රාජ්‍යය රජය හා ආණ්ඩුව ගැන නැවත වරක් සිතන්නට අප පෙලඹුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මාධ්‍ය හමුවකදී ලබාදුන් පිළිතුරක් ගැන දැනගත් පසුවය. මහ බැංකු අධිපතිවරයාගේ පිළිතුර මෙසේය. (Sri Lanka Latest News)
‘රජය හා මහ බැංකුව දෙකකි. එහෙත්, දෙකම රාජ්‍ය ආයතන වේ’
ඉහත ප්‍රකාශයෙන් කියවෙන දේ ලෙස මට හැඟෙන්නේ මහ බැංකුව හා රජය යනු රාජ්‍යයට අයත් ආයතන දෙකක් බවය. ඇතැම් විටක මේ තේරුම් ගැනීම හා මහ බැංකු අධිපතිවරයා අදහස් කළ දේ අතර වෙනසක් තිබෙන්නටද ඉඩ ඇත. ‘මගේ නැව ගිලුණා’ යන්න ‘මට නැව ගිලුණා’ ලෙස එක් අකුරක් වෙනස් කොට ප්‍රකාශ කළොත් ඉන් ගම්‍ය වන අදහස බරපතළය. නමුත් කියන්නා අදහස් කළේ කුමක් වුවත් අසන්නාට දැනගන්නට ලැබෙන්නේ කියූ දේය. කෙසේ වෙතත් මේ කරුණ ගැන යම් ආකාරයක විග්‍රහයක් මගේ අවබෝධයේ හැටියට සිදුකිරීම සුදුසු යැයි මට හැඟී යන්නේ මහ බැංකු අධිපතිවරයාගේ පිළිතුරේ සරල අර්ථයෙන් කියැවෙන දේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි ජන වහරට අනුව කිවහොත් ‘මෝඩ කතාවක්’ ලෙස හැඟීයන නිසාවෙනි.
‘මගේ නැව ගිලුණා’ සහ ‘මට නැව ගිලුණා’
මුලින්ම අපි ‘රාජ්‍යය’ යන වචනයේ අර්ථය විග්‍රහ කර බලමු. ‘රාජ්‍යය’ යනුවෙන් කිසියම් නිශ්චිත භූමියක් හැඟවේ. වර්තමානයේ පිළිගත් ජ්‍යාත්‍යන්‍තර සම්මුතීන්ට අනුව රාජ්‍යයක් යනුවෙන් හැඳින්වීමට නම් වෙන්කර දැක්වීමට හැකි භූමි ප්‍රදේශයක් අත්‍යාවශ්‍ය වේ. එසේ භූමි ප්‍රදේශයක් වෙන්කර දැක්වීමෙන් පමණක් ‘රාජ්‍යය’ යන හැඳින්වීම ලබාගත නොහැක. ඒ සඳහා තවත් අවශ්‍යතා සම්පූර්ණ විය යුතුය. එකී වෙන්කර හඳුන්වන භූමි ප්‍රදේශය තුළ ජනතාවක්ද සිටිය යුතුමය. ඊට අතිරේකව එම භූමි ප්‍රදේශය තුළ ජනතාව සඳහා වූ වෙනම පාලන තන්ත්‍රයක් ද තිබිය යුතුය. මේ කරුණු තුන සම්පූර්ණ නම් ‘රාජ්‍යය’ යන පිළිගැනීම ලබාගැනීමට හැකි වේ. ඒ අනුව අපට අනන්‍ය වූ ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය’ යන නමින් හඳුන්වන රාජ්‍යයක් පවතී. මේ රාජ්‍යයේ භූගෝලීය ප්‍රදේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ මෙලෙසිනි. ‘ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය පරිපාලන දිස්ත්‍රික්ක විසිපහෙන්ද, ජනරජයේ දේශීය ජල තීරයෙන්ද සමන්විත වන්නේය.’
මෙම පරිපාලන දිස්ත්‍රික්ක විසිපහ තුළ පුරවැසි තත්ත්වය සහිතව ජීවත්වන ජනතාව එකී රාජ්‍යයට අයත් ජනතාව සේ සැලකේ (දේශීය ජල තීරයේ යාත්‍රා කරමින් සිටින අයද එම ජල තීරයට ඉහළින් ඇති ගුවන් තීරයේ යාත්‍රා කරන අය ද ශ්‍රී ලංකා නීතියට යටත් විය යුතුය). මේ ජනතාව විසින් සම්මතයෙන් පිළිගෙන පවත්වාගෙන යන පාලන තන්ත්‍රයත් මෙරට අවුරුදු දහස් ගණනක් තිස්සේ පවත්වාගෙන යනු ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් නම් කළ රාජ්‍යයක් ලෝකයේ පිළිගැනීමට ලක්ව පවතී. ඒ අනුව ‘රාජ්‍යය’ යනුවෙන් පවතින දේ පැහැදිලිව තේරුම්ගත හැකි වනු ඇත.
