ද යන්න කිසිවකුටත් සිතාගැනීමට හෝ ඉඩ නොදෙමින්. කැබ් රථය පලාගිය ආකාරය අසල වූ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා.
වඩාත්ම හදවත බිඳ දැමුවේ කුඩා දරුවකුගේ වචන කිහිපයක්. ‘අම්මා දන්සලට ගියා ඊට පස්සේ කැබ් එකක් ඇවිල්ලා අම්මාව හප්පගෙන ගියා’ ඒ දරුවාට තවමත් මරණය යනු කුමක්දැයි නොතේරෙන්නට ඇති. ඔහු තවමත් හිතනවා ඇති අම්මා ආයෙත් ගෙදර එයි කියා. ආයෙත් ඔහුව තුරුළු කරගනියි කියා. නමුත් ඔහු නොදන්නා සත්‍යය නම් අම්මා නැවත කිසිදා ගෙදර නොඑන බවයි. දන්සලට පැමිණි සිටි පිරිස ඒ මේ අත දිව්වේ කෑගසමින්.
අනතුරින් තුවාල ලැබූ 13 දෙනකු කඩිනමින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබුවත් අවාසනාවකට ඉන් 06 දෙනකු ජීවිතක්ෂයට පත්වුණා. ජීවිතක්ෂයට පත්වූවන් අතරින් දෙදෙනකු අඹුසැමියන් බව වාර්තා වුණා. පොලිසිය අනාවරණ කරනු ලැබුවේ මේ අඹුසැමි යුවල අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අතර, බිරිඳගේ මවුපියන් බැලීම සඳහා පිළියන්දල ප්‍රදේශයට ගොස් යළි නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ ගොඩගම මංසන්ධියේ රාත්‍රී සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කැබ් රථයේ රියැදුරු අල්ලා ගැනීමට කටයුතු කරනු ලැබුවා. එම රියැදුරු ඒ අවස්ථාවේ බීමතින් සිටි බවද පොලිසිය සිදුළ පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණා. ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු බවයි අනාවරණ වුණේ.
මීයගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් තිදෙනකු, කාන්තාවන් දෙදෙනකු සහ 15 හැවිරිදි දැරියක් සිටින බවද සඳහන්ය. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් දිවි අහිමි වුණේ හංවැල්ල, අවිස්සාවේල්ල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ටයි.
මේ ලෝකේ අම්මෙකුට තාත්තෙකුට දරාගත නොහැකිම වේදනාව වන්නේ තම දරුවාගේ මරණයයි. අවාසනාවකට එදා ඒ වේදනාව පවුල් කිහිපයකටම උරුම වුණා. මේ සියල්ල සිදුවුණේ බීමත් රියැදුරෙකුගේ නොසැලකිල්ලයි.
අනතුර සම්බන්ධයෙන් රථවාහන පාලන හා මාර්ග අංශ භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මෙම අනතුර සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවැන්නකි.
‘හයිලක්ස් වර්ගයේ කැබ් රථය ලොරියක් පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ. මේක දකුණු පැත්තෙන් ඕවර්ටේක් කරන්න හදලා ඉස්සරහින් එන ලොරියක් නිසා නැවතත් වම් පසින් ඕවර්ටේක් කරලා තියෙනවා. ඔහු දැන දැනම තමයි මේ අපරාධය කරලා තියෙන්නේ. ඔහුගේ ළඟ වලංගු රියැදුරු බලපත්‍රයක්වත් තිබුණේ නැහැ. ලිපි ලේඛනත් වලංගු ඒවා නෙවෙයි. වැලි තීරුවේ හිටපු අහිංසක මිනිස්සු මේ. ඔහුට විරුද්ධව අපරාධ නීතිය යටතේ පුළුවන් උපරිම දඬුවම ලබාදෙනවා. වාහනයේ අයිතිකාරයත් ඉඳලා තියෙනවා. පසුව ඒ පුද්ගලයා එතැනින් ඉවත් වෙලා තියෙනවා. බීමත්ව අහිංසක ජනතාවගේ ජීවිත විනාශයට පත්කරන අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. අපි කියනවා මත්ද්‍රව්‍ය මත්පැන් භාවිත කරලා වාහන පදවන්න එපා කියලා. මත්පැන්වලට සම්පූර්ණ මනස විකෘති වෙනවා. මාර්ග අනතුරක් වුණාම දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ තමයි අපි කටයුතු කරන්නේ. නොසැලකිලිමත් ක්‍රියාවකින් මරණයට පත්කිරීම මේකෙන් ඔප්පු වුණා මත්පැන් භාවිත කරලා මනස විකෘති වෙලා කියලා. මේ අනතුර මුල් අවස්ථාවේ නවත්ත ගන්න තිබුණා ඇඟේ වදිනකොටම….’
මෙම සැකකාර පුද්ගලයා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
සමහරු බණින්නට පුළුවන් පාර අයිනේ දන්සලක් තිබ්බේ මොකටද කියලා. දන්සල නෙවෙයි ප්‍රශ්නේ. විනයක් සංවරකමක් නැතුව වාහන පදවනකොට මෙවැනි ප්‍රතිඵල තමයි උරුම වෙන්නේ. දන්සලක් එතැන තිබුණේ නැතත් පාර අයිනේ යන අහිංසක මිනිස්සු, අසරණ දරුවෝ, මවුපියෝ, අවට ප්‍රදේශවාසීන් කොයි තරම් මෙතැනින් ගමන් කරනවාද? එක අතකින් මත්පැන් පානය කරලා. තවත් අතකින් රියැදුරු බලපත්‍රයක් නැහැ. කොයි තරම් අහිංසක ජීවිතද මේ විනාශයට පත්වුණේ? වාහනයක් අතට ගන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න. තමන්ගේ ජීවිතය විතරක් නෙවෙයි විනාශ වෙන්නේ අසරණ මිනිස්සුන්ගේ අහිංසක ජීවිත බව හිතට ගන්න. මේ පවුල්වල ආදරණීයයන්ගේ ජීවිත නැවත ලැබෙන්නේ නැහැ. මේ ජීවිත ගැන හිතුවා නම් අද මෙවැනි ඛේදවාචකයක් සිදුවෙන්නේ නැහැ.
මත්පැන් පානය කර වාහනයක් පැදවූ එක් පුද්ගලයකුගේ වගකීම් විරහිත ක්‍රියාවක් නිසා ජීවිත හයක් නිවීගියා. මියගියේ ජීවිත හයක් විතරක් නෙවෙයි. සිහින, බලාපොරොත්තු, පවුල්වල සතුට, දරුවන්ගේ අනාගතය මුළුමනින්ම බිඳවැටුණා. මේ පවුල්වලට ආයේ කවදාවත් වෙසක් කියන්නේ සතුටක් නෙවෙයි අමිහිරි මතකයක්. දන්සලක් දකින වාරයක් පාසා ඔවුන්ට මතක් වෙන්නේ ඒ වේදනාබර අවසන් රාත්‍රියයි. ජීවිතය කෙතරම් අස්ථිරද? මරණය කෙතරම් සමීපද? එක් තත්පරයකින් සියල්ල වෙනස් විය හැකි බව මේ ඛේදවාචකය අපට නැවත නැවතත් මතක්කර දුන්නා. ඒ අහිංසක ජීවිත මතු උපදින භවයක මෙවැනි අකල් මරණවලට ගොදුරු නොවේවා. ඔවුන්ගේ ආදරණීයයන්ගේ අහිමිවීම මේ පවුල්වලට දරාගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනය කරමු.

නිලන්ති රේණුකා










