විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න වූයේ ජනාධිපතිවරයා විසින් අගවිනිසුරු සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට එරෙහි මෙහෙයුම සුජීවට සහ දයාසිරිට භාරදීමය. ඉන් අනතුරුව සජිත් ආණ්ඩුව ඇතුළේ සිදුවන අක්‍රමිකතා රටට හෙළිදරව් කිරීම සඳහා වෙනම කමිටුවක් ආරම්භ කළ අතර, එහි ප්‍රධානත්වය මුජිබර් රහුමාන්ට ලබාදීමට කටයුතු කළේය. එමෙන්ම මෑත කාලයේ ආණ්ඩුව විශාල දෙදරීමකට ලක්කළ බාල ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලා පාර්ලිමේන්තුව සහ රට දැනුවත් කිරීමේ වගකීම මරික්කාර්ට පැවරීමටද සජිත් පියවර ගත්තේය. ඊට හේතු වී තිබුණේ විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් ඉදිරියේදී බරපතළ බලශක්ති අර්බුදයක් රට තුළ මතුවීමේ අවදානමක් ඇති බවට සජිත්ට තොරතුරු වාර්තා කර තිබීම නිසාය. මීට අමතරව සජිත් පසුගිය සතියේ සිවිල් සංවිධාන නියෝජිතයන් කැඳවා ඔවුන් සමගද ආණ්ඩුවට එරෙහිව විශාල මෙහෙයුමක් දියත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
ආණ්ඩුව නැමෙයි
ඒ අතරවාරයේ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී අපූරු සිදුවීමක් සිදුවිය. සාමාන්‍යයෙන් පසුගිය කාලය පුරාම පැවැති පක්ෂ නායක රැස්වීම්වලදී ආණ්ඩුව සිය ආධිපත්‍යය එහි පතුරුවාගෙන අනම්‍ය ආකාරයෙන් සිටීමට කටයුතු කළත්, පසුගිය සතියේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමක් සියලු දෙනාටම දැකගන්නට ලැබීම ඊට හේතුව විය. එදින පක්ෂ නායක රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරමින් බිමල් රත්නායක, වසන්ත සමරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු සහභාගි වී සිටි අතර, විපක්ෂය නියෝජනය කරමින් සජිත් ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්ව සිටියහ. මෙහිදී සජිත් මුලින්ම ආණ්ඩුව ඉදිරියේදී ගෙන ඒමට සූදානමින් සිටින පරිසර පනතකට පාරිසරික සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ලවී ඇති බව පෙන්වා දී එම ගැටලුව විසඳන තෙක් පරිසර පනත ගෙන ඒම කල් දමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. සාමාන්‍යයෙන් වෙනදා නම් සජිත්ගෙන් හෝ විපක්ෂයෙන් මෙවැනි ඉල්ලීමක් ලද වහා ආණ්ඩුව ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වුවද එදින කිසිදු ගැටුමකින් තොරව සජිත් ඉල්ලූ ආකාරයටම එම පරිසර පනත් කෙටුම්පතේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා තෙක් එය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කළේය.
මීට අමතරව මතුවෙමින් පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දිනක විවාදයක් ඉල්ලා සිටීමට විපක්ෂය යෝජනා කරද්දී යම් අදහස් හුවමාරුවකින් පසු ඊටද එකඟතාව පළකිරීමට ආණ්ඩුව කටයුතු කිරීම විශේෂත්වයක් විය. ඒ අනුව වෙනදා නම් විපක්ෂය සමග කැත්තට පොල්ල ලෙස සිටි ආණ්ඩුව මේ වනවිට විපක්ෂය සමග නම්‍යශීලී සහ සුහදශීලී ආකාරයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇති ආකාරයක් දැකගත හැකි විය.
එමෙන්ම පසුගිය සතියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවත් විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීය. ඒ සඳහා ලංකාවම නියෝජනය වන පරිදි හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් කැඳවීමට පියවර ගැනීමය. එහි ඇති විශේෂත්වය වූයේ එම රැස්වීමට මේ වනවිට සජබය නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පමණක් නොව, එජාපය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පවා එක්ව සිටීමය. ඒ බව දුටු සජිත් පවා පුදුමයට පත්ව ඔවුන් සමග කතාබස් කරන විට ඔවුන් සජිත්ට කියා සිටියේ එජාපය එකතු වූවත් නැතත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සජබය සමග එක්ව තරග වැදීමට තමන් සූදානම් යැයි කියාය. ඒ අනුව මේ වනවිට සජිත් තීරණය කොට ඇත්තේ විපක්ෂයේ අනෙකුත් සියලු පක්ෂ ඒකාබද්ධ කොටගෙන පළාත් සභා මැතිවරණය ඉල්ලා අලුත් සටනක් ආරම්භ කිරීමටය.