‘රාජ්‍යය’ හා ‘රජය’
දැන් අපි ‘රජය’ යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් දැයි බලමු. ‘රාජ්‍යය’ හා ‘රජය’ යනු එකක් නොවේ. ‘රජය’ ලෙස සැලකෙනුයේ රාජ්‍යය පාලනය සඳහා ජනතාව විසින් සම්මතයෙන් සකසා ක්‍රියාත්මක කරමින් සිටින පාලන තන්ත්‍රයයි. මේ පාලන තන්ත්‍රය නිවැරැදිව හඳුනා ගැනීමෙන් ‘රජය’ කුමක්දැයි හරියටම තේරුම්ගත හැකි වනු ඇත. ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයේ පරමාධිපත්‍යය බලධාරියා වන්නේ ජනතාවය. මේ පරමාධිපත්‍ය බලධාරීත්වය කොටස් තුනකින් සමන්විතය. ඒ, පාලන බලතල, මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලයයි. මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය ජනතාව විසින් පෞද්ගලිකව භුක්ති විඳිනු ලැබේ. එහෙත්, ජනතාව සතු පාලන බලතල ක්‍රියාත්මක වනුයේ කොටස් තුනකින් යුක්තවය. බොහෝ දෙනකු දන්නා අන්දමට ඒ කොටස් තුන ව්‍යවස්‍ථාදායකය, විධායකය හා අධිකරණය යනුවෙන් හැඳින්වේ.
ව්‍යවස්ථාදායකය යනු,
ව්‍යවස්ථාදායකය යනු පාලන තන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන නීති පැනවීමේ බලයයි. මේ බලය ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව විසින් බලය පවරා ඇත්තේ තමන් විසින් ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමෙන් පත්කර ගන්නා ලබන පාර්ලිමේන්තුවටයි. ඇතැම් නීති පැනවීමේදී ජනමත විචාරණයක් හරහා ජනතාව විසින් කෙළින්ම ව්‍යවස්ථා සම්පාදනයට සම්බන්ධද වීමද සිදුවේ. එසේ ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය වන්නේ කවර නීති පැනවීමට දැයි තීරණය කිරීම ජනාධිපතිවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරනු ලැබේ. පාර්ලිමේන්තුව හැර වෙනත් ආයතනයකට නීති පැනවීමේ බලයක් ජනතාව විසින් ලබාදී නැත. පාර්ලිමේන්තුව විසින් පැනවූ නීති යටතේ ස්ථාපිත පළාත් සභා, පළාත් පාලන ආයතන ආදියට පවරා ඇත්තේ ඒ ආයතන බලප්‍රදේශයට සීමා වන නිශ්චිත ක්ෂේත්‍රවලට අදාළව අනු නීති සැකසීමේ බලය මිස නීති පැනවීමේ පූර්ණ බලය නොවේ. ඒ අනු නීති සමස්ත ජනරජයටම අදාළ වන ඒවා නොවේ. ඒ ආයතනවල බලප්‍රදේශවලට පමණක් අදාළ වන ඒවාය. ජනරජයේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පූර්ණ බලයද ඇත්තේ පාර්ලිමේන්තුවටයි.
විධායක බලය යනු,
විධායක බලය යනු එසේ සකස් කරන නීති ක්‍රියාත්මක කිරීමේ බලයයි. විධායක බලයට ජනතාවගේ ආරක්ෂාවත් අයත් වේ. එසේ නීති ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව සතු බලය පවරා දී ඇත්තේ ජනතාව විසින් ඡන්දයෙන් තෝරා පත්කරගන්නා ජනාධිපතිවරයාටයි. මෙම නීති ක්‍රියාත්මක කිරීමේ බලය භාවිත කිරීමේදී ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගත යුතුය. ඒ අතර එසේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ලෙස පත්කරගත හැක්කේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් පමණි. අවශ්‍ය නම් නියෝජ්‍ය හා අමාත්‍ය මණ්ඩලයේ නොවන ඇමැතිවරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පත්කර ගැනීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය ලබාදී ඇත. එසේම අමාත්‍යාංශ විෂය පථයන් තීරණය කිරීමට ද රජයේ ආයතනයන් සම්බන්ධ කළ යුත්තේ කවර අමාත්‍යංශයට දැයි තීරණය කිරීමද ජනාධිපතිවරයාට නීතියෙන් පවරා ඇති කාර්යයන් වේ. අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමේ කාර්යයද ජනාධිපතිවරයාට පවරා දී තිබේ.
අධිකරණ බලය
මීළඟට ජනතාවගේ පරමාධිපත්‍ය බලය යටතේ ඇති පාලන බලතලවලට ඇතුළත් අධිකරණ බලය පවරනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවටය.
පාර්ලිමේන්තුව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන් වරප්‍රසාද හා බලතල පාර්ලිමේන්තුව මගින්ම ක්‍රියාත්මක කළ යුතු අතර සෙසු අධිකරණ බලය ව්‍යවස්ථාවෙන් හා නීතියෙන් පිහිටු වූ අධිකරණ පද්ධතිය මගින් ක්‍රියාත්මක කළ යුතු වේ. මේ අනුව ‘රජය’ යනුවෙන් හැඳින්වෙන්නේ මෙකී ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණ යන බලතල ක්‍රියාත්මක කරන සමස්ත ව්‍යුහයන් වේ.
‘රජය’ ‘ආණ්ඩුව’ හා ‘විධායකය’
රාජ්‍යයේ එනම් ජනරජයේ ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද ආණ්ඩුවේ ප්‍රධානියා ද විධායකයේ ප්‍රධානියා ද සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා ද වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වේ. ඒ අනුව ජනාධිපතිවරයා ජනරජයේ ප්‍රධානත්වය දරන අතර ඔහු රජයේ ප්‍රධානියා ද වෙයි. ඒ සමගම ඔහු විධායකයේ ප්‍රධානියා ද වෙයි. එසේම ආණ්ඩුවේ ප්‍රධානියා ද වෙයි. මේ අනුව ජනරජය (රාජ්‍යය) තුළ ‘රජය’ ‘ආණ්ඩුව’ හා ‘විධායකය’ ලෙස අංග තුනක් පවතින බව එයින් පැහැදිලිය.
එයින් ‘රජය’ කුමක්දැයි අපි හඳුනා ගත්තෙමු. මීළඟට ‘විධායකය’ හා ‘ආණ්ඩුව’ යනු කුමක්දැයි හඳුනාගත යුතු වේ. මෙහිදී විධායකය යන්නට ජනතාවගේ ආරක්ෂාව ද ඇතුළත් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම දක්වා ඇත. මේ විධායකය යනුවෙන් හඳුනාගත හැකිවන්නේ ව්‍යවස්ථාදායකය විසින් පැනවූ නීති ක්‍රියාත්මක කිරීමට අදාළව පවත්වාගෙන යන ආයතන පද්ධතියයි. ඒ අනුව අගමැතිවරයා, අමාත්‍ය මණ්ඩලය, ඇමැතිවරු, නියෝජ්‍ය හා අමාත්‍ය මණ්ඩලයට අයත් නැති ඇමැතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන කොමිෂන් සභා ඒවායේ නිලධාරීන් ආදී සියල්ල නීති ක්‍රියාත්මක කරන ආයතන පද්ධතියට හෙවත් ‘විධායකයට’ අයත් බවට හඳුනාගත හැකිවෙයි. ඒ අනුව ‘විධායකය’ යනු සමස්ත නීති ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ ආයතන පද්ධතිය බව පැහැදිලි වේ.
ආණ්ඩුව යනු,
‘ආණ්ඩුව’ යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? යන්න තේරුම් ගැනීමත් මෙහිදී වැදගත් වේ. ‘ආණ්ඩුව’ යන්නෙන් විධායකය මෙහෙයවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කර ගනු ලබන අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරුන් නියෝජ්‍ය හා වෙනත් අමාත්‍යවරුන් හා අමාත්‍යංශ ලේකම්වරු ඇතුළත් කණ්ඩායම අදහස් වෙයි. අමාත්‍ය මණ්ඩලය විසිරවූ විට ආණ්ඩුව අවසන් වෙයි. එබඳු අවස්ථාවකදී අගමැති ධුරය, අමාත්‍ය ධුර සියල්ල අමාත්‍යංශ ලේකම් ධුර හා අමාත්‍යාංශ ආදී සියල්ල අහෝසි වනුයේ ආණ්ඩුව අවසන් වන නිසාය. ආණ්ඩුව විසිරවීමේදී එසේ විධායකයේ මෙහෙයුම් ව්‍යුහය අහෝසි වුවද විධායකයට අයත් රාජ්‍ය ආයතන වන දෙපාර්තමේන්‍තු, සංස්ථා, මණ්ඩල, කොමිෂන් සභා ඒවායේ ප්‍රධානීන් සාමාජිකයන්, නිලධාරීන් හා සේවකයන් ආදීන්ගේ පැවැත්මට ඉන් බලපෑමක් ඇති නොවේ. ඒ, ඒවා ‘ආණ්ඩුව’ යන ව්‍යුහයට අයත් නොවන නිසාය. ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයකදී පත්කරන්නේ ආණ්ඩුවක් නොවේ. පාර්ලිමේන්තුවකි.
ජනාධිපතිවරයා
එසේ ජනතාව පත්කළ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බහුතරයක කැමැත්ත ඇතැයි ජනාධිපතිවරයා අදහස් කරන මන්ත්‍රීවරයා අග්‍රමාත්‍ය ලෙස පත්කර අවශ්‍ය නම් ඔහුගේද උපදෙස් සහිතව අමාත්‍යාංශ විෂය පථය හා ඊට අයත් වියයුතු රාජ්‍ය ආයතනද තීරණය කර අමාත්‍යවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කර අමාත්‍ය මණ්ඩලය ස්ථාපිත කර අමාත්‍යාංශවලට ලේකම්වරුන් පත්කිරීමෙන් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවක් පිහිටුවීම සිදුකරනු ලබයි. විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරුවා හැරීමේ බලය ලබාදී ඇත. රජයට අදාළ විධායකය මෙහෙයවීම ආණ්ඩුවේ කාර්යය වේ. ආණ්ඩුවේ නායකයා ජනාධිපතිවරයාය. ආණ්ඩුවද ඇතුළත් විධායකයේ නායකයාද ජනාධිපතිවරයාය. විධායකයේ කොටසක් වූ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ බලධාරීත්වය සංකේතවත් කරමින් සන්නද්ධ හමුදාවල සේනාධිනායකයාද ජනාධිපතිවරයාය. විධායකයද ව්‍යවස්ථාදායකයද අධිකරණයද ඇතුළත් ‘රජයේ’ නායකයා ද ජනාධිපතිවරයාමය. ජනතාව විසින් ස්වකීය ඡන්දයෙන් නියමිත කාලයකට ජනරජය සඳහා ජනාධිපතිවරයකු පත්කරනු ලැබේ. ජනරජයේ ජනාධිපතිවරයා ලෙස නීත්‍යනුකූලව පත්වන තැනැත්තා ඉහත විස්තර කළ පරිදි රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද, සන්නද්ධ හමුදාවල සේනාධිනායකයාද වන්නේය. මේ ජනාධිපතිවරයා ස්වකීය කාර්යභාරය ඉටුකිරීම පිළිබඳ පාර්ලිමේන්තුවට වගකිව යුතුය. මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාලන තන්ත්‍රයයි.
ශ්‍රී ලංකා මහ බැංකුව කියා වෙනම මොකක්ද එකක්?
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ මුලින්ම සඳහන් කළ ප්‍රකාශය පිළිබඳ සලකා බැලීමේදී ඉහත පාලන තන්ත්‍රය තුළ මහ බැංකුව ඇත්තේ කවර ස්ථානයකදැයි සොයාබැලීම අත්‍යාවශ්‍යය. මන්ද එය මහ බැංකුවේ අධිපතිවරයාවත් හරි හැටි නොදන්නා බවක් හැඟවෙන බැවිනි.
‘රාජ්‍යය’ නැත්නම් ‘ජනරජය’ තුළ හඳුනාගත හැකි අංග තුන වන්නේ ජනතාව, පාලන තන්ත්‍රය (රජය) හා නිශ්චිත භූගෝලීය ඒකකයයි. කලින්ද සඳහන් කළ අන්දමට ‘රජය’ නැත්නම් පාලන තන්ත්‍රය කොටස් තුනකි. ඒ ව්‍යවස්ථදායකය, විධායකය හා අධිකරණයයි. මහ බැංකු අධිපතිවරයා සඳහන් කළ පරිදි රජයත් මහ බැංකුවත් දෙකක් වන්නට නම් ‘ජනරජය’ නැත්නම් ‘රාජ්‍යය’ තුළ ජනතාව, පාලනතන්ත්‍රය (රජය) හා නිශ්චිත භූගෝලීය ප්‍රදේශය යන අංග තුනට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව කියා වෙනම එකක්ද හඳුනා ගැනීමට හැකිවිය යුතුය. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව ජනරජය තුළ වෙනම ඒකකයක් නොවේ. එසේම ‘රජය’ නම් සංකල්පය තුළ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය නම් කොටස් තුන හැර ශ්‍රී ලංකා මහ බැංකුව යනුවෙන් ‘රජය’ නම් ගසින් පැනනැ`ුගුණු වෙනම අතු රිකිල්ලක්ද නැත.
ශ්‍රී ලංකා මහ බැංකුව ඇත්තේ කොතැනද?
ශ්‍රී ලංකා මහ බැංකුව නම් ආයතනය අපට හඳුනාගත හැක්කේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය නම් රජයේ කොටස් තුනෙන් ‘විධායකය’ නම් කොටස තුළදීය. රජයේ කොටස් තුනෙන් විධායකය යනු ව්‍යවස්ථාදායකය පනවන නීති අනුව ක්‍රියාකරන කොටසක් බැවින් එය ව්‍යවස්ථාදායකයට මුළුමනින්ම වගකිව යුතුව ඇත. අධිකරණය පරිහරණය කරන්නේද ව්‍යවස්ථාදායකයට ජනතාව විසින් පවරා දුන් බලතල නිසා එයද ව්‍යවස්ථාදායකයට වගකිව යුතුය. විධායකය තුළ හඳුනාගත හැකි ඇතැම් ආයතනවලට යම් ස්වාධීනත්වයකින් ක්‍රියා කළ හැකි ලෙස ව්‍යවස්ථාදායකය නීති පනවා ඇත. ඒ මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, අල්ලස් දූෂණ මර්දන කොමිසම, විගණන කොමිසම, මානව හිමිකම් කොමිසම, තොරතුරු කොමිසම වැනි ආයතන වේ. ඒවා විධායකයේ කොටස් වුවද විධායකයේ බලපෑමෙන් තොරව ක්‍රියා කළ හැකි විශේෂිත ආයතන වේ. ශ්‍රී ලංකා මහ බැංකුවද ඒ ගණයට අයත් විධායකය තුළ පවතින ආයතනයකි. ඒ නිසා එය රජය යටතේ පවතින විධායකයට ඇතුළත් ආයතනයක් බව තේරුම් ගත යුතුය. ඒ අනුව රජය හා මහ බැංකුව යනු දෙකක් වුවත් රජය යනු මහ බැංකුව මෙන් රාජ්‍ය ආයතනයක් නොවේ. රජය යනු මහ බැංකුවද ඇතුළත් සමස්ත විධායකයත් ව්‍යවස්ථා දායකයත් අධිකරණයත් යන ජනතා පරමාධිපත්‍ය බලතල ඒකරාශීව ක්‍රියාත්මක කරන ජනරජයේ පාලන තන්ත්‍රයයි.
අන්දමන්ද නන්දලාල්
මේ කිසිදු දෙයක් පිළිබඳ අවබෝධයක් නැතිව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සිදුකළ ප්‍රස්තුත ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය හා වගකීම් විරහිත ව්‍යාකූල ප්‍රකාශයකි. මහ බැංකුවේ අධිපතිවරයා පත්කිරීමේදී අර්ථිකය කළමනාකරණය, මූල්‍ය පාලනය ආදී ක්ෂේත්‍රවල දැනුම හා අත්දැකීම පමණක් තිබීම ප්‍රමාණවත් නොවන බවත්, එම තනතුර දරන්නාට සාමාන්‍ය රාජ්‍ය ව්‍යුහය හා රාජ්‍ය පාලනය පිළිබඳවත් යම් ආකාරයක අවබෝධයක් අවශ්‍ය බවත් රටට තේරුම් ගැනීමට නම් මහ බැංකු අධිපතිගේ මේ ප්‍රකාශය වැදගත් වේ. ඉහළ වගකීම් සහිත තනතුරු දරන අය තමන් කරන ප්‍රකාශ පිළිබඳ සැලකිලිමත් වීමේ වැදගත්කම මහ බැංකු අධිපතිවරයා මෙන්ම සෙසු ලොකු ලොක්කන්ද තේරුම් ගැනීම ඔවුන් දරන තනතුරුවල ගෞරවයට හේතු වේ.
සුනිල් කන්නන්ගර
(කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති)
LankaEnews වෙබ් අඩවියෙනි










